පෙරේරා මහත්තයායි නෝනායි ඒගොල්ලන්ගෙ පුතා නාමලුයි ලොකු දුව මාලායි එයාගෙ මහත්තයයි ඒ දෙන්නගෙ අත දරුවයි එක්ක ඉරිදාවක අත්තනායක ගෙදරට යන්නෙ නාමල්ට අත්තනායක පවුලේ ලොකු දුවව යෝජනා කරන්නයි…ඉරිදා පත්තරේ තිබ්බ මංගල යෝජනා පිටු වලට ලියල ලියල බලන්න යන හත්වෙනි මනමාලි තමයි මේ..
උදේ දහයාමාරට විතර පෙරේරා මහත්තයල ආව වෑන් එක අත්තනායක ගෙදර වත්තට හරවනකොටම අත්තනායක මහත්තයා හිටියේ ඉස්තෝප්පුවේ..රථයේ සද්දෙට තමන් කියවමින් සිටි පුවත්පත පසෙකට කරල බැලුවම ඇතුලෙ ඉන්නෙ පෙරේරා මහත්තයල කියල දැක්ක අත්තනායක මහත්තයා පුවත්පත නවලා ටීපෝව උඩින් තියලා පුටුවෙන් නැගිටලා ඉදිරියට ගියේ ” මේ ඇහුණද? පොඩ්ඩක් ඉස්සරහට ආවනම්” යැයි තම ඇඹේණියට අඬ ගසමින්…
යුහුසුළුව කලබලෙන් තේ සහ කෑම සූදානම් කරමින් ඒවා මේසයට යවමින් අත් උදව්වට ඉන්න සුමනාට නොයෙකුත් වැඩ පවරමින් උන්නු අත්තනායක නෝනා ඒ අඬගැසීමට තවත් කලබල වෙලා කාමරේට වැදිලා කන්ණාඩියෙන් බලමින් තම කොන්ඩෙ සහ සාරිය හරි බරි ගස්සගෙන මූණ අත් දෙකෙන් පිස දාගෙන වහ වහා ඉස්තෝප්පුව දෙසට ගියා..ඒ යන ගමන් දුවගේ කාමරේ දොර රෙද්ද මෑත් කරලා “ළමයා..ඔය ඇති හැඩ බැලුවා..අන්න අර කට්ටිය ඇවිත්..කතා කරාම හෙප්පුව අරං සාලෙට එන්න” යැයි කීමටද අමතක කලේ නෑ..
“ආ එන්න එන්න..පාර හොයාගන්න අමාරු උනේ නෑනෙ.. කීයටද පිටත් උනේ? ආයුබෝවන් ඔක්කොටම.. ඇතුලට එන්න” කියල අත්තනායක මහත්තයා කිව්වා..
“අපෝ නෑ..එහෙන් ආවේ උදේ අටට විතර..ෆෝන් එකෙන් කියපු විදියටම පාර හොයාගත්ත..අනික අපේ මේ ඩ්රයිවර් සමන් කොල්ලා ලංකාවේ ඕනම පාරක් දන්නවා” යැයි පෙරේරා මහත්තයා ගෙට ගොඩ වෙන ගමන් කිව්වා..
ගේ ඇතුලට ඇවිත් ලොකු පුටු සෙටි එකේ වාඩි උන පෙරේරා මහත්තයල ඔලු හරවමින් අත්තනායක ගෙදර විසිතුරු සෙව්වා.. නාමල් විතරක් ටිකක් ලැජ්ජාවෙන් වගේ වාඩිවෙලා හිටියා..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ආගිය තොරතුරු කතා කරමින් ඉදලා නියමිත වෙලාව ආවහම මනමාලි ඇවිත් නාමල්ට බුලත් හෙප්පුව දුන්නා..ඊට පස්සෙ හැමෝම තේ මේසෙට වාඩි උනා..කට්ටිය තේ බීලා ආයෙම සාලෙට ඇවිත් වාඩි උනා..
අත්තනායක නෝනා ” එහෙනම් කට්ටිය කතා කරන්නකො අපිට මෙහේ වැඩ” යැයි පවසමින් කුස්සියට වැදුණා..දුවත් අම්මගෙ පිටිපස්සෙන්ම ගියා..
” අත්තනායක මහත්තයා දැන් පැන්ශන් අරං කොච්චර කල්ද?” ඒ පෙරේරා මහත්තයා..
” වැඩි කාලයක් නෑ..අවුරුදු දෙකහමාරක් වගේ තමයි..අන්තිමටම මම වැඩ කලේ අනුරාධපුරේ..පෙරේරා මහත්තයාට කියන්න මට එහේ මිනිස්සු
තවම සලකනවා”
” මමත් පැන්ෂන් ගිහින් දැන් අවුරුදු තුනක් වෙන්න එනවා ලබන මාර්තු වලට..මම අන්තිමටම හිටියේ නුවරනෙ..අප්පා මටත් එහේ අය නිතරම එහේ එන්න කියනවා නිවාඩුවකට..කොහෙද ඉතින් මේ වැඩ එක්ක යන්න වෙලාවක් නෑනෙ..අනුරාධපුරේ කිව්වම මතක් උනේ..අපේ ඩ්රයිවර් සමනුත් අනුරාධපුරේ මිහින්තලේ පැත්තෙ”
“ආ එහෙමද? කෝ එයා? ඇතුලට එන්න කියන්න තේ ටිකක් බොන්න”
” ආ එයාට එහෙම ඉන්න දෙන්න..අපි සේවකයන්ව අදාළ තැන තියල තියන්න ඕන අත්තනායක මහත්තයා..නැත්නම් ඕකුන් එනවා කරේ නගින්න..”
“ඔව් අන්කල් දැන් මං උනත් මගේ සේවකයන්ව එහෙම තමයි තියල තියෙන්නෙ..නැත්තම් හරි අමාරුයි” ඒ මාලාගෙ සැමියා..
“අපේ තාත්තා හොද වැඩියි..නිකන්ම ගෙදර තියෙන එකේ මම කොච්චර නම් තාත්තාට කියනවද මේ වාහනේ කැබ් සර්විස් එකකට දාන්න කියල..තාත්තා එහෙම නොකර නිකාං පඩි දිදී සමන්ව තියං ඉන්නවා..” ඒ මාලා…එසේ කියමින් ඇය තම දරුවා හරහට වඩා ගත්තා..
” එහෙම කියන්න එපා දුව..සේවකයෙක් උනත් සමන් අපේ ගෙදරම කෙනෙක් වගේ..හරි හිතවත් හිත හොඳ කොල්ලා..හැමෝටම එහෙම සේවකයෙක් ලැබෙන්නෙ නෑ” පෙරේරා නෝනා එහෙම කිව්වා..
මේ ඔක්කොම අහගෙන පෙරේරා මහත්තයා සිනාමුසු මුහුණින් ඔලුව වනමින් සිටියා..
“අත්තනායක මහත්තයලට වාහනයක් නැතුවා වගේ නේද?? මේ කාලෙ ගෙදරකට වාහනයක් තියෙන්නම ඕන” පෙරේරා මහත්තයා ඇහුවා..
“ඔව් අංකල්…මම හොඳ කාර් එකක් හොයල දෙන්නම්” ඒ මාලාගෙ සැමියා..
” ඔව් මම ඕන උනොත් පුතාට කියන්නම්” කියල කීව අත්තනායක මහත්තයා “මේ වාහනෙන් ගොඩක් ගණන් ඇති නේ??? කීයක් වගේ උනාද?” කියල ඇහුවා..
ඒකට පිළිතුරු දුන්නෙ පෙරේරා මහත්තයා”මේක ටිකක් ගණන් නම් තමයි හැබැයි ෂුවර් වාහනේ..ලක්ෂ හතලිහක් විතර උනා”
” ලීස් එකක් එහෙම දාන්නැති?”
” අපෝ නෑ අත්පිට මුදලට ගත්තෙ..මට ඔය ලීසිංකාරයො පේන්නෙ බෑනේ”
” ඩ්රයිවර් ටත් හොද ගාණක් දෙනව ඇති නේ?”
” කන්න බොන්න ඉඳුම් හිටුම් දීලා අතට හතළිහක් දෙනවා”
” ආ..හොදයිනෙ”
” එහෙම නැතිව බෑ අත්තනායක මහත්තයා..මූ හොඳ කොල්ලෙක්…වාහනේට තමන්ගෙ එකක් වගේම සලකනවා..ගෙදර වැඩක් තිබ්බොත් ඒකත් කරනවා..මිනිහ ගාව බොරුව නෑ..එහෙම එකෙක්ට ඒ ගාන නොදී බෑ”
” ඔව් ඔව් මටත් ඔය බොරුව පේන්න බෑ..හිඟන්නෙක් හරි කමක් නෑ ඇත්ත කියනවනම් මම සලකනවා හැබැයි රජෙක් උනත් බොරු කාරයෙක් නම් ආයෙ කෑලි කැපුවත් බලන්නෙ නෑ…ඒත් ඉතින් මේ නාමල් පුතාට පුලුවන්නෙ ඕක ඩ්රයිව් කරන්න.. ඇයි නිකරුණේ ඩ්රයිවර් කෙනෙක් තියාගෙන ඉන්නෙ? අමතර වියදමක්නෙ?”
“අපෝ..එයාට ඩ්රයිව් කරන්න දුන්නම රට්ටු මොනවා නොකියයිද? අපේ කව්රුත් වාහන එලවන්නෙ නෑ” මෙහෙම කිව්වෙ පෙරේරා නෝනා..නාමල් ඇස් කරකවා තම මව දෙස බැලුවේ ඇය අනවශ්ය කතාවක් කිව්වාක් මෙන් ඉඟි කරමින්..
එය ගණන් නොගෙන පෙරේරා නෝනා දිගටම කතා කරගෙන ගියා..” අපි පොඩි කාලෙ ඉදන්ම අපේ වාහනවල ගමන් ගියේ ඩ්රයිවර් කෙනෙක් එක්ක…මේ ගොල්ලො දහසකුත් දේවල් ඔලුවෙ තියාගෙන පාරෙ වාහන පදිනවට වඩා හොදයිනෙ ඩ්රයිවර් කෙනෙක් දාන එක..” ඈ කීවේ අත් දෙක දෙපසට වනමින්..
“ඉතින් ඔය දැන් තියෙන ටැක්සි ඇප් එකකට ඔය වාහනේ සම්බන්ධ කරානම් අමතර ආදායමක් ගන්න පුලුවන් නෙ?” අත්තනායක මහත්තයා ඇහුවා..
“චෑ චෑ මයෙ බල්ලවත් ඒ වැඩේ කරන්නෙ නෑ..ගෙදර වාහනෙන් හම්බු කරං කන්න අපිට පුරුදු නෑ..අනික අපිට මේ තියෙන ආදායම හොදටම ඇති..ආයෙ ඉතින් රට අල්ලන්නයැ සල්ලි?” පෙරේරා මහත්තයා එහෙම කියන ගමන් පෙරේරා නෝනා දිහා බැලුවා..ඇයත් එය ස්ථිර කරන නියාවෙන් හිස සැලුවා..
මෙහෙම කතාබහ කරමින් සිටින අතරතුර නැගිට ගෙට ගිය අත්තනායක මහත්තයා ටික වේලාවකින් නැවත සාලෙට පැමිණියා..ඔහු පිටිපස්සෙ අත්තනායක නෝනාත් ඇය පිටිපස්සෙන් වතුර වීදුරු දෙකක් තැබූ බන්දේසියක් රැගත් ඔවුන්ගේ දුවද පැමිණියා..
” එහෙනම් කට්ටිය දවල්ට කෑම ටිකක් කමු නේ?” යැයි අත්තනායක නෝනා ආරාධනා කලා..
ආහාරයෙන් පසුව නැවත සාලයට පැමිණ පෙරේරා පවුල නැවත කතාවට මුල පිරුවා..
” එහෙනම් කෑව බීවා..ආපු කාරණාවත් පොඩ්ඩක් කතා කරමු නේද? ඒවා ඉතින් පුරාණ චාරිත්රනේ..”
“අහ් ..ඔව් ඔව්..”
” අපේ නාමල් පුතා විතරයි පවුලේ ආයෙ කසාද බදින්න ඉන්නෙ..ඉතින් අපේ තියෙන දෙයක් එයාටම තමයි..අනික රස්සාවකුත් කරන නිසා සල්ලි වලින් අඩුවක් නම් නෑ..”
“ඔව් ඔව්..අපිටත් දුවල කියල ඉන්නෙ මේ කෙල්ල විතරයි..පුතා ජපානෙ ඉන්නෙ..එහෙන්ම බැඳලා එහෙටම වෙලා ඉන්නෙ..මේ තියෙන දේපළක් මේ දුවටම තමයි..අපි කෝකටත් දුවගෙන්ම අහල දන්වල එවන්නම්”
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
” එහෙනම් අපිට යන්න අවසර..අපි ගිහිල්ල එන්නම්..ආයුබෝවන්”
“ආයුබෝවන්”
ආචාර සමාචාර කරල එළියට බහින පෙරේරා පවුල පිටිපස්සෙන් අත්තනායක පවුලෙ අයත් ආවා..නෝනයි දුවයි ඉස්තෝප්පුවේ නතර වෙද්දී අත්තනායක මහත්තයා වෑන් රථය අසලටම ගියා..
වෑන් එක අසලම රියැදුරා සමඟ කතා කරමින් උන් සුමනා මේ පිරිස දුටු විගස අතින් කට වසාගෙන එතැනින් ගෙදර පිටිපස්සට දිවගියා..
මේ දුටු පෙරේරා මහත්තයා සිනාසෙමින් අත්තනායක මහත්තයා දිහා බලා මෙහෙම කිව්වා” ගෙයි නෝනා මහත්තුරුන්ට කලින් වැඩ කාරයො මගුලක් කර ගනීවි වගේ”
කට කොණට සිනාවක් නඟාගත් අත්තනායක මහත්තයා මෙහෙම කිව්වා..” උන් දෙන්නා කසාද බැදල දැන් අවුරුද්දකට කිට්ටුයි..නිමල් මේ මහත්තුරුන්ව ගෙදරින් බස්සල ඉක්මනින් එන්න දවල්ට කෑම කන්න…එන ගමන් පන්සලට ගිහින් හෙට හීල් දානෙ අරං යන්න භාජන ටික ගේන්න..එහෙනම් පරෙස්සමින් යන්න පෙරේරා මහත්තයා”
නිමල් “හොඳමයි ලොකු මහත්තයා..සුමනා මට බත් එකක් දුන්නා..පහට කොළඹට හයර් තියෙනව කියල ඇප් එකේ වැටුණා…මේ හයර් එක ඉවර කරලා ඒකත් ගිහිල්ලම එන්නම්” කියල කිව්වා..
මේ කතාබහ දෙස කට ඇරගෙන බලාසිටි පෙරේරා මහත්තයා කලබලෙන් රථයට නැග්ගා..අත්තනායක මහත්තයා පරෙස්සමින් වෑන් රථයේ දොර වැහුවා..
පිටව යන රථය දෙස බලා සිටි අත්තනායක මහත්තයා ගෙට ගොඩ වූයේ සිනාමුසු මුහුණින් යුතුව උන් තම බිරිඳත් දියණියත් දෙස බලමින් මෙහෙම කියමින්…
“ලෝක බොරුකාරයො”
උපුටා ගැනීම: Mahesh Neranjan Palliyaguru