මැජික් වචනය (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මං අම්ම කෙනෙක් නෙවෙයි. කවදහරි මට අම්ම කෙනෙක් වෙන්න ලැබෙයිද නැද්ද කියලවත් මං දන්නෙ නැහැ. පුංචි කාලෙ බෝනික්කො එක්ක සෙල්ලම් කරද්දිවත් මම එයාලට ටීච කෙනෙක් නැත්තම් ඩොක්ට කෙනෙක් උනා මිසක කවදාවත් අම්ම වෙලා නැහැ.
මං පොඩි ලමයින්ට කැමති කෙනෙක් නෙවෙයි. අඬන නිසාම විතරක් නෙවේ. එයාලගෙ හුරතල් කතාව හැසිරීම උනත් මට හරි කරදරයි. වෙහෙසයි. එ්ත් හරිම පුදුම විදියට මට අම්ම කෙනෙක්ගෙ හැඟීමෙන් දශමයක්, එ් කිව්වෙ සියක් දහසෙන් එක කොටසක විතර පුංචි බිඳක් දෙන්න කාගෙ කවුද කියලවත් නොදන්න පුංචි දරුවො දෙන්නෙක්ට පුළුවන් උනා.
පළවෙනි සිද්ධිය උනේ මං සාමාන්යපෙළ කරන කාලෙ. අම්ම කෙනෙක් වෙන්න තියා විවාහ වෙන්නවත් හිතලවත් නැති කාලෙ. අඩුම තරමෙ පෙම්වතියක්වත් නෙවෙයි. එදත් මං වෙනද වගේම ක්ලාස් ගිහින් හවස් වෙලා අැවිත් පාඩම් කරන්න ගත්ත. මං පාඩම් කරද්දි නිතරම ෆෝන් එක සයිලන්ට් දාල තියා ගන්නෙ. කෝල්ස් අාවත් ගන්නෙ නෑ. මැසේජස් බලන්නෙත් නෑ. අතේ දුරටත්
එහායින් තියන් ඉන්නෙ.
ඒත් එදා ෆෝන් එකේ එළිය වැටෙද්දි මට නිකමට බලන්න හිතුනා. අඳුනන්නෙ නැති අංකයක්. එ් අංකෙන් එක දිගට මග හැරුණු අැමතුම් හයක්. නොදන්න අංක වලින් එන අැමතුම් අරගෙන එ් වෙනකොටත් හොඳ පාඩම් ඉගෙනගෙන තිබුණු නිසා මං සාමාන්යෙන් එ්ව ගන්නෙ නැහැ. එ්ත් මොකක් හරි නොදන්න හේතුවකට මම ඊලඟට අාපු අැමතුම ගත්තා.
මං කතා කරන්නත් කලින්ම හැඬුම්බර බොළඳ කටහඬකින් එ් මැජික් වචනෙ අැහුණා.
“අම්මා”
මට එ් අාදරෙන්, දරුවෙක්ගෙන් අම්ම කෙනෙක්ට මිසක් වෙන කාගෙන්වත් කාටවත් ලබන්න බැරි එ් පුදුමාකාර අාදරෙන් බිංදුවක් දැනුනා. මුළු ජීවිතේම මං විතරක්ම උන, හැම දේටම මං මතම යැපෙන, මං එනකල් මග බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නව කියල එක තත්පරේකට මට දැනුන. එ් එක්කම මීට කලින් නොදැනුන, එ් වෙද්දි පාසල් සිසුවියක් වෙච්ච මට කවදාවත් නොදැනුන විදිහෙ හරිම බර අමුතු වගකීමක් හිතට දැනුනා.
“අම්මා ඉක්මනට එන්න” ඒ කටහඬ ඉකි ගහනව. මං තාමත් ගොලු වෙලා. කොහොමද එ් තරම් අාදරණීය කටහඬක බලාපොරොත්තු බිඳල දාන්නෙ. “මං ඔයාගෙ අම්ම නෙවෙයි” කියන්නෙ.
වාසනාවට මං එ් නපුරු වචන ටික කියන්න කලින් ගැහැණු කෙනෙක් කතා කරල කිව්ව වැරදි නොම්බරයක් කියල. මං දන්නෙ නෑ එ් දරුවගෙ අම්ම ගෙදර අාවද නැත්තම් එයා අායෙ හරි නොම්බරේට අරන් අම්ම එක්ක කතා කළාද කියල. ඒත් එ් පුංචි කටහඬ, මට දීපු එ් අාදරණීය හැඟීම එක්ක හැමදාටම මගේ හිතේ ඉඩක් උදුරගත්තා.
ඊලඟ සිද්ධිය වෙද්දි එතකොටත් මම ඉගෙන ගන්නව. එ් සරසවියට ගියපුම අළුත. ඉගෙනගෙන ඉවර උනාම රස්සාවක් කරනව, එතකොට මම ස්වාධීනයි, තනියම ජීවත් වෙනව, විවාහ වෙලා දරුවො ලබනව කියන්නෙ අනවශ්ය බැඳීම් අැතිකර ගැනීමක්, අනාගත දියුණුවට බාධාවක් වගේ අදහසක මම හිටියෙ. කවදහරි පවුලක් වෙලා දරුවො ලබන්න හීන තියාගෙන ඉන්න යාලුවො මට විහිලුවක් උනා. එ්ත් මගේ එ් සිතුවිලි හැමදේම වෙනස් කළේ අහම්බෙන් මුණ ගැහිච්ච තවත් පුංචි දරුවෙක්.
සති ගානක් තිස්සෙ අැද අැද තියපු විභාගෙකින් පස්සෙ මම හුඟ කාලෙකින් ගෙදර යනව. ලොකු බෑග් එකකුයි ඊටත් වැඩිය ලොකු වෙහෙසකුයි එක්ක මං නිදිමතේ බස් එකේ කවුළුවට හේත්තු වෙලා ඉන්නව. ටික දුරක් ගියාම කිලුටු රෙදි කෑල්ලකින් ඔතාගත්ත පොඩි දරුවෙක් වඩාගෙන වැඩිහිටි ගැහැණු කෙනෙක් බස් එකට නැග්ග. මගේ ලඟ හිටපු කෙනා නැගිටල සීට් එක දුන්න.
එයා එතන ඉඳගත්ත වෙලේ ඉඳල දරුව දඟලනව මගේ උකුලට එන්න. මට හරිම තරහයි. අපිරිසුදු දරුවෙක් නිසා පිලිකුලයි. මේ මොන විකාරයක්ද කියල මම අනිත් පැත්ත බලාගෙන ඉන්නව. බැරිම තැන අර ගැහැණු කෙනා මගෙන් ඉල්ලුව දරුව ගන්න කියල. මම බෑ කියන්න බැරි කමට බෑග් එක එයාට දීල දරුව ගත්තා. දරුව මගේ පපුවට ගුලි වෙලා ඉන්නව. එ්ත් වෙහෙසයි නිදිමතයි එක්ක කේන්ති ගිහින් හිටපු මම තාමත් ඔරවගෙන කවුළුවෙන් එලිය බලාගෙන ඉන්නව.
එයාල බහින තැන ලං වෙලා ගැහැණු කෙනා මගෙ අතින් දරුවව ගන්න හැදුවා. එ් වෙලාවෙ තමයි එයා අර මැජික් වචනෙ කිව්වෙ.
“අම්මා”
දරුව මගේ බෙල්ල බදාගෙන අම්මා අම්මා කිය කියා අඬනව. අවුරුදු කීපෙකට කලින් දැනුනු එ් පුදුමාකාර හැඟීමම ඊට වඩා ගොඩාක් වැඩි සාන්ද්රණයකින් මට දැනෙනව. ගැහැණු කෙනා දරුවව බලෙන් වගේ අරගෙන යන්න ගියා. එ්ත් එ් දරුව මගේ හදවතින් ලොකු කොටසක් උදුරගෙන මගේ ලඟ එයාගෙ පිරිසුදු අාදරෙන් බිංදුවක් තියල යන්න ගියා.
තාමත් මම ඉගෙන ගන්නව. රැකියාවක් කරන්න, මගේ අනාගතේ ලස්සනට හදාගන්න හීන කලින් වගේම තියෙනව. ඒත් මම දැන් එක දෙයක් දන්නව. දෙවියන් ගැහැණිය මවන්නෙ, තව විදියකින් කිව්වොත් සොබාදහම ගැහැණිය නිර්මාණය කරන්නෙ අම්ම කෙනෙක් වෙන්න. එ් අාදරේ ලබන්න. එ් වේදනාව එ් වගකීම උහුලන්න. ඒ මැජික් වචනෙට අයිතිවාසිකම් කියන්න.
පිරිමියෙකුටත් තාත්ත කෙනෙක් වෙද්දිත් එ් හැඟීමම දැනෙනව අැති. ඒ වගේම අපේ දෙමව්පියො දුක් කරදර විඳගෙන අපිව හදන්නෙ වඩන්නෙ දරුවෙකුගෙන්ම විතරක් ලබන්න පුලුවන් එ් අාදරේට තියෙන ලෝභකම නිසා වෙන්න අැති.
දරුවන්ගෙ සියුමැලි අත් වලට පුලුවන්ලු මිනිස් හදවතේ තියෙන අතිශය සියුම් තත් අදින්න. එ්ක මොනතරම් දරුණු වේදනාවක් උනත් එයින් නැගෙන ඉතාම මිහිරි සංගීතයට අාසාවෙන් මිනිස්සු එ් වේදනාව උහුලනව කියල මම කියවල තියෙනව.
සමහරවිට මම වැරදි අැති. මම තවමත් අම්මෙක් තියා අඩුම තරමෙ බිරිඳක්වත් නොවෙන නිසා. එ්ත් මම විශ්වාස කරනව ජීවිතයක් සම්පූර්ණ වෙන්න නම් එ් මිහිරි අාදරය එ් පුදුමාකාර අත්දැකීම ලබන්නම ඔ්නෙ කියල.
උපුටා ගැනීම: Arundi Wijesooriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!