..ලොකූ….. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“මල්ලීයේ ඉක්මනින් ගමේ වරෙන්.ලොකූට අමාරුයි “
බෝඩිමට ආපු සැනකින් මගෙ අතට හම්බ උන ටෙලිග්රෑම් එකේ ඒ විදිහට සටහන් වෙලා තිබ්බා..ඒක එවලා තිබ්බේ පොඩි අක්කා..ලොකුට අමාරුයි කියලා තිබ්බ ඒ වචන ටික දැක්කාම මගෙ හිත මොකක්දෝ මහ අමුතු හැඟීමකින් වැහිලා ගියා..ඒක දුකක්ද බයක්ද කියලා තෝරන්න තරම් මේ වෙලාවේ මගෙ මනස නිරවුල් නෑ.
මම පොඩි බෑග් එකට අතට අහු උන ඇඳුම් කෑලි දෙකක් තුනක් දාගෙන එහෙම්මම දොර ලොක් කරලා පාරට බැස්සේ ගමේ යන්න හිතාගෙන.මම මේ ගමට යන්නේ හරියටම අවුරුද්දකට පස්සේ.ලොකූ එක්ක ඇති කර ගත්ත හිත් අමනාපයෙන් පස්සේ මම ගමේ ගියේම නෑ.
ලොකූ..ලොකු කියන්නේ අපේ පවුලේ ඉන්න ප්රධානම චරිතයක්.ලොකු අක්කා…මගෙ පවුලේ හිටියේ ලොකු අක්කායි පොඩි අක්කායි මායි විතරයි.මගෙ අම්මා මම පුංචි කාලේම පිලිකා රෝගයෙන් මිය ගියා ..ඊට මාස කීපයකට පස්සේ තාත්තා අංශබාග රෝගීයෙක් බවට පත් උනා.
අම්මාගෙ වියෝවයෙන් පස්සේ අපේ මුලු පවුලෙම බර කරට ගත්තේ ලොකූ..අම්මා නැති උනේ ලොකූ සාමාන්ය පෙළ කරලා ප්රතිඵල එනකන් ගෙදර ඉන්න කාලේ.එතකොට මට වයස අවුරුදු පහක් විතර ඇති.පොඩි අක්කා ලොකූට වඩා අවුරුද්දක් බාලයි.
අම්මාගෙ වියෝවයෙන් පස්සේ මගෙ සියලුම වැඩ කලේ ලොකු අක්කා.ඒ වගේම තාත්තාටත් සාත්තු සප්පායම් කරගෙන ගෙදර දොරේ වැඩත් කලා.ඒ නිසාම හැමෝම ලොකු අක්කාට ආමන්ත්රණය කලේ “ලොකූ” කියලා.
ලොකු අක්කා සාමාන්ය පෙළ විභාගය ඉහළින්ම සමත් උනත් ගෙදර ආර්ථික අපහසුතා හා පොඩි අක්කාගෙ හා මාගෙ වියදම් නිසා ලොකු නැවත පාසල් ගියේ නෑ.ලොකූ පාසල් ගමනට තිත තිබ්බා..ගෙදර වැඩ කරට ගත්තා.ලොකූ ගමේ තිබ්බ පොඩි ගාමන්ට් එකක වැඩට ගියා.
ඒ වැඩට ගිහින් ඇවිත් ලොකූ තාත්තාගෙ වැඩ වගේම ගෙදර තිබ්බ සියලුම වැඩ කලා.කවදාවත් ලොකූ ගෙදර වැඩ කරන්න බෑ කියලා කෙඳිරි ගෑවේ නෑ.හැමදේම පිලිවෙලට පිරිසිදුවට කරන්න ලොකූ හරි දක්ෂයි.පොඩි අක්කා නම් ටිකක් වෙනස්.පොඩි අක්කා කවදාවත් කුස්සිය පැත්තේ ගියේ නෑ.
පොඩි අක්කාගෙ වැඩත් කලේ ලොකූ.ලොකූ ඒ කිසිම දෙයක් බෑ නොකියා හරිම සතුටින් කලා.පොඩි අක්කාට වඩා මම ලොකූට සමීපයි.ලොකූත් එහෙමයි….ලොකූ මට හරිම ආදරෙයි.ඒ ගෙදර හිටපු එකම පිරිමි දරුවා මං නිසා.
ලොකූ මට අක්කා කෙනෙක්ට වඩා අම්මා කෙනෙක් වගෙ..ලොකූ වැඩ කරපු හැම සතයම වියදම් කලේ මගෙ ඉගනීමටයි පොඩි අක්කාටයි.පොඩි අක්කා උසස් පෙළින් පාසල් ගමන නතර කලා.ඒ එක්කම ගමේ සිරිසෝම එක්ක පෙම් පලහිලව්වක් පටන් ගත්තා.සිරිසෝම අයියා නරක නෑ.
ගමේ අනික් අයට වඩා සිරිසෝම අයියාට යමක් කමක් තිබ්බා.ඒ නිසාම තාත්තා පොඩි අක්කාගෙ කටයුත්ත ඉක්මන් කලා.ලොකු දෑවැද්දක් දෙන්න පුලුවන් කමක් අපිට තිබ්බේ නැති නිසා පොඩි අක්කා රණ්ඩු කලා මඟුල ජයටම කරන්න ඕන කියලා.
ඒ හැමදේටම වියදම් කලේ ලොකූ.ලොකූ රෑ වෙනකන් ගාමන්ට් එකේ මැශිම පාගලා හම්බ කරපු සල්ලී වලින් පොඩි අක්කගෙ කටයුත්ත ජයටම කරලා දුන්නා.
විවාහයෙන් පස්සේ පොඩි අක්කා ආයෙමත් ගෙදර ආවේ තාත්තාගෙ මලගමට.යමක් කමක් තිබ්බා උනත් තාත්තාගෙ මලගමට පොඩි අක්කා සතයක්වත් වියදම් කලේ නෑ.ඒ හැම කටයුත්තක්ම කලෙත් ලොකූ.තාත්තාගෙ මරණයෙන් ටික කාලයකට පස්සේ උස්ස පෙළ ඉහලින්ම සමත් උන මම වෛද්ය විද්යාලයට තේරුනා.
එදා ලොකූගෙ ඇස්වල තිබ්බේ වචන වලින් කියල නිම කරන්න බැරි සතුටක්.ලොකූට ඕන උනේ මාව දොස්තර මහත්තයෙක් කරන්න..ලොකූ මහන්සි නොබලා වැඩ කරලා මගෙ අධ්යාපන කටයුතු වලට වියදම් කලා.මං නිසාම ලොකූට කසාදයක් කර ගන්න ලැබුනේ නෑ.ලොකූගෙ වයසත් ගියා නොදැනීම.
********************
බස් එකෙන් බැහැපු මම ගුරුපාර දිගේ කලුවරේම ඇවිදගෙන ආවේ ලොකූ ගැනම හිතමින්.ඒත් එක්කම මම කල්පනා ලෝකෙන් මිදුනේ ගෙදර යන පාරේ සුදු කොඩි දාලා තිබ්බ ඒ දසුන දැක්ක නිසා.මට හිතා ගන්න බැරි උනා ඒ ඇයි කියලා.මම පය ඉක්මන් කරලා ගේ ලඟටම ලං වෙනකොට මම දැක්කා ගේ මිදුලේ සෙනඟ පිරිලා ඉන්නවා.
මගෙ කකුල් දෙක මොහොතකට ගල් ගැහුනා වගෙ හැඟීමක් මට දැනුනා.මගෙ අතේ තිබ්බ් බෑගය එහෙම්මම බිම වැටුනා..මම පිස්සෙක් වගෙ ගෙට දුවගෙන ගියා.දෙයියනේ ලොකූ..ලොකූ මට නොකියාම රහසේම ගිහින්..ඔව්…..ලොකූ සදහටම ගිහින්.වෙනදාට ගෙට ගොඩ වෙද්දීම මල්ලීයේ උබට කිරි තේ එකක් ගෙන්නද කියලා අහන ලොකූ අද නිහඬයි.ඔව්..නිහඬයි.
” අනේ…ලොකූ..”
මම අඬාගෙන ලොකූගෙ මිනිය බදා ගත්තා..වෙනදා වගේමයි දෙයියනේ.ලොකූගෙ වෙනසක් නෑ..වෙනසකට තිබ්බේ වෙනදාට ගැහෙන ඒ පපුව අද නැවතිලා තියන එකයි.මට ඒ දුක නම් කොහොමත්ම දරාගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.මම මහ හයියෙන් අඬන්න පටන් ගත්තා.
********************
ලොකු ගියා..සදහටම අපිව දාලා ගියා.ලොකූගෙ ආදරයෙන් පිරිලා තිබ්බ මේ ගේ අද මොකක්දෝ අමුතුම මූසල කමකින් පිරිලා තියනවා.මට දැනුනේ ලොකු හිස් බවක්.මගෙ ජිවිතයම හිස් උනා වගෙ හැඟීමක් මට දැනුනා.ලොකූ නැති උන හේතුවවත් මම දන්නේ නෑ.ගමේ අය තැන තැන කුටු කුටු ගානවා මට ඇහුනා ලොකූට ලෙඩක් තිබ්බා කියලා.ඒත් මම ඒ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ..ඒ ගැන දැන ගන්න මම ගමේ ආවේත් නෑනේ.
මම ලොකූගෙ කාමරයට ඇතුල් උනේ තේමිස් මාමට ලොකු මට දෙන්න කියලා දිපු ලියමන කියවන්න හිතාගෙන.
ලොකූගෙ කාමරයේ තාමත් ලොකූගෙ ඒ සුවඳ දැනෙනවා.මගෙ ඇස් නැවත කඳුලින් තෙත් උනේ ලොකූ නෑ කියලා හිත පිලිගත්තේ නැති නිසා.ලොකූ සාරියක් ඇදලා ගත්තු ෆොටෝ එකක් රාමු කරලා ලොකූගෙ මේසය උඩ තිබ්බා.ඒ ෆොටෝ එක ගත්තේ මම කැම්පස් තේරුන දවසේ.මාත් එක්කම කැම්පස් එකට මාව බාර දෙන්න ආවේ ලොකූ.
එහෙම කරපු ලොකූට මගෙ අතින් ලොකු වරදක් උනා.මාව අම්මා කෙනෙක් වගෙ ආදරයෙන් බලාගත්ත ලොකූ ගැන මම හිතුවේ වැරදියට.පොඩි අක්කාගෙ තමයි මට කිව්වේ ලොකූ කඩේ මුදලාලි සිරිමෙවන් එක්ක සම්බන්දයක් තියනවා කියලා.ඒක දැන ගත්ත මට ඇති උනේ ලොකූ එක්ක පුදුමාකාර කේන්තියක්.
මම ඒක ආරංචි වෙච්ච සැනින් ගමට ඇවිත් ලොකූ එක්ක රණ්ඩු උනා.ඒත් ලොකූ මට වචනයක්වත් කිව්වේ නෑ..ඒක ඇත්තක්ද බොරුවක්ද කියලාවත් මට ලොකූ කිව්වේ නෑ.එදා රණ්ඩු වෙලා ගෙදර ඉදන් බෝඩිමට ආපු මම ලොකූට ලියුම් කඩදහියක්වත් එව්වේ නෑ.
ලොකූ නම් නිතර නිතර මට ලියුම් එව්වා.ඒත් මම ඒවා කියවන්නේම නැතුව කුණු කූඩෙට දැම්මා..මම එදායින් පස්සේ ගමට ආවේ නෑ.මම තව ටික දවසකින් කොළඹ ජාතික රෝහලේ වෛද්යවරයෙක් විදිහට වැඩ බාර ගන්නවා.මම ඒ දේවල්වත් ලොකූට කිව්වේ නෑ.
ඒ මගෙන් උන වැරදි මතක් වෙනකොට මට දැන් දැනෙන්නේ පුදුමාකාර දුකක් වේදනාවක්.මගේ අතින් ලොකූට වරදක් උනා.ඔව්.ලොකු වරදක් උනා.
මම දිග සුසුමක් පිට කරලා ලොකූ මට දෙන්න කියලා දුන්න ලියමන දිග ඇරියා.
මගේම ආදරණීය චූටි මල්ලී වෙත.
මල්ලීයේ.උබ මා එක්ක තරහ බව මම දන්නවා..උබගෙ තරහා සාධාරණ ඇති මල්ලීයේ.උබ වෙනුවෙන් මේ ගේ වෙනුවෙන් කැප කරපු මගෙ ජීවිතයට ආදරයක් ලැබුනේ නෑ මල්ලීයේ.උබ නොදන්නවා උනාට මම ආදරය කරපු කෙනෙක් හිටියා.ඒත් මට උබව දාලා ඒ මනුස්සයා එක්ක දීග යන්න හිත හදා ගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ මල්ලීයේ…අම්මා නැති උන දවසේ ඉදන් උබට අම්මා උන මට උබව දාලා යන්න බෑ මල්ලීයේ.
උබ දන්නවාද මල්ලීයේ.උබ විශ්ව විද්යාලයට තේරුන දවසේ මම කොච්චර සතුටු උනාද කියලා.මම ආඩම්බර උනා උබ දොස්තර මහත්තයෙක් වෙන්න යන නිසා..මම ගමේ ඇවිත් මහ උජාරුවෙන් දොස්තර මහත්තයා ගැන කතා කලේ මල්ලීයේ.ම්.තාත්තා නැති උනා කියලා අම්මා නැති උනා කියලා මම උබවයි පොඩීවයි අත ඇරියේ නැ මල්ලීයේ…ඒත් පොඩීට වඩා මම උබට ආදරෙයි.
මම උබට උගන්නනවා කියලා හිතේ ලොකු අධිෂ්ඨානයක් ඇති කර ගත්තත් මට උබට උගන්නන්න ලොකු සල්ලීයක් හොයා ගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ මල්ලීයේ..මගෙ කොන්දේ කැක්කුම නිසා මට ඉස්සර තරම් මැශීම පාගන්න හයියයක් තිබ්බේ නෑ.ඒ උනත් මට උබේ හීන කඩලා බිමට දාන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.
අපේ හත්මුතු පරම්පරාවේ කවුරුත් දොස්තර මහත්තයෙක් වෙලා නෑ.ඒ නිසා මට ඕන උනා උබව කොහොම හරි දොස්තර මහත්තයෙක් කරන්න.උබ දන්නවාද මගෙ මල්ලීයේ.උබේ ඉගනීමට සල්ලී ඉල්ලන්නයි මම මුදලාලි ලඟට ගියේ.ඒත් ඌ නිකන් මට සල්ලී දෙන්න කැමති උනේ නෑ මල්ලීයේ.මට සල්ලී ඕන නිසා මට සිද්ද උනා මල්ලීයේ ඌ එක්ක ඇඳට නඟින්න.ඔව් මල්ලීයේ.මට සමාවෙයන් රත්තරන් මල්ලීයේ.
මම වරදක් කලා මල්ලීයේ.උබේ හීන නැති කරලා දාන්න බැරි නිසයි මල්ලීයේ මම එහෙම කලේ.ඊට ටික කාලෙකට පස්සේ තමයි මම දැන ගත්තේ මටත් අම්මාට වගේම පිලිකාවක් හැදිලා කියලා මල්ලීයේ.ඒත් මට ඒකට බෙහෙත් කරන්න ඕන කමක් තිබ්බේ නෑ.මේ කාලකණ්ණි ජිවිතයෙන් මට යන්නයි ඕන උනේ මල්ලීයේ.
මම උබටවත් පොඩීටවත් ඒ ගැන දැන්නුවේ නැත්තේ ඒකයි.මගෙ එකම බලාපොරොත්තුව උනේ උබව දොස්තර මහත්තයෙක් කරන එකයි මල්ලීයේ.මම දන්නවා උබ මා එක්ක තියන තරහට මට නොකිව්වට උබ දැන් දොස්තර මහත්තයෙක් කියලා මල්ලීයේ.ඒ ඇති මල්ලීයේ මට සැනසීමේ ඇස් දෙක පියා ගන්න..මේ ලියමන උබේ අතට ලැබෙද්දී මම ජීවතුන් අතර නැති වෙයි මල්ලීයේ.
උබ දුක් වෙන්න එපා මල්ලීයේ.මේ අක්කා මැරෙන්නේ දුකින් නෙමෙයි සතුටින්.ඒ මගේ මල්ලී දොස්තර මහත්තයෙක් නිසා.උබ මම ගැන දුක් වෙන්න එපා මල්ලීයේ.උබට දළදා සමිදු පිහිටයි.හැමදාම මම උබ ලගින්ම ඉන්නවා මල්ලීයේ.
මීට,
උබේ ආදරණීය
අක්කා.
” අනේ අක්කේ…”
මම ලියමන කියවලා ඉවර වෙලා අක්කාගෙ ෆොටෝ එක බදාගෙන මහ හයියෙන් අඬන්න පටන් ගත්තා.දෙයියනේ මං නිසා මගෙ අක්කා මිනිහෙක්ගෙ ගොදුරක් වෙලා.මට හිතා ගන්න බෑ මගෙ අක්කා මං වෙනුවෙන් මේ තරම් දේවල් කලේ ඇයි කියලා.
මට කිව්වා නම් ලොකූ මේ ගැන අදටත් ලොකූ ජීවත් වෙනවා.මගෙ අතින් මගෙ අක්කාට ලොකු වරදක් උනා දෙයියනේ.
” අනේ ලොකූ..උබ ඇයි නිකන්වත් මට මේ ගැන කිව්වේ නැත්තේ ලොකූ.උබ මගෙ අක්කා නෙමෙයි ලොකූ උබ මගෙ අම්ම..මං නිසායි උබේ ජිවිතේට මෙහෙම උනේ ලොකූ..මට සමාවෙයන් ලොකූ…..මට සමාවෙයන්.අම්මා කෙනෙක් වගෙ හිටපු උබ ගැන මම වැරදියට හිතුවා ලොකූ..මට සමාවෙයන් මගෙ රත්තරන් අක්කේ..උපදින හැම ආත්මයකම උබ මගේම රත්තරන් අම්මා වෙලා ඉපදියන් මගෙ අක්කේ.
මම ලොකූගෙ ෆොටෝ එක බදාගෙන කොච්චර වෙලා ඇඬුවද කියලා මටම මතක නෑ.ඒ කොහොම උනත් ලොකූ ආයෙමත් එන්නේ නෑ.මට ලොකු දුකක් දීලා ලොකූ යන්න ගියා.මට සමාවෙයන් මගෙ අක්කේ.ලොකූගෙන් සමාව ඉල්ලනවා හැර මට වෙන කරන්න දෙයක් නෑ.ඉපදෙන හැම ආත්මයකම ලොකූ මගේ අම්මා වෙලා ඉපදේවා කියලා මම හිතින් ප්රාර්ථනා කලා.
**නිමි**
……………………………………………………………..
️ ගැහැනිය නිහඬව කරන කැපවීම කිසිවෙකුටත් නොපෙනේ…ගැහැනිය හොඳ දෙයක් කරන්නෙත් නරක දෙයක් කරන්නෙත් පවුලේ අය ගැන සිතායි..එම නිසා ගැහැනියට ඒ අවශ්ය වටිනාකම ජීවත් වෙලා සිටියදී දෙන්න.පියවුන ඇසට හඬා පලක් නැත.ඇරුන ඇසට නැති මිනිසුන්.
තමන්ගෙ ආදරණීයන් ගැන ජීවත්ව සිටියදී ආදරයෙන් සොයා බැලීමට අමතක කරන්න එපා.
උපුටා ගැනීම:  අමාලි සෙල්වකුමාර්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!