කැම්පස් එකට යනකොට මට පෙම්වතියක් හිටියෙ නෑ. ඒලෙවල් කාලේ ඕවට ලොකු උවමනාවක් තිබ්බෙත් නෑ. කැම්පස් එකට ඇතුල් වෙන්න කලින් නන් හිතාගෙන හිටියේ බැඡ් එකෙන්ම හොද ලස්සන කෙල්ලෙක් ගොඩ දාගන්නවා කියල. ඒත් ඉතිං වාත කාලෙ කෙල්ලොන්ගෙ හැටි දැක්කම මගේ හිතේ තිබ්බ ඒ අදහස හිතින් ගැලවිලා වැනසිලාම ගියා.
වාත කාලෙ පළවෙනි මාසෙම තිබ්බෙ කඩ්ඩ කෝස් එක. ඒකෙදි අපිට හම්බවෙන්නෙම අපේ ගෲප් එකේ කට්ටිය විතරයි. උදේට දවල්ට කන වෙලාවෙදි ඉතිං අනිත් අයත් කතාකරන්න සෙට් වෙනවා. ඔහොම ඉන්න අතරෙ මගෙ හිතේ තිබ්බ රූපයකට සමාන රූපයක් අර වලේ වාත වෙන සෙට් එක අතරෙ මං දැක්කා. දවස් දෙක තුනක් මං එයා දිහා බැලුවත් එයා මං දිහා නන් බැලුවෙම නෑ. මගෙ වෙලාවටම එයා මං ඉන්න ටේබල් එකකටවත් කෑම වෙලාවෙදි සෙට් වුනෙත් නෑ.
ඒ අතරෙ මගෙත් එක්කම ඉන්න දුතුන් දෙනෙකුත් එයාට ට්රයි කියල මට දැනෙන්න ගත්ත. ඒක තේරුන වෙලේ ඉදන්මගෙ ඔලුවෙ වැඩ කරේම උනුන් පරයා මං කෙසේද නැගීසිටින්නෙ කියන එක.
ඉතිං ඒකෙ පළමු පියවර විදියට එදා හවස මගේ ඒ කුලුඳුල් නිකලැල් ප්රේමය මගේ බෝඩිමෙ සහෘදයන් ඉදිරියේ දිගහැරියා. මගේ ප්රේම වෘතාන්තය අහගෙන හිටපු එකෙක් මට උදවු කරන්න ඉදිරියට ආවා.
ඒ කල්ප.
“මචං, මට ඒකිව වලේ ටේබල් එකකදි දවසක් හම්බුනා. මගේ ගාව නම්බර් එකනන් තියෙනවා. දෙන්නද”
මං මොකටද ඉතිං එපා කියන්නෙ. එකපයින් නම්බර් එක ඉල්ලගත්තා.
නම්බර් එක ඉල්ලගත්ත වෙලාවෙ ඉදන් හිතින් එයා මගේ පෙම්වතිය වෙලා අවසන්. අනාගතේ ගැන සිහින මවන ගමන් මගේ ඊළග ඉලක්කය වුනෙ මේ කෙල්ලගෙ අහිංසක කටහඬ අහන එක. බෝඩිමෙ එවුන් ඩිස්මිස් වෙන වෙලාවක් බලල මං ගත්තා කෝල් එකක්.
මුලින්ම කටහඬ ඇහුන විදිය මට තාම මතකයි. හෙමින් කතාකරන, ලස්සන කටහඩක්. ඉතිං කතාකරල එයාගෙන් බොරුවට නම, ගම ,ලිපිනය අහගෙන මගේ විස්තරත් එයාට බලෙන්ම දීල කෝල් එක කට් කරා. (ඒ දවස්වල බැඡ් එකේ අයගෙ විස්තර පොතක ලියාගන්න හොද පුරුද්දක් අපේ බැඡ් එකේ හැම එක්කෙනාගෙම තිබ්බ. දන්නෝ දනිති ඉතිං)
එදා ඉදන් වාත කාලේ පුරාවටම මං එයා දිහා බලාගෙන හිටියා.
එතනින් එහාට අඩියක් තියන්න ඇත්තටම මං බයවෙලා හිටියෙ.
ඔන්න ඉතිං වාත කාලෙ ඉවර වෙලා බකට් එක හම්බුන දවසෙ, රෑ වාත කාලෙ ඇතුලත තමන්ට හිත ගිය කෙල්ලෙක් ඉන්නවනම් කොල්ලට ගිහින් ඒ හිත ගිය කෙල්ලට මලක් දෙන්න ඉවෙන්ට් එකක් තිබ්බා. මල දෙන එක අපේ සහ සීනියර් බැඡ් දෙකම ඉස්සරහ දෙන්න ඕන. කොල්ලා දෙන මල ගන්න නොගන්න එක කෙල්ලගෙ කැමැත්ත අනුව සිදුවුනා. මොන තීරණය හම්බුනත් හැමෝම සතුටින් තීරණය බාරගන්න ඕන.
ඔන්න ඉතින් සීනියර් අයියලා අතේ තිබ්බ මල් අරං අපෙ කොල්ලො හරිහරියට කෙල්ලන්ට පූජාකරන්න පටන්ගත්තා. සමහර කෙල්ලො එකපයින් මල ගත්තා. සමහර අය ඇඹරි ඇඹරි මල ගත්තා. සමහර අය ප්රතික්ෂේප කරා. මාස ගානක් හිතේ තිබ්බ දේ කියන්න මේක තමයි හොඳම වෙලාව කියලා මම කල්පනා කරා.
අයියා කෙනෙක්ගෙන් මලක් ඉල්ලගත්තා මගේ සිත්ගත් ඒ අහිංසකාවියට දෙන්න. ගනීද නොගනීද කියල චකිතයක් තිබ්බත් ඕන දෙයක් වෙච්චාවෙ කියල මට හිතුනා. වාරය එනතුරු ඉඳලා මම නැගිටින්න හදනකොටම මට ඉස්සරහින් හිටපු අපේ කොල්ලෙක් නැගිට්ටා. මං ඉතින් ඒ කොල්ලට අවස්තාව දීල නැවතත් ඉදගත්තා. ඌ හෙමීට ඇවිදන් යනවා මල දෙන්න. .ඌ මල අරං යන්නෙ අර මගේ හිතගත් අහිංසකාවිය පැත්තට. කොල්ලා තියන අඩියක් ගානෙ මගේ හදවත් ගැහෙන වේගය වැඩිවෙන්න පටන්ගත්තා. මම ගැඹුරු හුස්මක් අරගෙන වෙන්න යන දේ දිහා ඔහේ බලාගෙන හිටියා.
හිතුවා වගේම මූ කෙලින්ම ගිහින් අර කෙල්ලට මල දුන්නා. මගේ හදවත දඩස් ගාල ගැලවිලා මගේම ඔඩොක්කුවට වැටුනා. හැබැයි සිදුවුනේ නොසිතූ දෙයක්! ඒ කෙල්ල මල ගත්තෙ නැතුව බිම බලාගත්තා.
“නංගී උඹට කොල්ලෙක් ඉන්නවද?”
ඒ ඉස්සරහ හිටපු සීනියර් අයිය කෙනෙක්.
එයා බිම බලාගෙනම ඔලුව වැනුවා.
ඔඩොක්කුවට වැටිලා බේරිලා තිබ්බ හදවත බිමට වැටිලා කෑලිවෙලා ගියා.
මම හෙමිහිට මගේ අතේ තිබ්බ මල ගුලි කරගත්තා. මාස ගණනාවක් බලා හිටපු ඒ මල නෙලාගන්න බැරිවුන එකට මට මං ගැනම පව් කියල හිතුන. ඉතිං ඒ මොහොතෙම මං මගේ හිත හදාගන්න පටන්ගත්තා. එතනින් පස්සෙ මං එයා දිහා බැලුවෙ අපේ බැඡ් එකේ සහෝදරියක් විදියට විතරයි.
අද වෙනකොට ඔය සිද්ධිය වෙලා අවුරුදු පහක් විතර වෙනවා. කියන්න සතුටුයි මිත්රවරුනි, එදා ඒ මගෙ හිතේ හිටපු ඒ අහිංසක තරුණිය අද මාගෙ පෙම්වතිය වෙලා අවසන්. මේ දවස්වල අපි අපේ වෙඩින් එකට ලෑස්ති වෙනවා. මේ හැම දෙයක්ම කැම්පස් ජීවිතයෙන් පස්සෙ හිතුවෙවත් නැති විදියට සිදුවුන දේවල් වල ප්රතිඵල.
හැබැයි මං එදා වැරදියට තේරුම් ගත්ත දෙයක් තිබ්බා. ඒ තමයි ඒ තරුණිය අහිංසක, කනට ඇහෙන්නවත් කතා කරන්නෙ නැති එක්කෙනෙක් කියල හිතපු එක.
උපුටා ගැනීම: Harith Hettiarachchi