“ගමටම පේන්න මගුල් කනවා අර අහිංසකයව මරාගෙන” තාත්තා අම්මට එහෙම කියලා කුස්සියට ගිහින් වාඩි උනා.
” මල්ලිලාගෙත් වැරදිනේ. උඩහ අම්මා පව්.” අම්මා එහෙම කියලා සුසුමක් පිට කරා. කතාව මං හරියටම දැනන් හිටියේ නෑ. මටත් දැනගන්න ඕනෙ හින්දා අම්මා කාමරේට එනකල් බලන් හිටියා.
“කව්ද අම්මා මරාගත්තේ?”
” ඔයාට ඒවා වැඩක් නෑ. “
” නෑ මට ඇහුනා. නිශානි අක්කලා කාවහරි මරාගත්තද? ” නොදන්නකමට මං ඇහුවම අම්මා මට බැන්නා.
” කව්ද මල්ලි කියන්නේ.? ” මං ආයෙම ඇහුවා.
“උඩහ පොඩි මාමට. ඔයා දැකලා නෑ. ඔයා ඉපදෙන්න කලින් මැරුණා.”
” මට කතාව කියන්නකෝ” ආයෙ ආයෙ අහද්දි අම්මා කතාව කියන්න පටන් ගත්තා.
“පල්ලෙහා හන්දියේ කඩේ තියෙනවා නේද. එතන ඉස්සරහ කඩේ දාලා තිබ්බේ පොඩි මාමා. පොඩි මාමා කියන්නෙ උඩහ අත්තම්මාගෙ පුතෙක්. මාමා කඩේ දාලා ගොඩක් හොඳට හිටියා. දැන් ඉන්න ගේ හැදුවෙත් ඒ මාමා තමා. හැමදේම පුළුවන් දියුණු වෙනව නම් ඒ මාමා තමා දියුනු වෙන්න හිටියේ ඒ ගෙදර. වයරින් වැඩ , මේසන් වැඩ හැම එකම කරනවා. නිශානි අක්කා තමා පොඩි මාමා එක්ක යාළුවෙලා හිටියේ. ඒ ගෙදරත් තිබ්බ හැම වැඩේම කරා. ගෙවල් දොරවල් ජනෙල් පවා හැදුවා. නිකං ඔක්කොම කරලා දෙන්න ඇති. හම්බ කරන සල්ලිත් කෑම එකේ ඉඳන් එහෙට අරන් ගියා. අන්තිමේදි සල්ලිත් අරන් මාමාට බඳින්න බෑ කියලා නිශානි කියලා තිබ්බා. “
” ඉතිං කෝ දැන් මාමා”
” මාමා වහ බීලා තිබ්බා. කඩේ ඇතුලෙම නැති වෙලා. උන් මාමාව මරගත්තා. පාවඩ දාලා ගෙදරට ඒ මනමාලයව කැන්දන් ගිය පාරෙම තමා අර මිනිස්සු අඬ අඬ මාමාගෙ මිනිය කරේ තියන් ගියේ.”
අවසානයක් නැති අවසානයක්

උපුටා ගැනීම: සෙව්මිණි වික්රමසිංහ