මල්කුමාරයා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පොඩි කාලෙදි මම සෑහෙන ආසාවකින් හිටිය මල්කුමාරයෙක් වෙන්න . කාගෙ හරි මඟුල් ගෙදරක පරණවත්තෙ පොඩි එකා ව මල්කුමාරයා කරගන්නෙ කවද ද කියල හිත හිතා ඉන්නකොට දහම් පාසලේ ලොකු සර් දහම් පාසලේ ලොකු ටීච ව කසාද බඳිනවාය මඟුලෙහි මල්කුමාරයාට රන්දික ව ගන්නවාය කියල අපේ අම්මාට දැනුම් දීලා තිබුණේ අම්මා පල්ලෙහා කඩේට ගිය වෙලාවක ලොකු සර්ගෙ වෑන් එක නතර කරලා වීදුරුව බාගයක් පාත් කරලා . ඒක අම්මා මට කියද්දි සතුට වැඩිකමට කට කොණින් හිනා වෙලා බිමත් බලාගත්තා . කොහොමහරි ඒ මඟුල් ගෙදරත් ඉවර උණා . එහා ගෙදර සුබෝධ ව මල් කුමාරයට ගත්තා . හේතුව අම්මට කියල තිබුණත් අම්මා මට කිව්වෙ නෑ . මගෙ කටවැඩි නිසා වෙන්නැති .
අපේ ගමේ හිටියා ෆොටෝ ග්රැෆර් කෙනෙක් . නම දිමුතු . එයා බැන්ඳේ සාහිත්යවේදිනියක් බව දැනගත්තෙ මම සාමාන්ය පෙළ කරන කාලේ කුලසිංහ සර්ගෙ පොතක් කියවද්දී සන්ධ්යා කුමුදුනී ලියනගේ නමින් තිබුණු ලිපිය දැක්කට පස්සෙ . දිමුතු අයියගෙ වෙඩින් එකේ මල් කුමාරයට සුබෝධව යි මාව යි දෙන්නව ම තෝර ගත්තා . ඉතින් ආයෙත් මට මාර හැපී . මේ සැරේ නම් මාර ශුවර් . මොකද ඇඳුම් මිමි එහෙමත් අරගත්තනේ . වෙඩින් එක අවිස්සාවේල්ලේ . මෙහෙන් උදේ හයට පිටත් වුණා . සුබ යි මායි මනමාල අයිය යි ඒ සී කාර් එකේ පිටි පස්සෙ ඉදගෙන . මම අයිනෙ ම . කාර් එක ගමෙන් අලව්ව නාරම්මල පාරට දාද්දි ම නඳුනි ටටා කිව්වා . එයා ස්කෝලෙ යන්න යාළුවෝ ටිකකුත් එක්ක පාරෙ . යන අතරතුරේ දිමුතු අයියට කෝල් එකක් . සුබ යි මායි කතා වුණා ” මනමාලිගෙන් වෙන්නැති ” අයිය අපි දිහා බලලා හිනා වුණා. අපටත් හෙන ලැජ්ජයි . අපි ගියෙ සෑහෙන්න වංගු තිබුණු පාරකින් . වංගු දෙකක් ගනිද්දී මට වමනෙ ගියා . ශිට් . මාර අවුල් . දිමුතු අයිය ම ඒක පිහ දාලා ආයෙත් අපි යනවා . වැඩේ හරියන් නෑ . මට වමනෙ යන්න එනවා තව . ඉස්සරහින් නෑදෑ පරම්පරාව යන වෑන් එකට දිමුතු අයියා කතා කරලා නවත්ත ගත්තා . මට ඒ සී ඒවගෙ යන්න බෑ . සුබාගෙ අම්මා මාව හෝදවලා අපේ අම්මට කතා කරලා මගට එන්න කියල මාත් එක්ක ආපහු ගියා . අම්මා මාව එක්කන් ගෙදර ආවා . මල් කුමාර සිහිනය දලු ලා වැඩුණත් එසී කාර්වල යන්න බැරි හේතුව උඩ හීනෙ අතෑරගත්තා . මඩාගෙ ඩ්රීම්ස් අන්ලිමිටඩ් පොත කියවද්දී මතක් වෙන සිහින අතර එකක් දැන් ඒක .
මෑතක ඉදන් සෑහෙන ආසාවකින් ඉන්නව යාළු මනමාලයෙක් වෙන්න . ඒත් ඉතින් කවුරුත් කතා කරන එකක් යෑ . චූටි අයියා රට ඉදන් ආව ම එයාගෙ වෙඩින් එකේ යාළු මනමාලයට මාව ගනී නේද කියල කල් තියාම ගමේ අම්මගෙ ඔළුවට විසබීජෙ දැම්මා . ඒත් ඉතින් කොහෙද ; ඒ සී අරහං නේ . .
උපුටා ගැනීම: Randika Rajapaksha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!