අවංකවම සිනාවෙන්නේ කිරිදරුවන් පමණි. ටික කාලෙකට කලින් අහපු එකක්. මොකා කිව්වත් ඒක කිව්වත් පට්ටපල් බොරුවක්. උන් තරං සටකපට, කෛරාටික, අණ්ඩපාල ඩයල් ලොවෙත් නැත. බොරුවට අඬන්න, මංඤාවට හිනාවෙන්න, වාසියට හුරතල් වෙන්න දන්න උන් තවත් නැත. මේ තත්පරයේ කඳුලු පෙරෙන්නට අඬන එකාම ඊලඟ තත්පරයේ හක හක ගා හිනාවෙන්නේ කිසිම හැඟීමක් නැතිවය.
පොඩි උං අමුතුම ජීවීන් කොටසකි. උන්ට හැමදේම තේරෙන්නේ නොපිටටය. එපා කිව්වොත් කරයි. බෑ කිව්වොත් හා කියනකල් බෙරිහන්දෙයි. දෙයක් කරන්න කිව්වොත් කරන්නේම නැත. මේ ලඟදි දවසක අපේ එකා මිදුලේ තියෙන ගල් කැටයක් කන්න හදන බව දැක මා “හා හා ඕව කන්නෑ” කියා සද්දයක් දමා අතේ තිබුනු ගල් කැටය විසකර දමා පොඩ්ඩක් පැත්තකට වුනා පමණය. ආයිත් මං දිහා හොරෙන් බලමින් ගල් කැටයක් අතටගෙන කටේ ඔබා ගත්තාය. මං ලඟට ඇවිත් “ආ ගල්ද? කන්න කන්න බඩ පිරෙනව ඕවට.. කන්න කන්න” කිව්වා විතරයි කටේ ඇති ගල අරන් ඌම විසිකරදැමීය. උන්ට ඕන දිනන්නටය. කොහොම කලත් උන්ට ඕනදේ වෙනකල් ගේම අතාරින්නේද නැත. අනවශ්ය දෙයක් නොමැත.
සෙල්ලං කරන්නට කොයිතරං දේවල් තිබුනත් මදිය. එක දෙයක් පැය භාගයක් අතපත ගගා හිටියාම එපාවෙයි. හැබැයි කවදාවත් එපා නොවෙන ඒවා ඇත. ඒ අපේ බඩුය. ටීවී රිමෝටය, මගේ ෆෝන්නෙක, කා එකේ යතුර, මං තේ බොන වීදුරු කෝප්පය උගෙ ආසම බඩුය. ඒව පහළ මේසයක් මත දුටු විට උට යකා ආවේස වේ. කොහේ හිටියත් අපි හැරෙන්නත් කලින් දුවන් ඇවිත් ඒවා අතට ගෙන කන්න හදයි. ගන්නට කලින් ගොඩදාගත්තේ නැත්තං ආයි ගන්නවා බොරුය. ඒවා ආයි ඉල්ලා ගන්නට මම වඳින්නේ නැති ටික විතරය. මගේ ෆෝන්නෙක බිම දමා ඌ මාර ආතල් එකක් ගනියි. එපා කියද්දිම අතාරින එකෙන් උගේ ආතල් එක ඩබල් වෙනවා වගේය.
කෝල් ගන්න වගේ බොරු ඇඩ් එකක් දමා ටිකක් දුරට ගොස් මං දිහා බලාගෙනම මං ෂාරුක්ට ගහද්දි කෑගහන රාණිමුකර්ජි වගේ “එපා……..” කියාගෙන පුටුපෙරලගෙන, දිව හපාගෙන, බිම පෙරලීගෙන ඌ ලඟට එන විනාඩියට ෆෝන්නෙක දෙපාරක් බිමදාන ඌ ඒ මදිවට හිනාත් වෙයි. මං හතරවරං වෙලා දුවන් එන එක උට ස්ලෝ මෝෂන් වෙලා පේනවාදැයි වෙලාවක සිතේ. මං එන දිහා බලාගෙන ඌ එච්චරට හිනාවෙයි. අන්තිම තත්පරයේ බිම අතාරින ෆෝනයේ කෑලි ඇහිඳින මට “අයියෝ.. වැටුනා” යැයි ඌම කියන්නේ නෝන්ඩියට වගේ. දවසකට දහ දොලොස් පාරක් මෙහෙම කිච වෙන එක පුරුද්දට ගිහිංය.
හැට්ට කටු, පිහි, කතුරු වැනි හානිදායක ඕනෑම දෙයකට ඌ ලංවෙන්නේ අපි කෑගසා දඟලන එකේ ආතල් එක ගැනීමටය. ඇත්තටම ඌ ඒවා කැපෙන බව දනී. දන්නෑ වගේ ඉන්නා එකෙන් ආතල් එක වැඩි බවද ඌ දනී. අපි ඌ පිහියට ලංවන විට “අම්මෝ පිහිය ගන්න එපා.. පිහිය අම්මෝ ගන්නෙපා..” කියා කොච්චර කිව්වාද කියනවනං ඌ දැන් පිහියට කියන්නේ “පිහියම්මෝ” කියාය. මොනාකිව්වත් අදටත් ඌ පිහියක් දැක්ක තැන එතනට හිමින් යන්නේ අපිදිහා කෝචොක් එකට බලාගෙනය.
ප්ලග් පොයින්ට් වල ඇඟිලි ගැසීම, ඇඳ විට්ටමේ සිට ගැනීම, වයර් කෑලි කටේ ගැසීම, ජනෙල් ග්රිල් එක දිගේ ඉහළට නැඟීම, පඩිපෙල් රේලින් අතරින් පහළ නැරඹීම, සෙල්ලං කාර් උඩ හිටගැනීම උගේ විනෝදාංශයන්ය. උට මම ලැප්ටොප්, ටැබ්, ඩෙස්ක්ටොප්, දුරකතන, ටීවී, රේඩියෝ විතරක් නෙවෙයි කැල්කියුලේටරයක වුනත් වැඩක් කරනවා දැකීම පට්ට අවුල්ය. එවිට ඒක පොරගේ බව මතක් වෙන්නේ ඉබේටමය. ඒක එවෙලේම අත්පත් කරගැනීමට පොළොවේ පස් කෑමට, ඔලුව බිත්තියේ හප්පා ගැනීමට, තමාවම හපා ගැනීමට ඌ දෙපාරක් නොහිතයි.
යංතං නිදිකරවා ඇල්පෙනිති හඬක්වත් නෑසෙන්නට ඉහතකී එකදු හෝ උපරණයක් අතට ගත් සැනින් මේකාට ඉබේටම ඇහැරෙන්නේ හාස්කම් පරාද කරමිනි. උන්ට කරන්ට් එක ගලායන ශබ්දය ඇසෙනවාදැයි මට වෙලාවකට සැක හිතේ. ඒ තරම් ඒවාට සංවේදීය. වැඩ කරන්නේද කරන්ට් එකෙන් වගේය. රෑ දෙගොඩහරි ජාමේ ඇහැරන් ඉන්න විට, ගෙදර උඩුයටිකුරු වන්නට දඟලන විට මුන්ව ඕෆ් කිරීමට ස්විච් එකක් තිබුනානම් කොච්චර හොඳදැයි අනන්තවත් සිතී ඇත.
නිදාගෙන ඉන්නා විට ඇස් ඇර බැලීම, නහයේ ඇඟිල්ල ගැසීම, කනෙන් ඇදීම, පපුවේ මයිල් වලින් ඇදීම, රැවුලෙන් ඇදීම, බඩ උඩට නැග උඩ පැනීම වැනිදෑ උගේ නිදිපරික්ෂාවන්ය. මින් එකක් දෙකක් හෝ සියල්ලම කර බලන මුන් ඒත් අපි ඇහැරුනේ නැත්තං අතට අහුවෙන ඕනෑම දෙයකින් ඔලුවටද කෙලල අරියි. මේ අඩංතේට්ටම් හමුවේ යංතං ඇහැ ඇර බැලූ විට හිනාවී “තාච්චා නිදි.. දොයී..” කියා නැලවීමටද අමතක නොකරයි. උං එච්චරට කපටිය.
තව කීමට දාහක්දේ ඇත. කොහොම කිව්වත් උන්ගේ ඇති මහලොකු අහිංසකකමක් නම් නැත. කරන තරමක් ලේ පුච්චන වැඩ දාහක් මැද එකම එක දෙයක් කොට මනස හිතාගන්නට බැරිතරමට සනසවන මේ යක්කු මොක්කුදැයි මම තාමත් සිතමි. ලොකු වුනාම බලාගන්නං යැයි සිතා සිටියාට උන් ලොකුවන විට අපි නැත.
උපුටා ගැනීම: Asanka Warnakulasooriya