වීදුරුවේ රැඳුණු වතුර බිංදු අතින් පිහදාන ගමන් මං කණ්නාඩිය ට එබිලා බැලුව.වමතින් තෙත කොණ්ඩෙ පිටිපස්සට කරන කොට ඉදුණු කෙස් ගහක් ඔච්චං කරනවා දැක්කේ හරි අහම්බෙන්…මේ දෙවෙනි පාර.මුලින්ම මගෙ ඔලුවෙ ඉදුණු කෙස් ගහක් දැක්ක වෙලා අයියා හිනාවෙවී ඉශානි අක්කාට ඒක පෙන්නුවා.
“ඉශානි,මුගෙ කොන්ඩෙ සුදුවෙන්න පටං අරං..දැන් මූට කොල්ලෙක් කියන්න බෑ .හැන්ඩියා වගෙ හිටියට ගෙන නාකියෙක්…!”
“40 ලබන්න තව අවුරුදු තුනයි අයියෙ..මොන කොලු කමක්ද මගෙ දැං.”
මන් ලාවට හිනාවෙලා එවෙලේ කිව්වම අයියගෙ හිනාව අතුරුදන් වෙලා අනුකම්පාවෙන් මං දිහා බැලුවදෝ කියල මට හිතුණ.,එදා ඉශානි අක්කා ඉක්මනින් ම කතුරක් අරන් ඇවිත් මට ඉඳගන්න කියලා කෙස් ගහ මුලින්ම කපල දැම්මා..
මේක දෙවෙනි ගහ.මන් සුසුමක් හෙළලා,අනික් කෙස් ගස් එක්ක ඒ ගහත් මුසු වෙන්න අතින් කොන්ඩෙ හදන ගමන් නාන කාමරෙන් එලියට ආවා.දෙසැම්බරයේ සීතල තවමත් එහෙම්ම රැඳුණ අලුත් අවුරුද්දේ ජනවාරිය මෙල්බන් නුවරට ලබලා තිබ්බා.
.”කෑම කන්න එන්නෙ නැද්ද මල්ලි.මොනවද කල්පනා කරන්නෙ?”
ඉශානි අක්කා කාමරේ දොර ලඟට වෙලා කොච්චර වෙලා මං දිහා බලන් හිටියද දන්නේ නැහැ.මං නගාගත්ත හිනාව ආයාසයෙන් නගා ගත්තු එකක් කියලා අක්කාට තේරුණාද කියලාත් මට හිතාගන්න බැරි උණා..
“මන් එන්නම් අක්කෙ”
අක්කා මං ලඟට ආවා..ගෑනු අයට තියෙන ඉව ගැන පිරිමි අපි දන්නෙ මොනවාද. ඇඟේ වතුර ටිකවත් තාම පිහදගත්තෙ නැතිව ඇඳේ ඉඳගෙන හිටපු මගේ ඔලුව අත ගාන ගමන් ඉශානි අක්කා තිර රෙදි අතරින් ජනේලෙන් ඈත බලාගෙන ඉඳලා එහෙම්මම යන්න හැරුණා..
“ඔයාට හිත හදාගන්න කල් හොඳ ටම ඇති මල්ලියේ…”
නෑනා කෙනෙක් නොවී මගේම සොයුරියක් තරම් මට සමීප ඉශානි අක්කා ඒ ටික කියලා යන්න ගියාට පස්සේ ,එක දවසකට හත් අට පොලක රිදුම් දෙන මගෙ පපුව ආයෙත් පිච්චෙන්න ගත්තේ මං අතීතයට යන ගමන්
******
සීතල නුවර එලියේ තේ වතු යායකින් වටවුණ අපේ සුවිසාල ගෙදර මන් නැවතුණ.තේ වතු ගණනාවක් එක්ක කර්මාන්ත ශාලාවකුත් හිමි අප්පච්චි නිසා අපට ඒ පලාතෙන් ලැබිලා තිබුණේ ඉහලම තැනක්.අප්පච්චි කොච්චර සල්ලිකාරයක් උණත් අප්පච්චි ට තිබුණ සැහැල්ලු විනෝදකාමී ගති වෙනුවට අපෙ අම්ම නං උසස් පැලැන්තියේ ඌශ්නෙන් ඔලුව උදුම්මගෙන කියලා අක්කයි මායි හිනාවෙනකොට අප්පච්චි ත් ඒකට එකතු වුණා..
ඒ කොහොම වුණත්,මොනම හේතුවකට හරි වාද කලත් අම්මාට දිනන්න ඉඩ දීලා අප්පච්චි නිහඬ වුණේ අම්මා එක්ක තර්ක කරන්න බැරි කමටද ,අම්මාට තිබ්බ ආදරෙ ටද කියලා මට ඒ දවස් වල තේරුණේ නැහැ.
ඔය අතරේ මන් උසස් පෙල විභාගයට මුහුණ දුන්නා..මහන්සි වෙලා ටිකක් විවේකයෙන් ගෙදර ඉන්න අතරේ අප්පච්චි එක්ක ෆැක්ටරිය ට එහෙමත් මන් සමහරදාක ගියා..
ඔහොම ගියපු එක් සෙනසුරාදා වක මගෙ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න තරම් දෙයක් වෙයි කියලා මන් කවදාවත් නොහිතන්න ඇති.මීදුම හොඳ ට වැඩි වෙලා තිබ්බ ඒ සෙනසුරාදා අප්පච්චි යි මමයි කාර් එකේ තේ වතු මැදින් පල්ලම් බහින්න ගත්තා…ඒක හරිම සුන්දර දර්ශනයක්..ඔය තේ වතු මැද්දෙ අප්පච්චි ලග වැඩ කරපු අයට නවතින්නම හදපු පොඩි පොඩි ගෙවල් එහෙමත් දෙක තුනක්ම තිබ්බා..මහ පාරට හැරෙන තැන තිබ්බ තේ යායේ ,,නුපුරුදු ගෑනු කෙනෙක් දළු කඩනවා දැකපු මම ආයෙත් හැරිලා බැලුවා.ඒ ඉඩමෙම පොඩි කාමර දෙකේ ගේකුත් තිබුණා..
මන් හැරිලා බලනවා දැකපු අප්පච්චි ඉස්සරහ බලාගෙනම කතා කරා.
“ඔය අර අප්පු එක්කං ආපු ගෑනු කෙනානෙ පුතා”
(අප්පු කියන්නෙ අපේ වතු බලාගත්තු පරණම මුරකාරයා)
“කලින් ඔය ගෑනු කෙනා වැඩ කරපු වත්තේන් මොකක් හරි ප්‍රශ්න යක් නිසා අයින් වෙලා තියෙනවා..අර මිස්ටර් සුන්දරම්ව පුතාට මතක ඇතිනෙ..?අප්පුගෙ දුරින් නෑයො වෙනවලු ඔය ගෑනු කෙනා..මහත්තයා නැති වෙලා ගොඩක් කල්ලු.ඉස්කෝලෙ යන ගෑනු ලමේකුත් ඉන්න නිසා අනුකම්පා හිතිල තමයි අප්පු මන් ලගට ඔය ගෑනිව අරන් ආවෙ..පහලම ඉඩමෙ දලු කඩපු දෙමල පවුල අයින් වුණ නිසා මන් කිව්වා එහෙනම් ඒ ගේ කෑල්ලෙම ඉඳගෙන වැඩ කරගෙන යන්න කියලා .ඒ ඉඩමෙම දලු ටික තනියෙන් කඩන්නම් කිව්වෙ”
අප්පච්චි කිව්ව.මං ඔලුව වැනුවා.සුන්දරම් කියන්නෙ අප්පච්චි වගේ මේ පලාතේම ඉන්න තේ ඉඩම් තිබ්බ සල්ලිකාර දෙමළ මනුස්සයෙක්.
“අම්ම නං කැමති වුණේ නෑ ඔය ගෑනු කෙනා වැඩට ගන්නවාට..ඒත් අර කෙල්ලෙක් ඉන්න නිසා අන්තිමේ කැමති උණා..මොනා උනත් අසරණ පවුලක්නෙ..”
“ඇයි සුන්දරම් ලගෙන් අයින් වෙලා තියෙන්නෙ අප්පච්චි ?”මන් ඇහුව.අප්පච්චි ඉඟි මැරුවෙ රහසක් කියන්න වගෙ.
“ඔය ගෑනු කෙනාට අවුරුදු 35ත් පැන්නට පස්සෙලු ඔය කෙල්ල හම්බෙලා තියෙන්නෙ..බැඳලා අවුරුදු ගාණක් හිටියත් ලමයි ඉඳලා නෑ..හම්බුන ලමයා සුන්දරම් ගෙ කියලා හැමෝම කියන්නෙ…සුන්දරම් ගේ වයිෆ් එහෙන් මෙහෙන් දැනගෙන ඕකට කේස්ලු…අන්තිමට කොහොම හරි ගෑනිම එතනින් අයින් වෙලා තියෙන්නෙ ලමයට ප්‍රශ්න යක් වෙයි කියලලු..අප්පු තමා මට ඔය ටික කීවෙ..අම්මත් නෝක්කාඩු කීවෙ ඒකයි..හොඳ නැති ගෑනියෙක් ය වෙන්නැති කියලා ..ඒත් ලමය දැක්කම මටත් දුක හිතුනා පුතා.ඕන්නං අවුරුදු 15ක් ඇති.”
අපි ප්‍රධාන පාර දිගෙ පහලට එන්න පටන් ගන්න කොටම,,,මීදුම මැද්දෙන් ලා දම් පාට ස්වීටරයක් ඇඳගත්තු පොඩි කෙල්ලෙක් මල් පොකුරකුත් උස්සගෙන පාරේ උඩට එන හැටි ඉස්සරහ වීදුරුවෙන් මට පෙණුන.ලඟටම එන කොටයි ඒ කෙල්ලගෙ මූණ මං හරියටම දැක්කෙ..තලෙලු පාටටත් වඩා කලු පාටට උරුමකම් කියපු දිස්නෙ ගහන ලස්සන හමක් ඇයට තිබ්බේ.. කැරලි ගැහුණ කොන්ඩය ලෙල දෙනකොට ඇය පාරෙ අයිනට වුණේත් අප්පච්චි කාර් එක නැවැත්තුවේත් එකට..
“කොහෙද මාධවී යන්නෙ ගියෙ උදේම.?”
කෙල්ල මුලින්ම කලුම කලු පාට කෝපි බිංදු දෙකක් වගෙ ඇස් දෙකෙන් බැලුවෙ මන් දිහාව.ඒ ඇස් වල අලංකාරයෙන් මන් ගල් ගැහිලා ගියා.”චොක්ලට්”
මට එහෙම හිතුණේ ඇයත් ඒ පාටම නිසා..
“මල් ටිකක් ගේන්න ගියා ලොකු මහත්තයා….”කෙල්ල හීන් හඬින් උත්තර දුන්නෙ මගෙ ඇස් වලින් මුණ හංගගෙන .
.
“කලු පාට කෙල්ලො..කොච්චර ලස්සනද…?”ඒ වෙලාවේ අවුරුදු 19ටම නොදැණුන, නොදන්නා හැඟීමකින් දරුණුවටම වේදනා විඳ විඳ හිටපු මට එහෙම හිතුණ.
“හ්ම්..හරි ළමයා..පරිස්සමින් යන්න.”
අප්පච්චි මං දිහා බැලුව.අර කෙල්ල නොපෙනී යනකම් හැරිලා බලන්න හොඳ ටෝම උවමනාව තියෙද්දිත් ,,මට එහෙම කරන්න විදියක් තිබ්බෙ නැ..
“වයලට් ගෙ ලමය පුතා ඒ..අර ගෑනු කෙනාගෙ මන් කීවෙ…”
මං පුදුම වුණා..එහෙනම් සුන්දරම් ගේ ලෙයින් උපන් ලමයාද මේ…මට හිතාගන්න බැරි වුණා..හරිනෙ..සුන්දරම් තරම්ම මේ කෙල්ලත් කලුයි…මට හිතුනා..
ඉතින් ඊලඟට එලඹුන හැම සති අන්තයකම අප්පච්චි ෆැක්ටරිය ට යන්නත් කලින් මන් අම්මගෙ කාර් එකත් අරගෙන මන් කොහේද යන්නෙ කියලා වද වෙන්න තරම් ගෙදර අයට උවමනාවක් නොතිබ්බෙ,ඒ වෙනකොට මන් පොඩි ලමයෙක් නොවුණ නිසා වෙන්න ඇති..මුලින්ම එහෙම උදේ පාන්දර ගිහින් ,මන් තේ වතු යායේ පහල කෙලවර මාධාවීලාගේ පොඩි ගේ පේන දුරින් වාහනය නවත්තගෙන බලන් හිටියේ,එයා එලියට එනකම්.මල් ගවුමකට උඩින් ස්වීටරයක් ඇඳන් හිටපු ‘චොක්ලට් ‘පාරට මතු වෙනකොටම මං හෙමීට ගිහින් එයා ගාව නවත්තනකොට කෙල්ල බැලුවේ බය වෙලා..ඒ කලු කෝපි බින්දු ඇස් මාව අතරමන් කරලා දවස් ගාණක් අදට.
“ගුඩ් මෝනිං..”මන් කිවම ගුඩ් මෝනිං වෙනුවට ඇය අසුත් ලොකු කරලා කිව්වේ
“සුලක්ඛණ මහත්තයා?”කියලා.
“නගින්න මන් ෆ්ලවර් නර්සරි එක ගාවින් බස්සන්නම්”
“මං පයින් යන්නම් මහත්තය” මාධවී ඇහෙන නෑහෙන ගානට මුමුණන කොට මං කතා කරා.
“ඔයාව මං පැහැරගෙන යන්නෙ නෑ .නගින්න”
බෑ කියන්න බැරි තරම් බය වෙලාදෝ හිටපු කෙල්ල පිටිපස්සෙන් නගින්න යනකොට මන් ආයෙ කතා කලා.
“මේ ඉස්සරහින් නගින්න.මන් ඔයාගෙ ඩ්‍රයිවර් නෙවෙයි නෙ…”කෙල්ල තව ටිකක් ගැහි ගැහී වාහනේට ඉස්සරහින් නැග්ගා.ඔඩොක්කුවෙ තියාගත්තු අත් දෙකත් වෙව්ලනවා දැක්කම මට දුකත් හිතුණ .
“කොහොමද මගෙ නම දන්නෙ?”
“අ….අම්ම කියනව මහත්තයා..”
“මොනවද අම්ම කියන්නෙ?” මන් ඇහුව.
“ලොකුනෝනා ආඩම්බර වුණාට සුලක්ඛණ මහත්තයා යි ලොකු මහත්තයයි එහෙම නැල්ලු..”
මාධවී කිව්වා නෙවෙයි කියවුණා කියලා මට තේරුම් ගියේ කෙල්ල අත් දෙකෙන්ම කට වහගෙන වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් අලුතෙන්ම ගැහෙනකොට.මට ඒක දැකලා හයියෙන්ම හිණා ගියා.
ඉතින්,,මන් තවත් හෑලි කිවන්න ඕන නැහ..අපේ බැඳීම පටන් ගත්තේ එතන ඉඳන්.කටින් නොකීවාට ,මන් දන්නවා අපි දෙන්නගෙම තිබ්බ හැඟීම් මොනවගේද කියලා ,ඒත් එක්කම තාමත් ඉස්කෝලෙ යන මේ කලු කෙල්ලගෙ හිත “ආදරෙ “කියන වචනය දාලා අවුල් කරනවාට වඩා දෙන්නගේම හිත් වල මෙහෙමම
ලියලද්දෙන් කියලා මට හිතුණ.
අත් දෙක එක ලඟින් තියලා
“බලන්න ..ඔයා සුදුම සුදුයි..මන් කලුම කලුයි..අපි ගැලපෙන්නෙ නෑ නේද..”
කියලා කොච්චර බොලඳ වදන් කීවත් මන් කැමතිම මේ කලු චොක්ලට් කෑල්ලට විතරක් වග මාධවී හොඳ ටෝම දැනගෙන හිටියා..
ඔහොම කාලය ගෙවෙනකොට දවසක් මාධවී වෙනුවට පාරෙ හිටියෙ වයලට්.
“රත්තරං මහත්තයෝ..මහත්තයා රත්තරං කියලා මං දන්නවා දෙයියෝ..ඒ උණාට ලොකු මහත්තේලා,නෝනලා දැනගත්තු දාක මයෙ කෙල්ලට මොනා වෙලා මේවා කොහෙන් නතර වෙයිද මහත්තයා?”
වයලට් හැට්ට අතෙන් කඳුළු පිහින ගමන් නහය හූර හූර කියන්නත් කලින් ඉඳලා,ගෙදරින් දැනගත්ත දාට කොහොමවත් මේ සම්බන්ධයට කැමති වෙන්නේ නෑ කියලා හොදාකාරවම දැනගෙන හිටියත් මේ චොක්ලට් පාට කෙල්ලව හිතින් අගලවලා අයින් කරනා බැරි තරමට මං එයාට පෙරේතකමේ පැලෙමින් හිටියා.
“වයලට් නැන්දා බයවෙන්න ඕන නෑ.කවදාක හරි මං බඳින්නෙ මාධවීම විතරයි”
මං ස්ථිර හඬින් ඔය ටික කිව්ව.
කොච්චර හන්ගන්න හැදුවත් හැංගි හැංගි කරන්න බෑ වගේ,මාස දෙක තුනකට පස්සේ ඔක්කොම දැනගත්තු අම්මා පොලොවේ පස් නොකෑවා විතරයි.අකුණු ගගහා ඇදහැලුණ මොර සූරන වැස්සකට වඩා හයියෙන් අම්මා වැළපුණා.
“අඩු පාඩුවක් නොකර උඹලගෙ කරදඬු උස් මහත් කලෙ අපි මේකටද පුතා?ආතක් පාතක් නැති,ඒ මදිවට දෙමළෙක් ගේ ලමයෙක් කරගහන්න? අනික කලුම කලුයි..උඹට රටේ ලෝකෙ වැදගත් තැනක ලස්සන කෙල්ලෙක් හිටියෙම නැද්ද පුතා…?? ආ??”
අම්මා දෑතින්ම පපුවට අත් වලින් ගහගන්න කොට මං කීවේ එකම එක දෙයයි.
“අම්මා,මං කවදා හරි බඳින්නේ මාධවීවම තමයි”
අප්පච්චි වචනයක් වත් නොකියා අම්මව සනසන්න උත්සාහ කලා.අම්මා මට වාහනේ යතුර පවා හැන්ගුවාට පස්සෙ මට ගෙදරින් එලියට යන්න විදියක් තිබ්බේ නෑ..පයින්ම යන්න හිතුණත්,,මොනවාටත් වඩා මේ මගේ අම්මාය කියන හැඟීම නිසා එහෙම නොගිහින්,,කාමරේට විතරක් සීමා වෙලා මන් කෑම බීම වර්ජනය කරලා හිතුවක්කාරකම් කලා..
මූණත් ඇදිලා ,,සති ගාණක රැවුලකුත් වවාගෙන හිටපු මන් ලඟට ආව අප්පච්චි කිව්වේ
“තේරුමක් නැති දේකට මහන්සි වෙන්න එපා පුතා..බාප්පලා ගාවට යන්න ලෑස්ති වෙන්න.”කියලා විතරයි.මෙච්චර දවස් වයලට් ටත්,මාධවී ටත් දෙස් දෙවොල් තිය තිය හිටි අම්මත් එවෙලෙ අප්පච්චි පස්සෙන් කාමරේට ආව..මගෙ හැටි දැකලා අනුකම්පා මූණෙන් මන් දිහා කඳුළු පුරවන් බලන් හිටි අම්මා අන්තිමට මන් ගාවින් ඉඳගත්තා.
කෙට්ටු වෙලා ගිය මගෙ මූණ පිරිමදින ගමන් අම්මා කථා කලා.
“ඒ ලෙවල් වලින් පස්සෙ ඔයාව රට යවන්නනෙ පුතා අපි කොහොමත් හිතාගෙන හිටියෙ..ඔයා ඩිග්‍රිය අරන් ලංකාවට ආවට පස්සෙ එහෙනම් අපි ඕක එකලාසයක් කරමු.ඊට කලින් , අප්පච්චි ගෙයි මගෙයි හීනත් සැබෑ කරලා ඉන්නවා කියලා පොරොන්දු වෙන්න පුතා..ඊලඟට මේ සේරම බාර දෙන්න අපිට ඉන්නෙ ඔයා විතරයි නෙ…
මට අම්මා ගැන ඇති වුණේ වෙනදාටත් වඩා ආදරයක්..අන්තිමට එයාලාත් තේරුම් අරන්.
“ඇත්තමද අම්මලා කියන්නෙ..එහෙනම් මන් ලංකාවට ආවට පස්සෙ මට මාධවී බඳින්න අම්මලා ඉඩ දෙනවද..?මගෙ ඇස් වලත් කඳුළු පිරිලා..
“ඔව් අපි හොඳ දෙයක් කරමුකෝ පුතා..”
අම්මා හීන් හිනාවකින් මුණ එලිය කරගෙන කිව්ව.දවස් දෙක තුනකට පස්සෙ මන් උසස් අධ්‍යාපනය ට රට යනවා කීවම මාධවී මට ගමනට සුබ පැතුවේ ගොඩාක් දේවල් හිතේ හිරකරගෙන කියලා මට නොදැනුනා නෙවෙයි .ඒත් මාධවී ව මගෙ ලඟට ගන්න නම්,මන් අම්මලාගෙ කැමැත්ත මුලින් ඉටු කරලා ඉන්න ඕනෙ කියන එක මන් එයාට පහදලා දුන්නා.
රට යන්න කලින් කරන්න වැඩ ගොඩාක් තිබ්බ නිසාත්,මාධවී සාමාන්‍ය පෙළට මුහුන දෙන නිසා ඉස්කෝලෙ න් පස්සෙ අමතර පංති තිබ්බ නිසාත් මට ඊලඟ දවස් ගාණම එයාව මඟ ඇරුණා..රට යන්න සතියකට වගෙ කලින් මං මාධවීලාගෙ ගෙදර ගියත් ගෙදර වහලා තියෙනවා දැකපු මං, ගෙදර ඇවිත් දළු කඩන ගෑනු අයට අණ දිදී හිටපු අප්පු ලඟට කිට්ටු කලා.
“කෝ අප්පු මාමා අරගොල්ලෝ කොහෙ ගිහින්ද ?
“ආ එයාලා දුර ගමනක් ගිහින් පුතා.”අප්පු වෙනුවට උත්තර දුන්නෙ පිටිපස්සෙන් ආපු අම්මා..මට ලැජ්ජත් හිතුණ.
“වයලට් ගෙ ලොකු අක්කා ඔය කොහේද දුරක ආරාමෙක ලොකු මෙහෙනින් වහන්සේ නමලු..එතුමියට සනීප නැහැ කියලා අම්මයි දුවයි අප්පච්චි ගෙන් අවසරත් අරගෙන ඔය ගිහින් එන්න ගියේ..පුතා මෙ දවස් වල බිසී වෙලා හිටි නිසා මට කියන්නත් බැරි වුනා..”
අම්මා කිව්ව.මට මාධවී නිකමටවත් කීවෙ නෑනෙ..එක්කො මන් වැඩ වලට එහෙ මෙහෙ ගිය නිසා බැරි වෙන්න ඇති..රට යන්න දවසකට කලින් ගියත් එදාත් ගෙදර වහලා තිබ්බ නිසා රට යන්න කලින් ලස්සන චොක්ලට් මූණ බලාගන්න බැරි වෙන එක ගැන මට ලොකු දුකක් ආව.ඒ කලකිරීමත් එක්ක අම්මලාට හොරෙන් මන් අප්පු මාමා මුණ ගැහිලා අලුතෙන්ම ගත්තු ලැප් එකකුයි,ෆෝන් එකකුයි,සල්ලි ටිකකුයි එයා අතේ තිබ්බා.
“මාධවීට කියන්න මාමා,මං ෆෝන් එකට සිම් එකක් දාලා ඇත්තෙ..එයාලා ගෙදර ආපු ගමන් මේවා දීලා කියන්න ෆෝන් එක ඔන් කරන්න කියලා.මන් මේ නම්බර් එක අරන් යන්නෙ..මන් එහෙට ගිය ගමන් ගන්නම් කිව්වා කියන්න මාමා. මන් මේවා දුන්නා කියලා ගෙදර අයට කියන්නෙපා.”
මං යන දුකටද මංදා අප්පු මාමාගෙ ඇස් වල කඳුලු පිරිලා තිබුණා..
“පොඩි මහත්තයා”,කියලා කතා කරලා මන් ඇයි ඇහුවට පස්සෙ කියන්න හදපු දේ නවත්තලා,”පරිස්සමින් ඉන්න ඕනෙ පොඩි මහත්තයා”කියලා අප්පු මාමා කිව්වදෝ කියලත් මට හිතුණ..
බාප්පලා ලගට ගිහින් ඩිග්රි එක කරන්නත් ගත්තාටත් පස්සෙ,කොච්චර ගන්න ට්‍රයි කරත් මට මාධවීට ගන්න බැරිවුණා..එයාට දුන්න ෆෝන් එක ඔන් කරලා තිබුණේ නෑ..මං හිටියේ ලොකූ මානසික පීඩනයක .කතාව දැනන් හිටපු බාප්පගෙ පුතා-දේවක අයියා “කෙල්ල ගනියි බං”කියලා මගෙ හිත හැදුවත් මාධවීට ගන්න මට බැරිවුණා.
පුලුවන් තරම් ඉවසලා අන්තිමේදී අම්මා කතා කල වෙලාවක මන් ඇහුවා මාධවී ගැන..ටිකක් වෙලා නිහඬව හිටි අම්මා හඬ බාල කරලා කථා කරෙ දුකින් කියලා මට තේරුණා.
“අනේ මංදා පුතා,,ඔයාට කියනවාද නැද්ද කියලා මං දවස් ගාණක් කල්පනා කරෙ..ෆ්ලවර් නර්සරි එකේ කොල්ලා එක්ක එයා දවස් ගාණක් කථා කර කර ඉන්නවා අප්පච්චි දැකලා තිබ්බා පුතා…”
මට කිසි දෙයක් හිතාගන්න බැරිවුණා…මට මාධවී ගැන පොඩි සැකයක් වත් නොතිබුණත්,මට කතා නොකල එක ගැන තිබ්බ බය නිසාම මං අප්පච්චි ටත් ගත්තා.අප්පච්චි කීවෙ,
“මුලින් ඩිග්රි එක හරියට කරගන්න පුතා ..ලන්කාවට ආවම අපි ඕක හෙමින් සැරේ කථා කරමුකො…”කියලා.මේ ඔක්කෝමලා මගෙන් මොනවදෝ හංගනවා කියන එක මට ඒ වෙනකොටත් දැනිලයි තිබ්බෙ .ඒත්,මාධවී වෙනස් වෙලා කියන එක නම් මට පොඩ්ඩක් වත් හිතන්න බැරි වුණා.දවසක් ඒ කාලකණ්නි දවස උදාවුණා..කතා කර කර ඉන්න ගමන් අම්මා කියපු දෙයින් මාව නැත්තටම නැති වෙලා ගියා කියලා මට දැණුනා.
“වයලට් නැති වුණා පුතා..මාධවී ෆ්ලවර් නර්සරි එකේ පිරිමි ලමය ව බැඳලා මෙහෙන් ගියා..!”
මං ඇහුවෙ මෙච්චර යි .”මං ගැන ඇහුවෙ නැද්ද අම්මා?”
“අපට කියලා තමයි ගියෙ .කවදාවත් ඔයා ගැන ඔයා රට ගියාට පස්සෙ මාධවී ඇහුවෙ නෑ පුතා..”
කාලය ගෙවිලා ගියා.මං හුගක්ම මත් පැන් වල පිහිට පැතුවේ ඒ වෙලාවට කවරදාකටත් වැඩියෙන් අර ලස්සන චොක්ලට් මූණ මට මතක් වෙන්න ගත්තු නිසයි..
ඩිග්‍රිය ඉවර කරලා ලංකාවට එනවා වෙනුවට දේවක අයියා වැඩ කරපු කම්පැනි එකටම මාත් සම්බන්ධ වුණා.අප්පච්චි කොච්චර කථා කලත්,මන් ලංකාවට ගියෙ නෑ.ඔය අතරේ අක්කාගෙ වෙඩින් එක තිබ්බ නිසා මට අකමැත්තෙන් වුණත් ලංකාවට එන්න වුණා.ඒ ඇවිල්ලත් ආයෙ අප්පච්චි ලා කොච්චර අකමැති වුණත් ආයෙ රට යන්න සේරම ලෑස්ති කරලා පුරුද්දකට වගෙ අර පොඩි ගේ කෑල්ල ලගට ආවෙ හිත ටිකක් වැඩියෙන් පාරවගන්න..
කඳුලු පුරවගෙන ,සිගරට් එකක දුමෙන් පෙනහලු වලටත් වද දිදී හිටපු මම
“මහත්තයා..”හඬීන් පිටිපස්ස බැලුවා..
“අප්පු මාමා”
තවත් ටිකක් වියපත් වුණ අප්පු මාමා දැන් අප්පච්චි ගාවින් අයින් වෙලා ගොඩක් කල්..අප්පු මාමා වයසට ගියෙ අප්පච්චි ගාවමයි කියලා මට හිතුණා..
අප්පු මාමා මං ගාවට එනකොට මං සිගරට් එක බිම දාලා පාගන ගමන් හිනාවක් නගා ගත්තා..ඔහු මං ගාවට ඇවිත් රැළි වැටුණ ගැහෙන අත් දෙකින් මාව අල්ලගත්තම මට ගොඩාක් අනුකම්පා හිතුණෙ,,ඇස් වල කඳුලුත් දකිද්දි යි..මන් මීට අවුරුදු ගණනාවකට කලින් රට යනකොටත් අප්පු මාමා කදුළු පුරවන් හිටියෙ මෙහෙම කියලා මට මතක් වුණා..
“මහත්තයා..”ඒ බැගෑපත් හඬ.”මහත්තයා මට සමාව දෙන්න මහත්තයෝ…”ගොත ගැහෙන හඬින් අප්පු කියනකොට මන් පුදුම වුණා
“මොකද අප්පු මාමා.?”ඇයි මෙ?”
මහත්තයා රට යන්න කලින් මාධවී දුව හම්බුනොත් හිත වෙනස් කරගනි කියලා බයට ,මහත්තයා යනකං ලොකු නෝනා කිව්ව නිසා උඩහ වත්තේ ගේ ගෑල්ලක මන් වයලට්වයි කෙල්ලවයි නතර කරා මහත්තයෝ…දුප්පත් එකී මොනවා කරන්නද මහත්තයො මට සමාවෙන්න.කෙල්ලට දෙන්න කියලා මහත්තය දුන්න කළමනා ටික ඔක්කොම ලොකු නෝනා මගෙන් ගත්තා මහත්තයා..මහත්තයා ඉපදෙන්නත් කලින් ලොකු මහත්තය ලග රස්සාව කරපු මට ඒ උදවියට පිටින් යන්න හිතුණෙ නෑ මහත්තයෝ…..!”
*******
අතීතයෙන් මිදිලා තවත් වරක් හිත කෑලි ගාණකට බිඳ ගත්තු මම පහලට එනකොට දේවක අයියා කතා කලා.
“මල්ලි..ලොකු අප්පච්චි එනවලු අනිද්දා..ඔයා ගෙදර ට කතා කරෙත් නැල්ලු නේද සෑහෙන්න දවසකින්?”
මන් නිහඬව කෑම මේසයේ ඉඳගත්තා..
“දෙමව්පියන්ගෙන් පළිගන්න එක නවත්තපන් මල්ලි..ලොකු අප්පච්චි ත් දැන් සෑහෙන්න වයසයි..උඹ අප්පච්චි ගෙ සේරම බලාගන්න ඉන්න එකම පුතා බව මතක තියාගනින්..ලොකු අප්පච්චි ආවම හොඳ ට හිතලා තීරණයක් ගන්න.ෆෝන් වලින් කථා කරලා තේරුමක් නැති නිසයි අප්පච්චි එනවා කියන්නෙ..”
ඉතින් අප්පච්චි දවස් 2කින් ආවා..අවුරුදු ගණනාවකට පස්සෙයි අපි දෙන්නා මෙහෙම කතා කලෙ..ඒ කතා කරලා අප්පච්චි කීවෙ මෙ ටික..
“අම්ම හොඳ ටම අසනීපෙන් පුතා..මා එක්ක ලංකාවට යමු..අම්මට ඔයාව බලන්න ඕනලු..අම්මට තීයේලු ලොකු කථාවක් ඔයාට කියන්න..”
තාත්තා මාව වැලඳගත්තාම පීතෘ සෙනෙහසින් මාව මත් වෙලා ගියා..මොන දේ වුණත් මෙච්චර කාලෙකට දෙමව්පියන්ගෙන් ඈත් වෙලා මන් කලේ වරදක්දෝ කියලා එවෙලේ මට මුල් වතාවට හිතුණ.මං අප්පච්චි එක්කම ලංකාවට ආවෙ එහෙම .අසනීප තත්වයෙන් ඇඳටම වෙලා ඉන්න අම්මව දැක්කම වරදකාරී හැගීමකින් මාව අසරණ වුණා..
“අඬන්න එපා මගෙ පුතා..ඔයා වැරදි නෑ..මෙහෙ එන්න..”
අම්මා මට අත දිගු කරල ලඟට කතා කලාම මන් ඇඳ ලග දණ ගහගත්තා.
“මට සමාවෙන්න අම්මෙ..”
“සමාව ගන්න ඕන ඔයා නෙවෙයි පුතා මමයි..”
අම්මා මගෙ ඔලුවට උඩින් මූන තියාගෙන අඬන්න ගත්තා..
“ඔයා රට ගියාට පස්සෙ ගැහි ගැහී මාධවී මෙහෙ ඇවිත් මගෙන් ඔයාව ඇහුවා පුතා..තිබ්බ දුශ්ට කම නිසාම මන් එයාට කිව්වෙ ඔයා රට ගිහින් එහෙන් හම්බුණ ලන්කාවෙ ගෑනු ලමයෙක් එක්ක යාලු වෙලා කියලා..ඒක කියපු දවසේ ඒකි වැලහින්න වගේ අඬ අඬ පොලොවෙ පස් කකා ඉද්දී වයලට් ඇවිල්ලයි එක්කන් ගියෙ මගෙ පුතේ.”
මට අදහාගන්න බැරි වුණ සත්‍යය අම්මගෙ කටින්ම කියවෙනකොට මට දරාගන්න බැරි වුණා..
“අම්මෙ????”
“ඔයාට මට කවදාවත් සමාවක් දෙන්න බැරි වෙයි පුතෙ..රට යනකම් ඔයාගෙ හිත වෙනස් නොවෙන්නය කියලා ඔයා යනකම් ඔයාට නොදකින්න ඉන්න කියලා මං කිව්වම ඒ කෙල්ලම කැමති වුනා උඩහ වත්තෙ ගෙදර ඉන්න .ඒ ඉදලත් මන් අන්තිමට කලේ අර දේ පුතෙ..අම්ම මැරුණට පස්සෙ මෑණියෝ එක්ක යන්න කලිනුත් මගෙන් ඇහුවෙ මහත්තයා බැඳලා නෝනා එක්ක හොඳින් ඇති නේද කියලා යි..මං ඔයාට මාධවී බැන්දා කියලා කිව්වේ බොරුවක් මගෙ පුතෙ.අප්පච්චි එක්ක මං කොච්චර රණ්ඩු කලාද ඔයාට එහෙම කියමු කියලා ..හැමදාමත් වගෙ එ සටනෙන් මන් දිනුව..කෙල්ල ආරාමෙට ගියාට පස්සෙ මට ලියුමක් එවල තිබ්බ.
‘මහත්තයා ආ දවසක මං හුඟාක් ආදරෙ න් හිටියා කියලා මට සමාවෙලා කියන්න ලොකු නෝනා.මං මේ හැමදේම අත් ඇරලා කසාවතට යන්න තීරණය කළා….’
ඔන්න ඔහොම ලියලා තිබ්බා..මට එදා ඉදන් දරාගන්න බැරි වුණා පුතා මන් කළ අපරාධය….මෙච්චර මන් ලෙඩ වෙන්නත් හේතුව ඕකයි..දරාගන්න බැරිම තැන අප්පච්චි ට කීවට පස්සෙය් අප්පච්චි මෙල්බන් වලටම ගිහින් ඔයාව එක්කන් එන්න තීරණය කලෙ…යන්න ඇඩ්රස් එක ඇති ලියුමෙ.ලඟට ගන්න නැරි වුණත් යන්න,ගිහින් අන්තිම පාරට හරි ඒ මූණ බලලා එන්න .පව් පිරවෙන්නෙ නැති වෙයි ඔයාට පුතෙ….”
*****
ඒ ආරන්න්යය හොයාගෙන මන් අක්කවත් කතා කරගෙන ඒ දුර ගමන ආවේ ඊට පස්සේ..
අක්කා සේරම විස්තරය කීවාට පස්සේ වියපත් ලොකු මෑනියන් වහන්සේගේ මුවේ ඇඳුණේ සන්සුන් සිනාවක් විතරයි..
“යන්න දරුවෝ..උඩ මළුවේ ඇය බලාගෙන ඇති….”
එහෙම සුදුසුද කියලා අහන්න මට හිතුනත් අවසර ගත් මං,උඩ මලුවට ගියේ එලියට එන්න තරම් හඬින් ගැහෙන පපුව අතිකින් තද කරගෙන..ඒ කසාවත රැඳුණ රුව මගෙ නෙත කොහොම දරාගනීද කියලා මටම හිතාගන්න බැරි වුණා..පපුව පැලීලා මැරුණත් ඊට කලියෙන් ඒ රුව තව එක පාරක් මට බලාගන්න ලැබුණොත් මට ඇති.
හිස් උඩ මළුවට කොච්චර හිත හයිය කරගෙන ගියත් එක නිමේෂයක දරාගන්න බැරිවුණ මං මලුවේ දණින් වැටිලා අඬන්න ගත්තා..
“මට පව් නෑ..මට පව් නෑ..මට එක පාරක් ඒ මුණ දැක්කොත් ඇති බුදු හාමුදුරුවනේ !සංසාරෙටම ඇති”
“සුලක්ඛණ මහත්තයා?”
ඒ හඬින් නැගිට්ට මන් පිටිපස්ස බැලුවා.
ඒ රුව මන් ගාව දනින් වැටුණා..
“මගෙ මහත්තයා..ආදරේ අකුරු හතරේ තේරුමවත් නොදන්න කාලේ මහත්තයට බැඳුණ මට ඒ බැඳීමෙන් ගැල වෙන්න බැරි වුණා මහත්තයෝ…!
හැමදේම අත් ඇරලා කසාවත දරන්න බලාපොරොත්තු වෙන් ආවත් ,කලු කෙල්ලට ආදරෙ කරපු සුදු මහත්තයව අමතක් කරන්න මට බැරි වුණා..ඒ ආදරෙ,මහත්තයා බැන්දා කියල කිව්වට පස්සෙත් අත් අරින්න බැරි වුණ මම කසාවතක් දරලා බවුන් වඩන්න තරම් හිත එකඟ කරගන්නෙ කොහොමද කියලා දෙන්න මට මගෙ මහත්තයෝ!
“
මගෙ දෙපතුල් උණු කඳුලින් තෙමමින් කසාවතක් වෙනුවට සුදු වතින් සැරසී හිටපු මාධවී ව මං උරහිසින් අල්ලලා නැගිට්ටෙව්ව.ඒ ලස්සන කලු මුණේ සුන්දරත්වය තිස් වැනි විය පහු කරලා අවුරුදු දෙකකට ආසන්න වෙලා තිබ්බත් එහෙම්ම තිබුණ..මන් ඒ ඇස් වලට එබිලා බැලුවෙ දරාගන්න බැරි පවිත්‍ර සෙනෙහසකින්.
“ලොකු මහත්තයා ,මහත්තයව එක්කන් එන්න රට යන්න කලින් දවසෙ මෙහෙ ඇවිත් ලොකු නෝනා කිව්ව සේරම කිව්ව”
හීන් හඬින් මාධවී මිමුණුව.
“මං හරි ආදරෙයි” ඇගෙ හිස අත ගාමින්
අවුරුදු ගණනක් ගතවෙලත් මං එබිලා බලනකොට ,මං වෙනුවෙන් නැඟුණ පිරිසිදු කඳුළු බිංදු වලින් ඒ ලස්සන කෝපි බිංදු ඇස් දෙක එදා වගේම දිස්නෙ ගගහ තිබ්බ..
උපුටා ගැනීම: Manik Singhawansha