ලොවෙන් අතුරුදහන් වූ පුරාණ ශිෂ්ටාචාර… (ලෝක ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සුමේරියානු ශිෂ්ටාචාර​ය…
The Forgotten Civilization of Ancient Sumer – Earth is Mysterious
සුමේරියානු ශිෂ්ටාචාරය පිළිබඳව යම්තාක් දුරකට අපි ඉතිහාසය සහ සමාජ අධ්යයනය විෂයවලින් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම උසස් පෙළ කලා අංශයෙන් ඉතිහාසය හදාරන කෙනෙකුට ඒ ශිෂ්ටාචාරය පිළිබඳව පුළුල් හැදෑරීමක් කරන්න සිද්ධ වෙනවා. අපේ මේ උත්සාහය මේ ලිපිය කියවන ඔබට ඒ තරම් දීර්ඝව නොවුණත් යම්තාක් දුරකට හෝ අවබෝධයක් සුමේරියානු ශිෂ්ටාචාරය පිළිබඳව ලබා දෙන්නයි.
සුමේරියානුවන්ගේ නගර පද්ධතිය…
අතීතයේ මෙසපොතේමියාව ලෙස හැඳින්වුණු වර්තමාන ඉරාකය ආශ්රිත ප්රදේශවල විහිදුණු මේ ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳව ඉතිහාසඥයන් සහ පුරාවිද්යාඥයන් අතර විවිධ විවාද පවතිනවා. එම ශිෂ්ටාචාරය ආරම්භ වුණු කාල සීමාව වගේම ආරම්භකයෝ කවුද කියන එක ගැනත් තවමත් එක මතයකට පැමිණ නැහැ. නමුත් ක්රිස්තු පූර්ව හතරවෙනි සහස්රය පමණ වනවිට සුමේරියානුවන් ආසන්න වශයෙන් නගර රාජ්ය දොළහකට පමණ ඒකරාශි වී තිබෙන බව ඔවුන් විශ්වාස කරනවා. පවුරකින් වටවුණු මෙම සෑම නගරයක් මධ්යයේම ඔවුන්ගේ ආගමික ස්ථානයක් ලෙස සැළකෙන ශිගුරට් නම් ගොඩනැගිල්ලක් ඉදි කොට තිබුණා. මේ නගර අතර ඉරිඩු, ඌර්, නිප්පූර් සහ උරුක් ප්රධාන ගණන් ගන්නවා. උරුක් නගරය එවකට ලෝකයේ පැවති සුවිශාලතම නගරය ලෙස සැළකෙන අතර එහි ජනගහණය අසූ දහසක් පමණ වූ බවට සාධක හමුවෙලා තියෙනවා.
සුමේරියානුවන්ගේ රාජ නාමාවලිය…
සුමේරියානුවන් කූඤ්ඤාකාර අක්ෂර මාලාවක් භාවිතා කරමින් මැටි පුවරුවල විවිධ ලේඛන පවත්වාගෙන ගිය අතර දැනට සොයාගත් මැටි පුවරු අතුරින් රාජ නාමාවලිය ලෙස හැඳින්වෙන මැටි පුවරුව විශේෂ තැනක් ගන්නවා. සුමේරියානුවන්ව පාලනය කළ රජවරු ලයිස්තුවක් ඊට ඇතුළත් වන අතර ඊට ජීවත් වූ රජවරුන් සහ කල්පිත රජවරුත් ඇතුළත් වෙනවා. උදාහරණයක් විදිහට ආදී සුමේරියානු රජෙකු වසර හතළිස් තුන්දහසක් පමණ රජ කළ බව එහි සඳහන් වෙනවා.
එකිනෙකා සමග යුද්ධ කළ නගර-රාජ්ය...
සුමේරියානු නගර-රාජ්යයන් එකම භාෂාවක් සහ එකම සංස්කෘතික සම්ප්රදායන් අනුගමනය කළත් නිතරම එකිනෙකා හා යුද්ධ කරනු ලැබුවා. මේ සඳහා විවිධ හේතු කරුණු බලපෑවා. ලාගාශ් නම් නගරයේ රජ කළ ඊනන්ටම් රජු උම්මා නගරය සමග සටන් වැද ජයග්රහණය කළේ නගර සීමාව පිළිබඳව ඇති වුණු ගැටුමක් පදනම් කරගෙනයි. මෙම ජයග්රහණය ස්මරණය කරමින් මියගිය සතුරන්ගේ සිරුරේ කොටස් මත හිඳ මස් කන ගිජුලිහිණියෙකුගේ ප්රතිමාවක් නිර්මාණය කොට තිබෙනවා.
මත්පැන් පානයට සූර සුමේරියානුවෝ…
ලේඛන කලාව, රෝදය, නගුල, නීති පද්ධතිය සහ සාහිත්යය යන මානව වර්ගයාගේ ප්රගමනය සඳහා වැදගත් වන බොහෝ ක්ෂේත්ර සඳහා පදනම දමන්නේ සුමේරියානුවන්. නමුත් පුරාවිද්යාඥයන් විසින් හෙළි කරගෙන ඇති පරිදි සුමේරියානුවන් බීර නිෂ්පාදනය සඳහාද පුරෝගාමී වී තිබෙනවා. ඒ සඳහා ඔවුන් භාවිතා කළ ක්රම ශිල්පය මෙතෙක් හෙළිවී නැහැ. නමුත් ඇල්කොහොල් නිස්සාරණය සඳහා ඔවුන් භාවිතා කොට ඇත්තේ ඔවුන් විසින්ම වගා කරන ලද බාර්ලියි. එසේම නින්කාසි නම් දෙවඟන බීර වලට අධිපති දෙවඟන ලෙස සුමේරියානුවන්ගේ පූජෝපහාරයට ලක්ව තිබෙනවා.
කූඤ්ඤාකාර අක්ෂර මාලාව…
කලින් අපි සඳහන් කළා වගේම සුමේරියානුවන් ලේඛනය සඳහා භාවිතා කළේ කෝණාකාර අක්ෂර මාලාවක්. ඒ සඳහා කුනිෆෝම් යන වචනයද භාවිතා වෙනවා. තෙත් මැටි පුවරු මත අදාළ අකුරෙන් විවිධ සටහන් තබා ඒවා අවුවේ වේලිම මගින් හෝ උඳුනේ පිළිස්සීම මඟින් ආරක්ෂා කිරීම සුමේරියානුවන් සිදුකළා. මුල් අවධියේදී ඔවුන් මෙම ක්රමය භාවිතා කරන ලද්දේ ගණන් තබා ගැනීම සඳහා බව අනුමාන කෙරෙනවා. පසුව එය වඩාත් විහිදී ගිය අක්ෂර පද්ධතියක් බවට පත්වුණා. මෙම අක්ෂර මාලාව අනෙකුත් සංස්කෘතීන් සහ සභ්යත්ව කරා ද පැතිර ගිය අතර ක්රිස්තු වර්ෂ පළවෙනි සියවසේදී පවා මැදපෙරදිග ඇතැම් රටවල තාරකා ශාස්ත්රයට අදාළ සටහන් තැබීමට භාවිත කර තිබුණේ කුනිෆෝම් වර්ගයේ අකුරුයි.
සුමේරියානුවන්ගේ වෙළඳාම…
සුමේරියානුවන් ජීවත් වූ කාන්තාර ප්රදේශයේ ලී, ඛනිජ සම්පත් වැනි දෑ හිඟ වීම නිසා අදාළ සම්පත් ලබා ගැනීම සඳහා සුමේරියානුවන්ට වෙනත් ප්රදේශ කරා යෑමට සිදුවුණා. මේ නිසා ඔවුන් ගොඩබිම් මගින් සහ මුහුදු මගින් විවිධ ප්රදේශ කරා ගියා. එවකට ඩිල්මුන් ලෙස හැඳින්වූ වර්තමාන බහරේන රාජ්යය තඹ කර්මාන්තය සඳහා ඒකාධිකාරිය උසුලනු ලැබුවා. ඇතැම් පුරාවිද්යාඥයන් විශ්වාස කරන පරිදි සුමේරියානුවන් ඇෆ්ගනිස්ථානය තරම් බටහිරටත් මිසරයේ ඉතියෝපියාව තරම් දකුණටත් වෙළඳාම සඳහා පැමිණ තිබෙනවා.
ශිෂ්ටාචාරයක අවසානය…
ක්රිස්තු පූර්ව දෙවැනි සහශ්රකය වද්දී ඇමරෝයිට්වරු සහ බැබිලෝනියානුවන් විසින් සුමේරියානු නගර-රාජ්ය සියල්ලම පාහේ තමන් යටතට ගැනීමට සමත් වුණා. එහි ප්රතිඵලය වූයේ කාලය ගතවීමත් සමගම සුමේරියානුවන්ගේ සංස්කෘතික අනන්යතාවය සහ දේශපාලන බලය අහෝසි වී යාමයි. සහස්රක දෙකක් පමණ ඔවුන්ගේ උරුමය ඉරාකයේ කාන්තාර වලට යටින් වැළලී ගිය අතර යළිත් මෙම උරුමය පාදා ගනු ලැබුවේ දහනව වන සියවසේදියි…
ඇස්ටෙක් ශිෂ්ටාචාරය…
Santa Cecilia Acatitlan travel guidebook –must visit attractions in  Naucalpan – Santa Cecilia Acatitlan nearby recommendation – Trip.com
ඇස්ටෙක් ශිෂ්ටාචාරය ව්යාප්ත වෙලා තිබ්බෙ වර්තමානයේ මෙක්සිකෝව විදිහට හඳුන්වන භූමිභාගය තුළයි. ඉතිහාසඥයන් විශ්වාස කරන විදිහට සංක්රමණිකයන් ලෙස මේ ප්රදේශයට ආපු ඇස්ටෙක්වාසීන් සියවස් කිහිපයක් තුළ දියුණු ශිෂ්ටාචාරයක් සහ අධිරාජ්යයක් ගොඩනගා ගැනීමට සමත් වුණා.
ඇස්ටෙක්ලා ආවෙ කොහෙන්ද…?
ඇස්ටෙක්වරුන්ගේ පුරාණ ඇදහිලිවල විදිහට ඔවුන් මෙක්සිකෝව වෙත සංක්රමණය වෙලා තියෙන්නේ ඇස්ට්ලාන් නමැති ගුප්ත භූමිභාගයක ඉඳලා. නමුත් මේ ශිෂ්ටාචාරය ගැන ගවේෂණය කරන විද්වතුන් කියන විදිහට වර්තමානයේ ඇමරිකානු එක්සත් ජනපදය පවතින භූමිභාගයේ ඉඳන් නියඟයක් නිසා සංක්රමණය වූ ගෝත්ර ප්රජාවකගෙන් ඇස්ටෙක් ශිෂ්ටාචාරයට පදනම වැටිලා තියෙනවා.
ඇස්ටෙක්වරුන්ගේ අගනුවර…
යුරෝපීයයන් ඇස්ටෙක් අගනුවර වෙත පැමිණීමෙන් පසුව එම නගරයේ සුවිශාලත්වය සහ විධිමත්භාවය දැක පුදුමයට පත් වූ බව කියවෙනවා. එවැනි දියුණු තත්ත්වයේ නගරයක් යුරෝපය තුළ පවා තිබුණේ නැහැ. මේ නගරය විනාශ කිරීමටත් යුරෝපීයයන්ට බලපෑවේ මෙම ඉරිසියාව බව සඳහන්. ටෙනෝක්ටිට්ලාන් ලෙස හැඳින්වුණු මෙම අගනුවර පිහිටීම තෝරාගැනීමට ඇස්ටෙක්වරුන් පෙළඹුණේ දේව නියමයක් අනුවයි. කෙසේ නමුත් මුල් කාලයේදී වගුරු බිමක්ව පැවති මෙම ප්රදේශය මහත් පරිශ්රමයකින් අනතුරුව සංවර්ධනය කිරීමට ඇස්ටෙක්වරුන් සමත් වී තිබුණා.
ඇස්ටෙක්වරුන්ගේ අධිරාජ්යය…
ඇස්ටෙක්වරුන්ගේ අධිරාජ්යයේ සම්පූර්ණ ශක්තිය රඳා පැවතුනේ ඔවුන් තුළ පැවති සංග්රාමික ශක්තිය සහ උපාය මාර්ගික තීරණ මතයි. වර්තමානයේ මෙක්සිකෝව පැතිර ඇති ප්රදේශයේ ගොඩනැගුණු ගෝත්රික ප්රජාව නගරවලට එක්රැස් කරමින් අඛණ්ඩ පාලනයක් ගෙන යෑමට ඔවුන් සමත්වුණා. එසේම තමන්ගේ යටතට පත් ප්රදේශ වලින් අයබදු නිසි පරිදි එක්රැස් කරගැනීමෙන් අධිරාජ්යය තවත් ශක්තිමත් වුණා.
ඇස්ටෙක්වරුන්ගේ ආර්ථිකය…
ඔවුන්ගේ ආර්ථිකය රඳා පැවතියේ සාධක තුනක් මතයි. ඒවා නම් භාණ්ඩ හුවමාරුව, බදු ගෙවීම සහ කෘෂිකාර්මික නිෂ්පාදනයයි. අධිරාජ්යය තුළ දියුණු මට්ටමේ වෙළඳපළ ක්රමයක් පැවති අතර දුර බැහැර ප්රදේශවල සිට පවා වෙළෙන්දන් මෙම වෙළෙඳපොළ කරා ඇදී ආවා. එසේම සංචාරක වෙළෙන්දන් විවිධ දුර්ලභ භාණ්ඩ සොයා රටපුරා ඇවිදිනු ලැබුවා. රාජ්යය වෙත ගෙවිය යුතු අය බදු මුදල් වැඩි කරගැනීමට ඇස්ටෙක්වරුන් වැඩි වශයෙන් අසල්වැසි ප්රදේශ යටත් කර ගැනීමට පෙළඹුණා.
ඇස්ටෙක්වරුන්ගේ සමාජය…
ප්රභූවරු සහ සාමාන්ය ජනතාව වශයෙන් ඇස්ටෙක්වරුන්ගේ සමාජය ප්රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුණා. රාජ්යයේ වැදගත් තනතුරු ප්රභූවරුන් සඳහා වෙන් වුණු අතර ඔවුන් අය බදු වලින් නිදහස් පුද්ගලයන් වුණා. නමුත් සාමාන්ය ජනතාව සිය ශ්රමයෙන් සහ නිෂ්පාදනවලින් අය බදු ගෙවීමට කටයුතු කළා. එසේම සාමාන්ය ජනතාවද තවත් අනු කොටස්වලට බෙදී ගියා. සමාජයේ පහළම කොටස වහලුන් ලෙස සැලකුණු අතර සිරකරුවන්ගෙන්, ඒ බදු ගෙවීමට නොහැකි වුණු පුද්ගලයන්ගෙන් සහ දඬුවම් ලැබූ අපරාධකරුවන්ගෙන් මෙම කොටස් සමන්විත වුණා.
රාජ්යයේ උසස්තම පුද්ගලයා වූයේ අධිරාජ්යයා වූ අතර එම තනතුර සඳහා අයෙක් තෝරා පත්කර ගැනීම සිදුවූයේ ප්රභූවරුන්ගේ මණ්ඩලයක තීරණයක් හරහායි. මේ නිසා අධිරාජ්ය පදවිය ලේ උරුමයක් වුණේ නැහැ.
ඇස්ටෙක්වරුන්ගේ ඇදහිලි සහ විශ්වාස…
පුරාණ ඇමරිකා මහද්වීපයේ පැවති අනෙකුත් ශිෂ්ටාචාර මෙන්ම ඇස්ටෙක්වරුන්ද බහු දේව වන්දනාවට යොමු වී සිටියා. ස්වභාව ධර්මයේ විවිධ ශක්තීන් සහ වෙනස්වීම් දේවත්වයේලා සැළකීමට ඔවුන් පුරුදුව සිටියා. නමුත් මේ සියළු දෙවියන්ට ඉහළින් සර්වබලධාරී එක් දෙවියෙකු සිටින බව ඔවුන් විශ්වාස කරනු ලැබුවා.
එසේම ඔවුන්ට අනුව ඔවුන්ගේ දේව මණ්ඩලය කොටස් තුනකට බෙදී තිබෙනවා. ඒ අහසට අධිපති දෙවිවරුන්, වැස්සට, කෘෂිකර්මයට අධිපති දෙවිවරුන් සහ යුද්ධයට අධිපති දෙවිවරු ලෙසයි. මේ දෙවිවරුන් සඳහා පැවැත්වෙන විවිධ උත්සව නිසි වේලාවට සිදු කිරීම සඳහා ඔවුන්ටම ආවේණික ක්රමයකට දින දර්ශනයක් සකස් කර ගැනීමට ඇස්ටෙක්වරු සමත් වුණා.
ඇස්ටෙක්වරුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පය…
අද දක්වාම ඇස්ටෙක්වරුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය මුළු ලෝකයම විස්මයට පත් කිරීමට සමත්ව තිබෙනවා. ඔවුන් ඇතැම් අවස්ථාවල පාරවල් තනා තිබුණේ උස්ව තැනූ වේදිකා මතයි. එසේම ජල මට්ටම පාලනය කිරීම සඳහා සාර්ථක ජලාපවාහන පද්ධතියක් සකස් කිරීමට ඔවුන් සමත් වී තිබුණා. රාජ්ය පරිපාලනයට සහ ආගමික කටයුතු වලට වෙන් වුණ ගොඩනැගිලි වර්ණ ගන්වා තිබුණු අතර මේ බොහෝ නිර්මාණ සඳහා අමුද්රව්ය ලෙස භාවිතා කර තිබුණේ පාෂාණයි……
මිනෝන් ශිෂ්ටාචාරය….
History of the Minoan Civilization on Crete
බටහිර සභ්යත්වය තුළ ග්රීක ශිෂ්ටාචාරය කියන්නේ සියළු ශිෂ්ටාචාරවල තොටිල්ල කියලා මතයක් තියෙනවා. නමුත් ඉතිහාසය ගැන සොයා බලද්දී ග්රීසිය ආශ්රිතව ග්රීක ශිෂ්ටාචාරය ගොඩනැඟෙන්න කලින් එම භූමියේ පුරාණ ශිෂ්ටාචාර දෙකක් පැවතිලා තියෙනවා. ඒ අතරින් ක්රීට දූපත ආශ්රිතව ගොඩනැගුණු මිනෝන් ශිෂ්ටාචාරය සුවිශේෂී ස්ථානයක් ගන්නවා. මේ නිසා ඇතැම් අවස්ථාවල ක්රීට ශිෂ්ටාචාරය කියන නමත් මේ සඳහා භාවිතා වෙනවා.
මිනෝන්වරු…..
පුරාවිද්යාඥයින් සහ ඉතිහාසඥයින් විශ්වාස කරන විදිහට මිනෝන් ශිෂ්ටාචාරය ක්රිස්තු පූර්ව 2000 සිට 1400 දක්වා කාලය තුළ පැවතිලා තියෙනවා. මේ ශිෂ්ටාචාරයේ නම පිළිබඳව විවිධ සංවාද පැවතුණත් ග්රීක පුරාකතා වල සඳහන් වෙන මිනෝන් රජතුමාගේ නම මේ ශිෂ්ටාචාරය සඳහා දැනට භාවිතා වෙනවා. දැනට භාවිතයෙන් ගිලිහී ගොස් තිබෙන භාෂාවක් ඔවුන් කතා කළ බවට විශ්වාස කෙරෙන අතර රූපාක්ෂර වලට සමාන අක්ෂර මාලාවක් ඔවුන් භාවිතා කළ බවට සාධක කැණීම් වලින් හමුවූ මැටි පුවරු තුළින් හමු වෙනවා.
ගෘහ නිර්මාණ ශිල්පය…
අද දක්වාම මෙම ශිෂ්ටාචාරය පිළිබඳව අධ්යයනය කරන පිරිස් පුදුමයට පත් කරන කාරණය වන්නේ මිනෝන්වරුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයයි. ඔවුන් විසින් අති දැවැන්ත මාළිගා සංකීර්ණ ගොඩනගා තිබෙනවා. වර්තමානයේ කොනෝසොස් ලෙස හඳුනන නටබුන්ව ගිය මාළිගා සංකීර්ණය වර්ග අඩි 15,000ක ප්රමාණයක් පමණ පුරා පැතිර පවතිනවා. ඒ වගේම අපි කලින් සඳහන් කළ ග්රීක පුරා කතා වලට අනුව මිනෝන් රජු විසින් යක්ෂයකු සිරගත කිරීම සඳහා වංකගිරියක් බඳු ගොඩනැගිල්ලක් නිර්මාණය කළ බව සඳහන්. ක්රීටය පුරා මෙවැනි මාළිගා තුනක් පමණ විසිරී තිබෙන අතර මීට අමතරව ඔවුන්ගේ ජනපද සහ සුසානභූමිද හමුව තිබෙනවා.
කලාව…
ලෝකයේ ඒ වන විට පැවති අනෙකුත් ශිෂ්ටාචාරවලට සාපේක්ෂව මිනෝන් ජනතාව උසස් කලාකාමී අදහස් සහිත පිරිසක්. ඔවුන් විසින් නිර්මාණය කරන ලද මැටි සහ පිඟන් භාණ්ඩ අලංකාර කිරීම සඳහා වර්ණවත් චිත්ර ඇඳීම සිදුකොට ඇති අතර ගස් වැල්, මල් සහ මුහුදු ජීවීන් එම සිතුවම් වලට ඇතුළත් කොට තිබෙනවා. මෙයට අමතරව තඹ ලෝහයෙන් නිර්මාණය කරන ලද කාන්තා පිරිමි සහ සත්ව ප්රතිමාද හමුවී තිබෙනවා. සිය මාළිගා අලංකාර කිරීම සඳහා බිතුසිතුවම් ඇඳ ඇති ඔවුන් ස්වභාවික දර්ශන පසුතල පමණක් යොදාගෙන තිබෙනවා. පැරණි ශිෂ්ටාචාරවල බිතුසිතුවම් අතරින් මිනිසුන් රහිතව ස්වභාවික දර්ශන පමණක් සිතුවමට නැගූ පළමු අවස්ථාවක් විදිහට මෙය සළකන්න පුළුවන්.
වෙළඳාම….
මධ්යධරණී මුහුද තුළ ක්රීටය පිහිටා තිබෙන උපාය මාර්ගික වැදගත්කම නිසාම මිනෝන්වරු වෙළඳාම සිය ප්රධාන ජීවනෝපායක් කරගෙන තිබුණා. ඔවුන් සිය නාවික හමුදාව වර්ධනය කරගෙන තිබුණේ ආරක්ෂාව සහ වෙළඳාම සාර්ථක කරගැනීම සඳහායි. නිර්භීත සමුද්ර යාත්රිකයන් වූ ඔවුන් සම්පූර්ණ මධ්යධරණී මුහුදම පාහේ ගවේෂණය කිරීමට සමත් වූ අතර තම අසල්වැසි ශිෂ්ටාචාර සමඟ වෙළෙඳ සම්බන්ධතා ගොඩනගාගැනීමට සමත්වුණා. ලී, පිඟන් බඩු, රත්තරන්, රෙදි සහ කුළුබඩු වර්ග මේ වෙළඳාමේදී තීරණාත්මක වෙළඳ භාණ්ඩ වුණා.
සාමකාමී ජනතාවක්…
තම අසල්වැසි ශිෂ්ටාචාරවලින් වෙන්ව දූපතක ජීවත් වීම නිසා මිනෝන්වරු අතිශය සාමකාමී ජනතාවක් වුණා. මේ නිසාම ඔවුන්ට බලකොටු ගොඩනඟා ගැනීමට කිසිදු අවශ්යතාවයක් පැවතුණේ නැහැ. අපි කලින් සඳහන් කළ අතිදැවැන්ත මාළිගාවල පවා ආරක්ෂාවට පවුරු පදනම් තිබුණේ නැහැ. ඒ වගේම කිසිදු මිනෝන් බිතු සිතුවමක යුද්ධ දර්ශන ඇතුළත් නොවීමත් තවත් විශේෂත්වයක්.
මිනෝන්වරුන්ගෙ ඇදහීම්…
මිනෝන්වරු විසින් දෙවඟනන් ඇදහීම සිදු කළ බවට සාධක හමුව තිබෙනවා. ඔවුන්ගේ ප්රධාන දෙවඟන මව් දෙවඟනක් වූ අතර ඇය දරු ප්රසූතියට අධිපති දෙවඟන ලෙස සැළකුණා. මෙයට අමතරව සතුන්ට සහ අස්වැන්නට අධිපති දෙවඟනන් රැසක් ඔවුන්ට සිටියා. මේ නිසාම ඉතිහාසඥයන් මිනෝන් ශිෂ්ටාචාරය මාතෘ මූලික ශිෂ්ටාචාරයක් බවට විශ්වාස කරනවා.
මිනෝන ශිෂ්ටාචාරයේ බිඳවැටීම…
මිනෝන ශිෂ්ටාචාරයේ බිඳ වැටීමට ප්රධානම හේතුව වූයේ ගිනිකඳු විදාරණය බවට විශ්වාස කෙරෙනවා. මෙම ගිනිකඳු පිපිරීමත් සමඟ ඇතිවන උදම් රළ මගින් මිනෝන් නගර විනාශ වූ අතර ඔවුන්ගේ නාවික ශක්තියත් අවසන් වුණා. එසේම අහස වසා ගත් ගිනිකඳු අළු වගාබිම්වල තැන්පත්වීම නිසා ඔවුන්ගේ වගාවන්ද නිසරු වී සාගත තත්ත්වයක් ඇතිවුණා. මෙසේ දුර්වල බවට පත්වුණ මිනෝන ශිෂ්ටාචාරය වසර කීපයක් තුළ එවකට ග්රීසිය තුළ බලවත් වෙමින් පැවති මයිසිනියානුවන් විසින් ගිල ගනු ලැබුවා….
මායා ශිෂ්ටාචාරය….
Inside the pyramid Is a pyramid. Inside that is something more
මුළු මහත් මධ්යම ඇමරිකාව පුරා පැතිරුණු මායා ශිෂ්ටාචාරය සැලකෙන්නේ වර්තමාන ඇමරිකා මහද්වීපය බටහිර ජාතිකයන් විසින් අත්පත් කර ගන්නා තෙක් පැවති දියුණුතම ශිෂ්ටාචාරයක් ලෙසයි. අති දැවැන්ත පිරමීඩ සහ මහා පරිමාණ නගර මායාවරුන් විසින් නිර්මාණය කළ අතර ලේඛන කලාව, තාරකා ශාස්ත්රය ආදී බොහෝ විෂයයන් පිළිබඳ උසස් දැනුමක් මායාවරුන් සතුව තිබුණා. නමුත් ක්රිස්ටෝපර් කොලොම්බස් ඇතුළු ස්පාඤ්ඤ යටත් විජිත ආක්රමණිකයන් එම ප්රදේශ වලට වඩා කඩාවැදීමත් සමග මෙම සුවිශේෂී ශිෂ්ටාචාරය වසර කීපයක් තුළ මහ පොළොවෙන් අතු ගෑවී ගියා. Lifie මේ සටහන මායා ශිෂ්ටාචාරය සතු සුවිශේෂීතා කිහිපයක් පිළිබඳවයි.
තවමත් ගවේෂණය නොකළ මායා නගර සහ පිරමීඩ….
පිරමීඩ කියවූ සැණින් අපට මතක් වෙන්නේ ඊජිප්තුවයි. නමුත් ඊජිප්තු වාසීන්ටත් වඩා සංකීර්ණතා වලින් යුතු වූ පිරමීඩ පද්ධතියක් මායාවරුන් විසින් ගොඩ නඟනු ලැබුවා. ඒවා නිර්මාණය කිරීමට හේතු සහ ඊට පදනම් වූ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව අදටත් ඇත්තේ ප්රශ්නාර්ථයක්. ඉතා මෑතක දී පවා ඝන වනාන්තරයකට යටවී තිබූ මායා මහානගර දෙකක් පුරාවිද්යාඥයන් විසින් සොයා ගත් අතර කඳුගැටයක් යයි මෙතෙක් කලක් ඔවුන් වරදවා වටහා ගෙන තිබුණේ පිරමීඩයකුයි.
චොකලට් ලෝකයට හඳුන්වා දීම…
මීට වසර දෙදහස් හයසියයකට පමණ පෙර ලෝකයේ පළමු වතාවට කොකෝවා කෘෂිකාර්මික වගා කිරීම සහ ඒ ඇසුරෙන් චොකලට් නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ලද්දේද මායාවරුන් විසින්. වතුර, පැණි, විවිධ මිරිස් වර්ග ආදිය භාවිතා කරමින් සැර චොකලට් පානයක් නිර්මාණය කිරීම ඔවුන් විසින් සිදු කරනු ලැබුවා. උත්සව සහ අභිචාර වල දී මෙලෙස චොකලට් පානය කිරීම අනිවාර්යය අංගයක් බවට පත් වුණා.
සංකීර්ණ ලේඛන කලාව…
මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළා වගේම මායාවරුන් සතුව සංකීර්ණ ලේඛන කලාවක් පැවතුණා. ඒ සඳහා ඔවුන් භාවිතා කරන ලද්දේ රූපාක්ෂර මාලාවක්. වසර ගණනාවක් තිස්සේ මේ රූපාක්ෂර කියවීම පුරාවිද්යාඥයන් අතර නොවිසඳිය හැකි ගැටළුවක් බවට පත්ව තිබූ අතර පසුව ටටියානා පොරොසොරියාකොෆ් නම් ආධුනික කෞතුකාගාර පාලිකාව විසින් ඒ සඳහා යම් රටාවක් සොයා ගනු ලැබුවා.
යුරෝපීයයන් අතින් විනාශ වුණ මායා ඥාන සම්භාරය…
ගස්වල දිග පොතු ආශ්රයෙන් සකස් කර ගත් පොත් සකස් කිරීම මායාවරුන් විසින් සිදුකළ අතර ඒ මත විවිධ විෂයයන් පිළිබඳව කරුණු සටහන් කිරීම සිදු කරනු ලැබුවා. නමුත් අවාසනාවකට මෙන් අද වන විට ලොවටම ඉතිරි වී ඇත්තේ එවැනි ලේඛන තුනක් පමණක් බව කියවෙනවා. ආගමික විශ්වාස වලින් උමතුව සිටි ස්පාඤ්ඤ ජාතික ආක්රමණිකයන් මෙම පොත පත තමන්ට අවස්ථාවක් ලැබුණු වහාම විනාශ කිරීම ඊට හේතුවයි.
මායාවරුන්ගේ දින දර්ශනය…
මීට වසර කීපයකට පෙර ලෝක අවසානය සිදුවන බවට ලෝ පුරා සුවිශාල කැළඹීමක් ඇති ව ගිය බව ඔබට මතක ඇති. ඊට හේතුව වූයේ මායා දින දර්ශනයක අවසාන දිනය ලෙස 2012 දෙසැම්බර් 21 සඳහන් වීමයි. නමුත් මේ පිළිබඳව අධ්යයනය කළ විද්වතුන් පවසන්නේ මෙම පදනම් විරහිත විශ්වාසයට හේතුව වී තිබුණේ මායාවරුන්ගේ එක් දින දර්ශනයක් පමණක් බවයි. එහි වසර 5125ක දින ගණන් කිරීම සිදු වී ඇති අතර එම කාල පරිච්ඡේදය අවසන් දිනය ලෙස 2021 දෙසැම්බර් 21 සඳහන්ව තිබුණා.
මායාවරුන්ගේ විලාසිතා….
මුල් කාලයේ යුරෝපීයයන් විසින් මිලේච්ඡයන් ලෙස මායාවරුන් හැඳින්වූවත්, මායාවරුන් විසින් වර්ණවත් ඇඳුම් ආයිත්තම් භාවිතා කරනු ලැබුවා. ඊට අමතරව තම සිරුරේ සායම් තවරා ගැනීම මෙන්ම රූපලාවණ්ය නිෂ්පාදන ගැහැණු පිරිමි භේදයකින් තොරව භාවිතා කිරීමත් ඔවුන් විසින් සිදු කළා. කුඩා කාලයේදී දරුවන්ගේ හිස බැඳ තබා ගැනීම මගින් හිස් කබලේ හැඩය වෙනස් කිරීම සිදුවුණා. එය සිදු වූයේ විවිධ සමාජ ස්ථර නිරූපණය වීමටයි. ඊට අමතරව ඔවුන්ගේ ඉදිරි දත් පෙළ විඳ මැණික් වැනි විසිතුරු ගල් වර්ග ඊට අල්ලනු ලැබුවා.
මත්පැන් වස්තිය…
මායාවරුන් අතර තිබූ විශ්වාස වලට අනුව දෙවියන්ට සහ විවිධ ආත්ම සමග සන්නිවේදනය කිරීමේ හොඳම මාධ්යය වන්නේ මත් වීමයි. ඔවුන් ඒ සඳහා මධ්යසාර අඩංගු විවිධ පාන වර්ග භාවිතා කළ අතර එහිදී වමනය සිදුවීම වැළැක්වීමට ඔහු විසින් අපූරු ක්රියාමාර්ගයක් අනුගමනය කළ බව කියවෙනවා. ඒ අදාළ මත්පැන් වර්ගය සහ ඖෂධ වර්ග අධෝ මාර්ගයෙන් ශරීරගත කර ගැනීමයි…
ඉන්කා ශිෂ්ටාචාරය…..
Ancient Civilizations: Inca | National Geographic Society
ක්රිස්ටෝපර් කොලොම්බස් ඇතුළු යුරෝපීයයන් ඇමරිකා මහද්වීපයට ගොඩබැසීමට පෙර එම මහද්වීපයේ දකුණු කලාපය පුරා පැතිරී ගිය සුවිශේෂී ශිෂ්ටාචාර අතරින් ඉන්කා ශිෂ්ටාචාරයට ප්රමුඛස්ථානයක් හිමි වෙනවා. කුඩා ගෝත්රයක් පදනම් කරගෙන ආරම්භ වුණ මෙම ශිෂ්ඨාචාරය කෙටි කාලයක් තුළ වර්තමාන ආජන්ටිනාව, කොලොම්බියාව ඇතුළු ප්රදේශ ගණනාවක භූමිය පුරා විහිදී ගියා.
ඉන්කා ශිෂ්ටාචාරයේ වර්තමාන උරුමය…
යුරෝපීයයන්ගේ පැමිණීමත් සමගම ඉන්කාවරුන්ගේ ඇදහීම් ක්රමය වෙනුවට කතෝලික ආගම ඔවුන් මත බලයෙන් පටවනු ලැබුවා. ඒ කෙසේ වෙතත් වර්තමාන දකුණු ඇමරිකානු කතෝලිකයන් තුළ පවා ඉන්කා ශිෂ්ටාචාරයේ බලපෑම දකින්නට පුළුවන්. යුරෝපය තුළ න්යෂ්ටික පවුල සංකල්පය ජනප්රිය වෙද්දී දකුණු ඇමරිකාවේ විස්තෘත පවුලට සමාජීය වශයෙන් වැදගත්කමක් හිමි වන්නේ එහි ප්රතිඵලයක් ලෙසයි. එසේම අද වන විට බොහෝ කතෝලික පූජ්යස්ථාන පිහිටා තිබෙන්නේ ඉන්කාවරුන්ගේ වන්දනාමාන වලට පාත්ර වුණ ගිරි ශිඛර මතයි.
ඉන්කාවරුන්ගේ ඇදහීම්…
ඉන්කාවරුන්ගේ ඇදහීම් වල ස්වර්ණමය රීති තුනක් පැවතුණා. සොරකම් කිරීමෙන් වැළකීම, බොරුකීමෙන් වැළකීම සහ අලස වීමෙන් වැළකීම එම රීතී තුනයි. යම්කිසි පුද්ගලයෙකු මෙලොවදී මෙම රීති තුන අනුගමනය කළහොත් ඔහු මරණයෙන් මතු සදාකාලික උණුසුමක් පවතින සූර්යයාගේ දේශය වෙත යන බවත් මෙම රීති කඩ කරන පුද්ගලයින් සදාකාලික අඳුර සහ ශීත කාලගුණයක් පවතින පාතාලයක් වෙත යන බවත් ඉන්කාවරුන් විශ්වාස කරනු ලැබුවා.
ඉන්කා දේශයේ ජීවනෝපාය…..
ඉන්කා ශිෂ්ටාචාරයට සම්පූර්ණයෙන්ම පාහේ පදනම් වූයේ කෘෂිකර්මාන්තයයි. පවුල් ගණනාවක් විසින් නඩත්තු කරන ලැබූ වගාබිම් සහ එම වගා බිම් වලට අධිපතිත්වය දරන ප්රභූවරුන් ගෙන් කෘෂි කර්මාන්තයේ පහළම ස්ථරය සමන්විත වුණා. මේ ආකාරයට ස්ථර කීපයකට බෙදී තිබුණු ඉන්කාවරුන්ගේ සමාජයේ ඉහළම ස්ථානය හිමි වූයේ රජුටයි. මේ ආකාරයටම අනෙකුත් වෘත්තීන්වල යෙදුනු පිරිස් ද සංවිධානයව තිබූ අතර රැකියාව පියාගෙන් පුතාට උරුම වුණා.
ඉන්කා දේශයේ කාන්තාව….
එම සමාජය පීතෘ මූලික සමාජයක් වුවත් සෑමවිටම කාන්තාවට ගෞරවයෙන් සැලකීම සිද්ධ වුණා. ඔවුන්ට රජයේ ඉහළ නිලතල වලට යෑමට පමණක් නොව පූජකවරියන් වීමේ අවස්ථාවද සැලසුණා. සාමාන්ය ස්ථරවල කාන්තාවන් විවාහයෙන් පසුව සැමියාගේ පවුලේ තැනැත්තියක් ලෙස ද සැලකුණු අතර බොහෝවිට පවුලේ වගාබිම්වල වල වැඩ කිරීමේ කටයුත්ත ඇයට පැවරුණා. මුළුතැන්ගෙයි වැඩකටයුතුත් ඇයගේ ජීවිතයේ එක් කොටසක්.
ආහාරපාන…
අද වෙනකොට ලංකාවේ අපිටත් නැතුවම බැරි වෙලා තියෙන අර්තාපල් අල මුලින්ම වගා කරන ලද්දේ ඉන්කාවරුන් විසින් බවට විශ්වාස කෙරෙනවා. සාර්ථක අස්වැන්නක් යනු දෙවියන් විසින් තමන්ට ලබාදෙන ත්යාගයක් ලෙස ඉන්කාවරුන් විසින් සැලකුණු අතර ඔවුන්ගේ දෛනික ආහාර වේල් සම්පූර්ණයෙන්ම පාහේ නිර්මාංශික වුණා. මස් වර්ග භාවිතා කරන ලද්දේ විවිධ උත්සව අවස්ථා සඳහා පමණයි. ආහාර වර්ග සඳහා වෙළෙඳපොළ ක්රමයක් නොතිබුණු අතර එකිනෙකා හා තමන් විසින් සකස් කරගන්නා ලද ආහාර වර්ග හුවමාරු කර ගනු ලැබුවා.
මහාමාර්ග පද්ධතිය…
ඉන්කාවරුන්ගේ අධිරාජ්යය පවත්වාගෙන යෑමට සුවිශේෂී දායකත්වයක් ඔවුන් විසින් සංවර්ධනය කරන ලද මාර්ග පද්ධතිය මගින් ලබා දෙනු ලැබුවා. එහි නිශ්චිත ස්ථානවල පණිවිඩකරුවන් දෙදෙනෙකු රැඳී සිටි අතර, සේවාමුර ක්රමයට එක් අයෙකු නිදාගෙන සිටි අතර අනෙක් තැනැත්තා පණිවිඩයක් ගෙන යෑමට සැදී පැහැදී සිටියා. මෙම හේතුව නිසා රජු විසින් ලබා දෙන නියෝග ඉතා කෙටි කාලයක් තුළ රාජ්යයේ දුරබැහැර ම ප්රදේශය කරා වුවත් ලඟාවුනා.
ඉන්කාවරුන්ගේ ලේඛන කලාව…
කෙතරම් දියුණු ශිෂ්ටාචාරයක් වුවත් පුදුමයකට මෙන් ඉන්කාවරුන් සතුව ලේඛන කලාවක් පැවතියේ නෑ. නමුත් ඔවුන් තොරතුරු එක් රැස් කිරීම සඳහා කියුපු (quipu) නම් ක්රමයක් භාවිතා කළා. එහිදී සිදුවූයේ නූල් ගැට ගැසීම මඟින් විවිධ තොරතුරු බාහිර පරිසරයට සන්නිවේදනය කිරීමයි. නමුත් අද දක්වාම මේ මගින් සන්නිවේදනය වන්නේ කුමන තොරතුරුද යන්න පිළිබඳව වටහා ගැනීමට සමත් වී නැහැ…
……….අන්තර්ජාලය ඇසුරෙනි………..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!