උදේ පාන්දර එහා ගෙදර හුඩ් එක යට කවුදෝ මල් එකක් අතින් ගත්ත හාදයෙක් හිටගෙන ඉන්නවා. බෙල් එකත් වදිනවා ඇහුනත් තාම කවුරුවත් එලියට ආවෙ නෑ. මල්ලිකා තව ටිකක් උස් වෙලා බැලුවත් හරියට පෙනුනෙ නෑ. ගෑණි වන වන හිටපු රෙදි බේසම පැත්තකින් තියල උඩ තට්ටුවට නැග්ගා හරියටම විස්තරේ බලාගන්න.
පෙරේරා ගෙදරට ආපු හාදයා ආයිත් බෙල් එක ගැහුවා. දොර අරින පාටක් ඇත්තෙම නෑ. කාටදෝ කෝල් එකක් අරන් ඇහුවද මන්දා. කොලුවා යන පාටකුත් නෑ. රෝස පාට මල් එකක්. කාටද මෙහේ මල් දෙන්න ඉන්නෙ. මල්ලිකා කල්පනා කරා. නාකි ජෝඩුවට නම් මොන මල්ද. කෙල්ලට වෙන්න ඇති. ඒක කල්පනා උනාම මල්ලිකාට ඇතුවුනේ ඉරිසියාවක්. කෝකටත් පල්ලෙහාට ගිහින් බලන්න හිතාගත්ත මල්ලිකා උඩ තට්ටුවෙන් පහලට බැස්සා.
” මොකෝ මල්ලි ගෙදර කවුරුත් නැද්ද? ” මල්ලිකා වැට අයිනට ගිහින් පෝටිකෝව යට හිටපු කොල්ලගෙන් ඇහුවා.
” බෙල් එක ගැහුවට දොර අරින්නෙ නෑනෙ. ගෙයි ඉන්නවා වගේ” කොල්ලා කිව්වා.
” කෝල් එකක් දුන්නෙ නැද්ද එන්න කලින්.” මල්ලිකා ආයිත් කිව්වෙ මොකක් හරි පොටක් පාද ගන්න.
” ඔෆිස් එකෙන් එනකොට දුන්නා.මිස් ගෙදර ඉන්නවා කිව්ව නිසා ආයි කෝල් කරේ නෑ ආවා.”
පෙරේරා කෙල්ලගෙ ඔපිස් එකෙන් වෙන්න ඕන. ඔෆිස් එකේදි නොදී වෙනම ගෙදරට එවන මල් මොනවද . කෙල්ලගෙ උපන් දිනෙත් පහු උනා. කෑම පිගානකුත් එවල තිබ්බනෙ එදා නම්. ගෙදරටම නාකි වෙනවා. දැන් නම් තිස් පහත් පැනල මගෙ හිතේ. මංගල්ලයක්වත් හරි ගිහිල්ලද දන්නෙ නෑ .මල්ලිකාට විස්තර මදි.
” ඔෆිස් එකෙන් කිව්වෙ. ලසිතාගෙ ඔෆිස් එකෙන් වෙන්ටැති. ” මල්ලිකා ආයිත් කොල්ලගෙන් ඇහුවා.
” ඔව් ඔව් අද මිස්ට විශේෂ නිවාඩුවක්නෙ. ඒක නිසා ලොකු සර් කිව්වා ගෙදරට ගිහින් දීල එන්න කියලා. “
එතකොටම වගේ දොර ඇරගෙන ලසිතා එලියට ආවා. මල්ලිකා හිමීට රෙදි වැල ලගට ගියේ අනුන්ගෙ ඕප දූප අපිට මොකටද කියල හිතාගෙන. ලසිතා ඉන්න ඇත්තෙ බාත්රූම් එකේ වෙන්න ඕන. ගෑණි තෙත කොන්ඩෙ පිහිද පිහිද හිටපු සාලුව කරට දාගෙන දෝතින්ම මල් එක භාර ගත්තා. අම්මෝ මූනෙ හිනාව. තව පාර්සලයක් දුන්නද මන්දා. මේ වතුසුද්ද ගහ හින්දා වෙලාවකට මුකුත් පේන්නෙ නෑ. කපල දාන්න ඕන මේ පැත්තෙ අතු ටික. මල් නම් පාර පැත්තෙ ගහෙත් තියෙනවනෙ . පූජ කරන්න තිබ්බම මදැයි .
මල්ලිකා හිස් බේසමත් අරං කුස්සිය පැත්තෙන් ගෙට ගොඩ උනාට හිත තිබ්බෙ එහා ගෙදර.
” දැන් කීයෙ ඉදන් රෙදි වනනවද? මේ ගෑණුන්ට ඉක්මනක් කියල නෑනෙ. ලිපේ වලං තියල යනවා කල්පනාවක් නෑ. මම ආවෙ නැත්නම් අද බත් කැවා ඉවරයි. ගේත් ගිනි ගන්නවා වෙලාවක. මොකෝ ඒගොල්ලන්ගෙ පොකට් එකෙන් යනවද මම එපැයි ගෑස් ගේන්න සල්ලි දෙන්න ඕන” තිලකරත්න කියවන්න උනා.
” හරි හරි මම මේ පාර ගෑස් එක ගේන්න සල්ලි දෙන්නම්. ඉවරයිනෙ” මල්ලිකා කිව්වා.
” ඒ තියෙන්නෙත් මගෙ සල්ලිනෙ. දර කෑල්ලක් පලල ලිපකට දාල ගින්දර ඩිංගක් මොලවන්න පුරුද්දක් තියෙනවද අද කාලෙ ගෑණුන්ට. ඔක්කොම ලේසිය තමයි. “
” ඔයාගෙත් පුදුම කියවිල්ලක් තිලකෙ. ඒක නෙමෙයි එහා ගෙදර ලසිතාට අද ඔෆිස් එකෙන් මල් එකක් එවල තිබ්බනෙ”
” ඒක තමයි එහෙනන් බත් එක ලිපේ බව අමතක උනෙ. කෙල්ලගෙ උපන්දිනේ වෙන්න ඇති”
” පිස්සුද අනේ. පහුගිය දවසක කෑම පිගානකුත් එවල තිබ්බෙ උපන් දිනේ කියල. තාම පිගාන දෙන්නත් බැරි උනා. ලොක්ක මල් එව්ව කතාවක් කිව්වෙ. මිනිහෙක් ඉන්නවද දන්නෙ නෑ වැඩ කරන තැන. ලොක්කා කිව්වෙ අයිතිකාරයද දන්නෙ නෑ. ශුවර් එකටම බැදපු මිනිහෙක් වෙන්න ඇති. අනේ අනිච්චං ඉන්නෙ දහයට ගනින්න බෑ වගේ . පව් අර නාකි ජෝඩුව “
” එහෙනං ඉතින් ඔහෙට බැරියෑ ඔය පිගානත් දීල ඉතුරු ටිකත් අහන් එන්න” කියපු තිලකරත්න නොරිස්සුමෙන් ආයිත් පත්තරේ අතට ගත්තා.
තරහින් කිව්වට මොකෝ කාතාව ඇත්ත නේද කියල මල්ලිකාට හිතුනත් පෙරේරා ජෝඩුව උදේම එලියට යනවා දැක්ක නිසා ඒ අදහස යටපත් කර ගත්තා. පෙරේරා ජෝඩුව ගෙදර නැති බව දැන ගෙනම මල් එව්වා වෙන්න බැරිද. මල්ලිකාට මේක මහ ප්රෙහේලිකාවක්. හෙට විතර ඒ පැත්තෙ ගිහින් බලන්න ඕන. මල්ලිකා හිතුවා.
ඇදිරි වැටීගෙන එනකොට පෙරේරා නෝනා වැට අයිනෙ මල් කඩනවා. මල් කූඩෙත් අරං මල්ලිකා වැට අයිනට ඉගිලුනා.
” මිසිස් පෙරේරාගෙ පිගානක් තියෙනවා දෙන්නත් බැරි වුනා තාම. ” මල්ලිකා කිව්වා.
” ආ ඕක මොකද්ද, පුලුවන් වෙලාවක ගෙනත් දෙන්නකො. කෝ මිස්ටර් තිලකරත්න නැද්ද අද?”
” ඔන්න ඔය ඔෆිස් එකේ පාටියකට යන්නද කොහෙද හදනවා, මම ඒත් කෑ ගැහුවා රෑ නොවී එන්න මට තනියම ඉන්න බෑයි කියල ” කතාවට පොටක් පාද ගන්න මල්ලිකා කිව්වා.
” ආ ඇත්තද අනේ අපිටත් අද මෙන්න මේ ලසිතාගෙ ඔෆිස් එකෙන් රෑ කෑමකට එන්න කියල තියෙනවා. එයා දැන් එතන අවුරුදු දහයක්නෙ. උදේ තෑගි වගේකුත් එවල තිබ්බා. ” අප්පෝ ඕකද මල් එව්ව කාරනාව විගඩං. අපේ එක්කෙනාගෙ සර්විස් එක අවුරුදු පහලවක් අඩුම ගානෙ පඩියක් වත් සත පහකින් වැඩි වෙලා නෑ. කොම්පැනියෙන් අහුවම කියන්නෙත් අවුරුදු ගාන ලොකු උනාට වැඩක් නෑ පරපෝමන්ස් නැත්නම් කියලා . ගෑනු හින්දා පරමෝමන්ස් ඇති මං හිතන්නෙ. මොකක්වත් නැත්නං ඔහොම පාටි දේවියෑ. මල්ලිකා හිතුවා
” ඔව් ඔව් මං දැක්කා උදේ කවුද ලමයෙක් එනවා. ” මල්ලිකා කිව්වා.
” මේ මල්ලිකා අනේ ඔයාව දැක්ක එකත් ලොකු දෙයක්. උදේ මල්ලිලගෙ ගෙදර ගියාම අරයගෙ අම්මත් අපේ ගෙදර ආව. අම්මව පාටි එකට එක්කන් යන්න බෑනෙ. ඔයාලගෙ ගෙදරින් තියල යන්නද පොඩ්ඩකට. මිස්ටර් තිලකරත්නත් ගෙදර නැති එකේ තනියකුත් නෑනෙ. නැත්නම් මම නංගිලගෙ ගෙදර තකහනියක් යන්න ඕන.” පෙරේරා නෝනා කිව්වා.
පෙරේරා නෝනගෙ නැන්දම්මගෙ කනත් හොදටම ඇහෙනවා අඩුයි. බණ දේශනා කරනව දකින දකින අය එක්ක. අයියෝ ඒ බීරි හටනව නවත්ත ගන්නවා කියන්නෙ අද රෑට රන් දෙපැයම අපතේ යනවා කියන එකනෙ කියලා මල්ලිකාට හිතුනා.
ප්රබන්ධක්
(පින්තූරය අන්තර්ජාලයෙන් – මුල් හිමිකරුට ස්තූතියි )
උපුටා ගැනීම: Buddhika Abeysundara