ඇය කළු පැහැති ඇඳුමක් ඇඳගෙන කාර්යාලයට ආවා.
කීප දවසක් වැඩිපුර නිවාඩු ගනියි කියලා හිතුවට හත් දවසෙ දානෙට පස්සෙ යෙදුනු සති අන්තයෙන් අනතුරුව එළැඹි සඳුදා රාජකාරියට ආවා. හිත හදාගන්නත් එක්ක ටික දවසක් විවේකයෙන් ඉඳලා වැඩට එන්න කියලා ආයතනයෙන් දැනුම් දුන්නත් ඇය ප්රතික්ෂේප කලා.
“කළු කියන්නෙත් දුක ප්රකාශ කරන පාටක්නේ” කෙනෙක් කීවා.
“හැබැයි මළ ගෙදෙට්ට නම් සුදු ඇන්දා” තවෙකෙක් කීවා.
“පස්සෙ සුදු අඳියි. එක දිගට සුදු ඇඳුම් ඇඳලා සෝදලා ඇති. එක පාරටම වැඩටත් ආවනේ නිවාඩු ගන්නෙ නැතුව”
දිවා ආහාර පැයේදී බොහෝ දෙනෙක්ට කතාබහට මාතෘකාවක් ලැබී තිබුනා.
“හැමෝ එක්කම හිනා උනා උදේ වැඩට එනකොට. අනේ මන්දා කොහොම ඉන්නවද කියලා. මට නම් පිස්සු හැදෙයි. මළ ගෙදරදි උනත් ඇඬුවෙ නෑනෙ. මම හිතුවා කම්පනේට කියලා. බලන් ගියාම දුකක් ඇත්තෙම නෑ වගේනෙ” එකියක් කීවා.
“හ්ම්ම්… අනේ මන්දා රත්තරන් බඩුත් දාගෙන හිටියා” තව පිදුරු ටිකක් එක්කහු උනා.
කවුරුත් බලාපොරොත්තු වුන විදියට ඈ දෙවෙනි තුන් වෙනි දවසෙවත් සුදු ඇඳුම් ඇන්දෙ නෑ. කළු ඇඳුම් ඇන්දෙත් නෑ. සුපුරුදු ඇඳුම් ඇඳගෙන ආවා. කාර්යාලයේ කාගෙත් අනුකම්පාව ටික ටික ඈත් වුනේ දිනිතිගෙ හැසිරීම් නිසා. ඒ හැමෝම මුදලින්, ශ්රමයෙන්, කාලයෙන් සහ වචනයෙන් පවා මළගමට බොහෝ උපකාර කල අය. ඒත් ඒ අයගෙ හිත් පෑරුණා.
“එච්චර සතුටකින් නෙමෙයි දෙන්නා එකට ජීවත් වෙන්න ඇත්තෙ. ඉතින් මහලොකු දුකක් ඇති වෙන්න විදියක් නෑ”
“ඔය පේස් බුක් වල ලොකුවට පින්තූර දාගෙන ලෝකෙට පෙන්නන්න හදන අයගෙ ජොලිය ඇත්ත ජීවිතවල නෑ අනේ. රඟපෑම තමයි ඔක්කොම”
“ලොක්කගෙ කාමරේ සෑහෙන වෙලාවක් කුටු කුටු ගගා හිටියා. දුක පිටින්ම දාලා ප්රමෝෂන් එක ගන්න වෙන්න ඇති. එතනත් රඟපෑම”. මළගමින් පස්සෙ මාසයක් යනකොට ලොකු කුඩා කාගෙත් කටවල් තැන තැන එහෙම කතා උනාලු.
අවුරුදු තිස්හතරක් උන දිනිතිට, එයාගෙ මහත්තයා අවුරුදු තිස් අටක් වෙද්දිම හදිසියේ ඇති වුන පපුවෙ අමාරුවකින් අහිමි වුනේ කවුරුත් පුදුම කරමින්. කවදාවත් හෙම්බිරිස්සාවක් ඇරෙන්න වෙන කිසිම අසනීපයක් නොතිබුණ ගයාන් හදිසියේ මියයාම කාටත් අදහගන්න බැරි උනා.
හදිසියේ අසනීප වී දැඩි සත්කාරයට ඇතුල් කිරීමෙන් දවස් එක හමාරකට පස්සෙ ගයාන් තමාව හැර යනකල්ම දිනිති එකම ඇඳුම ඇඳගෙන හිත ශක්තිමත් කරගෙන ඈට පුලුවන් හැම දේම කලා. ඉස්පිරිතාලවල දිව්වා, දොස්තරලා පස්සෙ දිව්වා, පන්සල් පල්ලි ගානෙ දිව්වා. ගයාන් නැතිවුනාට පස්සෙ මරණ පරීක්ෂණ ඉවර වෙනකල් ඉඳලා දේහය මල් ශාලාවටත් භාර දීලා මිනිය ගෙදරට ගේන්න කලින් ගෙදරට ඇවිත් කාටත් හොරෙන් ඇය වැළපුනා. පපුවෙ බර හේදිලා යනකල්ම කඳුලු වක්කරපු ඈට තුරුල්වෙලා හිටපු අවුරුදු දෙකේ පොඩි කෙලි පැටික්කිත් මහ හයියෙන් අඬන්න පටන් ගත්තෙ තේරුමක් නොදැන. අවුරුදු අටක් වුන දිනිතිගෙ ලොකු දියණියත් ඇඬුවා.
“අම්මා අඬනකොට නංගිත් අඬනවා. මටත් ඇඬෙනවා අම්මේ. මට පාලුයි අම්මේ මට අප්පච්චිත් නැතුව අම්මත් නැතුව පාලුයි අම්මේ”
පහුගිය දවස් දෙකටම තම දියණියන් ගැන කිසි දෙයක් හොයා බලන්න බැරි උන බව දිනිතිට මතක් උනා. ඈ උන්ව තුරුල් කරගෙන ඇඬුවා.
“නෑ ලොකූ, අම්මා ආයෙ අඬන්නෙ නෑ, මගෙ පුතාලට දුක හිතෙන කිසිම දෙයක් මම කරන්නෙ නෑ. අප්පච්චි නැති දුක ඉවර වෙන්නෙ නෑ පුතේ කවදාවත්. අප්පච්චි පුතාලා දිහා බලාගෙන ඉන්නේ. මගෙ පුතාලා ඇඬුවොත් අප්පච්චිට දුක හිතෙනවා පුතේ” ලොකු දියණියගේ හැඬුම නවත්වන්නට බැරි වුණත් තමන් ඇඬුවොත් ඈ තවත් අසරණ වන නිසා ඈව ශක්තිමත් කරන්න හිතාගෙන දිනිති හිත තද කරගත්තා. දේහය නිවසට ගෙනෙන වෙලාවේ ගයාන්ගෙ අම්මයි නංගිලයි විලාප ගැහුවට දිනිති කාමරේටම වෙලා හිටියේ ඒ මොහොත තමාට කඳුලින්වත් දරාගන්න බැරි තරම් බර වැඩි නිසා. දිනිති දන්නවා ඈ කඩා වැටෙන බව.
මළ ගෙදරින් පස්සෙ ආපු පළවෙනි සඳුදම දිනිති වැඩට ගියේ තවත් නිවාඩු අරගෙන අවුරුද්දෙ අවසානෙ “පඩි නැති නිවාඩු” ගන්න වෙයි කියන බයටමයි. දරුවො අසනීප වෙද්දි, එයාලගෙ කටයුතු වලදි මාරුවෙන් මාරුවට නිවාඩු අරගෙන බෙදා හදාගන්න ස්වාමිපුරුෂයෙක් තවදුරටත් ඈට නැති නිසා.
දිනිති තළෙළු කෙනෙක් නිසා සුදු ඇඳුම් දෙක තුනකට වඩා තිබ්බෙ නෑ. ඒවා තිබ්බෙ හදිසි මරණෙකට දානෙකට හෝ පන්සලකට අඳින්න විතරයි. ඈ කවදත් කාර්යාලයට හෝ සාමාන්ය ගමනට සුදු අඳින්න කැමැත්තක් තිබුනෙ නෑ. මළගෙදරින් පස්සෙ කාර්යාලයට අඳින්න සුදුසු ඇඳුම් ගන්න යන්න තරම් සල්ලිවත්, කාලයවත්, මානසිකත්වයවත් දිනිතිට තිබුනෙ නෑ. දූවරු දෙන්නෙක්ගෙ බර ඇගේ කරමත පැටවිලා නිසා ඈට ඇඳුමට වඩා වැදගත් දේවල් මහ ගොන්නක් තිබුනා හිතන්න. මළගෙදර දිනවලදි පවා ඈ හිතුවෙ දූවරුන්ගේ අනාගතය ගැන. කණ කර ආභරණ ගලවන්න ඈට සිහියක් තිබුණෙ නෑ. ඈට කවුරුත් බල කළෙත් නෑ. ගයාන් තවදුරටත් නැති බව ඈට හිතන්නට ඕනෙ වුනේ නෑ.
ඈ සාමාන්ය පෙර ඇඳි ඇඳුමෙන්ම වැඩට ගියා. හැමෝටම මඳ හිනාවක් පෑවේ කල සියලු උදවුවලට “ස්තුතියි” කියන්න. එය වචනයෙන් කරන්න තරම් ඈට හයියක් තිබ්බෙ නෑ. ගල් කරගෙන ඉන්න කඳුළු කැට ලිහිල් වෙලා එළියට පැන්නොත් නවත්ත ගන්න බැරි ගං වතුරක් වෙන නිසා ඈ කා සමඟවත් ගයාන් හෝ ගයාන්ගේ නික්ම යාම ගැන කතා කරන්න ගියේ නෑ. ඒ ගැන කවුරුත් කතා කරන්නට ආවොත් ඈ ඒවා හිතාමතාම මඟ හැරියා. පුළුවන් තරම් වෙර වීරිය ගෙන රාජකාරියටම කැප උනා.
ගයාන් දැඩි සත්කාරයේ ඉන්නකොට එක් දොස්තර මහතෙක් සෑහෙන්න උපකාර කලා. ඒ ඔහු දිනිතිගෙ කාර්යාලයේ ප්රධානියාගෙ ඥාති සහෝදරයෙක් නිසයි. මේ උපකාරයට වුනත් ප්රධානියා හට වචනයෙන් ස්තුති කරන්න යන්න ධෛර්යය බිංඳුවක් හොයාගන්න ඈට මාසයක් විතර ගත වුනා.
ගයාන්ගෙ වැටුපත් අහිමිව ජීවිතේ ගෙවන්න ආර්ථික ශක්තියක් ගොඩානඟාගන්න අවශ්ය බව ඈට තේරුම් ගියා. තමන්ගේ විශ්රාමික දෙමාපියන්ට කරදරයක් වෙන්න ඈ කැමති වුනේ නෑ. ගයාන් ජීවත් වනතුරු බොහොම සමඟියෙන් සිටි ගයාන්ගේ මව ඔහුගේ මළගමින් පසු වෙනස් ස්වරූපයක් ගත්තා.
“ඔයාලා ඉතින් අපි වගේ කේන්දර බලලා නෙමෙයිනේ කසාද බැන්දුවේ. ඔයාලා ඒවා විශ්වාස කරන්නෙ නෑනෙ. ඒවගෙන් බලන්නෙ ඕවා තමයි. දැන් බලන්නකෝ ගයාන් පුතා අකාලෙ මැරුණු හැටි. හොරු අරන් ගියා වගෙයි” ගයාන්ගේ මවගේ යෙහෙලියක් එහෙම කියා තිබුනා.
මළ ගේ ඉවර වුන වහාම නැවතත් දිනිති තමන්ගෙ පශ්චාත් උපාධියේ ඉතුරු වැඩ ටික පටන් ගත්තෙ මීළඟ උසස්වීමට එය අත්යාවශ්ය නිසා. ඈ ගෙවන්න යන අසීරු ජීවිතයට වැටුප් වැඩිවීමක් අත්යාවශ්ය වුනා.
දරුවන්ගේ වැඩයි, උපාධියේ වැඩයි, කාර්යාලයේ වැඩයි එක්ක ඈ කාර්යබහුල උනේ හිතාමතාම ගයාන් හිත පැත්තට එන පාර හරස් කරගෙන. දූවරු දෙන්නා එක්ක නිවසේ තනිවුන දිනිතිට මහා හයියක් උවමනා වුනා. ගයාන් නැති උනාට පස්සෙ හරි හරියට උදවු කරන්න ඉදිරිපත් වුන මිස්ට සිල්වාගෙන් ඈත් වෙලා ඉන්න ඈට ලොකු සටනක් කරන්න සිද්ධ වුනා. තමන් දුක් නොවී සාමාන්ය විදියට ජීවත් වුනේ ගයාන් එක්ක සතුටින් පවුල් නොකෑ නිසා කියන එක මිස්ට සිල්වාගේ කටින් ඉපදිච්ච කතාවක් බව ඈට ආරංචි වුනා.
ඈ ඒ සියල්ල ගයාන්ගේ ආදරේ නාමයෙන් ඉහිලුවා. මේ තරුණ වයසේ තමන්ගේ තරුණ ස්වාමිපුරුෂයා අහිමිවෙතැයි හීනෙන්වත් නොසිතූ දිනිතිට ඔහුගේ මරණෙන් පසු හැසිරිය යුතු ආකාරයක් හිතා ගන්නට බැරි වුනා. ඒත් මේ ගැහැණිය ඒ සියල්ලට මුහුණ දුන්නේ තමාගේ ඒ සොඳුරු ආදරවන්තයා තමන් එක්කම තමන් ළඟින්ම ජීවත් වෙනවා කියලා හිතාගෙන.
ඈ තවත් දිරි ගත්තා…
උපුටා ගැනීම: Nilmi Gunawardene Perera