“සල්ලි… ඔයා ලොකු සල්ලියක් කියලා හිතන්නේ කීයක් විතරද?”
එකපාරක් තමන්ගෙන් ප්රශ්න අහන්න ආපු මාධ්යවේදියෙකුගෙන් සුප්රසිද්ධ ගායක බොබ් මාලේ අහපු ප්රශ්නයක් තමයි මේ. මාධ්යවේදියා ඇහුවේ “සංගීතයෙන් ඔබ ලොකු සල්ලියක් හම්බකරන්න ඇති නේද?” කියලයි. මාලේ ඔහුගෙන් පෙරලා ඇහුවේ “ලොකු සල්ලියක් කියලා හිතන්නේ කීයක් විතරද?” කියලා.
රොබට් නෙස්ටා මාලේ (බොබ් මාලේගේ සම්පූර්ණ නම) නැත්නම් ‘බොබ් මාලේ’ කියන නම ගැන විස්තර කිරීම් අවශ්යයි කියලා මම හිතන්නෙ නෑ. ලංකාවේ ඇතැම් අයට අනුව ‘ගංජාකාරයෙක්’ වුනාට බොබ් මාලේ කියන්නේ වර්ණවත් ජීවන දර්ශනයක් තිබුණු බැබළෙන මනුස්සයෙක්.
මානව හිතවාදියෙකු හැටියට ඔහු නමක් දිනාගත්තේ රඟපාලා නෙමෙයි. අවංකවම ඔහු මානව හිතවාදියෙක් හැටියට ජීවත් වුනා. ඒක ඔහුගේ බිරිඳ, රීටා මාලේ විසින් රචිත “නෝ වුමන් නෝ ක්රයි” කියන පොතේ පවා පැහැදිළිව තියෙනවා. දරුවෙකුත් එක්ක අනාථ වුණු යොවුන් දැරියක හැටියට රීටාව හමුවුනායින් පස්සේ ඇය ගැන වපර ඇහින් නොබලා ඇයට හදවතින්ම ආදරය කරපු තරුණයා බොබ් කියලයි ඇය ඒකෙ ලියලා තියෙන්නේ.
“බොබ් මාලේ ඇන්ඩ් ද වේලර්ස්” කියන බොබ් මාලේගේ සංගීත කණ්ඩායමේ ඒ වෙනකොට හිටපු පීටර් ටොෂ් පවා රීටාව යහන්තලා කරගන්න උත්සාහ කරලා තිබුනත් ඇය බොබ්ගේ පැත්තට ඇදිලා යන්න හේතුවුනේ බොබ්ගේ මානව හිතවාදී ගුණය. ඔහුගේ ජීවිතයෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් දහස් ගානක් තිබුනත් මම නැවත අර මාතෘකා කරගත්තු සම්මුඛ සාකච්ඡාවට යනවා.
“ඔබ පොහොසත් කෙනෙක්ද?” මාධ්යවේදියා අහනවා.
“පොහොසත් කියන එකෙන් ඔයා අදහස් කරන්නෙ මොකක්ද?” බොබ් පෙරලා අහනවා.
“ඔයාට අයිති දේවල් ගොඩක් තියෙනවද? බැංකුවේ සල්ලි ගොඩක් තියෙනවද?” මාධ්යවේදියා ප්රශ්නය පැහැදිළි කරන ගමන් අහනවා. “පොහොසත්” කියන වචනය ඒ කාලෙදිත් (70 දශකයේ) මිනිසුන් විසින් පැහැදිළි කරගෙන තිබුනේ ‘සල්ලි ගොඩක් තියෙන, දේපල ගොඩක් තියෙන’ ආදී වශයෙන්. වර්තමානය ගැන කවර කතාද? දැන් සමහරුන්ට තරහත් යයි, “එහෙනම් මොන ඉලව්වක්ද යකෝ පොහොසත් කියන්නේ?” කියලා.
ඔව්, මේ වෙනකොට “පොහොසත්” කියන්නේ සල්ලි තියෙන එකට තමයි. සල්ලි නැතුවත් බෑ. ගිහි කෙනෙක්නම් සල්ලි ඕනමයි. නමුත් බුදුන් වහන්සේ විසින් පවා “ධනය” විස්තර කරලා තියෙන්නේ “සන්තුට්ඨි පරමං ධනං” හැටියට. එනම් “සතුට පරම ධනයයි” කියලා. පොහොසත් වෙන්න ඕන මනුෂ්ය ගුණ දහම් වලින්. ඒකට සල්ලිත් එකතු වුනාට කිසිම කරදරයක් නෑ.
වර්තමාන සමාජ ක්රමය ඇතුළේ තියෙන ගව පොරය දිහා දැක්කහම තේරෙනවා අපි හොයන්නේ සතුට නම් නෙමෙයි, බඩු භාණ්ඩමයි කියලා. අපි ළමයින්ට පවා උගන්නන්නේ, “ඉගෙනගනින්! නැත්නම් සල්ලි නෑ!” වගේ ඉතාම පටු දේවල්. එතැනදී මට මතක් වෙන්නේ තවත් සුප්රසිද්ධ ගායකයෙකු සහ වාදකයෙකු වුණු බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ජෝන් ලෙනන් ඉස්කෝලේ යන කාලේ, ඔහු ඔහුගේ ගුරුවරියකට දීපු දීප්තිමත් උත්තරයක්.
ගුරුවරිය පන්තියේ ළමයින්ගෙන් අහනවා,
“ජීවිතයේ කවදාහරි ඔයගොල්ලෝ ලබාගන්න කැමති මොනවද?” කියලා.
එතකොට බ්රිතාන්ය පාසලක් වුණු එහෙ ළමයින්ගේ උත්තරත් දැන් මෙහෙ ළමයින්ගේ උත්තර වලට සමානයි. ගොඩක් දෙනා “සල්ලි, කාරෙකක්, ලොකු ගෙයක්, හොඳ රස්සාවක්, ලස්සන බිරිඳක්” වගේ උත්තර දුන්නා. ඒත් ජෝන් ලෙනන් කියන දීප්තිමත් ශිෂ්යයා දීපු උත්තරය වෙනස්.
“සතුට”
කොන්ඩම් නෙමෙයි, ජෝන් ලෙනන් ජීවිතයේ කවදාහරි ලබාගන්න කැමති වුනේ “සතුට”. අපි කවදාහරි එහෙම හිතලා තියෙනවද? එහෙම හිතන අය නෑ කියලා නම් මට කියන්න බෑ. තවමත් මේ ලෝකෙ දීප්තිමත් මිනිස්සු ජීවත් වෙනවා. පන්ති වල පිටිපස්සේ ඩෙස් වල, බස් හෝල්ට් වල, ගම්වල, බෝක්කු උඩ ආදී ඕනෑම තැනකදී ඒ වගේ හොඳ මිනිස්සු හම්බවෙන්න පුළුවන්. ගොඩක් සල්ලිකාරයන්ට උදව් ඕන වුනහම ඔවුන්ට යන්න වෙන්නෙත් ඒ වගේ මිනිස්සු ගාවට.
ඒත් අපි කතාව පටන්ගත්තේ බොබ් මාලේ විසින් දීපු අමරණීය සම්මුඛ සාකච්ඡාවක් ගැන කියාගෙනනේ.
“”ඔයාට අයිති දේවල් ගොඩක් තියෙනවද? බැංකුවේ සල්ලි ගොඩක් තියෙනවද?” කියන දේට බොබ් මාලේ විසින් දීපු උත්තරේ තමයි…
“අයිති දේවල් ඔයාව පොහොසතෙක් කරනවද? මට ඒ වගේ පොහොසත්කමක් නෑ. මගේ පොහොසත්කම තමයි ජීවිතය.” කියන එක.
ඇත්තටම අපට අයිති දේවල් අපිව පොහොසතුන් කරනවද? ඒ ඔක්කොම නශ්ය වෙලා යන දේවල් නේද? ඉතින් ඒවා ගැනම විශ්වාසය තබලා අපට සතුටින් ඉන්න පුළුවන්ද?
ගොඩක් සල්ලිකාරයෝ ඉන්න ලෝකෙක මනෝ වෛද්යවරුන්ගේ අවශ්යතාවයත්, පන්සල් වල, දේවස්ථාන වල, කෝවිල් වල, පල්ලිවල අවශ්යතාවයත් වැඩිවෙන්නේ සල්ලි වලින් විතරක් සතුට තීරණය නොවෙන නිසා. ඒත් අනිවාර්යයෙන්ම සල්ලිත් ඕන. සල්ලිත් එක්කම සතුටත් ඕන. වැදගත්ම දේ සතුට. සල්ලි නැතත් සතුට තියෙනවනම් ඒ ඇති. හැබැයි සතුට නැතුව සල්ලි තිබුනා කියලා ඇති වැඩක් නෑ. ඒක තමයි සමීකරණය.
රචනය ඉවරකරන්නත් බොබ් මාලේ විසින් ප්රකාශිත වාක්ය ඛණ්ඩයක් යොදාගන්නම්.
“ඔබ තරග කිරීම අවසන් කරන දිනය, ඔබ විසින් තරගය ජයගන්නා දිනය වනු ඇත.”
උපුටා ගැනීම: අසංක හදිරම්පෑල.