” අම්මගේ නම ”
” අචලා දිසානායක ”
” වයස ”
” දහ අටයි ”
“අම්මා කසාද බැදලද ?”
මම කොහොමද මේ අමාරු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ . දොස්තර මහත්තයාට වගේම ගමේ උනුත් අපිට නොඇසෙන්න තැන් තැන් වල කතා උනේ මේ ප්‍රශ්ණේ ගැනමයි . ඉස්කෝලේ උසස් පෙළ පංතියේ ඉගෙන ගනිමින් හිටිය මට චතුරංග මුණ ගැහුනේ මම ඉස්කෝලේ යද්දී . චතුරංග අළුතෙන් හදන ගෙදරක අත් උදව් දෙමිනුයි හිටියේ . අපේ ආදර කතාව පටන්ගත්තේ එතැනින් . චතුරංගටත් ඒ දවස්වල මගේ වයසමයි . අපි දෙන්නගේ වෙනස උනේ එයා සාමාන්‍ය පෙළ ෆේල් . අපි දෙන්නා අපි දෙන්නගේ හිතු මනාපෙට ගෙවල් වලින් පැනලා යද්දී යාන්තම් අපි දෙන්නටම වයස දාහතයි . කසාද බැදීමක් ගැන අපි හිතුවේ නෑ . කසාද බදින්න අපිට ඕනි උනෙත් නෑ . නමුත් අපි එකට ජිවත් උනා . ඉතින් මගේ පිළිතුර
” නෑ ”
” මහත්තයා ආවද අම්මා එක්ක ?”
” නෑ ”
මම එහෙම කියද්දී මගේ ඇස් අස්සේ මෙතරම් කාලයක් එළියට පනින්න බලාගන හිටපු මහා කදුළු ගංගාව පිටාර ගලයි කියලා මම බය උනා . අමාරුවෙන් හිත ගලක් කරගන මම දොස්තර මහත්තයා ලියන දේ නොතේරුණත් ඒ දිහාම බලාගන හිටියා . හරියට දොස්තර මහත්තයාගේ වැල් අකුරු වගේමයි දැන් මගේ ජීවිතෙත් .
” එහෙනම් අම්මා ඊලග මාසේ එද්දී මහත්තයාවත් එක්කරගන එන්න , ”
මම මොකුත් නොකියාම වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිටලා කාමරෙන් එලියට අවා . හැම අම්මා කෙනෙක්ම වගේ ඇවිත් හිටියේ තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක හෝ පව්ලේ කාත් සමග හෝ , එත් මම ?
චතුරංග මොනවා නැතත් මාව හොදින් බලාගත්තා . අම්මා අප්පච්චිගේ අඩුව , ඔවුන් දෙදෙනාට මම දුන් දුක නැති කිරීමට ඔහු අසීමිත වෙහෙසක් දැරුවා . ඔහු හම්බකරන සොච්චමෙන් අපි එදා වේල පිරිමහගන ජිවත්වුනා . සතුටින් අපි ජිවත් උනා . මගේ කුසට දරුවෙක් ආවා කියලා අපි දැනගනිද්දී අපි දෙන්නාම බය උනා . එත් අපි කොහොම හරි දරුවාව හදාගන්නවා කියන මතේම හිටියා .
” නංගි .. කොහෙද මේ යන්නේ ?”
කව්දෝ මගෙන් අහද්දී මම ගැස්සිලා ඔහු දිහා බැලුවා .
” හානේ … අයියා , මම ක්ලිනික් එකට ගියා ”
” චතුරංගගේ තුන්මාසේ දානෙත් ලගයි නේද නංගි ?”
මගේ උගුරේ යමක් හිරවුණා , මගේ චාතුරංග මාව තනිකර දමා ගොස් මාස තුනකට ආසන්නයි . නෑ , එහෙම වෙන්න විදිහක් නෑ මගේ යටිහිත පිළිගන්න කැමති නෑ . චතුරංග තවම මගේ ලග ඉන්නවා , මට දැනෙනවා ඒක .
” නංගීට පුළුවන්ද ඒ වැඩ ටික කරන්න , වැඩ පොලේ අපි කතා උනේ පොඩි උදව්වක් නංගිට කරන්න ”
මට ඇඩුම් අවා . අතේ ගුලිකරගන හිටපු ලේන්සුව අරගන මම කදුළු පිසදාද්දී
” එහෙනම් නංගි මම යනවා . ඕවා ගැන වැඩිය හිතන්න එපා , අපි ඉන්නවනේ ”
චතුරංග මාව තනිකර අදට මාස දෙකකට වඩා වැඩි . ඔහු වැඩකරේ තට්ටු නිවාස සංකීර්ණයක අත් උදව් දෙමින් . තට්ටු එකොළහකින් ඔහු වැටිලා මාව සදහටම දාලා ගියා . දැන් මම තනිවෙලා . ආයෙත් මට ගෙදර යන්න බෑ . ගියත් අම්මා අප්පච්චි මාව බාර ගනීද ? නෑ මම තනිව නැගිටිනවා . මේ දරුවා හදනවා . හොදට උගන්නනවා . තාත්තා නැති අඩුව මම පුරවනවා .
එක පාරටම මොකක්දෝ වේගෙන් මගේ ඇගේ වැදුනා . මගේ කන් දෙක තවම ” කුං ” ගනවා . මම පාවෙනවා . චතුරංග පුංචි දරුවෙකුත් වඩාගන මට කතා කරනවා . චතුරංග මගේ අතින් අල්ලගන අපේ දරුවත් වඩාගන අපි පාවුණා . ඉහලට වෙලා අපි තුන්දෙනාම බලාගන හිටියා . කහපාට ලොකු ලොරියක් ලග මම ලේ පෙරාගන වැටිලා . එහෙන් මෙහෙන් මිනිස්සු වටවෙලා . ලොරි රියදුරාට ගහන්නත් යනවා .
මේ සියළු දේ බලාගන අපි පාවුණා . ඉහල අහසට පාවුණා . අපි දැන් වෙන් නොවෙන අපේම ලෝකෙක.
උපුටා ගැනීම: – හසිකා විජේතුංග –