මම ඉස්කෝලෙ ගියේ ඩොටේ පලාතෙ බාලිකාවකට. ඔව් ඔව් ඒ ඩොටේ තමයි. ඉතිං කොල්ලොත් නැති නිසා හරිම සංවරව තමයි අපි හැදුනෙ දඟ වැඩ එහෙම කරලම නෑ.
ඉතිං ඒ සුන්දර ඉස්කෝලෙ මේන් හෝල් එක පිටිපස්සෙ තියෙනවා ලොකට් ගස් පේලියක්. ලොකට් කියන්නෙ සීතල පැතිවල හැදෙන රසම රස කහපාට ජම්බු වර්ගයක්. දැකල නැති අයට ෆොටෝ එකකුත් මම පහලින් දාලා තියෙනවා ඕං. නොවැම්බර් දෙසැම්බර් වගේ සීතල කාලෙට තමයි ඔය ගස්වල ගෙඩි ඉදෙන්නෙ. ඒ කියන්නෙ අපේ වාර විභාග එහෙම ඉවර වෙලා නිදහසේ ඉන්න කාලෙට ඔය ගෙඩි හැදෙනවා.
ඉතිං විභාග ඉවර උනාම නිවාඩු දෙනකං සතියක් විතර තියෙනවනෙ. ඔය දවස් ටික ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ… ගුරුවරු අපි ගැන හොයන්න එන්නෙත් නෑ පේපර් බලන නිසා. ඉතිං දවසම පිට්ටනියෙයි, කැන්ටිමෙයි, ඉස්කෝලෙ වටේයි ඇවිදින එකයි, ඩෙස් වලට ගහ ගහ සින්දු කිය කිය නටන එකයි, මෙහෙන්දි ටියුබ් ගෙනත් අත්වල ගාන එක එකයි, අනිත් අයගෙ මූණු වල දිලිසෙන කුඩු හරි පවුඩර් හරි තලි පිටින් ගාලා දුවන එකයි, ගුරුවරුන්ට පේපර් වල ලේසි කොටස් බලල දීලා ඒ වෙනුවට අයිස්ක්රිම් කන එකයි, තමයි අපි කරන්නෙ. ඉතිං ඔය දවස්වලට අර ලොකට් ගස් ටික සුද්ද කරන එකත් අපේ ප්රධාන රාජකාරියක්.
ඉතිං පුරුදු විදිහට ඔහොම දවසක් අපි සෙට් එකම ලොකට් කඩන්න ලෑස්තිවෙලා… මායි තව යාලුවෙකුයි ගහට නැග්ගා. ඉතිරි අය අපි කඩලා දාන ලොකට් බිමට වැටෙන්නැති වෙන්න අල්ලන්න , ඔත්තුබලන්න වගේ වැඩ වලට තමයි බිම හිටියෙ. ගහේ හොඳට අතු බෙදිල තියෙන නිසා ගහ උඩට නැග්ගම බිම ඉන්න අය පේන්නෙත් නෑ බිම ඉන්න අයට ගහ උඩ ඉන්න අයව හොඳට පේන්නෙත් නෑ. මමත් ඉතිං ගහ උඩට නැගල ලොකට් ගෙඩි දෙක තුනකුත් කාලා බලද්දි පරිසරයම අත්භූත විදිහට නිශ්ශබ්ද වෙලා.
මම ඒ කාලෙ ඉඳලම සම්මා සතියෙන් ඉන්න නිසා අහල පහල වෙන දේවල් ගැන මෙලෝ සිහියක් නෑ. මට පහලින් ගහේ හිටිය ලමයා බිමට බැහැලා කියල දැක්කෙත් ඒ වෙලාවෙ. බිමත් කවුරුත් පේන්න නෑ. මමත් හෙමිහිට තව ගෙඩි ටිකක් කඩාගෙන සාක්කුවට දාගෙන බිමට බැහැල බලද්දි මගෙත් එක්ක ගස් නගින්න ආව කවුරුත් නෑ. ගහ මුල තිබ්බ මගෙ සපත්තු දෙකත් නෑ කකුල් දෙකේ මේස් දෙක විතරයි. ටික වෙලාවක් අන්දුං කුන්දුං වෙලා බලං ඉන්නකොට එක යාලුවෙක් ඇවිත් සිද්ධිය පැහැදිලි කරා.
අපි ගහේ ඉන්නකොට මැඩම් නිකමට ඇවිත් ඉස්කෝලේ වටේ ඇවිදින්න. ඉතිං ඔත්තු බලපු එවුනුයි ගහේ බාගයක් නැගල හිටිය ලමයයි ඔක්කොම ටික බයේ දුවලා. මැඩම් දැකල ගහේ ඉඳන් ලමයෙක් බැහැල දුවනවා. ඉතිං මැඩම් අර ගහෙන් බැස්ස ලමයා සපත්තු දෙක දාලා දුවනව කියල හිතල ආපහු යන ගමන් ගහ මුල තිබ්බ මගෙ සපත්තු දෙක ඔෆිස් එකට අරන් ගිහින්.
ඒ දවස්වල අපිට ඔෆිස් එක කියන්නෙ ගෙදර වගේ. සතියට අඩුම දවස් දෙකක් වත් බැනුමක් අහගන්න ඔෆිස් එකට යන එක අපිට පුරුද්දට ගිහින් තිබුනෙ. ගස් නැගීම, මේස උඩ නැගලා සින්දු කිය කිය නැටීම, හොස්ටල් මේට්රන් මිස්ට මඟුල් කපුකම් කරන්න ගිහින් මාට්ටු වීම, හොස්ටල් කාමරේ හොරෙන් උයන්න ගිහින් අහුවීම, රෑ මැද හොල්මං සේ රඟපා හොස්ටල් එකේ පොඩි ලමයි බය කිරීම, එල්ලෙ ගහන්න ගිහින් ලැබ් එකේ ජනෙල් කුඩු කිරීම, පාරෙ යන කපල් වලට හූ කීම, ඔය වගේ එකී මෙකී නොකී වැරදි ලැයිස්තුවක්ම තිබුනා අපි හතරපස්දෙනෙක්ට හැමදාම ඔෆිස් එකට යන්න සිද්ධවෙන.
ඇත්තම කිව්වොත් අපිට බැනුම් අහන එකයි, මැඩම් අපිට බනින එකයි පුරුද්දට ගිහින් තිබ්බ කාලයක් ඒ. කොච්චර පුරුද්දට ගියාද කියනව නම් නොකරපු වැරදි වලටත් බැනුම් අහගෙන එන්න සිද්ධ වෙච්ච වෙලාවල් තිබුනා.
ඉතිං සුපුරුදු පරිදි මායි හැමදාම බැනුම් අහන සුපුරුදු සගයයි මේස්දෙක පිටින්ම ඔෆිස් එකට ගියා කන්දෙක පුරවලා බැනුමක් අහගෙන මගෙ සපත්තු දෙකත් අරන් එන්න කියල හිතාගෙන. යද්දි ඔෆිස් එක ඇතුල්වෙන තැනම අර සපත්තු දෙක තියල මැඩම් තව මිස් කෙනෙක් එක්ක බරටම කතාව. අපිත් ඉතිං දකුණ බලා වම බලල නැවතත් දකුණම බලල ගුරුවරු කවුරුත් අපි දිහා බලන් නැති අතරේ, හැමදාම අහන බැනුම කවදා අහන්න බැරිද.. කියල සපත්තු දෙකත් උස්සගෙන දුවන් ආපු ගමන නතර කරේ පන්තියටම ගියාට පස්සෙ.
මැඩම්ට ඒ සපත්තු දෙක කාගෙද කියල කවදාවත් හොයාගන්න බැරිවෙන්න ඇති මං හිතන්නෙ.
බැනුම් වගේද ලොකට්… මොන බාධක ආවත් ඉස්කෝලෙන් අයින් වෙනකල්ම අපි ලොකට් කන එක නම් නතර කරේ නෑ…ඒ වගේ ලොකට් කෑමක් ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙම ආයෙ කන්න ලැබුනෙත් නෑ.
උපුටා ගැනීම: Dilki Jayasekara