කොහොමින් කොහොම හරි විලි ලැජ්ජාවන් (3rd Shy) ඒලෙවෙල් ලියලා කැම්පස් තේරෙන මට්ටමට පාස් උනා. හැබැයි මුලින්ම තේරුනේ මොරටුව විශ්ව විද්යාලෙ නගර හා ග්රාම නිර්මාණය පාඨමාලාවට. ඒකාලේ කැම්පස් කතා අහන්න හරි ආසයි. කැම්පස් උණේ හොඳටම ගහලනේ තිබුණේ. එහෙම අහගන්න කියලා හිටියෙත් අම්මයි තාත්තයි විතරයි. හැබැයි ඒ කතා අවුරුදු බර ගානක් පරණයි. ඒවත් කැළණිය ගැන විතරයි.
මොරටුවේ ලියාපදිංචි වෙලා කැම්පස් යන්න දින ගැන ගැන ඉන්නකොට මට ලියපදිංචි තැපෑලෙන් ලියුමක් එනවා ගෙදරට. ඔබ පේරාදෙණිය විශ්ව විද්යාලයේ කෘෂි තාක්ෂණ හා කළමනාකරණ පාඨමාලාවට තේරුණා කියලා. එදා තරම් සන්තෝසයක් තවත් නෑ. ඇයි යන්න ආසාවෙන් හිටියෙ පේරාදෙණියටනේ. දැන එහෙත් ලියාපදිංචි වෙලා ඉන්නකොට ලියුමක් එව්ව බඩු ලැයිස්තුවකුත් එක්කම. එන්න කියලා මහඉලුප්පල්මට.
බැලුවම තියෙනවා දුවන සපත්තු, බයිසිකලයක්, තොප්පියක්, පිඟානක් කෝප්පයක්, ඒ ඔක්කොමත් හරි පිටගැස්මට ඉන්ජෙක්සන් එකත් ගහන් එන්නලු. මම හිතන්නේ එහෙම ලිපියක් එවන ලංකාවේ එකම පාඨමාලාව වෙන්න ඇති. දෙබරවැව ඉස්පිරිතාලෙට ගිහින් ඉන්ජෙක්ෂන් එකත් ගහ ගත්තා. මුලින්ම බැලුවා මහඉලුප්පල්ම තියෙන්නේ කොහේද කියලා. ඒ කාලේ ඉතින් ගූගල් මැප් එක එන කාලේ. බැලුවම පේනවා, අනුරාධපුරේ පැත්තෙලු තියෙන්නේ.
ඔන්න කැම්පස් යන දිනට පෙර දින උදා උනා. මම ඉතින් සැහෙන පිට් එකකින් ලෑස්තිවෙලා හිටියෙ. ඔක්කොම බඩු ලෑස්ති කරගෙන යන්නේ ඉගෙන ගන්න නෙමෙයි වාගේ පොත් පෑන් මුකුත්ම ගත්තෙ නම් නෑ. පස්සෙ ගන්න පුළුවන්නේ කියලා. යන්න ඔක්කොම ලෑස්තියි. තිස්ස හිටපු Chamara Abeygunawardhana පොරත් මාත් එක්කම යන්න එනවා කියලා කිව්ව එයත් එදා අපේ ගෙදර නැවතිලා හිටියේ.
මම ඉතින් සෑම ගමනකටම කලින් කරන සුභ මුහුර්තය විදියට ඒ කාලේ අපේ ගෙදර තිබ්බ town ace වාහනේ කිරි කොකා වෙන්න හෝදලා ඉස්සරහ windscreen එකත් viper එක දාල හොඳට හෝදලා පස්සේ පාර්ක් කරන්න හිතාගෙන එලියෙන් දාලා තිබුණා. මම ඒක හෝදනකොට හවස හතරට විතර ඇති.
ඇරාට මහන්සි කිව්ව නිසා පොර කලින්ම නිදා ගත්තා. අපි ඉතින් බයිසිකල් ගලවලා, වාහනේට දාලා වැඩ ගොඩයිනේ. එව්වා සේරම හැදුව. ඇයි මේ සුබ ගමනක්නේ. අම්මා පිරිත් කියනවා. ගෙදර සුබ වැඩ ගොඩයි. අනික පවුලෙ වැඩිමලා නේ. එයා කැම්පස් යන මුල් දවසේ ගෙදර මගුල් ගෙදරක වැඩ.
මාත් නිකා හිටියේ නෑ හෝදපු වාහනේ පාර්ක් කරනවා කියලා හිතාගෙන වාහනේට නැග්ගා. යතුර කරකනවා මෝටරේ වැඩ නැත. ආයෙ පාරක් බැලුවා. මෝටරේ වදින්නේම නැත. මම සෑහෙන පිට් එකකිවාහනේ හෝදපු හේදිල්ලට වාහනේ වයිපර දාන්න යතුර ඔන් කළා ආයේ ඕෆ් කරලා නෑ. කැම්පස් සිහිනය වාහන බැටරියක් නිසා බොඳ වන ආකාරය මා ඉදිරියෙන් මැවෙන්නට විය. බැටරිය නිකන් බැස්සා නම් දුකක් නැත. වැඩි හොඳ කරන්නට ගොස් යතුර ඔන් කර තැබූ ගොන්කම ගෙවමින් සිටිමි.
කළ හොඳ පස්සෙන් පන්න පන්නම එලවන සීන් එකක් වෙලා තියෙන්නේ. පිට් එක වැඩි කමට. මොනවා කරන්නද ඕන එකක් තාත්තට කිව්වා. වෙලාව 10.00ට විතර ඇති රෑ. මොනවා කරන්නද තල්ලු කරනවා ඇරෙන්න. නිදා සිටින යහළුවාට කරදර කිරීම පාපයක් සේ සලකා, නිදා සිටි නංගී හා මල්ලී ඇහැරවාගෙන රෑ එකොලහට වාහනේ තල්ලු කළා. කෙසේ හෝ අයියාගේ කැම්පස් සිහිනය සැබෑ කරන්නට මල්ලීත් නංගීත් නිදිමතේම වාහනයට තල්ලු දැම්මේ මා හට ඉතාම ආදරයෙනි. මොන වදින්නෙම නෑ. බැරිම තැන තාත්තා ගෙවල් පැත්තෙ අයියා කෙනෙක්ට කියලා පොර එයාගෙ වාහනෙන් ඇවිත් ජම්පර් එකක් ගහලයි වාහනේ ස්ටාර්ට් කළේ..
එදා ඉඳන් අද දක්වා මම වාහනය හෝදනවා නම් යතුර වාහනෙන් අයින් කරලා වගකිව යුතු බලධාරියෙක්ට දෙන එක නීතියක් බවට ගෙදර සම්මත උනා…
ඔන්න ඔහොමයි මම කැම්පස් ගියෙ……
උපුටා ගැනීම: Nalaka Wehalla