“ලොක්කී… ඔය කොල්ලා උකුලේ ගහගෙන ඉන්නේ ඇවිත් මේ කීර මිටි බැඳ ගන්න උදව් කරපන්කෝ”
ඒ අපේ අම්මා…පුංචි සන්ධියේ නිතර නෝක්කාඩු ලොක්කක්කටයි…..මේ උකුලේ ගහගෙන ඉන්න කොල්ලා මම..පියල්…පවුලේ මායි ලොක්කී විතරයි..ලොක්කී ඉපදිලා අවුරුදු පහලොවකට පස්සේ උපන්න මට දෙවනි අම්මා උනේ ලොක්කී…මට මතක ඇති කාලේ ඉදන් ලොක්කිගේ ලෝකේම උනේ මං.. අම්මාටවත් නැති කැක්කුමක් ආලයක් කරුණාවක් ලොක්කිට මං ගැන තිබුණා…කොහි ගියත් මාව උකුලේ ගහගෙන යන හැටි තාම මතකයි…හොඳ නාඹර වයසේ හිටපු ලොක්කී කකුල් බිම ගෑවෙන්න ඔන්න මෙන්න වයසේ පොඩි කොල්ලෙක් උකුලේ ගහගෙන ගම පුරා යද්දී කොල්ලෝ විහිළු තහළු කරද්දී උන්ටත් හොඳවයින් කියා ගස්සාගෙන යන හැටි දැනුත් මැවිලා පේනවා…
පරම්පරාවෙන් කියලා අපිට ඉතුරු උනේ නමේ අග කොටසයි ගරා වැටුණු බිත්තිවලින් වටවුණු මහ ගෙදර විතරයි.ලෙඩ ඇඳේ හිටපු තාත්තාට බෙහෙත්හේත් කරන්නයි අපිට කන්න අඳින්නයි කීයක් හරි හොයා ගත්තේ අම්මාගේ කීර කොටුවෙන්..මට උගන්නන්න ලොක්කී දිවා රෑ මලු පැදුරු විව්වාය…අම්මා කීර අරන් පොළට යන දවසට ඇය වියූ මලු පැදුරු අම්මා පොළට ගෙන ගොස් ලැබෙන මුදලින් මට ඉගෙන ගන්න අවශ්ය දේවල් සපයා දුන්නේ ඇයයි..මට උගන්නන්න මාව ලොකුමහත් කරන්න ලොක්කී ඇගේ මුළු තරුණ කාලයම කැප කළා. එකළ තරුණියක් වූ ඇය කිසි විටෙක ඇය ගැන සිතුවේ නැත..මා තරුණ වයසට එන විට ඇය මා මත්තේම ගෙදරට නාකි වී හමාරය… මා විභාග පාස් කර තරුණයෙකු වී විශ්ව විද්යාලයට යන තෙක් මගේ හෙවනැල්ල උනේ ලොක්කී..ඒක මහ පුදුමාකාර ආදරයක්…
විශ්වවිද්යාලයෙන් නික්මී කොළඹ රස්සාවට එද්දී අම්මයි ලොක්කී ගෙදර තනි වුණා…තාත්තා ලෙඩ ඇදේම අන්තරා උනා..
රැකියාවට ගිය අලුත හමුවූ නීලා දැන් මාගේ බිරියයි.ඇය කොළඹ මධ්යම පාන්තික පවුලක අයෙකි.කොළඹ පදිංචි වීම හා රැකියාව නිසා මා ගම බලා ගියේ බොහෝ කලාතුරකිනි…ටිකෙන් ටික පවුල් බර වැඩිවී දරුවන් ලැබීමෙන් පසු ජීවිතය බොහෝ කාර්යබහුල වීම නිසා අවුරුදු කිහිපයකින් ගම බලා යන්නට නොහැකි විය.මේ කාලය වන විය අම්මාත් අන්තරා උනා.වැඩ ගොඩක හිර වෙලා හිටපු මං මලගෙදර දවසේ ගිහින් ආපහු එද්දී ලොක්කී මා බඳාගෙන අඩපු විදිය මැවි මැවි පේනවා..ඇය ඒ පාළු ගරා වැටුණු නිවසේ තනිකර මම කොළඹ ආවේ ඇයිදැයි මා නොදනිමි.පසුව ලොක්කීව කොළඹ ගෙදරට ගෙන්වා ගැනීමට සිතුවත් ඒ යෝජනාවට නීලා එකහෙලා විරුද්ධ වූවාය..
කෙමෙන් කාලය ගෙවී යන්නට විය.ලොක්කී බැලිමට වසර ගණනාවකින් එහි යාමට මට නොහැකි විය.එනමුදු ලොක්කී නිතරම මට ලියුම් කැබැල්ලක් එවීමට අමතක නොකළාය.මා පිළිතුරු ලිපි ලිව්වේද ඉදහිටයි.නමුත් ඈ කිසි අමනාපයක් නැතිව ” මල්ලී උඹ හොඳින්ද? ලියුම් කෑල්ලක් නැති නිසා හිතය බයයි.නීලා හා දරුවෝ සුවෙන්ද?” යනුවෙන් විමසා මට ලිව්වාය..
එදා නිවාඩු දිනයක් වූ බැවින් ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඇලවූයේ පසුගිය කාලයේ ලොක්කී එවූ ලිවුම් කඩදහි දිහ හැර බැලීමේ අටියෙනි.ගමෙන් ආ ලිවුම් තුනකි.මාසයකට පෙර සිය ගමෙන් ආ ලිවුම් විවර කරන්නටවත් වෙලාවක් ලැබූණේ නැත…
ලොක්කී මාර්තු මාසයේ එවූ ලිපියේ ” මල්ලියේ, උඹව දකින්න නැතුව මට හරි වේදනයි.පොඩි උන් ඇස් දෙකට දැක ගන්න ආසයි.හැකිනම් සිංහල අවුරුද්දට ගම ඇවිත් යන්න…තෙරුවන් සරණයි..” සිංහල අවුරුදු පහුවී දින දහයකුත් ගෙවී ගොස් ය.
“ඒ කොහොම උනත් අවුරුද්දට අපි ගෙදර හිටියේ නෑනේ.නීලගේ ගෙදර අය එක්ක අනුරාධපුර ගියානේ…” අනෙක් ලිපිය දිග හරිමින් මම මටම කියා ගත්තෙමි..
” පියල් අයියේ… ලොකු අක්කා අසනීපෙන්.දැන් සතියක වෙලේ ඉදන් ඇඳේ…පියල් අයියා ගැනමයි දොඩවන්නේ.ඇවිත් අක්කා බලලා යන්න”
මොහොතකට හිත කලබල විය…මේ ලිවුම කියවන විට ලිවුම ලැබී දින විස්සක් ගත වී හමාරය.ඒ ලිව්ම එවා තිබුණේ කමලාය.. ගමේ දුරින් නෑවෙන අයෙකි.
මම මීළඟ ලිපිය දිග හැරියෙමි…
” ලොකු අක්කා අන්ත්රා උනා..මරණේ වැඩ අපි පුලුවන් තරමින් කරා..අයියා එයි කියලා අක්කා අවුරුද්දට මඟ බලන් උන්නා… මරණාසන්න මොහොතේ වචන ටිකක් අමාරුවෙන් ගැට ගහලා ” පියල් මගේ දරුවා…කුසෙන් වැදුවේ නැති උනාට ඌ මගේ දරුවා..” යැයි කීවා… .
මගේ ගැහෙන දෑතේ වූ ඒ වචන ටික කියවා ගත්තෙමි.උගුර වියළී යන්නට විය.. පපුව දෙබෑ කරමින් ඒ හී පහර පපුව තුළට කිඳා බැස්සේය.. පපුව මැද මහ වේදනාවක් එක්ක මගේ හෘද සාක්ෂිය මා ඇමතීය…
” ගුණමකුවා…කෙළෙහි ගුණ නොදන්නා උඹේ ඔය කිඹුල් කඳුළු පිහද ගනින්.. ඒ අසරණී උඹ වෙනුවෙන්ම කඹුරා අවසානයේ දිය පොදක් දෙන්නට කෙනෙක් නැතිව මියැදුණා…හැබැයි ඒකී උඹට කවදාවත් වෛර නොකරයි.ඒත් උඹට කිසි දිනෙක උඹේ හෘද සාක්ෂියෙන් සමාවක් ලැබෙන්නේ නෑ”