ලොවට අමතකවූ එන්නත් පුරෝගාමියා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලොවට අමතකවූ එන්නත් පුරෝගාමියා වූ හැෆෙකින් සිය ජීවිත කාලය පුරාවටම හිමිනොවූ ඒ පිළිගැනීම, ඉතිහාසය තුළ ඔහුගේ මතකයත් සමගම වැළලියාම එන්නත්කරණයේ අතීත කතාව බරපතළ ලෙස සදොස් කිරීමට හේතුවක් බව ඔහුගේ මේ අප්රතිහත වීර්යයෙන් යුතු ජීවිත කතාව ඔප්පුකර ඇත.
1884 දී ඔඩෙස්සා විශ්විවිද්යාලයේ සත්වවිද්යාව පිළිබඳ උපාධිය ලබාගත්තද යුදෙව්වෙකු වීමේ පවට ඔහුට වන්දිගෙවන්නට සිදුවූයේ මහාචාර්ය තනතුරකින් පිදුම්ලැබීමේ වරම අහිමිවීමෙනි. යුදෙව්වෙකු වීම නිසාත්, යුදෙව්වන් වෙනුවෙන් පෙනී සිටිම නිසාත් නොයෙක්වර අර්බුදයන්ට මැදි වූ හැෆෙකින් ඊට වසර පහකට පෙරදි පොලිස් අත්අඩංගුවටද පත්ව තිබුණි. 1888 දී සිය මව්රටට සමුදුන් හැෆෙකින් කෙටි කලකින් ජිනීවා නුවර ගුරුවරයෙකු වශයෙන්ද සේවය කිරීමෙන් අනතුරුව පැරිසිය බලාගියේ එකල බැක්ටීරියාවේදය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකිරීම සම්බන්ධයෙන් සුපතල ලුවී පාස්චර් ආයතනයේ සහකාර පුස්තකාලයාධිපති ලෙස සේවය කරන්නටය. පුස්තකාලයේ වැඩ අහවරකොට ලද විවේකය හේ කැපකළේ පාස්චර් ආයතනයේ බැක්ටිරියාවේදය පිළිබඳ විද්යාගාරයට වී පර් යේෂණවල නියැලීමටය. පාස්ටර් හා ජෙනර් අනුව යමින් කොළරා බැසිලය පිළිබඳ සුවිශේෂි හෙළිදරව්වක් ඔහු සිදුකළේ එහිදීය.
රට හාවුන්ගේ උදර කුහරය තුළින් කොළරා බැසිලය තිස්නව වාරයක් ගමන් කරවීම තුළින් වඩාත් සවිවර වූ කොළරා රෝපිතයන් නිර්මාණය කළ හැෆෙකින් එය රත්කිරීම මඟින් සිරුරට එන්නත් කිරීමට තරම් සුදුසු මට්ටමේ සැර බාල කළ දුර්වල තත්ත්වයකින් යුතු බැක්ටීරියාවක් නිර්මාණය කිරීමට සමත් විය. කොළරාව වැනි රෝග වාතය හරහා ව්යාප්ත වන්නක බවත්, ඒවා මර්දනයට රෝගය වැලඳුනු පුද්ගලයා බාගෙට මැරෙන තුරු උණු වතුරේ ගිල්වා හුමාලය වැදීමට සැලැස්වීම හෝ කාබොලික් අම්ලය ඉසීම සිදුකළ යුතු බවටත් වන පදනම් විරහිත සාවද්ය මත සමාජය වෙළාගෙන පැවැති යුගයකදී හැෆකින්ගේ රෝපණය කොට, සැර බාලකොට, සිරුරට එන්නත් කළ රෝගකාරක වයිරස හෝ බැක්ටිරියා මගින් සිරුර තුළ අදාළ රෝගයට එරෙහිව ප්රතිශක්තියක් ගොඩනැගීමේ, එකල යුගයට විප්ලවීය වූ සොයාගැනීමක් වූ මෙම ක්රමය සමස්ත රෝග පාලන ක්රියාවලියම නව මානයකට යොමුකිරීමට පෙරටුගාමි විය. එය උච්චස්ථානයට පත්වූයේ 1892 ජුලි 18 දා හැෆකින් පළමුවරට ධුලකතාව අඩුකළ කොළරා විශබීජ සහිත එන්නත තමාටම විදගැනීමත් සමගය.
1896 කාලය වන විට චීනයෙන් ඇරඹුණු ලොව තෙවන මහාමාරිය වසංගතය, බ්රිතාන්ය යටත් විජිතයන් වූ හොංකොං පසුකරන් ඉන්දියාව ආක්රමණය කොට තිබුණේ කොළරා වසංගතයට බිලි වූවාක් මෙන් දෙගුණයක් වූ පිරිසක් මරණයට ගොදුරු කරවමිනි. කොළරා මර්දනය සම්බන්ධයෙන් හැෆකින් ලබා තිබුණු සාර්ථකත්වය මෙවර ඔහුව බොම්බායට කැඳවූයේ එහි ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීම ඇතිවය. ශීඝ්රයන් පැතිරි යන වසංගතය මර්දනය කිරීමට සාර්ථක එන්නතක් කෙටි කලකින් සොයාගැනීමේ භාරධුර වගකීම කරපිට පැටවුණු හැෆකින්ට ඒ සඳහා ප්රමාණවත් පහසුකම් කිසිවක් තිබුණේ නැත. එක් කුඩා කාමරයක්, ලිපිකරුවෙකු හා නුපුහුණු සහායකයන් තිදෙනෙකුගෙන් පමණක් සන්නද්ධව වුවද හේ වැඩට බැස්සේ මහත් වූ උද්ද්යෝගයකිනි.
එම වසරේ ශීත සෘතුව පුරාම දැඩි අධිශ්ඨානයකින් යුතුව සිය අරමුණ වෙනුවෙන් කැපවූ හැෆකින් සිය කොළරා එන්නත අනුව යමින් මහාමාරිය රෝගය ඇතිකිරීමට හේතුවන බැසිලස් බැක්ටීරියාව පිළිබඳ වැදගත් සොයාගැනීමක් සිදුකළේය. ඒ පෝෂණ මාධ්යක රෝපණය කළ බැක්ටීරියාවට පොල්තෙල් ස්වල්පයක් එක්කළ විට එය තමා වටා ක්ෂුද්රජීවින් හා ධුලක සංඝටක රැගත් විශේෂිත ආවරණයක් තනාගන්නා බවයි. තනි මාත්රාවේ එන්නතක් නිපදවීමට මෙම ධුලක හා ක්ෂුද්රජීවින් යොදාගත හැකි බව හඳුනාගත් හැෆකින් ලොව ප්රථම මහාමාරිය එන්නත හාවුන් යොදාගනිමින් අත්හදා බැලුවේය. 1897 ජනවාරි මාසයේදී සිය එන්නතින් සැලකිය යුතු ඉහළ මාත්රාවක් එනම් මිලිලීටර දහයක ප්රමාණයක් තමාටම එන්නත් කරගත් හේ එහි සාර්ථකභාවය මිනිසුන් සම්බන්ධයෙන් එලෙස අත්හදා බැලුවේය.
මහාමාරියට බිලිවන්නට තිබුණු ජීවිත සියදහස් ගණනක් හැෆෙකින්ගේ එන්නතට පින්සිදු වන්නට රැකෙද්දී, 1901 දී දෙසැම්බරයේදි බොම්බායේ පැරල් නුවර පිහිටි වසංගත විද්යා පර්යේෂණාගාරයේ ප්රධාන අධ්යක්ෂවරයා ලෙස හැෆෙකින්ව පත්කෙරිණි. එහෙත් 1902 මාර්තු මාසයේදි පන්ජාබ් නුවර ‘මුල්කෝවාල්‘ ගම්මානයේ දි හැෆකින්ගේ එන්නත ලැබූ ගම්වැසියන් දහනවදෙනෙකු හදිසියේම මියයන්නේ පිටගැස්මට ගොදුරුවීමෙනි. සිද්ධිය පිළිබඳ සොයාබැලීමට ඉන්දිය රජයෙන් පත්කළ කොමිසම සිදුකළ අනාවරණය හැෆකින් එතෙක් මෙතෙක් මානව වර්ගයා වෙනුවෙන් සිදුකළ සියලු කැපකිරීම් හා සොයාගැනීම්වල වටිනාකම එක් ක්ෂණයකින් සුණුවිසුනු කරදැමීය. පිටගැස්මට ගොදුරුවූවන්ට ලබාදුන් 53N නැමැති කුප්පියේ අඩංගු වූ එන්නත ඊට දින හතළිස් එකකට පෙරදි කැෆකින්ගේ පැරල්හි පිහිටි විද්යාගාරයේදි නිෂ්පාදනය කෙරෙත්දි එය විෂබීජහරණයට ලක්කිරීමට යොදාගෙන ඇත්තේ ‘රත්කිරීමේ ක්රමවේදය’ බව එහිදී අනාවරණය විය. පිටගැස්මෙන් සිදුවූ මරණවලට හේතුව එන්නත් කුප්පිවල අපවිත්රබාවය බවට නිගමනය විමත් සමග හැෆකින්ව වසංගත විද්යා පර් යේෂණාගාරයේ අධ්යක්ෂ ධුරයෙන් පහකොට ඉන්දීය සිවිල් සේවයෙන් අනිවාර්ය නිවාඩු යැවීය. වාර්තාගත කෙටි කාලයකින්, වාර්තාගත සාර්ථකත්වයක් ලැබූ එන්නතක් නිපදවා නයිට් පදවියකින්ද පිදුම් ලැබූ හැෆකින් යළි ලන්ඩනය බලා ගියේ ඒ සියලු කීර්තිනාමයන් අහිමිව පරාජය වූවෙකු ලෙසය. නමුත් යුදෙව්වෙකු වීම නිසාම මෙවැනි ප්රතික්ෂේප කිරීම් ඔහුට අමුත්තක් වුයේද නැත.
හැෆකින්ව වෘත්තියෙන් නෙරපා හැරීමෙන් දෙවසරකට පසු එනම් 1904 වන විට ඉන්දියාව පුරා මහාමාරිය කෙතරම් උග්ර ලෙස පැතිරෙන්නට වීද යත් එම වසරේදී පමණක් 1,143,993 ක් ඉන් මරණයට බිලිවූහ. ජීවිත බේරා ගැනීමට ඉන්දියාව සතුව තිබූ එකම අවිය වූ හැෆකින්ගේ එන්නත විමර්ශන බලධාරින්ගේ දඬුඅඬුවේ සිරවත්දී තෙද බල බිඳුනු එහි නිර්මාපකයා සිය කැළැල් වූ නාමය සදොස් කරගැනීමේ අසාර්ථක උත්සාහයක කරවටක් ගැලීසිටියේය. එකී සිදුවීමෙන් සිවුවසරකට පසු විමර්ශන වාර්තාව ඉන්දීය කොමිසමෙන් නිකුත්කෙරුණේ හැෆෙකින් චූදිතයා බවට පත්කරමින් වුවද එය ජාත්යන්තරයේ දෑස් හැෆකින්ගේ නිර්දෝෂිත්වය වෙත විවර කරවීමට හේතු විය. 53 N එන්නත් කුප්පිය දූෂ්යවූයේ පැරල් විද්යාගාරයේදී නොව එන්නත් කිරීම සිදුකළ ස්ථානයේදී හැෆකින්ගේ සහායකුගේ අත්වැරදීමකින් බව ඔප්පුකිරීමට ප්රමාණවත් විද්යාත්මක සාක්ෂි එකී විමර්ශන වාර්තාවෙන්ම උකහා ගැනීමට ලන්ඩනයේ කින්ග්ස් විද්යාලයේ මහාචාර්ය ඩබ්.ජේ. සිම්සන් හා නොබෙල් සම්මානලාභි රොනල්ඩ් රොස් සමත් වූහ. එය හැෆකින් ඉන්දීය රජයේ අකෘතඥතාව මුසු අයුක්ති සහගත දෝෂදර්ශනයෙන් ගලවාගැනීමේ අධිෂ්ඨානශීලි සටනක ආරම්භය විය. එහි ප්රතිඵලයක් ලෙස වසරක ඇවෑමෙන් 1907 දී හැෆකින් මුල්කෝවාල් සිද්ධියෙන් නිදොස් කරනු ලැබුවද, එය පූර්ණවශයෙන් ලද නිදහසක් නොවීය. න්යායාත්මක පර් යේෂණ හැරුණුකොට ප්රායෝගික අත්හදාබැලීම් සිදුකිරීම එරෙහිව හැෆකින්ට වාරණ පැනවීම ඔහුගේ කනස්සල්ලට හේතු වූවා පමණක් නොව, මුල්කෝවාල් සිද්ධියට හේ වගකිව යුතු බව හැෆකින්ට සිහිපත් කර දෙන්නට ලද කිසිඳු අවස්ථාවක් ඉන්දීය රජය පැහැර හැරියේද නැත. දිගින් දිගටම ලද ප්රතික්ෂේප කිරීම් හා සිත්වේදනාකාරී සැලකුම් හමුවේ 1914 දී එනම් වයස අවුරුදු පනස්පහේදී කොළරා වසංගත එන්නතේ පුරෝගාමිය ඉන්දීය සිවිල් සේවයට සමුදි මව්රට බලාගියේ සදහටම දැදුරු වූ හදවතක් දරාගෙනය. නමුත් ඒ සියල්ල මැද 1897 – 1925 අතර කාලයේදී හැෆකින්ගේ මහාමාරිය එන්නත මිලියන විසිහයක් ඉන්දියාවෙන් අපනයනය කොට තිබුණේ මරණ වැළැක්වීම සම්බන්ධයෙන් 85% ක සාර්ථකත්වයක් ඉන් ප්රකට කොට තිබුණු නිසාය. කොටින්ම ඉන් ගලවාගත් ජීවිත සංඛ්යාව මෙතෙකැයි කියා කිව නොහැකි තරම්ය. ප්රතිපූතික සැත්කම්වල පුරෝගාමියා වන සුප්රකට බ්රිතාන්ය බැක්ටීරියාවේදී විද්යාඥ ලිස්ටර් සාමි විසින් ‘හැෆකින් සමස්ත මානව වර්ගයාගේ ගැලවුම්කරු’ ලෙස ප්රසිද්ධීයේ හැඳින්වූයේ එබැවිනි.
එදා හැෆකින් කුළුදුලේම සිය මහාමාරිය එන්නත නිපදවු කාමර දෙකේ දිළිඳු විද්යාගාරය අද මුම්බායිහා ‘ග්රාන්ට් වෛද්ය විද්යාලයේම’ කොටසකි. කොරෝනා වයිරසයට එරෙහි සටනේ වැදගත් කාර්යභාරයක් ඉටුකරන්නේ එදා අවම පහසුකම් යටතේ වුවද වාර්තාගත කෙටි කලකින් සාර්ථක එන්නතක් නිපදවීමට හැෆකින් සමත්වූ බව ලෝකයාට සිහිපත් කරදෙමිනි.
සටහන – රුක්ලන්ති පෙරේරා
මූලාශ්‍රය:Smart . LK 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!