කෑම ජාති ගොඩක් තිබුනට මේ කෑම වලට ලුණු වැඩියි නේද ? පුතේ.
ඔව් නේද? අම්මෙ, මේ පළාතෙ මෙහෙමද දන්නෑ කන්නෙ.
මෙහෙම ලුණු කන්න ගියොත් ලෙඩක් හැදිලා තමයි නවතින්න වෙන්නෙ.
රස්සාවෙ මුල්ම පත්වීම ලැබුනෙ උතුරු මැද පළාතෙ නගරෙකට. යුද්ධයත් දරුණුවටම තිබුණු කාලෙ. අගනුවරට කිට්ටුව පදිංචි වෙලා ඉඳලා මෙච්චර දුරකට යන්න උනාම හිතා ගන්න බෑ. ඒත් නොයා බැහැ නෙ.
ඒ පළාතෙ අදුනන කව්රුත් ඇත්තෙත් නෑ.ඥාතීන් ඇත්තෙත් නෑ. නවාතැනක් හොයා ගන්න එක ලොකුම ගැටළුවක් වුනා.කොහොම හරි පවුලේ නැන්දා කෙනෙක් අදුනන යාළුවෙක්ට කියලා නවාතැනක් හොයා ගත්තා . පසුව වෙන තැනක් හොයා ගන්න තුරු ඒ තරම් පහසුකම් නැති ඒ ගෙදර නතර වෙලා කෑම කන්න ගිහින් තමයි මේ කතාව ආවෙ.
මේ තරම් ඈත පැත්තක එක පාරම මාව දාලා යන්න බැරි නිසා අම්මා දවස් කීපයක් එහෙ නතර වුණා. ඒ ගෙදර ගෙහිමි කාන්තාවත් හරිම සුහද කෙනෙක් .පවුලේ හිටියෙ පොඩි දරුවො.
දවස් තුනක් ඉදලා අම්මා යන්න ලෑස්ති උනා.එදා දවසෙ නම් කෑම රසට තිබුණා ලුණු වැඩි නැතුව.
පස්සේ දවසක මේ කතාව කාර්යාලයෙ යාළුවො එක්ක කියද්දි කිව්වා වැඩිකල් අම්මා එහෙ ඉදියි කියලා “පල නොකියා පලා බෙදිල්ලක් ඒ කරලා තියෙන්නේ “
උපුටා ගැනීම: සෙව්වන්දි ද සිල්වා