‘ඔබ තරුණ කාලයේ මෝඩ වැඩ නොකරන්නේ නම්,වැඩිහිටි කාලයේදී ඔබට සිනහ වීමට දෙයක් නොමැත’ කියා කතාවක් කවුදෝ මහත්තෙක් (හෝ නෝනාකෙනෙක් ) ඒ කාලේ කියා ඇත.එනමුත් මේ රසකතා කියවන ඔබ තමුන්නාන්සේලා මේ තරං මෝඩ වැඩ නං කරලා ඇති කියා මා සිතන්නේ නැත.මේවා මෝඩ වැඩ නොවේ.මේවාට සාමාන්‍ය පන්තියේ මෝඩ වැඩ යැයි කීම මේ වැඩ වල මෝඩ ලෙවල් එක බාල්දු කිරීමකි.කොහොමහරි සිද්දිය මෙසේ ය.
මේ කතාව ද උසස්පෙල කාලයේ සිදුවූවකි.ඉතිං අපි හිටියේ විද්‍යා අංසයේ ය.අපේ පන්තිබාර ගුරුතුමී හරි හොඳ ය.අපිට ඉතිං කියපුවා තේරුනේ යංතං සංතං පදං වුව ද,මැඩම් හරිම හොඳ ය.කෝමින් කෝමහරි මැඩම්ට ඩෙංගු හැදුනේ ය.පන්තියේ සුවච කීකරු ගෝලයෝ වසයෙන් අපිට මැඩම් නොබලා සිටීම හිතට හරි නැති ය.(ඔය අතරේ රහස් ඔත්තු සේවයෙන් වාර්තා වී තිබ්බේ මැඩම්ට ලස්සන දුවෙක් සිටිනා බව ය.මැඩම්ගේ ෆෝන්නෙකේ වෝල් පේපරයේ ලස්සන ගෑනුලමෙක් සිටින බවත්,එහිසිටින්නේ මැඩම් නොවේ නම්,එ ලස්සන ගෑනුලමයා මැඩම්ගේ දුව වීමේ සම්බාවිතාව 90%ට වැඩි බවත් මහා ප්රාඤයන් විසින් නිගමනය කොට තිබුණි.)ඉතිං මැඩම්ට ඩෙංගු සැදී අසනීප වී සිටි කාලයේ එක දවසක,ඉස්කෝලේ ගාවට පැමිණි පසු හදිසි සාකච්ඡා වටයකින් තීරනේ කෙරුනේ යුනිෆෝම් පිටිම්ම මැඩම් බැලීමට යාමටයි.ඉතිං ඔන්න අපි ඩෙංගු සෑදී සිටි අපගේ ආදරණීය ගුරුතුමීගේ සුවදුක් බැලීමට ගියෙමු.ගේට්ටුවට අනවශ්‍ය ලෙස සමීප උවහොත්,ආපසු යාම බොරු ය.අර අබ්යවකාසේ කලු කුහර වලට පධාර්තය ද ආලෝකය ද මෙකී නොකී සබ්බ සකලමනාව ඇදගන්නා ආකාරයෙන් උදේ කාලයේ අපේ ගේට්ටුව අසලින් යන සියලු යුනිපෝම් වැසියෝ ගේට්ටුවෙන් ඇතුලට ඇදගැනීමේ මහා බලවේගයක් ඒ කාලයේ ක්‍රියාත්මක විය.ඒ ගැන පසුව ලියන්නෙමි.ඉතිං කෝමහරි ගේට්ටුව පේන නොපේන මානයේ සිට ආපසු හැරුනු මටත්,ධනුකයාටත්,සිතුමාටත්, මහා පලායාම අතරවාරයේදී අපේ පන්තියේ නිනුරයා,සානුකයා හා රයිනා මුණගැසිණි.උන් කීපදෙනාද ගමනට එකතුවිය.ඊලගට ගනිත අංසයේ ( මව් බාසාවෙන් කියන්නේනම් මැත්ස් එකේ) චාමරයා ද මූනට මුලිච්චි උනි.අපේ පාසලේ ලමයින්ට සියලු ගුරුවරුන් කෙරෙහි ඇති ගෞරවය එක සේ මය මිතුරු මිතුරියනි.ඉතිං අපේ මැඩම් ගැන හාංකවිස්සියක් නොදත් චාමරයා පවා,අපි ‘මැඩම්’ බැලීමට යන බව පැවසූ පසු සිතේ උපන් අනුපමේය භක්ත්‍යාදර ගෞරව බහුමානී දේශමාමක දේදහිතෛශී අධිරාජ්‍යවාදී හෙජමොනික ජුන්ටාව හේතුවෙන් අපේ ගමනට එකතු විය.
ඉතිං අපි සියලුදෙනා මැඩම් ලෑ ගෙදර ගොස් තේකෝප්පයක් බී වැඳපුදා සුවිස් රෝල් එකක් බවුන් පේපරයක ඔතා දී ආපසු ආවෙමු.
මොන මගුලක්ද රසික රසිකාවියනි.රස කතාව ඉවර වන්නේ ඉහත ලෙස නං මේක රස කතාවක් වන්නේ වත්,මං මේක ලියන්නේ වත්,ඔබ මේක කියවන්නේ වත් නැත.
‘මැඩම්’ බැලීමට යන්නට පාරට බැස්සාට මොකද,අපේ පන්තිබාර ගුරුතුමී ජීවත් වන්නේ මේ සකල සිරින් පිරි සිරි ලංකාවේ වර්ග කිලෝමීටර් හැටපන්දාස් හයසිය දහයේ මොන කෙරෝලක දැයි අපි කිසි එකෙක් දන්නේ නැත.මේක ගොං කතාවක් වන්නේ එහෙයිනි.මැඩම්ට නිල්පාට පොඩි කාරෙකක් ඇත.ලස්සන දුවෙක් ඇත.(ඉන්නට හෝ නො ඉන්නට පුලුවන.අනුමාන වසයෙන් ඇත) අපි ‘අපේ’ මැඩම් ගැන දන්නේ ඔච්චර ය.කෝමහරි මැඩම් ඉන්නේ සිතුමාගේ ගෙදර සිට කිලෝමීටර් දෙක තුනක රවුමක් ඇන්දොත් ඒ ළඟ පාත කොහේ හෝ යැයි කියා ඌ පැවසූ වචනය හේතුකොට ගෙන,අපි බස් රතේක නැගී මාලඹේ තලාහේන දක්වා ගියෙමු.
කවමදාවත් යාලුවෝ කියන පාරවල් විස්වාස නොකරන්න.ඒ අද රසකතාවේ පාඩමයි.
තලාහේනෙන් බැස්ස පසු,ඉතිං ඉන් පස්සේ මක් කරම්දැයි නොදන්නා අපි සිතුමාගේ ගෙදර ගියෙමු.සිතුමාගේ අම්මා ද සිතුමා ඉස්කෝලේ ගිහින් හොඳින් ඉගෙනගන්නවා යැයි සිතා රැකියාවට ගොසින් ය.ගිහින් එහේ තිබ්බ මොන මොනවා හෝ කා බී,ඉන්පසු යන්නේ කොහේදැයි තීරණය කර (තීරණය කර යැයි කීවාට ඇත්තෙන්ම තීරණයක් නැත) එලියට බැස්සෙමු.ප්‍රධාන පාරට ආ පසු,පාර දෙපැත්තේ ගෙවල් වලින් අහ අහා මැඩම්ගේ ගෙදර හොයාගැනීමේ ක්‍රියාන්විතය ආරම්භ විය.මුලිම්ම තිබ්බේ පංසලකි.
(හාමුදුරුවනේ අර කොළඹ අහවල් ඉස්කෝලේ උගන්නන කොන්ඩෙ කපපු මැඩම්…අර ඩෙංගු හැදිලා…අර කාර් එකේ යන්නෙ..)
ඔය බහුබූත කිව්වාට ඉතිං කොළඹ ඉස්කෝල වල උගන්නන කාර්වල යන මැඩම්ලා දෙතුන් සීයක් ඒ පැත්තේ ඉන්නවා වන්නට ඇත.එහෙමයි කියා ඉතිං අපි ඊට වඩා මොන ඇන්නෑවක් වත් දන්නේද නැත.ඉතිං පාර දිගේ මිනිස්සුගෙන්
“ඇන්ටි අර කාර් එකේ යන්නෙ මැඩම්”
“අර කොන්ඩෙ කපලා”
:
“අර ඉන්නෙ අනේ මෙහෙ”
“අර ඩෙංගු හැදිලා”
“අර අහවල් ඉස්කෝලෙ උගන්නන්නෙ අනේ” යන වචන මාලාව දමමින් පිදුරු ගොඩේ ඉඳිකට්ටක් හොයන්නා වගේ මැඩම් හොයන්නට ගත්තෙමු.
ප්‍රියාදර රසික රසිකාවියනි,මං නැවතත් අවධාරණයෙන් පවසන පරිදි,අපි මේ මැඩම් හොයමින් යන්නේ අපේ random එකෙක් ” මැඩම් ඉන්නේ අපේ ගෙවල් පැත්තේ මං හිතන්නෙ……” යැයි පැවසූ යහපාලන ආන්ඩුවටත් වඩා අස්තාවර,කොහෙත්ම සුවර් නැති එකම එක වචනය විස්වාස කරගෙන ය.
ඉතිං ඔබ හිතන්නේ කුමක් වූවා කියාද?
කවදාවත් හම්බ නොවෙන කොහෙවත් නැති මැඩම් කෙනෙක් හොයා පැය ගානක් ඇවිදලා පාං කියාගන්නට බැරි තරං හෙම්බත් වී අපි ගෙදර ගියෙමු.කියල කතාව ඉවර වෙනවා කියා ඔබ හිතන්නේ ද?
එය ගොං කතාවක් බව ඇත්ත ය.මාත් පිලිගනිමි.නමුත් ගොං කතාව at the same time රස කතාවක් වන්නේ මෙහෙමය.
අපගේ වෙහෙසකර අභියෝගය සාර්ථකව ජයගැනීමට අපිට හැකියාව ලැබිණි.කිලෝමීටර ගණනාවක් ඉර මුදුන් වන තුරු කකුල් කෙඩෙත්ත්ව හැදෙන තුරු ඇවිද්ද අපිට අන්තිමට වූයේ වතුර ඉවර වූවා පමණ ය.ඔය අස්සේ අපේ උන් සිතුමාට බනිනවා ය.දැන් ලගයි බං දැන් ලගයි කිය කියා නඩේ නැවිගේටර් වී කොල්ලෝ වන්දනාවේ එක්ක යන සිතුමා විශයෙහි අම්මට පදය මුල් කර ගනිමින් කොල්ලෝ හොඳට වචන බාවිතා කරනවා ය.පාඩුවේ ගනිතෙ ඉගෙනගන්නට ගිය චාමරයාට මැඩම්ගේ ලස්සන දුව පෙන්නන්නැයි කියා එක්කං විත් පුල් රැග් එකක් දුන්නාට ඌ අපිට නැති කුනුහරප හද හද බනිනවා ය.
හැබැයි අවසානයේ,මාලඹේ සිට ඔය අංගොඩ,සල්මල් උයන දිහාවට කිලෝමීටර් ගානක් ඇවිද්ද පසු අපේ keyword වලට හරියන search result එකක් හම්බුනි.
(නිකං ඇවිදීමක් නොවේ.ගෙයක් ගෙයක් ගානේ සංගණනයකට හෝ නැත්තං අර මදූරුවො එලවන බැඩ්මින්ටන් රැකට් විකුනන අයියලා මෙන්, ඩෙංගු හැදුනු මැඩම් කෙනෙක් හොය හොය ඇවිදීමකි)
“ඩෙංගු” සහ “කොළඹ ඉස්කෝලෙ”
යන වචන දෙකට අදාල මොනවා හෝ ඉදිරියේ ඇති බවට දැනගන්නට ලැබුණි.
හම්මටසිරි වෙනවාය.අපේ උන්ට කාන්තාරේ අර මොකද්දෝ එකක් දකින්නා වගේ හෙන හැපි ය.හින්දි පිච්චර් එකක් ලෙසින් තවත් සෑහෙන දුරක් අතනින් මෙතනින් හැරි හැරී,අතුරු පාරක ඇවිද ගිය පසු
අපිටත් මොකද්දෝ බරපතළ අවුලක් ඇති බව තේරෙන්නට විය.හැපී හැපෙන්නට ටිකෙන් ටික පටන් ගත්තේ එහෙන් මෙහෙන් සුදු කොඩියක් පේන්නට ගත් විට ය.
……
ඒ පාර ඉවර විය !
පාර කෙරෝලේ ගෙදර මළගෙයකි !
මළගෙදර වැඩකටයුතු අහවර වී ගෙදර අස් පස් කරමින් තිබුණි.
අපිටත් ඉතිං ෆුල් අවුල් ය.ආපහු යන්නටත් නිකං මොකද්දෝ වගේ හිතුනි.බැරිවෙලාවත් අපේ මැඩම්….
.
.
.
පස්සේ ඕන එකක් වෙච්චාවෙ කියා මලගෙදරට ගොස්,මෙහෙම ඩෙංගු හැදුනු මැඩම් කෙනෙක් මේ පැත්තේ සිටී දැයි ඇසුවෙමු.
කෝමහරි වෙලා තියෙන්නේ මේකය.ඒ ගෙදර මහත්මයා ඩෙංගු වැලදී ඊට දින කීපෙකට පෙර මියගොස් ඇත.එහි මහත්මිය කොළඹ වෙනත් පාසලක ගුරුවරියකි. අන්තිමට ඉතිං කතාව කී පසු ඒ ගෙදර මිනිස්සුන්ටත් හාමතේ හෙම්බත් වූ අපේ කොලු නඩේ ගැන දුක ය.
මරණෙට ගෙනා,ආපහු ගෙනිහින් දෙන්නට ලෑස්ති කර ගොඩ ගසා තිබූ පුටු කීපයක් බිමට බා අපව වාඩි කරවා,ඉතුරු වූ බිස්කට් හා නෙක්ටො දී අප සැනසූ ඒ ගෙදර මිනිස්සුන්ට පින් ය.
අන්තිමට ඉතිං සිතුමාගේ පරම්පරාව මතක් කරමින් බස් එහෙක නැගී අපි හෙම්බත් වී ගෙදර අවෙමු.බලපු ඇති මැඩම් කෙනෙක් ද,දුවෙක් ද නැත.
ලේ කෝප කරවන හරිය එය නොවේ.පහුවදා ඉස්කෝලේ ඇවිත් සිතුමා කී පරිදි,එදා හවස ඌ උන්ගේ අම්මාගෙන් අපේ මැඩම් කොහේ ඉන්නේදැයි අසා ඇත.උන්ගේ අම්මා කියා ඇත්තේ අපේ මැඩම් ඉන්නේ උන්ගේ ලේන් එකට අල්ලපු ලේන් එකේ බව වීමයි.
ඉතිරි සංවාදයේ වචන මාලාව රසකතාවේ ලියන්නට තරං සභ්‍ය නැත.ඉතිං එබෑවින් නවතිමි.
යළිත් ඉස්කෝලෙ කාලෙ රසකතාවකින් හමුවන තුරු,ඔබට දෙන එකම උපදේසය නම්,ගොං වැඩ කලත් මරි මෝඩ අබ්බ ගොබ්බ වැඩ නොකරන ලෙසයි.
……………………………………………………………………….
#Whatsapp group එකට join වෙන අයට ඊළඟ article එක එනකම් ඉවසලා ඉන්න වෙනවා (පළකරන්නේ articles 2-4 අතර ප්‍රමාණයක් පමණයි), ඒ නිසා පරණ articles බලන්නත් ඕනේ නම් telegram group එකට join වෙන්න.
නැත්නම්
Sri Online Readers (ශ්‍රී Online කියවන්නෝ) Facebook Page
කියන facebook pages වලට එකතු වෙන්න.😀🙏