මැලිෆිසන්ට් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගෝඩ් මදර්, මට කියන්න එයා ඔයාගෙ පිහාටු කපල දැම්මම ඔයාට ඒක කොහොමද දැනුනෙ?
මට හුඟක් රිදුනා බීස්ටි. මට හුඟක් රිදුනා.
ඊටපස්සෙ?
ඒ වේදනාව කලකිරීමක් වෙලා ඊටපස්සෙ ලොකු කෝපයකට හැරුණා. මම මගේ ආදරය කෝපයෙන් වහගත්තා.
ඉතින් ඒකෙන් ඔයාට ලැබුණෙ මොනවද?
තිත්තකම
ඒකෙන් ඔයාව තව තවත් අඳුරු පතුලකට වැටුණා..?
ඔව්..
ඊටපස්සෙ ඔයා ආලෝකය හොයාගත්තෙ කොතනින්ද?
හැම අඳුරු ගුහාවකටම පිවිසුමක් තියෙනව වගෙම පිටවුමකුත් තියෙනව බීස්ටි. අපි වරක් ගුහාවකට පිවිසුනාම කාලයත් එක්ක ඒ ගුහාව ඇතුලේ තියෙන සීතල, තෙත , අඳුර එක්ක බැඳෙනව. ඒ තනිකමට ඇලෙනව. අපේ අඳුරු මතක නිසා අපිට ඒකෙන් මිදෙන්න හිතක් වත් එන්නෑ. ඒක හිතන තරම් ලේසිත් නෑ.
ඉතින්.. ගෝඩ්මදර් කොහොමද පිටවීමක් හොයාගත්තේ?
ඒක එකවරම නොහිතුව වෙලාවක සිද්ධ වුණු දෙයක්. මම දවසක් ගුහාව ඇතුලට වෙලා කළුවරේ සීතලක මුළුගැන්නිලා ඉන්නකොට පුංචි එළි තිත් පේළියක් ගුහා කට ඇතුලෙන් එහෙ මෙහෙ වුණා.ඒ එළි ඉගිල්ලුනා.
කණමැදිරියො ?
ඔව්. ඒ පුංචි තරු පැටව් ඉගිල්ලෙනකොට මටත් මගෙ පිහාටු දෙක මතක් වුණා.
ඉතින්…?
මට මම කවුද කියල මතක් වුණා බීස්ටි. මම මැලිෆිසන්ට්. ලස්සන බලවත් තේජසින් අඩුවක් නැති පිහාටු වල අයිතිය තිබුණු මැලිෆිසන්ට්. මගෙ තටු දෙක නැති වුණත් මම තාමත් මැලිෆිසන්ට් බව මට තේරුම් ගියා. මට මතක් වුණා මගේ ශක්තිය තිබුණෙ තටු වල වුණත් ඒ ශක්තියට ජීවය දෙන්නෙ මගෙ ඇතුලාන්තයෙන් බව. මම ඒ ගැන තේරුම්ගත්තා බීස්ටී.
ඒ කියන්නෙ ගෝඩ්මදර් අපිට බාහිරින් තියෙන ශක්තියට වඩා අපේ ඇතුලාන්ත ජීවය හරිම වැදගත් කියන එක නේද?
හරියටම හරි බීස්ටි. ආත්මය හරිම වැදගත්. කෙනෙකුට අපේ ශරීරය පවා විනාශ කරල දාන්න පුළුවන්. ඒත් කාටවත් අපේ ආත්මයට අත තියන්න බෑ බීස්ටි. ආත්මය ජීවත් කරන්නත් මරාදාන්නත් පුළුවන් අපේම සිතුවිලි වල ජීවයට විතරයි.
ඊටපස්සෙ ගෝඩ්මදර් මොනවද කලේ?
මම තීරණයක් ගත්තා බීස්ටි. මගෙ ජීවිතේ වැදගත්ම තීරණය මම ඒ මොහොතෙ ගත්තා
ඒ මොකක්ද?
මම මගේ තටු දෙක හොයාගෙන යන්න තීරණය කලා.
ඉතින් පාර හොයාගත්තෙ කොහොමද? ඔයා හිටියෙ අඳුරු ගුහාව ඇතුලෙනෙ.
හැමෝගෙම ජීවිතේ අඳුරු ගුහාවක එක විශේෂ මොහොතක් උදාවෙනව බීස්ටි. අපි ඒකට ඇතුල් වෙනව වගෙම ඒකෙ හිරවෙලා ඉන්න කාලය ඇතුලෙ කාරුණික මායාවෙ මොහොතක් අපිව හොයාගෙන එනව.
හරියට අර පුංචි කණමැදිරියො වගේ?
ඔව්.. හදවතක අවංක ආදරයක් වේදනාවකින් යටපත් වෙනව මිසක් ඒක සදාකාලිකව මැරෙන්නෙ නෑ. අපි ශෝකයෙන්, කලකිරීමෙන්, කෝපයෙන් වසාගෙන හිටියත්…
ආදරය ආදරයමයි. එහෙම නේද ගෝඩ් මදර්?
ඔව්.. ඔයා හරි. අපේ ඇතුලාන්තයේ ඇත්ත ස්වාභාවය අවදි කරනකොට අපි අපිට ආයෙමත් ආදරේ කරන්න ගන්නව. ඒ නිසා හැම අඳුරු ගුහාවක් ඇතුලෙම තනිකමේ ගැඹුරුම මොහොත හරිම වැදගත්. ඒ මොහොත තමයි අපිට ආයෙමත් නැතිවුණු අපිව හොයාදෙන මොහොත.
ඉතින් ගෝඩ්මදර් තටු හොයාගෙන ගියා?
ඔව් මම පිරුණු ආත්මයකින් මගේ ගමන පටන්ගත්තා.
ඉතින් පිටවීමක් හම්බුණාද?
ඔව්. නැත්තං කොහොමද අද මම ඔයා ඉස්සරහ මේ මොහොතෙත් කතා කරමින් ඉන්නෙ මගෙ හුරුබුහුටි කෙල්ලේ?
පිටවෙන දොරටුව කොතැනද තිබුණෙ ගෝඩ්මදර්..? අඳුරු ගුහාවක් ඇතුලෙ ඒක හුඟක් අමාරු වෙන්න ඇති නේද?
මේ ජීවිතේ කිසිම දෙයක් එතරම් පහසු නෑ බිස්ටී. ඒ ගමනත් මම දිගටම ගියා. මම මගේ තටු හොයන් ගියේ හිත යට ආවේගයෙන්. ඒව හොයාගෙන ඒ තටු මගෙන් හොරකම් කරපු අයට රිදවන්න හිතාගෙන.
ඉතින් ඒ කෙනාව හම්බවුණාද?
නෑ. බීස්ටි දන්නවද මේ ලෝකෙ තියෙන ලස්සනම මායාව?
මොකක්ද?
අඳුරු ගුහා ඇතුලේ මැජික් වැඩ කරන්නෑ.
අඳුරු සිතුවිලි වලට ගුහාව ඇතුලෙ බලයක් තිබුණට ඒවට පැවැත්මක් නෑ. අපි ඒවයෙ ගිලිල ඉන්නකම් ගුහාව ඇතුලෙ ඉන්න නම් පුළුවන්. ඒත් ගුහාව ඇතුලෙ කිසිම මැජික් එකක් වැඩ කරන්නෙ නෑ.
එහෙනම්?
අපිට අඳුර එක්ක පරදිනවද නැත්නම් මැජික් එක අත්හදා බලනවද කියන අවදානම ගන්න වෙනව.
ඉතින් ගෝඩ්මදර් තෝරගත්තෙ මොකක්ද?
නිසැකවම මගෙ අත් තටු දෙක!
ඉතින් අත්තටු දෙක ඒ වෙනකොටත් නෑනෙ.
ඔව්. නැති නිසා තමයි මම ඒව හොයාගන්න ඕන වෙන මැජික් එක තෝරගත්තෙ.
මැජික් එක වැඩ කලේ කොහොමද?
සරලයි. අපි අඳුරු සිතුවිලි එකින් එක පියවරෙන් පියවර මඟ දිගට අතාරිමින් ඉස්සරහට යන්න ඕන. වේදනාව, කලකිරීම, දුක සෝකය, බය, තනිකම, සාංකාව, කෝපය.. මේ හැමදේම..
ඉතින් ඒව අතාරිනකොට මොකක්ද වෙන්නෙ?
මං කිව්වෙ.. ගුහාව ඇතුලෙ මැජික් එක වැඩ කරන්න පටන් ගන්නව.
ඒක මොනවගේද?
පියවරෙන් පියවර අතාරින අඳුරු මතකයක් ගානේ ආලෝක බිඳිත්තක් ගුහාව ඇතුලට වැටෙනව. ඒ එළිය දිගේ ඇවිදගෙන කෙළවරටම ගියාම…
මං දන්නවා.. පිටවීමේ දොරටුව එතැන. නේද?
ඔව්. ඒත් පිවිසුම ළඟට ඇවිත් විතරක් බෑ. එතනින් එළියට යන්න නම් පුංචි කැපකිරීමක් කරන්නත් ඕන වෙනව.
ඒ මොකක්ද?
ඒක තමයි වටිනාකමේ කැපකිරීම.
එ කිව්වෙ? මට තේරුණේ නෑ..
සමාව දීම බීස්ටි! සමාව දීම. අපිට රිද්දුව, වේදනා දුන්න, අපේ තටු කපපු අයට අපි සමාව දෙන්න තීරණය කරන මොහොත තමා අඳුරු ගුහාවක තියෙන මිහිරිම මොහොත. ඒ තීරණය ගන්න මොහොතක ගුහාව ඇතුලට ආලෝකය නිදහස් වෙනව. ඉතින්… මම කැපකිරීම සතුටින් තෝරගත්තා!
ඊටපස්සෙ?
මම අඳුරු ගුහාවට ඇතුලු වුණා වගෙම මම එතැනින් පිටවුණා. ඒ පිටවෙන මොහොත තමයි මගෙ ජීවිතේ මිහිරිම ත්යාගය. බීස්ටිට හිතාගන්න පුළුවන්ද?
ම්ම්ම් මම හිතන්නෙ මම ඒ ගැන දන්නවා..
ඔව් බීස්ටි… සමාව දීල එතැනින් පිටවෙනකොට අපිට කලින් තිබුණටත් වඩා ශක්තිමත් පිහාටු ලැබෙනව. ඒ මොහොතෙයි මම දැනගත්තෙ පිහාටු වලට ජිවය දෙන ආත්මයේ ශක්තිය උපදින්නෙ කාරුණික සමාවකින් සහ ඉවසිලිවන්ත බලාපොරොත්තුවකින් බව.
ඒත් බීස්ටි දන්නවද ලොකුම රහස?
ගෝඩ්මදර්?
අඳුරු ගුහාවක පිටවීම තියෙන්නෙත් අපි ඇතුළු වුණු තැනමයි බිස්ටී. හැම දුක්බර ඇතුළුවීමක් එක්කම සතුටින් පිටවයාමක් තීරණය වෙලා තියෙනව.
දොරටුවේ ස්වාභාවය තීරණය කරන්නෙ අපේම සිතුවිලි!
උපුටා ගැනීම: රොෂෙල් ෆර්නැන්ඩු-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!