මගුල් සක්වල​ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉස්කෝලෙ තැනින් තැන කසුකුසුවක් යනවා.
විදුහල්පතිතුමාත් ටිකක් කලබලෙන් එහාට මෙහාට ගියා.
උසස් පෙළ දැරිවියො ටිකත් තැන් තැන් වල එකතුවෙලා කටු කුටු ගානවා.කල්ලි ගැහිලා හිටි පිරිමි ළමයි කීප දෙනෙකුත් මාලතී ටීචර් එනවා දැකලා එහාට මෙහාට වුනා.
මේ මොකද මේ? මාලතී ටීචර් කල්පනා කලා.
“ටීචර් ටීචර් දන්නවද වැඩක්? කල්පනී පැනලා ගිහිල්ලලු!” කොහේදෝ ඉඳං දුවගෙන ආව කටකාර තුෂාරි මාලතී ටීචර්ගෙ කුකුස දුරු කලා.
“කල්පනී?”
“ඔව් ටීචර් රංදෙණිගල ටීචර්ගෙ දුව කොල්ලෙක් එක්ක පැනලා ගිහිල්ලා!”මාලතී ටීචර්ට ආයෙ ප්රශ්නයක් අහන්න ඉඩ නොතියම තුෂාරි උත්තරේ දුන්නා.තවත් මොනවද කියව කියව තවත් දෙතුන් දෙනෙක් ඒ ගොඩට එකතු වුනා.
“හරි හරි දැං කතාව නවත්තලා ඔය ළමයි ගිහින් සෙල්ලං කරන්න​. තාම ඉන්ටර්වල් ඉවර නෑ නේද?”මාලතී ටීචර් කෙල්ලන්ව එලවා ගත්තා. අනෙ අම්මේ මේ කෙල්ලන්ටත් එපා දෙයක් නෑ!
මාලතී ටීචර්ගෙ හිත අවුරුදු පහක අතීතෙට පියඹලා ගියා. එදා මීය ඇවිස්සුනේ මාලතී ටීචර්ගෙ ලොකු දුව සමන්මලීගෙ පොතක් අස්සේ තිබිලා කොල්ලෙක්ගෙ ලියුමක් අහුවෙලා!
ලියුම අහුවෙලා තිබුනෙ රංදෙණිගල ටීචර්ට​.
විදුහල්පතිතුමාගෙ අතින් මාලතී ටීචර්ට ලියුම හම්බ වෙනකොට කතාව මුලු ගුරු මණ්ඩලේම පැතිරිලා ඉවරයි.
“ළමයට අවවාද කරන්න!”විදුහල්පතිතුමා නං කීවෙ එච්චරයි.
ඒත් අනිත් අයට කියන්න දේවල් නං ඇති පදං තිබුණා.
“අනුන් ගේ ළමයි හදන්න ඉස්සරලා තමන් ගෙ ළමයා හදා ගන්න එපායැ!”රංදෙණිගල ටීචර් ඇනුං පදේකුත් කීවා.
“ලියුමේ හැටියට කාලෙක ඉඳං ඔය සම්බන්දෙ තිබිලා වගේ!”
“කවුද දන්නෙ මොනවා කරගෙනද කියලා.”
කීප දෙනෙක් තැන් තැන් වල කටු කුටු ගානවා මාලතී ටීචර්ට ඇහුනා. මාලතී ටීචර් අයිනකට ගිහින් සැමියා- සේනකට දුරකතන ඇමතුමක් ගත්තා.
“ලොකු දුවගේ පොතක් ඇතුලේ ලියුමක් තිබිලා අහුවෙලා….” මාලතී ටීචර්ට කතා කර ගන්න බෑ ඇඬෙනවා.
“කලබල නොවී හෙමිහිට කියන්න​!”සේනක සුපුරුදු නිස්කලංක හඬින් කතා කලා.
මාලතී ටීචර් මුක්කං හඬින් විස්තරේ කීවා.
” ඔය වයසට ඔහොම දේවල් වෙනවා. කලබල වෙන්න එපා. කෙල්ලත් දැං හොඳටම බයවෙලා ඇත්තේ. ඒ හින්දා කෙල්ලටත් බනින්න එපා. ආදරෙන් කතා කරලා ප්රශ්නෙ විසඳ ගන්න බලමු.”ඒ සේනක! සේනක කවදත් එහෙමයි.මාලතී ටීචර්ට වගේ කලබල නෑ.
“එතකොට මං අනිත් අයට මොනවද කියන්නෙ?”මාලතී ටීචර් ඇහුවා.
“මොනවා කියන්නද​? මඩ හාරන අය මඩ ගාගෙනම නැගිටින්නේ නැතැයි!” සේනක කීවෙ එච්චරයි.
ඒකත් ඇත්ත! මාලතී ටීචර් හිතුවා.ඔය වයසට ඔහොම දේවල් වෙනවා! අනිත් අයට ඕනෙ දෙයක් කියාගන්න කියලා දුවත් එක්ක කතා කරන හැටි මාලතී ටීචර් කල්පනා කලා.
සේනක කීවා වගේම සමන්මලී හිටියෙ හොඳටෝම බයවෙලා. ඉස්කෝලෙ ඇරිලා ගෙදරට යනකල් අම්මයි දුවයි වචනයක්වත් කතා කලේ නෑ. කතා කරන්නෙ කොහෙද කෙල්ල ආවෙ ගාට ගාට​…..හැතැප්මක් විතර පස්සෙන්.
ගෙට ගොඩවුනා විතරයි කෙල්ල වැලහින්න වගේ අඬන්න පටං ගත්තා.
“අඬන්න තියා ගත්තෙ මම ඔයාට ගැහුවෙවත් බැන්නෙවත් නෑනේ!” මාලතී ටීචර් කියනකොට කෙල්ලගෙ ඇඬිල්ල තවත් වැඩිවුනා.
“කවුද ඔය බානුක​?”
“සෙනෙවිරත්න අංකල්ගෙ පුතා!”
” හ්ම්! සෙනෙවිරත්න අංකල්ගෙ පුතාගෙ නම බානුකද?”
“ඔව්!”
මාලතී ටීචර් සෙනෙවිරත්නලාව දන්නවා. කාටත් කරදරයක් නැති පවුලක්! ඒ පවුලේ පුත්තු දෙන්නෙක් ඉන්නව කියලා දැනගෙන හිටියට නං ගැන නිච්චියක් තිබුනේ නෑ. අනික අවුරුදු ගානකින් දැකලත් නෑ.
” දෝනි, මං ඔයාට බනින්නේ නෑ. ඔය වයසට ඔහොම සම්බන්ද කං ඇති වෙන්න පුලුවන්! ඒත් තාම ඔයා ඉගන ගන්න ළමයෙක්. ඔක්කොටම ඉස්සරලා ඒක ඉවර කරලා හිටින්න​. කල වයස ආවම ඔයාලා තෝරාගන්න කෙනෙකුට අපි විරුද්ද වෙන්නෙ නෑ.”තමා පද ගලපා ගත් විදිහ ගැන මාලතී ටීචර්ටම පුදුමයි.
“මට සමාවෙන්න අම්මා.මං හොඳට ඉගන ගන්නං. ආයෙ බානුව හම්බ වෙන්නෙවත් ලියුං ලියන්නෙවත් නෑ.” කෙල්ල අඬ අඬා පොරොන්දු වුනා.
සමන්මලී ආපහු මේ ඉස්කෝලෙට යන්න අකමැති වෙච්ච හින්දා සේනකගෙ යාලුවෙකුගෙ මාර්ගෙං වෙන ඉස්කෝලෙකට දැම්මා. විශ්ව විද්යාලෙට නොතේරුනාට කෙල්ල හොඳින් උසස් පෙළ සමත් වුනා. ඉන්දියාවෙ විශ්ව විද්යාලෙකට සිස්සත්තෙකුත් ලැබුනා. සෙනෙවිරත්නගෙ පුතාත් උසස් පෙළ සමත් වෙලා කොම්පියුටර් පාඨමාලාවක් කරනවා කියලා ඒ කාලෙම ආරංචි වුනා.
දැං ඉතිං සමන්මලීගෙ ඉන්දියාවෙ විශ්ව විද්යාලෙ අවුරුදු හතරත් ඉවරයි. අනෙ අම්මේ කාලෙ යන ඉක්මණ! විශ්ව විද්යාලෙ අවසාන විභාගෙත් ඉවර කරලා ඔන්න මේ දවස්වල ගෙදර​!
මාලතී ටීචර් ගුරු කාමරේට යනකොට එතනත් ටිකක් කලබලේ. රංදෙණිගල ටීචර් නං ගුරු කාමරේ කොණක වාඩිවෙලා සාරි පොටින් ඇස් පිහිදනවා.
ඔය නාගෙන තියෙන්නේ හාරපු මඩ​! මාලතී ටීචර්ට හිතුනා. හිතට හීං සතුටක් මෝදුවේගන ආවත් මාලතී ටීචර් ඒ සතුටට එන්න නොදී මග ඇහුරුවා.හීං සීරුවේ රංදෙණිගල ටීචර් ළඟට ගිහිං වාඩි වුනා.
” නාඩා ඉන්න​!” හීං සීරුවේ කීවා.
“බලන්න මාලතී ටීචර් මේ කෙල්ල අපිට ලැජ්ජ කලා!මං ඕකිව පෙති ගහනවා.” රංදෙණිගල ටීචර් ඉකි ගැහුවා.
“මේ ලෝකෙ පළවෙනියටම ඔහොම කල ළමයා කල්පනී නෙමෙයි…. අන්තිමයා වෙන්නෙත් කල්පනී නෙමෙයි!”මාලතී ටීචර් ඉවසිල්ලෙන් කතා කලා.
” මුලින් ළමයා හොයා ගමු. ඊළඟට මොකද කරන්න පුලුවන් කියලා බලමු?”
රංදෙණිගල ටීචර් සාරි පොටෙන් කඳුලු පිහිඳගෙන යන්තමට හිනා වුනා.
කොහොම කොහොම හරි හොඳ විදිහට ඒ ප්රශ්නෙත් විසඳිලා තිබුණා. කල්පනී පුද්ගලිකව උසස් පෙළ කරන බව රංදෙණිගල ටීචර්ම මාලතී ටීචර්ට කීවා.
ඒත් කතාවේ හොඳම හරිය ඒක නෙමෙයි.
දවසක් මාලතී ටීචර් බස් එකේ යනකොට සමන්මලී සිටිටිම්බර් හෝල් එක ගාව කොල්ලෙකුත් එක්ක සිරික්කිය!
හැන්දෑවෙ ගෙදර එනකොටත් කෙල්ලගෙ මූණ සතුටින් දිලිසෙනවා.
“මං අද ඔයාව සිටිටිම්බර් හෝල් එක ගාව දැක්කා!” මාලතී ටීචර් ඇඟට පතට නොදැනී කීවා. කෙල්ලගෙ මූණ ලජ්ජාවෙන් රතු වුනා.
“ඒ බානුක නේද​?”
“ඔව්!”කෙල්ල ඇහෙනෙ නෑහෙන හඬින් උත්තර දුන්නා.
මාලතී ටීචර් ඇස් දෙක රවුම් කරලා දෝනියැන්දෑ දිහා බැලුවා.
“මම පොරොන්දුව කැඩුවෙ නෑ අම්මේ. මම විභාගෙ කරන කල්, ඉන්දියාවට යනකල් බානුව දැක්කෙවත් නෑ. කිසිම සම්බන්දයක් පැවැත්තුවෙත් නෑ.” කෙල්ල කී විදිහට ඒ බොරුවක් වෙන්නත් බෑ.
ඒත් ඉතිං මේක හතර බීරි කතාවක් නොවැ. සිටිටිම්බර් හෝල් එක ගාව හිටියෙත් බානුකලු!
මාලතී ටීචර් තක්බීරි වෙලා වගේ බලා ඉන්නවා දැකලා සමන්මලීම මාලතී ටීචර්ගෙ කුකුස දුරු කලා.
“ඒ වුනාට ඒක අපේ හිතේ තිබුණා!”
හහ්! ඒකත් එහෙමද​?
-ශ්රීපාලි
පින්තූරය අන්තර්ජාලයෙනි!
ප​. ලි. හොඳ ළමයි නරක ළමයි කියලා කොටස් දෙකක් නෑ. අපි මොනවා කීවත් හොඳ ළමයෙක් නරක් වෙන්නත් ඉඩ තියනවා. ඒ වගේම අපිට නරක ළමයි කියලා කාවවත් හංවඩු ගහන්න විදිහක් නෑ. නරකයි කියන ළමයිනුත් හොඳ වෙන අවස්ථා ඕනෙ තරං තියනවා.දරුවෙකුගේ ජීවිතයේ සෑම කාර්යකදීම පළමු හා වැදගත්ම ආදර්ශය වන්නේ දෙමාපියන් හා ගුරුවරුන්මැයි. ඔව්! දරුවාගේ වර්ධනයට ප්රබල බලපෑමක් ඇති කරන්න ඔවුන්ට පුලුවන්!
උපුටා ගැනීම: Sripali Kotuwella

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!