අපේ විද්යාව ටීචර්ට ඉස්සර මං හරි ආදරෙයි . ටීචර්ට වඩා ඉස්කෝලේ විද්යාව ලැබ් එකට මං මාර ආදරෙයි . ඒ ලැබ් එකේ බලන්න , අල්ලන්න , හොලවන්න ගොඩාක් දේවල් තිබුණා .
අහ්හ් තව පුංචි පුන්චි බබාලා වගයක් , සර්පයෝ , මොළයක් , පෙනහලු වගේ ඒවත් තිබුණා . මොළේ දිහා බලාගන අපි කල්පනා කරේ ඒ කාගේ මොළේ වෙන්න පුළුවන්ද කියලා . සමහර ළමයි නම් කිව්වේ ඔය ශරීරයේ අයිතිකාරයා රෑට ඉස්කෝලේ හොල්මන් කරනවා කියලා .
තව තිබුණා එකට ඇලවුණු නිවුන් බබාලා දෙන්නෙක් . එක්කනෙක් හිනා වෙලත් හිටියේ .අපි ඒ බබාලා දිහා බැලුවේ හරිම දුකකින් . හැමදාම මේ වතුරේ ගිලිලා ඉන්න කොච්චරනම් එපා වෙන වැඩක්ද වෙන්න ඇතිද කියලා .
දවසක් විද්යාව ටීචර් ඉස්කෝලේදී විද්යාව ලැබ් එකට අපිට එන්න කියලා මැග්නීසියම් ගැන ටීචර් අපිට කියලා දුන්නා . පරීක්ෂණය කරන්න කලින් ලක්මි එන්න මේ මැග්නීසියම් පටියෙන් කැල්ලක් කපලා දෙන්න කියලා ටිකක් දිග ටේප් පටියක් වගේ එකක් මට දුන්නා . දැන් මෙහෙම හිටියට ඒ කාලේ මං විද්යාව විෂය නායක . ඒකයි ටීචර් මටම එන්න කියලා ඒ වැඩේ කරන්න කිව්වේ .
මමත් ඉතිං පොඩි කෑල්ලක් කඩලා ටීචර්ට දුන්නා . ඊට පස්සේ තමයි මට නිධානය ලැබුනේ . ජිවිතේ ඒ වයසදී මට ලැබුණු වටිනාම දේ ඒක . ඒ තමයී අර ඉතුරු මැග්නීසියම් පටිය .
අපේ විද්යාව ටීචර්ට ඔය ඉතිරි , ටිකක් විතර දිග මැග්නීසියම් පටිය ගැන හාන්කවිසියක්වත් මතක තිබුනේ නෑ . මං ඉතිං මගේ අහිංසක හිතෙන් හිතුවා ඒ ඉතිරි මැග්නීසියම් කෑල්ල ගෙදර ගෙනියන්න වෙන්න ඇති දෙන්න ඇත්තේ කියලා . මං හොර හිතකින් නැතිව ටීචර් ගැන පුදුමාකාර ශ්රද්ධාවකින් ඒ ඉතිරි මැග්නීසියම් පටිය රෝල් කරලා මගේ සුදු ගව්මේ තියන සාක්කුවට දාගත්තා . ඊට පස්සේ කෙලින්ම ඒක මගේ ලස්සන හුරුබුහුටි සෝස පාට පෙන්සිල් කේස් එකට දාලා මුළු දවසම මැණිකක් රකිනා නාග රාජයෙක් වගේ පෙන්සිල් කේස් එක පරෙස්සම් කරගන හිටියා .
ඉස්කෝලේ ඇරුන ගමන්ම මං මගේ පෙන්සිල් කේස් එක ඇතුලේ තියන නිධානයත් පරෙස්සම් කරගන ගෙදර දිව්වේ රූං කිරිල්ලියක් වගේ . හැබැයි මට ගෙදර ගියාට පස්සේ මගේ නිධානෙ අමතක උනා . ගෙදර ගිහාම tv එකේම බලන්න කොච්චර දේවල් තියනවද ? එහා ගෙදර මෙහා ගෙදර අක්කලා , අයියලා එක්ක කොච්චර සෙල්ලම් තියනවද කරන්න . අම්මයි අප්පච්චි වැඩ ඇරිලා ගෙදර අවාම කොච්චර ඕපාදුප තියෙනවද කියන්න . මගේ චීන මාහාප්රාකාරේ වගේ ඉන්න අයියත් එක්කම කොච්චර රණ්ඩු තියනවද කරන්න . ඉතිං පුදුමයක් නෑනේ පෙන්සිල් කේස් එකේ තියන මගේ නිධානෙ අමතක වෙන එක .
හැබැයි පහුවදා පස්ස පැත්තට ඉර වැටෙනකම් නිදාගන්න පුළුවන් නිවාඩු දවසක්උනා . ඉතිං සෙල්ලම් කරලා , නටලා , දවල්ට කාලා නිදිමත වේගන එද්දී මගේ මොලේට කල්පනා උනා මගේ නිධානෙ . ඉතිං මං අයියට කිව්වා ….
” ඕයි මේ …. මං ඉස්කෝලෙන් මැග්නීසියම් පටියක් ගෙනාවා ඊයේ “
ඒ දවස්වලත් ඉතිං අපේ මෑන් මට වඩා අව්රුදු තුනයි වැඩිමල් . එත් මට අයියා අමුතු කතාවක් කිව්වා .
” ඕකෙන් මරු වැඩක් කරන්න පුළුවන් , ගේනවකෝ ගිහිං ගිණි පෙට්ටිය “
මාත් ඉතිං මිටින් හල කිරිල්ලියක් වගේ කුස්සියට ගිහිං තේ හද හදා හිටපු අම්මට හොරෙන් ගිණි පෙට්ටියත් අරගන ආයෙත් ගියපු වේගයෙන්ම දුවගන ආවා . එතකොට අයියා කාමරේ හිටියේ .
” තමුසේ දන්නවද ….. මැග්නීසියම් වාතයේ දහනයේදී දැල්ල මොන පාටද කියලා “
අයියා කියපු කිසි දෙයක් මට තේරුනේ නෑ . එත් එයා හරියට ඩිස්කවරි චැනල් බලනවා . අයියාට මට වඩා හොදට ඉංග්රීසිත් පුළුවන් . ඩිස්කවරි එකේ මමනම් බලන්නේ රූප . අම්මලා කියන විදියට ඌ කොහොමත් මට වඩා බුද්ධිමත් . එහෙනම් අම්මලා හරි . අයියා මීටරයක් තමයි කියලා හිතලා මාත් ඒ කරන වැඩේ බලාගන හිටියා .
එයා මුලින්ම අර මැග්නීසියම් පටිය අප්පච්චිගේ යකඩ බඩු පෙට්ටියේ තියන අඬුවකින් අල්ලගන මට කිව්වා ” පත්තු කරනවා මේක ” කියලා .මාත් ඉතිං ගිනිකුර ගහලා ඒක පත්තුකරා .
දෙයියනේ …….. ඒකෙ ලස්සන . සුදු පාට මල් වෙඩි වගේ . ඒත් නැත්නම් සුදු පාට නිලාකුරක් වගේ . සුදු පාට දැල්ලක් එක්ක පත්තුවෙන්න ගත්තා .
මං ඉස්කෝලෙන් හොරකම් කරගත්ත මැග්නීසියම් පටිය . අහ්හ් නෑ …. සමාවෙන්න අපේ විද්යාව ටීචර් මට දුන්න මැග්නීසියම් පටිය දහනය වාතයේ දහනය කර කර එහි දැල්ල නිරීක්ෂණය කරන ගමන් නිගමන වලට එලඹෙමින් හිටපු අපි දෙන්නට පොඩි පිච්චෙන ගඳක් දැනෙන්න වැඩි වෙලා ගියේ නෑ . අපි දෙන්නටම තේරුනේ අපි දෙන්නා පරීක්ෂණයට තෝරාගත්ත පරීක්ෂණගාරයේ තිබුන කොහු මෙට්ටය .
හත්වලාමේ … අර මඟුල් මැග්නීසියම් පටියේ දැල්ල දිහා කන්න වගේ බලාගන හිටපු අපි දෙන්නගේ පුංචි මොළ ගෙඩි දෙකට තේරුනේ නෑ මැග්නීසියම් පටිය දියවේවි කොහු මෙට්ටේට වැටිලා ගිණි ගන්නවා කියලා .
කොහොමින් කොහොම හරි යන්තම් අඩි භාගෙකට ටිකක් වැඩියේ රවුමක් පිච්චේද්දී අපි ගින්න නිමලා දැම්මා . ඒකත් මගේ ලොකු සහෝදරයා කොහොම නිමුවද කියන්න මට මතකයක් නෑ . මං බයවෙලා හිටියේ කලින් වතාවේ අම්මගෙන් කාපු ගුටි ආයෙත් කන්න වෙයි කියලා .
ගින්න නිමලා අයියා වතුර ටිකකුත් මෙට්ටේට හලලා මෙට්ටේ අනිත් පැත්ත දාලා ආයෙත් ඇඳ තිබුන විදිහටම හදලා මොකුත් නොවන ගානට සතුටින් කල් ගෙව්වා . පුදුමේ කියන්නේ මං සාමාන්ය පෙළ ලියනකම් අම්මට මෙට්ටේ පිච්චුණ හිල හොයාගන්න බැරි උනා .
එදා ඉදං මං විද්යාව ලැබ් එකට කැමති නෑ . එදා ඉදං මං අපේ ලොකු මෑන් එක්ක අමුතු පරීක්ෂණ කරන්නෙත් නෑ . ලැබ් එකේ බඩු හොරෙන් ගෙදර ගෙනෙන්නේත් නෑ .
හැබැයි දෙයියනේ කියලා ඒ ලෙවල් කාලේ අපි කෙමිස්ට්රි ලැබ් එකේ බෝම්බ විතරයි හැදුවේ නැත්තේ . මගේ හොදම යාළුවා රසදිය පෑන් බටවල දාගන ගෙදර ගෙනියනවා . විදුරැ බඩු කැඩුනොත් ටීචර් බනී කියලා පෙන්සිල් කේස් එකේ දාගන ගෙදර ගෙනියනවා . හොදම මිතුරාගේ පුරුදු මුළු පංතියටම බෝ උනා . අපි එක එක දේවල් ගෙදර ගෙනියැව්වා. මොනවා ගෙදර ගෙනාවත් මං වග බලාගත්තා අපේ අයියා එක්ක එකතුවෙලා පරීක්ෂණ කරලා නිගමන වලට එලඹෙන්නේ නෑ ආයේ කියලා . කොහොමත් දවල් වැටුන වලේ රෑ වැටෙන්න බෑනේ .
අර මගේ හොදම යාළුවගේ ගෙදර දැන් ලැබ් එකෙන් ගෙදර ගෙනාපු විදුරු බඩු වලින් එයාගේ බබා වැලි බත් උයනවා කියලත් ආරංචියක් තියෙනවා . අපිට මොකෝ ඒවා නේද .එත් මේ කතාව අපේ කෙමිස්ට්රි මැඩම් දැක්කොත් වෙන විනාසේ ගැන මං වගකීමක් ගන්නේ නෑ .
ඔයාලා දන්නවද මං දැන් ටීචර් කෙනෙක් . ගණිතය ටීචර් කෙනෙක් . මං ඉන්නේ ගණිතාගාරයේ . ඉතිං පරීක්ෂණ කරන්න බෑ . ඒක නිසා නිගමන වලට එලඹෙන්නත් බෑ.
එත් හැබැයි ගණිතාගාරයේ අඩි දහයක් වගේ හරියටම දිලිසි දිලිසි ඉස්සරහින් තියෙන්නේ විද්යාගාරය . ඉතිං දැන් මං ගොඩක් සතුටෙන් .
උපුටා ගැනීම: – හසිකා විජේතුංග –