මාව දන්න හැමෝම අඳුරගත්ත මුල් කාලෙම මට කිව්වෙ අනේ හරී අහිංසකයි.. කණට ඇහෙන්නෑ කතා කරනවා.. හදාගන්න අරන් යන්න හිතෙනවා.. ඔන්න ඔය වගේ දේවල් තමා.
වැඩි දවසක් යන්නෑ පිංවතුනි කොච්චර යටගහන් ඉන්න හැදුවත් මගේ නස්පුක් ගති එලියට එන්නෙ මගෙ කාඩ් කුඩු කරගෙන නෙමේ පව්ඩර් කරගෙන. ඊටපස්සෙ ඉතින් අර හොඳ කියපු කටවල් වලින් මට අහන්න ලැබෙන්නෙ.. නෑ එක්කො ඕන නෑ. ඒ ගැන කතා නොකර ඉමු.
කොච්චර උනත් ඉතින් මගෙ යාලුවො එක්ක බලද්දි නම් මං හෙන හැදිච්ච නිවිච්ච කූල් වෙච්ච ලමයා ඒ කාලෙ. ඒ කාලෙ කිව්වෙ ඉස්කෝලෙ කාලෙ. දැන් ඉතින් එයි රෙදි කරට අරන්.
ඔය ලව් සීන් බූට් සීන් ඕවට මං නෑ. ඒ තරමට සීලෙ බලවත්!
අනේ ඉතින් මට හිටියා සිකුරා ඉස් මුදුනටම පහර දීලා ලව් සීන් වලින් තෙත බරිත වෙලා මිරිකිලා හිටපු සෙවල යාලුවො සෙට් එකක්. 8 වසරෙ වගේ ඉඳලම උන්ට මනමාල යකා වැහිලා ආරූඪ වෙලා. උන්ගෙ ලව් හුටපට අහන් ඉඳලා සමහර දවස් වලට කලින් දවසෙ ගිලපු තුන් වේලම කටින් යන්න ආපු වෙලාවල් තිබුණා.. ඒ තරමට සිත් ගන්නා සුලුයි ප්රියමනාපයි.
10 වසරෙ වගේ ඉද්දි තමා හොඳ හොඳ නාඩගම් නොමිලේම පෙන්නුවෙ අපේ අය.
සමහරු මාගල් වගේ දිග පත හෑලි පොත් අස්සෙ දාන් කියෝනව උගන්නන වෙලාවටත්. වෙන වෙලාවකට පොතක් ඇහේ ඇලවිලා තිබ්බත් වචනයක් කියවන්නැති මේකි දැන් මේ මොකෝ කරන්නෙ කියල හොම්බ දාලා බැලුවම හෙන පුස්කොල පොතක් කියවනවා එරමිණිය ගොතාගෙන. අහල බැලුවම සිරික්කිය දාන් කියනවා කොල්ලා දීපු ලිවුමක්ලු. මූණෙ පැණි පෙරෙනව. සික් විතරක්.
තව උන් හිටියා උන් ඉස්කෝලෙ එද්දි යට ඇඳුමෙ හරි ගහන් පොඩි ෆෝන් කට්ටක් ගේනවා. ඉස්සර තිබුන පොඩි නොකියා බට්න් ෆෝන් එක තමා හෙන ජනප්රිය ඒ කාලෙ. ඒකත් බැට්රිය සපත්තුව අස්සෙ, පියන ඇඳුම අස්සෙ, ඉතුරු කෑල්ල කෑම පෙට්ටිය අස්සෙ, සිම් එක ටයි එක අස්සෙ.. ඉස්කෝලෙට ඇවිත් තමා අර පොඩි උන් පසල් හදනවා වගේ කෑලි ටික සෙට් කරන් ඕන් ෆ්රී පීරියඩ් වල වැඩ පටන් ගන්නෙ. ඔන්න එවලෙට මට තියෙනවා ජොබ් එකක්. ටීචර් හරි අර සිස්ස නායකයො කියල යස්ස නායකයො වර්ගයක් හිටියෙ, අන්න උන් හරි එනවනම් බෙරිහන් දීගෙන පංතියට දුවලා අරුන්ට ඔත්තුව දෙන්න මං සැදී පැහැදී ඉන්නෙ බොක්කෙන්ම ආව මිතුරු පෙමින්.
අම්මෝ එවලෙට බලන්න ඕන..
කට්ටියක් උඩ විසිවෙ වෙනවා
තව කට්ටියක් මේස යටට රිංගනවා
කට්ටියක් සිම් කනවා
සමහරු දැල් ජනේලෙන් එහාට ෆෝන් විසි කරනවා
එක ජංජාලයයි.
ඔක්කොම ඉවර වෙලා සිම් කාපු උන්ගෙ අඬාවැඩියාව අහන්න ගියාම තමා සංසාරෙ කලකිරිලා සිවුරු මැවිලා පේන්නෙ.
ඇයි අඬන්නෙ? කොල්ලගෙ මැසේජ් ටික කියවන්න විදිහක් නැතුව. ඇයි ඉතින් සිම් එක බඩේනෙ
හැමදාම ඉතින් මගෙ යාලුවොන්ගෙ කොල්ලො බලන්න යන්න උදව්කාරයා විදිහට අහු වෙන්නෙ මාව තමයි. මාත් ඉතින් ඒ වැඩේට දෙයියා. මොකද ඒ වගේ වෙලාවට කොල්ලා ගේන චොකලට් එක හරි බිස්කට් එක හරි මට තමා හම්බෙන්නෙ. අරුන් පෙම් කෙලිනකන් මං පැත්තකට වෙලා ඒක ගිලිනව. නෙද්දකින් නේ??
හැමදාම අනුන්ගෙ මඟුල් වලට උල්පන්දම් නොදී එකක් හොයාගනින් කියලා අපේ උන් මට මහදැනමුතුකම් දෙන්න ආවට මං සීලෙ බිඳගන්නැතුව හිටියා මිත්රවරුනි.
ඔහොම සිල් රැකන් හිටිය මට 9 වසරෙ අන්තිම වගේ වෙනකොට සිකුරා උච්ච උනා කියන්නෙ ඒක අප්පටසිරි වෙන උච්ච විල්ලක්. ඒ උච්ච විල්ලෙ තරම කියනවනම් මල්සරාගෙ දුන්න උදුරලා අරන් සිකුරා තමයි විද්දෙ.
ඔය අතරෙ ඕ ලෙවල් ක්ලාස් යන්න පටන් ගත්තට පස්සෙ ක්ලාස් ගෙනියන්න කියලා ඔන්න ගෙදරින් හම්බුනා මට පොඩි ෆෝන් කට්ටක්. අප්පා… ඒකනෙ යකෝ ආතල් එක. මට නිකන් වඳුරට මොකක්ද එක හම්බුනා වගේ දැන්.
මට මතකයි පහුවදාම හැදුව පොත් වල කොල ඉරල අරන් පොඩි නෝට් බුක් එකක්. ඇයි? යාලුවොන්ගෙ නම්බර් ලියාගන්න වෙන මොකටද. බලන්න නේ ඉතින් තියෙන උනන්දුව. පස්සෙ තමා දැනගත්තෙ එහෙම ඕනෙ නෑ ඒකට නම්බර් සේව් කරන්න පුලුවන් කියලා. කවුද දන්නෙ ඔය සේව් කරනවා කියන බඩකඩිත්තු ගැන .
කෙල්ල ඉතින් දැන් මැසේජ් ගහන්නත් දාන්නවා. එක වචනයක් ගහගන්න වරුවක් විතර ගියා ඒ කාලෙ. කාරි නෑ ඉතින් තාම පුරුදු වෙනවනෙ. ඊට පස්සෙ තමා අම්මටසිරි වෙන්න මැසේජ් කරේ.
ක්ලාස් එකේ ඉන්නව බෝඩ් එක දිහා බලන්. හැබැයි ෆෝන් එකයි අතයි බෑග් එක අස්සෙ. මැසේජ් කරන්නෙ බලන්නෙවත් නැතුව. ආයෙ බලන්න දේකුත් නෑ. එක අකුරක් වරදින්නෑ. එසේ මෙසේ හැකියාවක් නෙමේ. අසරණ බට්න් ටිකට කතා කරන්න පුලුවන් උනානම් පරුස වචනෙන් අමතන්නෙ මං ඒ දීපු දස වදේ හැටියට.
මතක හැටියට 10 වසරට ආව අලුත මට ආව මිස්ඩ් කෝල් එකක් අඳුරන්නැති නම්බර් එකකින්.
ඒ කාලෙ ඉතින් ඔහොම කෝල් එකක් එනව කියන්නෙ සෝමාලියාවට පාන් වගේ තමයි මට. එච්චරට වේලෙනව.
දැම්මා මැසේජ් එකක් “කවුද මේ…”
ආයෙ කෝල් එකක්. ආන්සර් කලා “හෙලෝ…” ම්හ් සද්ද නෑ. මොන හත්මාලුවක්ද. දැන් ඉතින් මට මල උපරිමේට.
කට් උනා කෝල් එක. “ගොලුවෙක්ද? කවුද මේ?” ආයෙ දැම්මා මැසේජ් එකක්.
“මේ සුපිපිද?”
මොන සුපිපියෙක් ගැන අහනවද. දෙයියන්ගෙ හාල් කැවුන එකෙක්ද කොහෙද කියලා හිතන් දැම්මා මැසේජ් එකක්. නවත්තන්නෑ ඉතින්.දැන් වගේ නම් කෙලින්ම බ්ලොක් ලිස්ට් එකේනෙ. එහෙම හරි ඒ කාලෙ මැසේජ් කරන්න හම්බෙන එක රටක් රාජ්ජයක් පහල උනා වගේ තමා.
සුපිපි හොයන් ආව කෝල් එක ඔන්න ඉතින් ලව් එකක් උනා. දැන් මතක් වෙද්දිත් මොන වඳුරු බෙටි මොලයක්ද මට තිබ්බෙ කියලා හිතෙනවා.
ලව් එක නැගලා ගියාට මොකෝ හීනෙන්වත් දැකලා නැති එකෙක්. දකින්නෙ කොහෙද ඌ රත්නපුර. මං රාගම. කාලා වරෙන්කො.
මොකෙක් උනත් මොකෝ ඉතින් බොක්කෙන්ම ලව් එක කෙරීගෙන ගියා. රැයක් දවාලක් නෑ කොටන එකම තමා වැඩේ.
එක මූසල දවසක උදේ නැගිට්ටෙම කාක්කෙක්ගෙ මර ලතෝනියෙන්. කවදාවත් නැතුව මුත්රා ටැංකිය පුපුරන්න ඔන්න මෙන්න දැනුන නිසා ඇඳ අස් කරන්නෙත් නැතුව ගියේ ඒක නිදහස් කරගන්න.
නිදහස් කරලා ගෙට එන ටිකට හත්දෙයියන්ට කන්නලව් කරනවා වගේ සද්දයක් එනව මගෙ කාමරේ පැත්තෙන්. හරිනෙ.. අම්මා ආරූඪ වෙලා.
“ආයෙ කෝල් එහෙම ගන්නව නෙමේ මේකට. යනව පොලීසි. අපේ එකීටත් දෙන්නම් මං පාර”
විනාසයි. අර පිංගුත්තරය ඒ විනාඩි බාගෙට කෝල් එකක් අරන්. සේරම වෙස් ගැලවුනා. ගෙට යනවද ආයෙත් බාත් රූම් එකටම යනවද කියලා හිත හිත ඉද්දි අම්මා ආවෙ නැතෑ කොස්සත් අරගෙන.
කාමරේ අතු ගාන්න ගිය වෙලේ මගෙ ඇඳ අස් කරන්න ගිහින් තමා ටිකට් එක ඇදිලා තියෙන්නෙ. මගෙ පපුවෙ සද්දෙට හරියන්න කකුල් දෙක වෙව්ලනවා. ඇඟ දිගේ ලෝදිය ගලනවා වගේ නිකන්. අද කන්න පුලුවන් හොඳ පරිප්පුවක්
හිතුව වගේම ඉතින් ගේ මලගෙයක් උනා. ෆෝන් එක රාජසන්තක උනා. තියන් හිටිය හොඳ නම බිංදුවත් පහු කරන් සෘණ ගනන් වලටම ගියා.
මං මට්ටු වෙනවද ඕවට!
ඉස්කෝලෙට ගිය වෙලේ ඉඳන් ඉතින් මගෙ ඔලුවෙ වැඩ කරේ අර පොල් කුරුමිණියට මේක කියන්නෙ කොහොමද කියලා. වෙලහට කෝල් ගන්නව ඇති සිහිසන් නැතුව.
අනිත් අයගෙ ලව් කේස් හැමෝම දැනගත්තට මගේ මේ ලව් එකක් කියලා හිතන් ඉන්න හුටපටේ දැනන් හිටියෙ මගෙ හොඳම යාලුවා කවීශා විතරයි. ඔන්න ඕකිත් දැන් මේක කියවලා ඉල කූඩුව දිග ඇරෙනකන් හිනා වෙයි.
මං ඉතින් විස්තරේ කිව්වමෙ මේකිත් දුන්නා ටොප් අයිඩියා එකක් මගෙ මොලේත් එක්ක හෙල්ලිලා යන්න.
“ඉස්කෝලෙ ඇරුනම කොමිනිකේශන් එකෙන් කෝල් එකක් ගමු”
අම්මේ ඉතින් දෙයියා.. මගෙ ඉහේ මල් පොකුරක්ම පිපුනා. වෙලාවට අර හිවලගෙ නම්බරේ මතකයි.
ඉස්කෝලෙ ඇරුන ගමන් ඉතින් දෙන්නත් එක්ක සිහිසන් නැතුව ටවුමට ආවෙ දුවගෙන. ඔය හැම කොමිනිකේශන් එකකටම අපි යන්නෑ. ගොන් ගස් උනත් යුනිෆෝම් එකට ආදරෙයි පැලෙන්න. ඒ නිසා කඳානෙ ටවුන් එකේ තිබ්බ එක කොමිනිකේශන් එකකට තමා නිතරම ගියෙ ෆෝන් කාර්ඩ් ගන්න. ඒකෙ එකා අපිව අඳුරනව. ඒ තරමට කාඩ් අරන්.
උන්නු හැටියට මලා මදැයි කියලා ගත්තා කෝල් එකක්. කවීශා ඉතින් එලියට වෙලා හම්බෙච්ච කට්ටෙ රස බලනවා මං මල් පාත්තියෙ වැඩේ ඉවර වෙනකන්.
තත්පර ගණන්, විනාඩි ගණන් ගියා නෙමේ ඉගිල්ලුනා. මට නෙමේ ගාණක්වත් ගියේ. මං නෙලුවෙ මහ පරිමාණ මලක්. නැති වෙලා තිබ්බ සිහිය ආයෙ ආවෙ යන්තන් ඇහැ කොනින් කෝල් එකට ගිය ගාණ දැකලා. බුදු සන්තෝ… රුපියල් 100 පන්නලා. ෆෝන් එක තිබ්බා නෙමේ මං විසි කලා. පැයකට ලං වෙන්න කතා කරලා. අන්න එතකොටයි පියවි සිහියට ආවෙ. සල්ලි දෙන්න බෑග් එක ඇරලා බලද්දි කිරි අප්පේ රුපියල් 50යි බෑග් එකේ තිබ්බෙ. පොත් අස්සෙන් අත දදා බෑග් එක පතුලෙ පීන පීන තව කීයක් හරි එකතු කරගන්න දැඟලුවෙ වියරු වැටිලා වගේ. ඇහැ කොනින් පේනවා ශොප් එකේ එකා ගල් ගැහිලා බලන් ඉන්නවා. ‘මොනවද බලන්නෙ යකෝ මැජික්ද’ කියලා අහන්නත් හදලා ආයෙ සද්ද නැතුව හිටියෙ කබලෙන් ලිපට වැටෙන්න බැරි නිසා. මගෙ යාලුවා කියන එකියි මායි දෙන්නම දැන් මගේ බෑග් එකට බැහැලා සල්ලි හොයනවා.පොකට් වලිනුයි පැන්සල් පර්ස් එකෙනුයි ඔන්න යන්තම් තව රුපියල් 10ක් හොයාගත්තා.
ඊලඟට බැස්සෙ කවීශාගෙ බෑග් එකට. අප්පා.. ඒකි මට වඩා හිඟන්නි. සාධාරණයි ඉතින් අපිට තිබුණ කුලප්පුවෙ හැටියට ගෙදරින් සල්ලි දුන්නා නම් අම්මලට වලිප්පුව හැදෙන්නෙ අපි කරන නසරානි වැඩ වලට.
දෙයියනේ කියලා කොහොම හරි කෝල් එකට ගිය ගාණ හොයා ගත්තා. ඒක දීලා එතනින් චුත උනේ ආයෙනම් ඒකට යන්නෙත් නෑ කියලා හිතාගෙන.
මලා! කෝ දැන් බස් එකට සල්ලි?
හීන් දාඩිය දාගෙන දෙන්නත් එක්ක ගල් උනේ තිබ්බ හැම සේසතම හූරලා කැටයක් කඩලා වගේ කාසිත් එක්කම ෆෝන් බිල ගෙව්වා නේද කියලා මතක් උනාට පස්සෙ.
ඒ මදිවට මේ වෙද්දි ගෙදර වෙනදටනම්. දැන්නම් කන්න වෙනව උදේ කෑවට වඩා පරිප්පුවක්.
හිත හදාගෙන හොඳ හුස්මක් ඇදලා ගත්තා දෙන්නත් එක්ක වටේ පිටේ උන්ට ගන්න ඔක්සිජන් නැති වෙන්නම, පෑගුවා ලෑල්ලට පයින්ම ගෙදරට යනකන්.
බුදු අම්මෝ එහෙම යෑමක්. වෙනදට බස් එකක් එනකන් හෝල්ට් එකේ හැට වරුවක් උම්බලකඩ ගානට වේලෙන්න උනාට මොකෝ එදානම් අපිට පේන්නමද මන්දා බස් යන්නෙ උඩ දම දම. පොඩි කරලා කටේ දාන් හපන්න පුලුවන් දෙයක්නම් හපනව මං කුඩු වෙලා යන්න. එච්චරට යකා.
කොහොම හරි ආත බූත නැතුව කිලෝමීටර් 4ක් විතර දෙයියනේ කියලා ඇද්දා හති දාගෙන.
බල්ලොත් පාරෙන් අයින් වෙනවා හඩු පෙරාගෙන, දූවිලි නාගෙන ආත බූත නැතුව දුවගෙන එන අපි දැක්කම. පුලුවන් නම් කකුල් දෙක උඩ තියන් අත් දෙකෙන් යනව ඉතුරු ටික. එච්චරට කකුල් කඩිත්තුව.
අවුලක් නෑ කරුවල වැටෙන්න කලින් ගෙදරට ගොඩ උනා. කවීශත් ආවා අපේ ගෙදරටම. ඒකි තව දුර යන්න ඕනි ඒ දුරත් ගියානම් හතර ගාතෙ දාලා ඇදගෙන වැටෙයි කොහෙ හරි.
ගෙදර යනකොට අම්මා ඉන්නව දුම්මල වරම අතට අරන් දේවාරූඪ වෙලා.
කවීශා හිටියෙ නැත්තන් එදා මාව කෑලි ඉරලා ගෙදර බල්ලට කන්න දායි. දෙන්නත් එක්ක රටේ නැති බේගල් ඇද බාලා පණ බේරගත්තා.
එදායින් එදා අර හිවල් මොටා එක්ක තිබ්බ ලව් එකත් ඉවරයි..
අදටත් අඳුරන්නැති නම්බරේකින් කෝල් එකක් එද්දි ඉස්සෙල්ලම කකුල් තමා රිදෙන්නෙ
ඔන්න ඔහොමයි සුපින්වතුනි මගේ ෆස්ට් ලව් එකට හෙන ගැහිලා ගියේ.
මූලාශ්‍රය: Madushika Sugandini