කුමාරතුංග මුණිදාස මහත්තයගේ මගුල් කෑම නෙමෙයි , මේක ඒ වගේ වෙන එකක්. තමන්ගේ මගුලක නම් ඉතින් කනවට වඩා නොකනවා. හැබැයි එදා මෙදා තුර අපිත් කොච්චරනම් මගුල් කෑම කාලා තියනවද? මට ඒවයින් හොදටම මතක එකක් දෙකක් තියනවා.
අපිත් ඉතින් කාලයක් තිස්සේ රස්සා කරනවනේ , ඉතින් ඔෆිස් එකේ මගුල් ගෙවල් තමයි මාරම ෆන්. වැඩ කරන අතර කට්ටි කට්ටි ගස්මාරු පෙති තෝරු වගේ සැරෙන් සැරේට මගුලට ගිහින් කාලා එන එකනේ කරන්නේ. ඔයින් සමහර මගුල් ගෙවල් වලට යනකොට කෑමත් අයින් කරලා. කුස්සියෙන් බෙදාගෙන කාලා ආපු මගුල් ගෙවල් එහෙමත් තියෙනවා. තවත් සමහර මගුල් ගෙවල් වල ගිහින් මගින් මොනවා හරි කාලා ගෙදර ගිය ඒවත් තියෙනවා.
ඒවගේ සුන්දර මතකයක් තියෙන මගුල් ගෙයක් ගැන තමයි මේ මතකය.
ඔන්න ඉතින් යාළුවෙක්ටග් මගුල් ගෙයක් සුළුපටු දුරක් නෙමෙයි
කුරුණෑගල. ඉතින් තට්ටු මාරු ක්රමයට යන්න යැයි, යන කට්ටියම නිවාඩු දාලා යන්න තීරණය කලා. ඒකේ සතුටයි දුකයි සම සමව තියෙනවා. නරියගේ මගුලක්ම තමයි. සතුට තමයි මගුල් ගෙදර ඉවර වෙලා trip එකක් වගේ එන්න පුළුවන් වීම. දුකම කාරණය තමයි. ආයතනයේ අයිතිකාරයා හෙවත් MD එතනට එන එක. අපි සැලෙයිද ඕවට ???
මුල්ම රස්සාව කරන කාලේ එම්ඩීට ඉස්කෝලේ ප්රින්සිපල්ට වගේ බයයි. එයා එනවා නම් ඉතින්
නෝ කතා නෝ සිනා
සිනා වෙනවා නම් දසන් දක්වා තාලෙට. කාජල් වගේ හිනා වුනානම් මොනවා වෙයිද දන්නේ නැහැ. අපි ඉතින් එහෙම හිනා වෙලාම නැහැනේ දැන ගන්න. උපරිම ඉතින් මධුරි වගේ හිනා වුනොත් තමයි.
ඇල් වතුරත් නිවලා බොන තාලෙට තමයි ඉන්න වෙන්නේ. ඇත්තටම එයා ඉන්න තැන හිරේ ගියා වගේ තමයි. නිකම්ම හිරේ නෙමෙයි බරපතල වැඩ ඇතිව හිරේ ගියා වගේ. එඩ්මන් දාන්තේ හිටියා නම් හිරේම ඉන්නවා හොදයි කියලා කියනවා මේ නීති රෙගුලාසි වලට යටත් වෙලා ඉන්නවට වැඩිය.
අනෙක එහේ ශාක භක්ෂක විතරයි. මස් මාළු ආදී කෑම තහනම්. කලින් දන්නවා නම් තේ පරීක්ෂණ රස්සාවකට යනවා මෙතනට එන්නේ. නැතුව. මක්කරන්නද වවුලගේ ගෙදර ගියානම් එල්ලිලම හිටු කියලා අපිත් ඉතින් දඩු කඳට අහුවුන පිනා වගේ වගේ දස පනතටම යටත් වෙලා ඉන්නවා. නිදහස පතා හිතා ගත්තා මෙයාගේ ඇස නොගැටෙන තැනකින් වාඩි වෙන්න. නැත්නම් ඇස ගැටෙන ගැටෙන තැන මුව මඩල හිනහෙන්න ගත්තොත් අපට වෙඩිමට යනවට වඩා හොදයි ගෙදර ඉන්නවා.
ඔන්න ඉතින් බලාගෙන හිටපු දවස ආවා. තෑගි ටිකත් ඔතාගෙන සුබ දිවියක් පතාගෙන අපිත් පිටත් වුනා. පිටත් වුන නැකත වැරදුනාද මන්දා ටිකක් දුර යනකොට වාහනේ නැවතුනා. අපි ඉතින් සායම් උලාගෙන සරුව පිත්තල එල්ලගෙන මහ පාරේ බැහැලා. පාරේ යන මිනිස්සු බලනවා දවල්ට වෙසක් මොකද කියලා. පිරිමි ලමයි ටික කෝට් බෑය ගලවලා ටයි පොල්ල දාගෙන වාහනේ තල්ලු කරනවා. බර බාගෙක ආවා නම් මීට සැපයි කිය කිය. ඔය දුකත් විදගෙන මගුලට ගියා කියමුකෝ දැන් දුන්හිද දිය ඇල්ලට කට අල්ලන්න තරම් පිපාසය ඒ වුනාට හැමෝම බීම වීදුරුවේ මොඩ් උගුරක් ඉතිරි කරනවා. ඒකත් ටිකක් නම් කමක් නැහැ අගල් එක හමාරක් විතර. හොදම වැඩේ තමයි අපි පරක්කු වුන නිසා ඉතිරි MD ඉන්න මේසේ විතරයි. මොනවා කරන්නද වාඩි වුනා එයා කියනවා මම ප්රීති සින්තා වගේ හිනාව දාගෙන ඉන්නවා ඩිම්පල් නැතුවට පිම්පල් තියෙනවානේ. කියන මෙලෝ දෙයක් ඇහෙන්නේ නැහැ බෑන්ඩ් එකේ සද්දෙට මමත් ඉතින් ඔලුව හොලවා හොලවා අනුමත කරනවා මොකද ඇහිලා අපි විරුද්ධ වුනා කියලා වැඩක් ඇතෙයි. ඇහුනත් එකයි නොහැවුනත් එකයි.
බීමත් නැති එකේ කෑම බෙදාගෙන ආවා මස් මාළු බිත්තර වැහෙන්න බත් බෙදාගෙන මොකද ලොක්කා කන්න ඉන්නේ නැතුව යන බව දන්න නිසා. කොහෙද පොර එතනම. ඉතින් අපි කනවා රත්නපුර පොලොවෙන් රකු කැට නිල් කැට අහුවෙනවා වගේ බත් කාගෙන යනකොට මස් කෑලි ,මාළු කෑලි, බිත්තර මතුවෙනවා ඉල්ලම් වගේ. අපිත් විශාකා තමෝ වගේ පිගාන බලාගෙනම කෑවා පිගාන අපේ නෙමෙයි වගේ.
ඉතින් එන ගමන නම් කියලා වැඩක් නැහැ. ට්රිප් එකක් ගියා වගේ තමයි.
උපුටා ගැනීම: කුමරිනී මලලසේකර