මැජික්! (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
 ඉතින් අද කතාවක් කියන්න හිතුනා. මොකද අද හාමුදුරු නමක් ගැන දීර්ග සාකච්ඡාවක් ගියා. හැමදාම වගේ අපේ ගෙදර හැම කතාවක්ම ඉවර වෙන්නේ මගෙන් හින්දා අද කතාවත් ඉවර උනේ මගෙන්.
මේ සේරම වෙලා තියෙන්නේ මට නම් මතකවත් ඇති කාලෙක නෙමෙයි. පෙර පාසල් යන්නත් කලින් උනු එව්වා මෙව්වා. කියවලා බනිනවා එහෙම නෙමෙයි ඈ. අම්මයි අප්පච්චියි තමයි කතාව කිව්වෙ අද අපේ නෑදෑ සනුහරේ ඉස්සරහා.
ඔන්න ඉතින් දැන් කතාව. අම්මලාගෙ ස්කෝල් ස්ටාෆ් එකෙන් ට්රිප් එකක් යනවලු. ඉස්කෝලෙ හාමුදුරුවොත් මේ චාරිකාව යන්න එකතුවෙලා ලු.හැමොම ඉතින් දකුණු රෝදේ ඉස්සරහට ඇදලා පොල් මලක් කනේ ගහලා සෙත්සිරි දෙන මහා ගුණ මුහුදාය..කියලා නමෝ විත්තියෙන් ගමන පටන් අරන්ලු. කොහොමහරි යම්කිසි දුරක් ගිහින් බස් එක කඩයක් ගාවින් නවත්තලා තේ බොන්න. ඉතින් හැමෝටම කලින් හාමුදුරුවන්ට තේ එක පිලිගන්වලා අනිත් අයත් තේ බොනවලු. එතකොට ඉතින් මගෙත් සුකුමල වොයිස් එක උදේපාන්දරම සුසර කරගෙන තිබිලා තියෙන්නේ හාමුදුරුවෝ එක්ක කතා කරලලු. අර කඩේ මැද්දෙ තැඹිලි පාටට සිවුරක් දැක්ක මන් කිව්වලු.. “” ආහ් සාදුවෝ බොනවද ?” කියලා. ඒ වෙලාවෙ අම්මගෙ තත්වෙ අම්මා හරි ලස්සනට විස්තර කරා. ඒත් එතන ඉදන් මගෙ චාරිකාවේ යාලුවා උනේ ඒ හාමුදුරුවෝ.
ඉතින් දැන් හාමුදුරුවෝ එක්කන් කතා කර කර යනකොට මට තේරිලා තියනවා හාමුදුරුවන්ට කවුරුත් නැති වග. තනියම පන්සලේ ඉන්නෙ කියලා. මට මතකයි පන්සලේ ඇන්තූරියම් වවලා තියනවා හරි ලස්සනට. එතකොට අපේ පුංචි අම්මා බැදලා නෑ. එයාට රට වටෙන්ම සක්වල පීර පීර කරුමක්කාරයෙක් හොය හොයා හිටියේ ඒ කලේ. මට මතකයි අම්මලා බැරිම තැන දේවාලෙකටත් ගියා මේකා ඉන්නෙ කොහෙද බලන්න. පුංචි අම්මත් හරි ලස්සනට ඇන්තූරියම් වවනවා ඒ කාලේ. ඉතින් බලන්න පින්වතුනි ඒ ගැලපීම. ඉතින් ලද අවස්තාවෙන් ප්රයෝජන ගන්න හිතපු මම අර පුංචියි මේ සාදුවයි ජෝඩු කරන්න අදහස් කරලා
“” හොද කෑල්ලක් නම් ඉන්නවා සාදුවෝ සාදුට තක්කෙටම ගැලපෙනවා “”කීවලු. ඒ දවස්වල මගෙ කටේම තිබිලා තියෙන්නේ තක්කෙටම කියන වචනෙලු. එතනින් එහාට අපේ අප්පච්චි ඒ කසාදෙට කැමති වෙලා තිබ්බෙම නෑ. ඊටපස්සෙ අප්පච්චි මට කිව්වා මෙහෙම සිවුරු ඇදන් ඉන්න පන්සල්වල ඉන්න හාමුදුරුවෝරු බදින්නෙ නෑ කියලා. ඒත් මන් හිතුවේම පුංචි අම්මගෙ සුඛ විහරනය ගැනමයි.. අච්චර විශාලා පන්සලක් තියාගෙන පුංචි අම්මව මොකට පිටට දෙනවද..
ඒ වැඩෙත් කරගන්න බැරි උන වෙලාවෙ ඊටවඩා හොද වැඩක් කරගන්න මට පුළුවන් උනා. සන්දෑ වලාවන් කලු කරගෙන පාරෙ අයිනෙන් දකුනු පැත්තෙන් එන්න පටන් ගන්නකොට ඔන්න ස්ටාෆ් එකෙම සෙට් එක නවතින තැනට ඇවිල්ලා. ඊටපස්සෙ කොටසක් නාන්න කරගන්න ගිහිල්ලා. තව කොටසක් රෑට උනය ගමන් තේ හදන්න හිහිල්ලා. ඉතින් ඔක්කෝටම කලින් නාවලා කරලා අන්දලා මාව පැත්තකින් තිබුනු අම්මා අප්පච්චිට මාව දීලා නාගන්න ගිහින් තිබුනා. ඒ වෙනකොට අප්පච්චි හාමුදුරුවන්ට ගිලන්පස දීලා කට්ටියම එක්ක කයියක් දාගෙන ඉදලා. ඊට එහායින් හිටපු හාමුදුරුවෝ ගාවට ගියපු මගෙන් ඉතින් හාමුදුරුවොත් එක එක ප්රශ්න අහලා. ඔය අතර ඉතින් කතාවෙන් කතාව හොදම කතාව කියලා මගේ දස්කම් ගැන තමයි හාමුදුරුවෝ ප්රශ්න කරලා තිබිලා තියෙන්නේ.
හාමුදුරුවෝනි බිය නොවන්න දස්කම් පානා සැටි මන් පෙන්නන්නම් කියලා.. මන් පටන් අරන් මැජික් පෙන්නන්න. ටක්ගාලා දුවලා ගිහින් ඕනා කරන බඩුත් අරන් ඇවිත් උන්ඩි කරගෙන.. හාමුදුරුවන්ට කිව්වලු ඇස් දෙක පියාගන්න මන් මැජික් එකක් පෙන්නන්න කියලා. හාමුදුරුවෝත් ඉතින් ඇස් දෙක පියාගෙන. පිටිපස්සෙන් හිටපු මන්, ඉදගෙන හිටපු හාමුදුරුවොන්ට
ආනා රූනා ආන් කටුස්සා
වෙල මැද ඉන්නා පබයා පල්ලා
වත්තට යනකොට කැත්තක් අරගෙන
පෙත්තෙක් ඉදගෙන කොස් ඇට කනවා..
ටකං ටුකුං ටිකිං ටිකිරි වලල්ලා..
ඕන් රීන් කට්ටු කට්ටු
කෝම් පිට්ටු තට්ටු තට්ටු
ඉහල ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා
අතක් ගනින් සෙට්ටියෝ… කියලා කොන්ඩයක් නැති හාමුදුරුවන්ට මැජික් බලෙන් දිග කොන්ඩයක් අරන් දුන්නු මම සතුටට අත්පුඩිත් ගහලා. ඒ සද්දෙට ඇස් ඇරපු හාමුදුරුවන්ට කොන්ඩෙ ලස්සන බලන්නවත් වැඩි වෙලාවක් වටේ ඉන්න අය ඉඩ දීලා තිබුනේනෑ. ඒ වෙලාවෙ ඉදන් අප්පච්චියි අම්මයි තොප්පි පාස් වගේ මාව අතින් අතට මාරු කරගෙන ලගින් තියා ගත්තා මිසක් මාව කාටවත් දීලා තිබ්බෙත් නෑ.
මොනවා උනත් එදා මන් ඇත්තටම සාර්තකයි කියලා තේරුම් ගත්තේ හැමොගෙම මූනු බෙංගාල බොක්ක වගේ එහෙක් වෙලා මෙහෙක් වෙලා තිබ්බ නිසා. බොක්කෙ කැලබීමට අහුවුනු කෝම්බයක් වගේ හිටපු අප්පච්චි දුවගෙන ඇවිල්ලා හාමුදුරුවන්ගෙන් සමාව අරන්, හාමුදුරුවන්ගෙ තට්ටෙ වැහෙන්න දාලා තිබ්බ අම්මගෙ කලු යට සාය ඔලුවෙන් අරන් අයින් කරලා තිබුනා.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!