ඒ සමුපකාරෙන් කූපන් වලට හාල් දෙන කාලෙ.අපි අහල පහළ ගෙවල් වල කෙල්ලො ටික එකතු වෙලා තමයි හැම සතියෙම යන්නෙ..ලලිතයි පද්මිනියි මමයි දවසක් ගියා
සමුපෙට.දන්නෙ නැද්ද ඉතින් මග දිගටම
එක එක ඒව දොඩව දොඩව..
ඉතින් මැනේජර් මහත්තය කූපන් කපා ගෙන
බිල දුන්නම ගෝලයට එයා හාල් කිරල දෙනව.
තුන් දෙනාගෙම හාල් ටික ගත්තට පස්සෙ තමයි අපි ඔක්කොම පාරට ආවෙ.
“ඒයි..අද අපි හාල් මලු ඔළුවෙ තියන් යමුද..”
ගරාජ් එක පහු කරනවත් එක්ක ලලිත ඇහුව…ඒ හරියෙ සෙනග …”අපෝ.. තව ටිකක්
දුර ගිහින් බලමු…”මම යෝජනා කළා.
වලව්වත්ත පහු කරල…උඩුමුල්ලෙ ගෙවලුත්
පහු කරල ඔන්න දැන් අපි යනවා..
ඒ හරියට කිව්වෙ පැලවත්ත කියල..ඔන්න
ඉස්සෙල්ලම පද්මිනී හාල් මල්ල ඔලුවට
ගත්ත..”හරි එහෙනම් මාත් ගන්නම්..”ලලිත
ඉතින් එයාට දෙවැනි නෑ….දැන් ඉතින් දෙන්නම
මලු ඉහ තියාන දෑත දෙපැත්තෙන් වන වනා
පාර දිගේම යනව…මං මොකටද නිකං ඉන්නෙ..මාත් ගත්ත හාල් මල්ල ඔලුව උඩට
දැන් අපි තුන් දෙනා යනව පේළියට මලුත් ඉහ
තියාන අතුත් පද්ද පද්ද…හරියට වෙළෙන්දියො
තුන් දෙනෙක් වාගෙ.නිකනුත් නෙවෙයි..කයියක් එහෙම ගහ ගෙන.තෝර ගොඩට හැරෙන තැනත් පහු වුණා..
මැළෑගොඩ ගෙදර හරියට ආව විතරයි…බුදු
සන්තෝ…මගේ ඔලුව උඩ තිබුණු හාල්
මල්ල පත බෑවුණේ නැතැයි බිමට..මට දෙවියො සිහි වුණා…අර දෙන්නා දිව්ව මැළෑගොඩ ගෙදරට..එහෙ නැන්දම්මා ආවෙ
දුවගෙන …කුල්ලකුත් අරන්මයි..
දැන් කාලෙ වගේ අපි කාටවත් නැන්ද ..නැන්ද
කිව්වෙ නෑ ඒ කාලෙ..කිව්වනම් ඉතින් රෙදි
නැන්දට විතරයි..”අනේ..නැන්දම්මෙ ඉක්මනට
එකතු කරල දෙන්නකො.හින්නි අම්මගෙන් අද
නම් ඉතින් බැණුම් තමයි…”ඒ ගොල්ලො හින්නි
අම්ම කිව්වෙ අපෙ අම්මට..අපේ මද්දු අම්මගෙ
දරුවො එහෙම තමයි අම්මට කතා කළේ.ඉතින් අහල පහල හැමෝම එහෙමයි
කතා කළේ.මං හිටියෙ හොදටෝම බය වෙලයි.
ඇයි ඉතින් සුමානයක්ම කන්න තිබුණු හාල්නෙ…”දැන් ඉතින් හරි පුතේ..පරිස්සමට
අරන් යන්නකො..”නැන්දම්ම හාල් මල්ල මගෙ
අතට දුන්න එහෙම කියල.
“අනේ…නැන්දම්මට පින්ම පින්..අපි යනවා”
මං වෙනුවට කිව්වෙ ලලිතා..
අර ඔලුව උඩ තිබුණු මලු ඉබේම අත් වලට
ඇවිත් තිබුණා..ඒ වෙනකොට..
ඔන්න ඉතින් පද්මිනීලගෙ ගෙදරින් එයාලගෙ
මල්ල තියල ඊ ළගට ගියේ ලලිතලගෙ ගෙදරට..මුකුත්ම වුණේ නැති ගාණට ඒ මල්ලත් තියල දැන් ඔන්න අපේ ගෙදරටයි යන්න තියෙන්නෙ…අපි තුන් දෙනා නිතරම
එකට ගමන් බිමන් ගිය නිසා කවුරුවත් ඇහුවෙ නෑ ඇයි තුන් දෙනාම යන්නෙ කියල
අපේ අම්ම ඔන්න ඉතින් ඉන්නව පැදුරක් විය
වියා..”හින්නි අම්මේ..පැදුරු වියනවද..”ලලිත
තමයි අම්ම ළගට කිට්ටු වුණේ..
“මොකෝ අද පරක්කු වුණේ…”අම්ම අපි දිහා
නොබලම ඇහුව.
“අනේ හින්නි අම්මෙ.හරි වැඩක් වුණානෙ..අපි
අතින් හාල් මල්ල බිම වැටුණනෙ..”පද්මිනී
හෙමීට කිව්ව…අම්මට නැගිටුණේ ඉබේටමයි
“මැළෑගොඩ ගෙදර නැන්දම්ම..එකතු කරල
දුන්න ඔක්කොම..”ලලිතත් ඌණ පූරණය කළා
අම්ම ආව හාල් මල්ල ළගට..”වැලි නේද දරුවො…”ඈ හාල් අහුරක් අතට අරන් ඇහුව.
මං හිටියෙ බිම බලාගෙන…දැන් බනියි..
දැන් බනියි….කියල හිතාගෙන…
“කොහොමත් ටිකක් ගරලනෙ ගන්නෙ…නේද
හින්නි අම්මෙ..”අපේ ලලිත වෙලවකට කරනව
වගේ ඇහැක් පුංචි කරල ඇහුව.
“තුන් දෙනත් එක්ක නට නටා ඇවිත් ඉහිරෙව්ව
නේද හාල් ටික…දෙනවා උඹල තුන් දෙනාට මං”
අම්ම හිනා වෙවී කියන කොට අපි ඇගෙන්
සෑහෙන දුරකට දුවලත් ඉවරයි.
ඉතින් ඒ හාල් නම් ටිකක් වැඩිපුර ගරල ළිපේ
තියන්න වුණා නම් තමයි..ඒ වෙලාවට අම්ම
ඔය මොනව හරි කිව්ව වගේ මතකයි..ඒකත්
විහිලුවට වගේ..”අපේ දෝණිගෙ දක්ෂකම් නේ
මේ වැඩිපුර හාල් ගරන්න වුණේ..”වගේ දෙයක්.
මොකද ඒ කාලෙ කොහොමත් හාල් ගරල තමයි ළිපේ තියන්නෙ..දැන් වගේ ගල් වැලි ඉවත් කළ හාල් වැඩිපුර තිබුණෙ නැති නිසා.
දැන් අවුරුදු කීයක් නම් ගත වෙලාද මේ සිදුවීමට…..එදා අපට බැන්නෙ නැති අම්ම නැති වෙලත් දැන් අවුරුදු තිස්තුනක්.එදා අපි හිටපු ගේත් අද නැහැ…අපි තුන් දෙනාත් තුන්
පොළක..ඉදහිට තමයි හමු වෙන්නෙත්..
ඒත් ඒමතකය නම් මේ දැන් වගේ හිත ස්පර්ශ
කරද්දි හීනියට දුකක්ද..සතුටක්ද මන්ද..
හිතේ රැදෙනවා..කාලය මැව් වෙනසක අරුමේ
කියල හිත හදා ගන්නව ඒ වෙලාවට..
උපුටා ගැනීම: Thiwanka Jayaweera