මගේ ඕවර්ලෝඩඩ් ෆීලින්ග්ස් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉතින් මතු ආත්මයක පිරිමියෙකු වන තුරු ස්ත්රිය එල්ලාගෙන සිටිය යුතුය
නයි මල්ලක් වගේ දෙකේ හතරේ පත බෑගයක් නැතිව ගමනක් යාමට එලියට බහින්නට මට බැරිය.
එහි වතුර බෝතලයක්,කුඩයක් පොතක් ශොපින් බෑග් කිහිපයක්, ටිශූ කොල කිහිපයක්, පනාවක් චාජරයක් කන් ඇබ දෙකක්, වැනි එකී මෙකී නොකී කෙල්ලෙකුට අවශ්ය ලට්ට ලොට්ට සියල්ලම පාහේ රිසිසේ නිදහසේ වැටුනු වැටුනු තැන් වල අපිලිවෙලට මෙන් උන්ට ඕනෑ ලෙස විසිරී ඇත.ඒවා කෙතරම් අවුල් වී තිබුනත් ඇස් වහගෙන වුවත් අත ඔබා මට ඕනෑකරන දෙයක් ගැනීමට බැරි කමක්ද නැත. විටෙක පර්ස් එක අදින විට කෑලි බෑලි කිහිපයක් බිම වැටී ජනී ජනයා ඉදිරිපිට මඳ නෝන්ඩියට පත් වුවද එය එතරම්ම අපිලිවෙල නොවන බව තරයේම කිව යුතුමය.මන්ද අතිශයෝක්තියකුත් අමුණා මා අපිලිවෙල ගැහැණියක බව ඔප්පු කිරීම අනුවණ කමක් බව මා දනිමි.
කලකට ඉහතදී නයි මල්ලට ගිය මුදල මෙන් දෙගුණයක් වියදම් කර ලස්සන සූටී හුරුබුහුටි බෑගයක් මිලදී ගත් බව සැබෑවකි. සෑමවිටම ලොකු ඒවා ගනන් අඩු බවත් පොඩි ඒවා ගනන් වැඩි බවත් ඒ මොහොතේ නැවත පසක් වූ බව සැබෑය.
කෙසේ හෝ එවන් උඤ්ඤං එකක් මිලදී ගත්තේ රැල්ලට බවද සැබෑය.මා මෙන් ලස්සන ගැහැණු ලමුන් උඤ්ඤං බෑග් දමා යන ෆැසොන් එක කොපි කලත් අවසානයේ කුඩේ ඔබාගන්නේ කොහෙටදැයි සිත සිතා සිටියෙන් ගමනද පමා විය.
සමහරවිටෙක කොළඹ ගිහින් එනතුරුම වතුර බෝතලය විවෘත නොකරන මා පැයක ගමනකට එලියට බැස්සද තඩි වතුර බෝතලයක් පුරවා නයි මල්ලට දමාගැනීම සිරිතක් වී ඇත.එය පිපාසය සංසිදවාගැනීමේ අරමුණෙන් නොවේ සිත සංසිදුවාගනු රිසිනි.මා ලග වතුර බෝතලයක් නැති නම් මදිකමකි. අකල් කැස්සක් වුවද එන්නට ඉඩ තිබේ. සමහරවිට මා එසේ කරන්නේ මනුස්සයා පැවසූ අයුරින් ස්මාට් ගැහැණියක් වීමටය.
ස්මාට් කෙසේවෙතත් එතුමාණෝට තිබහ වෙලාවට සහරාවේ සිටියත් මා වතුර බෝතලයක් දික් කර යුතු බව හේ තෙමේ සිතා සිටින බව මා දනිමී.එය වෙනම කරුණකි.
කෙසේ හෝ උඤ්ඤං සුකුරුත්තමට ලට්ට ලොට්ට ඔබා ගැනීමේදී උභයත්තෝටික ප්රශ්න වැලක් විත් මා විඩාපත් කල බැවින් එය අල්මාරියේ මුල්ලකට ගියේ එක් දිනක් පමණක් භාවිතා කිරීමෙන් බැවින් ඒ බෑගය ගැනීමට කල වියදම සාපරාධී ක්රියාවක් විය.
මින්මතු ෆැසොන් කොපි කිරීමට පෙර මාගෙ තරාතිරම තක්සේරු කල යුතු යැයි මටම අවධාරණය කරගතිමි.මට පොඩි ඒවා හරියන්නේ නැත.ගොඩක් ගැහැණුන්ට එසේය.ෆැසොන් එකට චුටී ඒවා ගත්තට මොකද දුර ගමන් යෑමට පත නයිමල්ලක් අත්යාවශ්ය වේ.
……………………………
උදේ හිටන් එල්ලගෙන හිටි අහස තරහ පිරිමහගන්න ඔලු ගෙඩියට වැහි ටොකු අනින්න කලින් බස් රියේ අසුනකට ගොඩ වීමට හැකිවීම දවස අවසානයේ මා ලද එකම ජයග්රහණය විය.මා ආසම කරන වැව රවුම පැත්තට වන ජනේලේ ලග සීට් එක හිස් වී තිබීම නම් වාසනාවකි.මන්ද ඒ පස අසුන් බුක් වන්නේ උණු කැවුම් ලෙසය. සුවහසක් විඩාපත් වැඩකරන ජනතාව වැවදෙසත් එහා ඉවුරේ ඇති දළදා මැඳුර දෙසත් බලා නිවී සැනසෙන බව මා දන්නේ මාද උන්ගෙන් එකෙකු බැවිනි.
ලට්ට ලොට්ට පුරෝපු නයිමල්ලත් තුරුල් කරගෙන ජනේලෙන් එළිය බලා සිටි මට බහුතර පිරිමි අත හොල්ල හොල්ල යනයුරු දැකීමත් සෑම ගැහැණියක්ම පාහේ අතින් කටින් එල්ලාගෙන යන අයුරු දැකීමත් සමඟ පිරිමි කෙතරම්ම අල්පේච්ච ජීවින් කොටසක්දැයි සිතුණි.
පිරිමියෙක් හෑන්ඩ් බෑග් එල්ලාගෙන ගියොත් කෙසේවේදැයි මා සිතින් මවාගෙන බැලූවිට නැගුණු සිනහව ආයාසයෙන් නවත්වාගෙන නැවත කල්පනා සයුරේ ගිලුණෙමී.
ගැහැනුන්ට දිවා ආහාරය දමාගෙන යාමට වෙනම බෑග් ඇත. හෑන්ඩ් බෑගය පිලුණු ගඳ වන නිසා ඔවුන් එසේ කරනවා වෙන්නට ඇත. නමුත් මාගේ නයි මල්ලේ ඉඩ ඇති බැවින් ලට්ට ලොට්ට සියල්ල ඔබා එය කරේ එල්ලා ගැනීම මට පහසුවකි. එකක් එල්ලාගෙන සිටීමද වෙහෙසක් වන බැවින් දෙක තුනක් එල්ලාගෙන සිටින ගැහැණුන් ගැන මට ඇත්තේ පුදුමයකි
ප්රශ්නය ඉවර නැත. පිරිමි කෑම එකක් වතුර බෝතලයක් වත් ගෙනියන්නේ නැද්ද??? උන්ට ගෙදර ගෑනු උයාදෙන්නේ නැතිද?? වැස්ස බල බලා අඩුම කුඩයක් වත් අතේ නැතිව එන්න තරම් උන් අල්පේච්චද ?කන්ෆිඩන්ට් ද ? නැතිනම් ගොං ද කියන එක මාගේ බුද්ධියට ගෝචර නොවේ.
නිගමන වලට එළඹීම උගහටය.
නැවත වරක් නයි මල්ල මිරිකාගෙන ස්ත්රී සිරුර දෙසත් පිරිමි සිරුර දෙසත් බැලුවෙමි.
ෆ්ලැට් පපුවක් එක්ක තනි සමතලා පශ්චාත් භාගයක් හිමි පිරිමින් සැබෑවටම අල්පේච්ච ජීවීන් බව වටහාගන්නට මහ කාලයක් ගත නොවුණි.
තව දුරටත් හෑන්ඩ් බෑග් කෝණයෙන් සිතා ඵලක් නැත. පරිණාමය කෙතරම්ම ගැඹුරුද.පිරිමි නිවනට ලගය. උන් ඒ තරමටම අල්පේච්චය.
ඉතින් මතු ආත්මයක පිරිමියෙකු වන තුරු ස්ත්රිය එල්ලාගෙන සිටිය යුතුය…
.
.
.
හෑන්ඩ් බෑගය.
උපුටා ගැනීම: තක්ෂිලා 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!