මැජික් හාල් මුට්ටිය (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපි පොඩි දවස අපෙ අම්මාට මැජික් හාල් මුට්ටියක් තිබුණේය. ඒක කවදාවත් ම හිස් වුනේ නැත. පෝරණුව උඩ ලිපට පිටිපස්සෙන් හදා තිබුණ වලන් නැමූ පිල් ගැට්ට උඩ තරමක ලොකු සෙම්බුකලයක් ⁣හොදට ගා ගත් පොල් කටුවකින් වසා මේ මැජික් හාල් මුට්ටිය හදා තිබුනේ ය. දවසේ තුන්වේලම උයන්න හාල් මැනගෙන එන අම්මා හාල් ⁣හෝදන්නට පෙර අර සෙම්බු මුට්ටියට එයින් එක් හාල් මිටක් දමන්නීය. දවසකට හාල් මිටි තුනක් වැටෙන මේ මුට්ටියට අම්මලා කිව්වේ මිටිහාල් මුට්ටිය කියලාය.
එදවස ගමේ හැම ගෙදරකම මෙන් මේ මිටිහාල් මුට්ටියක් තිබුණේය.
අදමෙන් පන්සල්වල කෝවිලවල හා ගම්මඩු පොලවල්වල දානමානාදිය එදා දානපතියන් දෙතුන් දෙනෙකුගේ ආධාර මතම කෙරුනේ නැත. ගමේ හැම ගෙදරකටම යන උපාසක සමිතියේ දායක දායිකාවෝ හාල් තෙල් පොල් සම්මාදම් කරන අතර සමහර ඈයෝ දෙන මුදල් වලින් ඉතිරි අඩුපාඩු සපයා ගැනීම සිරිතය. ඉතිං ගමේ කවුරුත් පින් අතේ වැඩවලට අරගන්නේ මේ මිටිහාල් මුට්ටියේ හාල්ය. ගෙදර උයන්නට සහල් මදිවෙන අවස්තාවල ද මෙයින් අම්මා හාල් ප්රමාණය සම්පූර්ණ කරගත් අවස්තා ද විය.
එකල ගෙවල්වලට සිගමනේ ආ පිරිස්ද බොහෝය. මට හොදටම මතක ඇත්තේ උඩුකය නිරුවත් ව සරමක් පමණක් ඇද ඉනවටා රතු රෙදිකඩක්බැද කත් ලීයක දෙකරවල පන්කොල පෙට්ටි දෙකක් එල්ලාගෙන ආ එක්තරා කුලයකට අයත් පුද්ගලයන්ය. මිදුලට විත් මයෙ දෙයියෝ කියමින් අර කඳ බිමින් තබා කෙලින් කටින් ඇණබාගන්නා විට අම්මා අර මිටිහාල් මුටටිය මොකේකට හෝ හලාගෙන ගොස් පන්කොළ පෙට්ටියකට හැලුවාය. පුංචි අපිත් අම්මා පිටුපස ඇදි මේ දේවල් බලාකියාගත්තේ තේරුමක් ඇතුවාටම නොව කුතුහලය නිසාමය.
මෙසේ එක් වරක් පැමිණි පුද්ගලයෙක් ගැන අපූරු මතකයක් අදද අපේ හිතේ ඇත්තේය. එදවස අපේ මහ ගෙදරට අලුතින් කොටසක් ඉදිකිරීමේ අරමුණින් අ⁣පේ තාත්තා ගේ ඉදරිපස මිදුලේ අත්තිවාරම් සදහා කාණු කප්පවා, ඒවා ගලින් පුරවා දමා තිබුණි. අඩි බාගයක විතර කාණුවක් කැපූ අත්තිවාරමේ හැඩයට බේරී තිබුණ අතර, කාණු ඇතුලට දැමීමට ගෙනා ගල්වල ඉතුරු ⁣ඒවා ගෙදර වම් පැත්තෙනුත් ගේ ඉදිරියෙනුත් ගොඩගසා තිබුණි. එහෙත් සිතු ලෙස කිසිවක් කර ගැනීමට නොහැකිවුන අතර මාසය දෙක ගෙවීයන කල ගෙදර ලෙඩ රෝග අප අතැර නොයන ලෙස පැමිණි අතර,අගහිගකම්ද අප පුංචි ගෙදර පිරී තිබුණ සිරියාවද ඉක්මනින් වියැකී යන්නට විය.
මේ අරැම පුදුම පුද්ගලයා පැමිණියේ මේ කාලයේය. පන්කොල පෙට්ටි එල්ලු කඳත් කරතියාගෙන සුදු සරමක් හා රතු රෙදි කඩක් ඉන වට බැදගෙන ආ ඔහු මිදුල ඉස්සරහා වූ ජෑම් ගහයට ඉදගත්තේ මයෙ දෙයියෝ හඩ නගා කියමින්ය. කළු කෙසඟ සිරුරක් ඇති ඔහු දෙස අම්මා කොටු කොටු ජනේලයෙන් බලා එලියට යන්නට කලියෙන් ලගම තිබූ නෑඹිලියට මිටිහාල් මුට්ටියෙන් බාගයක් පමණම හලාගෙනම එලියට ආවාය. එහෙත් පන්කොල පෙට්ටියට හාල් දමන්නට ඉඩ නොදුන් ඔහු අම්මා ආපසු ගේ තුලට හරවා ඇරියේ,
” මයේ දෙයියෝ. කවදාවත් නෑඹිලියට ගෙනත් කාටවත් හාල් දෙන්න එපා. ඒක ගෙදරට හොඳ නෑ. ඕක ⁣කොළ කෑල්ලකට දාලා ගේන්න දෙයියෝ ” කියමින්ය.
අම්මාද ආපසු ගොස් පත්තරකට හාල් ටික දමා ගෙන ආවාය. අම්මා දුන් හාල් ටික ගෙන දෑත මත තබාගෙන මොහොතක් ගේ දෙස බලා සිටි ඔහු,
” මේ අත්තිවාරම වහලාදාන්න මයේ දෙයියෝ. මේක හැදෙනා එකක් නෙවේ. හදනා කාලෙක පාදාගන්න පුලුවන් නේ..මෙහෙව් එකක් පේන්නෙ නැතිවෙන්නම..වහාල දාන්න. අර දෙපැත්තෙ තියෙන ගල් ගොඩවල් දෙකත් අහක් කරන්න ගේ පිටුපස්සට. මයෙ දෙයියලාගේ දෝමනස්සයෝ අකා මකා වෙලා යාවි “
අපෙ අම්මා තව කිසිත් ඇහුවේවත්
ඔහු තව වචනයක් කිව්වේවත් නැත. කත් ලීය කරට ගත් ඒ අපූරු පුද්ගලයා පසු නොබලාම යන්නට ගියේය.
මොකද්දෝ හේතුව කට මෙහෙයවුන අම්මා එදින අපත් සමඟ ඒ සියල්ල කලේය. පාරෙන් ගෙනා සුදු වැලි මිදුල පුරා ඉස පොල් අතු රටාවකට අතුගෑවේ ලොකු අක්කාය. මිදුලේ තිබූ පාළු පෙනුම අතුරුදහන් විය. දවස් ගෙවී යද්දී ලෙඩ දුක් දුරුවී යහපත් වටපිටාවක් ගෙය තුලද ඇති විය.
ඊට පසු නම් අපෙ අම්මාගෙ හිතේ ආයේ දවසක එම පුද්ගලයා ආවොත් අහන්න යැයි ප්රස්න බොහොමප්රමාණයක් එකතුවී තිබුණ මුත් ඉන් පසු කිසි දිනක ඔහු ආවේ නැත. තාත්තා අරට වඩා බොහෝ වෙනස් අත්තිවාරමක් නැවත අලුතෙන් කපා ගෙය අලුත් වැඩියා කල අතර, පරණ අත්තිවාරම ආයෙ ගොඩනැගෙන්නේ නැතිබව අර පුද්ගලයා කී අනාවැකිය හරි ගියේය.
කාලයක් යන තුරුම මිටිහාල් මුට්ටියට හාල් දමන අතර අම්මා ඒ පුද්ගලයාව සිහිපත් කලේ එදා ඔහු හා කතාකරන්නට නොසිතුන එක ගැන පසුතැවිල සිතිනි. අම්මා කියන්නෙ එවලේ කිසිදෙයක් අහන්නට අම්මාගෙ හිතට නොආ බවමය.
⁣ එදායින් මෙදාට කාලය කොපමණ ඉස්සරහට ඉගීලී ඇවිද්ද යන්න හිතෙන්නේ අවුරුදු වල ඉලක්කම් මාරුවුනු වේගය ගැන හිතනකොටය. අද අපේ මහ ගෙදරවත් මිටිහාල් මුට්ටියක් නැත. ගමේ ගෙදරකවත් නැත. කාලය එය ගැමි ගෙදරට අමතක කර දමා ඇත.එහෙත් එදා මිටිහාල් මුට්ටියෙන් සිදුවූ සේවය අද සමහර විට හාල් ගෝනියක් ගෙතුල තිබුණත් සිදුවන්නේ නැත.
උපුටා ගැනීම: Priyanka Nanayakkara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!