සඳ සිසිලේ පීපී හිරුගේ පලමු රැස් දහරින්ම දැවී ගිය ප්රේමයක් ගැන ඔබ අසා නැති බව මට හොඳටම විස්වාසය. මේ එවන් කතාවකි.
*******
උසස් පෙල පන්ති යන කාලෙ අපේ මාම කෙනෙක්ගෙ පවුලෙ අය එයාලගෙ ගමේ අය එක්ක ගියපු සිරිපා වන්දනා ගමනකට මමත් එකතු වුනා. රෑ අටට විතර නල්ලතන්නියෙන් පා ගමන පටන් අරන් මකර තොරණ පහු වෙලා ටිකක් දුර යනකොට මෙන්න යකෝ කිරි ටොයි සුරංගනාවියක් අපේ චූටි අක්කා එක්ක කයියක් දාගෙන යනවා.චූටිඅක්කා කිවුවට ඒකි ලොරියකට වඩා ටිකයි පොඩි.
චූටි සුරංගනාවි රතු පාට සීත ඇඳුමක් ඇඳලා කන් දෙකත් වැහෙන්න රතු පාට වූල් තොප්පියක් දාලා. බෙල්ල වටේට තව සලුවකුත් දාලා.ඩිම්පල් කියන්නෙ වතුර පිරෙවුවනම් සාරි ගප්පි දෙන්නෙක් දාන්න තරම් වලවල් කම්මුල් දෙකේ .මමත් නිකං ඩිම්පල් කුපාඩියා වගේ කිට්ටු කලා ලඟට.
දැන් ඔන්න මමත් වචන කෑලි දානවා. මේකි නෙවෙයි ගනන් ගන්නෙ. වැඩිය පැණිය දාන්නත් බෑ. එයත් ටිකක් ලොකු සීන්. ටිකක් දුර යනකොට අක්කට මහන්සි.
“මේ පොඩ්ඩො, මට පන නෑ ඕයි. ඇදන් යනවකො”කියලා බබා ඇතින්නි අද දික් කලා.
“තමුසෙ නම් මාර ඇනයක් ඕයි, බලනවකො මේ ආච්චි අම්මත් කිසි ගානක් නැතුව යනව. තමුසෙගෙනෙ කොමලෙ.”කියන ගමන් මම මගේ චීස් කෑල්ල දිහා බැලුවා.
“කවුද ආච්චි, තාම දාහතයි හරිද “
ඒ පාර නම් මගේ වචන ටික හරියටම වැඩකලා. දාහතයි යකෝ දාහතයි. මගේ හදවත ලකඩ පටස් ගාලා ගැහෙන්න අරන් මූණට ලේ පනිට්ටු ගනන් පොම්ප කලා. මම රතු උනා. කකුල් පණ නැති උනා.
ගොං තඩියෙක් හපුතලේ තරණයක කරනව වගේ චූටි අක්කා නැමති බර බාගෙත් ඇදගෙන සුරංගනාවිටත් විහිලු කර කර මම හෙමින් හෙමින් කන්ද අදින්න ගත්තා. එක පාරටම කරත්තෙ ලෝඩ් එක වැඩි උනා.
“අනේ අයියේ දැන් නම් මටත් මහන්සී. මාවත් ඇදන් යන්නකො අනේ ” කියලා සුරංගනාවිත් මගේ වැලමිට ලඟින් එල්ලුනා.මමත් ඉතින් ” ඔයාව උස්සගෙන උනත් යන්නම්කො, ඔයා මට බර වැඩි නෑ මැනිකේ” කියලා ගැම්මට කන්ද ඇද්දා.ඔහොම ටිකක් දුර යනකොට අක්කට තේරුණා මල්සරා වැඩලා ඉන්නෙ කියලා. ඉතින් අපි දෙන්නට යන්න ඇරලා අක්ක ටිකක් පහු උනා.එතකොට අපි නඩේ අනිත් අයට වඩා ගොඩක් ඉස්සර වෙලා
මේ මෝඩ කෙල්ල ග්ලවුස් ගෙනත් නෑ. අත් දෙක සීතල වෙලා ගල් වෙන්නම. මට දුක හිතුනා. මම මගේ ග්ලවුස් එකක් ගලවලා එයාට දුන්නා. දැන් ගලවුස් නැති අත් එකට පටලගෙන සීතල මැඩගෙන අපි දෙන්නා කරුණා කරනවා. කොහොම හරි ඔන්න සිරිපා මළුවටම ආවා. දැන් සෙනග ගොඩේ තෙරපිලා නිසා අපිඅත් අල්ලං ඉන්නව කියලා කාටවත් පේන්නෙ නෑ. ගෙවල් වල අයට සැක නොහිතෙන්න අපි දෙන්නා මූනට මූන නොබලා අත් මිරිකමින් කකුල් පාගමින් හිටියා බැම්ම අයිනට වෙලා ඉර සේවය බලන්න.
ඉර පායගෙන එනකොට එයා එයාගෙ තොප්පිය ගලවලා බෙල්ලට දාපු සලුව ටිකක් ලිහිල් කලා. මමත් මගේ නින්ජා තොප්පිය ගලවලා මගේ සුරංගනාවි දිහාවට හැරුනා.අනේ දෙවියනේ අපි එතකොටයි හරියටම අපේ මූනු දැක්කේ. මෙච්චර වෙලා මගේ අතේ එල්ලිලා ඇවිත් තියෙන්නෙ විසි පහක විතර අක්ක කෙනෙක්. මට යන්තම් දහ අටයි.
උපුටා ගැනීම: සුපුන් උදාර