කිරියම්මා කතාකරන සද්දය ඇහිල මට ඇහුරුනා. ඇස් ඇරල බැලුවම මගෙ ලඟ නිදාගෙන හිටිය තාත්තා නැහැ. කිරියම්මයි අම්මයි පිලේ ඉන්නෙ කියල කොට්ටෙන් ඔලුව උලස්සල ඇහුම් කං දෙද්දි මට වැටහුනා. අම්මා අමාරුවෙන් මොනවදෝ කිරියම්මට කියනවා
“මට බෑ අම්මේ වේදනාව දරාගන්න බෑ.. “
මේ ලෝකෙට ඇවිත් අවුරුදු පහක්වත් නැති මට
“වේදනාව” කියන වචනය අමුතු එකක්. “රිදෙනවා” කියන එක පුංචි මම දැනගෙන හිටියට වේදනාව කියන වචනයේ අර්ථයයි රිදෙනවා කියන වචනයේ අර්ථයයි හුගාක් සමානයි කියල මම හිතුවෙ නැහැ. මම හිමීට තාත්තගෙ සීයාගෙන් ලැබුනු කරුවල ලී වියන් ඇදෙන් බැහැල අඩවල් කර තිබුනු අපේ ගෙදර එකම දොරෙන් එලියට ආවා. සිමෙන්ති පිලේ බිම පැදුරක් දාගෙන අම්ම කෙදිරි ගගා පැත්ත වැටිලා හිටියා. කිරියම්මයි හකුරු මුදලාලිගෙ නැන්දයි අම්මගෙ කොණ්ද උණු තුවායකින් තවනවා.
” ඉක්මනට වාහනේ එයි. තවටිකක් ඉවසගෙන ඉදපංකො”
කිරියම්මා කරුණාවන්ත ස්වරයකින් කිව්වෙ අම්මගෙ ඔලුව අතගාන ගමන්. බිත්ති කණ්ද උඩ බූමිතෙල් ලාම්පුවයි කිරියම්මා කුස්සියෙන් ගෙනාපු ලාම්පුවයි තරගෙට වගේ අපේ පිලට එලිය දුන්නා. අල්ලපු වත්තෙ හකුරු මුදලාලිගෙ නැන්දත් මේ මහරෑ ඇවිත් ඉන්නෙ අම්මට හොදටම අමාරු හින්ද කියල මට තේරුනා.
“මහත්තය තාම නැහැනෙ ලොකු නෝනා” පොල්වත්ත මැද්දෙ වැලිපාර පැත්තට හැරිල හකුරු මුදලාලිගෙ නැන්ද කිව්වෙ කිරියම්මගෙන් ප්‍රශ්නයක් අහන විදියට.
“ඇන්ටනි මහත්තයගෙ කාරෙක ඉල්ලං එන්න කියල ගියෙ. දැන්නම් එන්න වෙලාව හරි” කිරියම්මා උණු වතුර බේසමට තුවාය දමන ගමන් කිව්වා. ටිකකින් තාත්තා හිඳකටුවෙ ඇන්ටනි මහත්තයගේ කාරෙකේ වේගෙන් ඇවිත් අම්මවත් පටෝගෙන මගෙ නළල ඉඹල යන්න ගියා.
එදා රෑ තාත්තා ඒ කාරෙකේ අම්මව බිංගිරියෙ ඉස්පිරිතාලෙට ගෙනිහින් ඇරලුවා. මම කිරියම්මට තුරුල්වෙලා පිලේ බිත්ති කණ්දෙ උඩ වාඩි වෙලා උන්නෙ මේ පාන්දර සිද්ධවන දේ ගැන යම් අවබෝධයක් ඇතිව.
“අම්ම මල්ලියෙක් ගේනවටද නංගියෙක් ගේනවටද කැමති?” කිරියම්මා හිනාවෙලා මගෙ මගෙ මූණ දිහා බලල ඇහුවා. මම කිව්වෙ “නංගියෙක්” කියල. මගෙ උපං වෙලාව තියෙනවාලු මල්ලියෙකුට හොදනැහැ නංගියෙක් මං ගාවට ඉපදුනේ නැත්තං කියල. කිරියම්මයි අම්මයි ඒ ගැන කුස්සියේ උයන කොට කීප සැරයක්ම කතා කරද්දි මම අහගෙන හිටියා. ඒත් මට ඇත්තටම ඕන මල්ලියෙක්ව.
මේ අපේ තාත්තා අලුතෙන් පොල්වත්ත අරගෙන ඒ වත්ත මැද්දෙ පදිංචිවෙන්න හදාගත්තු පොල්අතු සෙවෙළිකල නිවස. මේ නිවස සාමාන්‍ය ගෙයක් තරම් උසයි. වහලය පල හතරකට ගහල බිත්ති හතරමත් වියාපු පොල් අතු වලින්ම අහුරලා. මේ ගෙට තිබුනෙ එක දොරයි. ගෙදරටම එක කාමරයයි. ඇත්තටම කොටස් දෙකයි කිව්වොත් තමයි නිවැරදි. මොකද ඉස්සරහා කොටසට අම්මයි තාත්තයි කිව්වෙ පිල කියල. ඉස්තෝප්පුවක් කියන්න මොකක්ද වගේ හිතෙන්න ඇති තාත්තගෙ මහගෙදරට සමකරල බලද්දි. පිල වටේට සිමෙන්ති බිත්තියක් තාත්තගෙ ඉනේ උසට වගේ. ඉස්සරහිනුයි දකුණු අත පැත්තෙනුයි ඇතුලු වෙන්න තැන්දෙකක්. කුස්සිය තිබුනෙ දකුණු අත පැත්තෙ. මැටි ගහල වටේට කැලෙන් කපපු කෝටු වලින් බිත්තිය විදියට බැඳලා. මට මතකයි ඒ දෙන්නා එකාවගේ මහන්සිවුනා දියුණුවෙන්න.
මමයි තාත්තයි පහුවදා උදේ ඉස්පිරිතාලෙට ගියා අම්මවයි අපේ පවුලෙ අලුත් සාමාජිකයවයි බලන්න. අම්මාගෙ
මූණෙ වෙහෙසක් තිබුනට අපිව දැක්කම හුගාක් සතුටින් හිනාවුනා. තාත්තා මාව උස්සල අම්මගෙ අතේ හිටිය ඒ චූටිම චූටි බබාව පෙන්නුවා. මම පලුවන් තරම් ඉස්සරහට නැවිලා එයා දිහා බැලුවා.
” පුතේ මේ චූටි මල්ලියෙක් “
අම්මා මල්ලිවත් අරං ගෙදර ආවම වටේම අය වරින් වර තෑගි අරං එයාව බලන්න ආවා. නිල්පාට පෙට්ටි වල එයාට ගාන්න පියරුද ඕඩිකොලෝන්ද මේසෙ උඩ ගොඩ ගැහුනා. කිරියම්මා මේ තෑගි සේරම කාමරේ මේසෙ උඩ පිලිවෙලට තිබ්බා.
” ලමයා ලොකුයි නේද? ” ආපු හුඟඅය ඇහුවා.
අම්මා එතකොට හරිම ආඩම්බරෙන් එයාලට එක සිද්ධියක් ගැනම කිව්වා .
“මම ලමයට කිරිදීලා ඇඳෙන් තියල හැරෙද්දිම මේ ලමයා ඉස්පිරිතාලෙ කොට්ටෙ ඇඳෙන් වැටෙන්නම පයින් ගැහුවා. ඇටෙන්ඩන් නොනා කිව්වෙ තවටික වෙලාවකින් කොල්ලා වාට්ටුව වටේ දුවයි කියල.”
මම හිටියෙම මල්ලි ගාවම. මට එයා මගේ මල්ලි කියන බැඳීම මහා ලොකුවට දැණුනා. මම එයාව අතගාද්දි එයා මගෙ දිහා බැලුවා. එයාගෙ කිරි සුවඳ මට දැනුනා. මම එයාව හැමවෙලේම ඉම්බා.
ටික දවසක් යද්දි මල්ලි කිරිවමනෙ දාන්න ගත්තා. අම්මා කිරිදීල ටිකකින් මගෙ මල්ලියා නිල් පාට වෙන්න ගත්තා. මේක කීප දවසක්ම සිද්දවුනා. මුලින් හිතුවෙ ලොකු දෙයක් නෙවෙයි කියල. ඒත් මේක දිගටම වුනා. දවසක් මල්ලි කැහැල කැහැල කිරි වමනෙ දාද්දි අම්මට කරන්න දෙයක් නැතිව ඇඬුවා.
ගමේ නැන්ද කෙනෙක් කිව්වා මල්පැලක් හදලා හැමදාම හැන්දෑවට පහනක් පත්තු කරන්න කියල. තාත්තා ගොක් අත්තක් කපලා දුන්නම කිරියම්මා මල්පැලක් වියුවා. ඒක ගිනිසීරියා ලී තුනක් හිටවලා ඒ මත තියලා හැන්දෑවෙ අම්මයි කිරියම්මයි පහනක් තිබ්බා. පොල්වත්තට අඳුර වැටිලා හිමින් හිමින් රෑවෙද්දි අපි කුප්පි ලාම්පු එලියෙන් පිලේ එකතුවෙලා රෑට කෑම කෑවා. පත්තුකරපු පහනේ පිහිටක් ලැබිලා කියල වගේ අම්මාගෙ මූනෙ බර අඩුවෙලා තිබුනා. ඒත් රෑ වෙද්දි ඒ මල්පැල ගිනිගත්තා. පහුවදා තාත්තයි කිරියම්මයි ආයෙ පොල් අත්තක් කපල මල්පැලක් හැදුවා. ඒ අලුතින් හදපු මල් පැලටත් ඒ වගේම ගිනිගත්තා. මේ වෙද්දි මල්ලිට වයස සති දෙක්කක් වගේ. එයාව කීප සැරයක්ම බේත්ගෙන්න එක්කන් ගියත් නිල් පාට වීමයි කිරිවමනය දැමීමයි නැවතුනේ නැහැ. දවසක් මහ මූසළ රෑක අපේ පොල්වත්ත කෙරවලේ නරි රංචුවක් හූ කියන්න පටන් ගත්තා. ඒ එක්කම බල්ලෝ උඩුබිරුවා. අම්මා මල්ලිව තුරුලු කරං “මට මේ ලමයා ගැන මහා බයක් එනවා රංජි” කියල තාත්තට කියද්දි ඒ මූසල බය මටත් දැනුනා. තාත්තා එකපාරටම පුටුවෙන් නැගිටලා අල්මාරිය උඩ තිබුනු සීයගෙ තුවක්කුව අරං මිදුලට ගිහින් නරි හූ කියන පැත්තට වෙඩි තිබ්බා. හැම රෑකම ඒ නරි ආයෙ ආයෙ හූ කිව්වා. ඒ හැම සැරයකම බල්ලො මාහා මූසළ විදියට උඩුබිරුවා.
මල්ලිගෙ තොල් නිල්පාට වෙලා අමාරුවුනා. ඉස්පිරිතාලෙ කොට්ටෙට මල්ලි පයින් ගහල නැහැ. එයාට කිරි දුන්නම පපුවට දැණුන වේදනාවට එයා දරදඬු වෙද්දි කකුල වැදිලා. තවත් බලං ඉන්න බැරිව දවස් දහනවයෙදි අම්මයි තාත්තයි එයාව කුරුණෑගල මහ ඉස්පිරිතාලෙට එක්කගෙන ගියා. තාත්තගෙ ලොකු අක්කා ඒ ඉස්පිරිතාලෙ තැනක් තියෙන නර්ස් කෙනෙක් . දොස්තරලා මල්ලිව x ray කරල හොයාගත්තෙ එයාගෙ ගලනාලෙයි ස්වාසනාලෙයි අතර හිලක් කියල. තව දවස් දෙකක් අම්මයි මල්ලියි ඉස්පිරිතාලෙ හිටියා. මල්ලිව තව පරීක්ෂණයකට ගන්න කියල ඩයි එකක් පපුවට දාන්න පුරුදු වෙන නර්ස් කෙනෙක් මල්ලිගෙ නහයෙන් බටයක් දාලා. එවෙලෙ මගෙ මල්ලි අසරණ වෙලා හොදටම ඇඬුවලු . ඒ බටේ වැරදියට එයාගෙ පෙනහල්ලටලු ගිහින් තිබුනෙ . ඩයි එකත් ඇතුලට යවල නර්ස් ගියාම මල්ලි හුස්ම අල්ල අල්ල ඇඩුවෙ අම්මගෙන් උදව් ඉල්ලනවා වගේලු. අම්මා කෑගහ ගහ කිව්වලු මගෙ පුතාට මොකක් හරි වෙනවා කියල. ඒත් කවුරුත් ඒ අඳෝනාව ගනන් අරං නැහැ. මගෙ මල්ලි, මංජුල රනිල් පෙරේරා ඒ අත්වැරැද්ද නිසා එයාගෙ කෙටි ජීවිතයේ විසි එක්වෙනි දවසේ අපෙන් සමුගත්තා.
මල්ලි ආයෙ ගෙදර ආවෙ නැහැ. අවසන් කටයුතු කලේ නැන්දගෙ වැහැර නිවසෙ. අම්මා මල්ලිගෙ චූටි පෙට්ටය ලඟ බිම ඉඳගෙන අඬනවා මට මතකයි. කුරුණෑගල කනත්තක භූමදානය කරලා මල්ලිව හිතේ දරාගෙන තාත්තායි මමයි අම්මයි පොල්අතු ගෙදරට ආවා.
ඊට පස්සේ “වේදනාව” කියන වචනය අම්මගෙ කටින් හැමවෙලේම වගේ කියවුනා. මල්ලි ඉපදුනු දවස්වලම සේන අයියාගෙ අක්කටත් පුතෙක් ඉපදුනා. අම්මා මල්ලිට ලැබුනු ඒ තෑගි බඩු සේරම සේනයියගෙ අක්කට දුන්නෙ එයාට නැතිවුනු පුතාව සිහිකරමින් කියල ඒ කම්මුල් දිගේ පෙරුණු කඳුළු වල තිබුනා. කාලයක් යනතුරු ඒ ලමයා පාරෙ යද්දි අම්මා සුසුමක් හෙලුවා
” නැතිවුනු ලමයා හිටියනම් දැං මේ තරම්නෙ”
මල්ලි! මට ඔයාව තාම මතක්වෙනවා
උපුටා ගැනීම : Mahie Ranga Perera