මාලුවා (කෙටි කතාවකි) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සැර දාගෙන කැළේ මැද තියෙන බොරළු පාර නැගගෙන ආපු වෑන් රිය ඇළ ළඟ නැවතුණා. පිරිස බැස්සෙ නවත්තන පමාවට.
“අම්මෝ දිව්ය ලෝකයක් වගේ” දිගු පාද, දිගු කෙස් තියෙන රුවැත්තිය, මයුමි කිව්වේ පෙම්බරයා දිහා පෙම්වත් බැල්මක් හෙළන අතරේ. තවමත් මධු සම කාලය නිසා හැමදේම ප්රේමයේ දිව්යමය රැස් කැළ්මෙන් ඔප වෙලා පේන කාලෙනෙ.
දිනිඳු වටේ බලලා කැමරාව අතට ගත්තා. එයාට නම් වැඩියෙන්ම ලස්සනට පෙනුණේ මයුමිව. ඇගේ ලස්සන නිසා වටේ පරිසරය පේන්නේ පාට අඩු වෙලා.
මයුමිගෙ නෑනා සුපේෂා බැස්සේ ඊළඟට. මස්සිනා අතුල ඉදිරිපස අසුනෙන් බැස්සේ ඊටත් ටික වෙලාවකින් පස්සේ. දුරකථන ඇමතුමක් අවසන් උනාට පස්සේ. මිතුරු පිරිසක් සමඟ කලින් වතාවක් ඇවිත් තිබෙන නිසා තැනේ චමත්කාරය ගැන ඔහුගේ පුදුමය අනිත් අයට වඩා අඩුයි.
“මරු ප්ලේස් එක නේද? එදා කපිලයා අපිව එක්ක එද්දි ඌට බැණ බැණ ආවෙ. නාන්න තැන් නෑ වගේ මේ කැළේ රිංගනවා කියලා. හැබැයි ආවම ඔක්කොම පිස්සු වැටුණා.”
“ඩිලේන්, ගෙට් ඩවුන් ඩාර්ලිං.” ඔහු කතා කළේ පසුපසම අසුනේ තනියම හිටපු පුතාට.
අම්මාගේ ස්මාර්ට් දුරකථනයේ ටී රෙක්ස්ලා, ටෙරොඩැක්ටිල්ලා, ඇලසෝරස්ලාගෙ සටනක් දිහා බලන් හිටපු හත් හැවිරිදි ඩිලේන් බණ්ඩාර ගොඩමුණ හිමීට බැස්සා.
පාට දෙකේ ඇස් දෙක ඇළ දිහාට එල්ල කරගෙන.
——————————-
“ඇයි අනේ ඩිලේන්ගෙ ඇස් එහෙම?” තමන්ගේ පෙම්වතාගෙ අයියගෙ දරුවා පළමුවර දැකපු දවසේ මයුමිට හුස්ම පහළට දාගන්න බැරි උනා. ඉතාම හුරුබුහුටි ඩිලේන්ගේ එක ඇසක සාමාන්ය කළු ඉංගිරියාවත් අනෙක් ඇසේ බළල් ඇසක් වැනි දුඹුරු පාටකුත් තිබුණා.
ඒ නිසා මුලින් ඔහු දිහා බලන එක ඇයට ඉතාම අපහසු බියජනක දෙයක් උනා. ඉතාම කළාතුරකින් වෙන ජානමය ගැටළුවක් නිසා ඩිලේන්ගේ ඇස්වල ඉංගිරියාව පිහිටලා තිබුණේ පාට දෙකකින්.
මේ සංකලනය පුද්ගලික රෝහලක ප්රසූත කාමරයක දරුවා අතට ගත්තු අතුලටයි සුපේෂාටයි වගේම ඔවුන්ගේ පරම්පරා දෙකටත් සතුටක් උනේ නෑ.
දරුවාගේ තවත් වෙනසකම් ලොකු වෙද්දි දැනෙද්දි, ඔහු අනිත් දරුවෝ යන වේගයෙන් ජීවිත වර්ධනයේ කඩයිම් පසු නොකරද්දී ඔවුන් එදා වගේම කලබල උනා. දොස්තරවරු හමුවුණා.
මව්පිය ආදරය, අවධානය සමඟ දරුවා තමන්ට හැකි පමණකින් යථා තත්වයට පත්වෙයි කියන බලාපොරොත්තුව විතරක් ඉතිරි කරගෙන ජීවිතය දෙන දේ පිළිගන්න ඒ යුවළ පුරුදු උනේ වසර ගණනාවක් ගිහින්. කරන්නම දෙයක් නැති තැන.
————————
කතා නැති ඩිලේන් පාරෙන් පහළ ගස් අතරින් පේන ගල් පර දිහාත් ඒ අතරෙන් පෙණ සිනා සළ සළ ගලා යන ඇළ පාර දිහාත් විමසිළිමත්ව බැලුවා.
නමුත් ඒ වයසේ සාමාන්ය දරුවෙක් වගේ වතුර දැකපු ගමන් පිස්සු වැටිලා ගිහින් ඇළට පැන්නේ නෑ. එතැනම ඉඳන් බලා හිටියා විතරයි.
——————
අයිස් වගේ සීතල වතුරේ බැස්ස පිරිස නෑවෙ ගස් අතරින් පෙරිලා එන ඉරේ රස්නෙන් උණුසුම් වෙන අතරෙයි. හීනි කොළ අස්සෙන් අහස පේන ලස්සන කොළඹ අය දකින්නේ හරි අඩුවෙන්.
ගල් අතරේ දිය ගලාගෙන එන තැනක් හරහට නිදාගෙන අතුල ඉහළ බලාගෙන හිටියා. වතුරත් බරයි. කැළේ තියෙන ලවණ හින්දා වෙන්න ඇති. හුස්ම ගත්තත් වෙනසක් තේරෙනවා. පුදුමාකාර ශාන්තියක්.
විවාහ වෙන්න කළිනුත් ඩිලේන් ලැබෙන්න කළිනුත් සුපේෂාත් තමාත් මේ වගේ කැළෑ ගමන් කොච්චර ඇවිත් තියද? ඩිලේන්ගේ ගැටළුව නිසා වෙලාව නැති කමටත් වඩා විනෝද ගමනකට අවශ්ය සැනසීම නැතිවුණා. අද ගමන ආවෙත් විවාහ වුණ මල්ලිලාට දෙන තෑග්ගක් විදිහට. ඒ දෙන්නා කැළේ පහළ තියෙන හෝටලයක නවත්තලා තමන් අද රෑ නැවතිලා පාන්දරින් පිටත් වෙන්න ඕන.
ඔහු හිස හරවලා බලද්දි දැක්කේ ඇළට පාත් වෙලා බොකුටු කරගත්තු දෑත් වතුරේ ඔබාගෙන ඉන්න ඩිලේන්. පතුලේ ගල් වෙන් වෙන්ව පේන තරම් පැහැදිලි වතුරේ විවිධ ප්රමාණයේ මාලු අහින් පීනනවා. උන්ට මිනිස්සු හුරු නැති නිසා කිසිම බය ගතියක් නෑ. නාන තටාකවල මිසක් මෙහෙමතැනක පීනලා නැති ඩිලේන් පුදුම වෙලා ඇති.අතුල නැගිට්ටේ එතැනට යන්න.
—————————————
ඩිලේන්ගේ බොකුටු අතේ දඟල දඟල හිටපු මාලුවාව ඔහු දැක්කේ ළගට ගියාම.
ඩිලේන් අතේ දඟලන මාලුවා දිහා බලන් හිටියා. එයාගෙත් ඇස් මගේ වගේ. ඔහුට හිතුණ එහෙම. සුද ආපු මාලුවගේ එක ඇහැක් සුදු පාටින් වැහිලා. පාට දෙකේ ඇස්. ඔහු හිතින් මාලුවට කතා කළා. “ඔයත් මම වගේමයි. මම වගේ කෙනෙක් දැක්කමයි”
අම්මයි තාත්තයි නානවා. බාප්පියි අලුත් පුංචියි ඇළේ පහළට ගිහින් නොපෙනන තැනක නාන බව, පුංචි එක එක විදිහට හිට්ටවලා බාප්පි ලස්සන පින්තූර ගත්තු බව. ඩිලේන් මුක්තු දැක්කේ නෑ. අලුත් මාලු යාලුවත් එක්ක ඇස්වලින් කතා කළා විතරයි.
————————————–
කට්ටියම යන්න ලෑස්ති වෙද්දි ඩිලේන් යන්න අදිමදි කළේ ඇයි කියලා ඔහුට තේරුණේ නෑ. කොල්ලා නෑවෙත් නැති නිසා කම්මැලිකම් ඉන්න නිසායි ඉක්මනට හෝටලටෙ යන්නත් හිතුවේ. ඩිලේන් සෑහෙන කාලෙකින් ඒ තරම් ආවේගශීලී උන බව අතුලට මතක නෑ.
ඩිලේන් කෑගගහා අඬන්න ගත්තා. බිම පෙරළුණා. තමන්ගේ හැඟීම් පැහැදිලිව ප්රකාශ කරන්න ඩිලේන්ට බැරි නිසා ඇයි යන්න බෑ කියන්නේ කියලා අතුලට තේරුණේ නෑ. ඔහු අසරණව සුපේෂා දිහා බැලුවත් ඇයත් හිටියේ පුදුමවෙලා. ඊටත් වඩා ලැජ්ජාව. මයුමිගේ බයවුණ මූණ දැක්කම.
ඩිලේන්ට දාලා යන්න බෑ කියපු දේ බොකුටු කරගත්තු අතේ තියෙනවා අම්මලා තාත්තලා දැක්කෙ නෑ. අන්තිමට බැරිම තැන උස්සගෙන යන්න ඩිලේන්ගේ බඳ වගේ අත දාලා අතුල උස්සගද්දි අත ලිහුණා.
මාලුවා ඩිලේන්ගේ අතින් ඇළට වැටුණා. යකෙක් වගේ දඟල දඟල අතුලගෙ පිට හපපු ඩිලේන් වෑන් එකට දාගත්තමත් හෝටලේට යනකම්මත් ගිරිය යටින් කෑ ගැහුවා.
“එයාවත් එක්ක යන්න ඕනි.” ඔහුගේ කෑගැහිලිවල තේරුම ඒක උනත් ලැජ්ජාවෙනුත් තරහෙනුත් දුකෙනුත් ඔහුව සන්සුන් කරන්න උත්සාහ කරපු අතුලලාට ඒක තේරුණේ නෑ.
අන්තිමට රෑ කෑමටත් නොගිහින් සුපේෂා පුතත් එක්ක කැළේට මූන දාලා හදපු සැප කාමරේ නතර උනා. පැය ගාණක් අඬ අඬ ඉඳලා මහන්සියටම ඩිලේන් නිදි. නින්දෙදිම උදේ ඇඳගෙන ආපු ඇඳුම් ගලවපු සුපේෂා උණු වතුරෙන් තෙමපු තුවායකින් පුතාව පිහ දැම්මෙ ඇස් දෙකෙන් කඳුළු බේරෙද්දි.
——————————-
පාසල් සගයෙක් තලවතුගොඩ පටන් ගත්තු අලුත් තාලෙ අවන්හලට යන්න අතුලට විවේකයක් හම්බ උනේ විවෘත කිරීමෙන් මාස දෙකකටත් පස්සෙ. සුපේෂාගේ තිස් තුන් වෙනි උපන්දිනේ සමරන්න එතැන යොදාගෙන තුන්දෙනාම ගියේ රෑ කෑමට. අපූරු අවන්හලක්.
එක බිත්තියකින් ස්වභාවික දිය ඇල්ලක් වගේ වතුර ගලා හැළෙනවා. ඉඩමේ තිබුණ ගස් නොකපා අවන්හල ඉදිකරලා තියෙන නිසා කුළුණු වෙනුවට තියෙන්නේ ගස් කඳන්.
“මොනව හරි බීලා ඩිනර් ඕඩර් කරමු.”
“මිස්ටර් ගොඩමුණ නේද? මට එම්. ඩී. කිව්වා සර්ලා එයි කියලා. සර් බලලා ඕර්ඩර් කරන්න.” දුවගෙන ආපු වේටර්වරයෙක් මෙනූපතක් සුපේෂා අතට දුන්නා.
“අපේ ස්පේෂලිටි එක ෆිෂ් නේ සර්, අර පැත්තේ ටෑන්ක්ස් වලින් මාලු තෝරලා හදාගන්නත් පුලුවන් ඉකිසුකුරි විදිහට. ඒක ලංකාවෙ ඉස්සලේලම කරන්නේ අපි.” ඔහු කිව්වෙ දිය ඇල්ලෙන් එහා පේන කොටසකට අත දිගු කරන ගමන්.
“යමු බලන්න” අතුල නැගිට්ටත් සුපේෂාගේ කකුලුත් පණ නැති උනා. මොන තිරිසන් වැඩක්ද? හදලා තියන මාලු කන එක වෙනම දෙයක්. පෙන්නලා එවලෙ මරවන්න පුලුවන්ද? හරි දේවල් තමා බෞද්ධ රටකත් කැත නැතුව කරන්නෙ. වේටර්වරයා ඉන්න නිසා ඔය ටික කියාගන්න උනේ නෑ. සුපේෂාත් පස්සෙන් ඇදුණා.
———————-
ඒ කොටස මින් මැදුරක් වගේ. මිරිදිය කරදිය මාලු. අවන්හලට ආව දෙතුන් දෙනෙක් වීදුරු බිත්තිවලට එබිලා මාලු දිහා බලන් ඉන්නවා.
“ෆ්රෙෂ් පිට ගන්න පුලුවන්නේ. අපි ඉතින් කන කොයිවත් මරපු මාලුනේ.” අතුල ගණනකට නැතිව කියනවා.
“ඔව් සර්. මේක ජැපනීස්ලගෙ අයිඩියා එකක්නෙ. එයාලගෙ නම් ඩිෂ් එක මේසෙට එද්දිත් මාලුවට පණ තියෙන්න ඕන හරියට ඉකිසුකුරි කොලිටි එකට හැදුවොත්. ලන්කන්ස්ලා තාම ඒකට එච්චර කැමති නෑ. සර් තෝරලා කියන්න සිස්ලිං හරි ඩෙවල් හරි හදලා දෙන්න පුලුවන්.”
————————
සුපේෂා පුතා එක්ක දිය ඇල්ලයි ඒ වතුර ගලාගෙන යන ඇළ පාරයි ළගට ගියා. ඇළෙන් එගොඩ වෙන්න පුංචි ලී පාලමක්.
“පුතාට මතකද අපිත් ගියා බාප්පිලා එක්ක මෙහෙම ඇළකට. දැන් ගොඩක් කල් නේ.”
සුපේෂා මතක් කළා. අවුරුදු දෙකකට වැඩි මිසක් අඩු නෑ. ඩිලේන්ට දැන් දහයකට කිට්ටුයි. ඩිලේන් හැම ටැංකියක් ළඟටම ගිහින් ඇතුළ බලාගෙන ඉන්නවා.
——————————————–
අතුල ටැංකියෙන් ඇස් මුදවාගෙන පුතා දිහාට හැරුණේ තමන්ගේ කමිස අත නොනවත්වා අදිනවා දැනිලයි. ඩිලෙන්ගෙ ඇස් එහා මෙහා යනවා. ලොකු කලබලයක්. තමන්ව ඇදගෙන ටැංකියක් ළගට යන්න හදනවා.
“යමු යමු, හරි බලන්නකො ඔයාට ඕනි ෆිෂ් කෙනෙක් මේ අන්කල්ට කියලා හදාගන්න”
ඩිලේන් නැවතුණේ කොනේම තිබුණ ටැංකියක් ළග. නොනවත්වා වීදුරුවට තට්ටු කරලා මොකද්දෝ පෙන්නනවා.
“මොකද්ද පුතා, ආ ඒකද ඕනි ඔයාට”
ඩිලේන් පෙන්නපු මාලුවාගේ එක ඇහැක් සුදු බව අතුල දැක්කේ නෑ.
“ඒ ලෝකල් ස්පීසීස් එකක් සර්. හරිම ගුණයි කියලා කියන්නේ. ඒක ප්රිපෙයාර් කරන්නද?”
ඔහු දැලක් අරන් ටැංකිය ඉහළින් එබෙද්දි ඩිලේන්ට වෙන්න යන දේ තේරුණා. ඔහුගේ යටි ගිරි හඬට මුළු අවහන්හලම හෙල්ලුණා.
ඈත පදියගොමුවෙ ඇළ ළඟදි වියරු වැටුණට පස්සේ ඩිලේන්ගේ මෙහෙම හැසිරීමක් අතුලලා දැක්කේ එදා. මුළු සෙනඟක් මැද්දේ දෙන්නා බිම පෙරළෙන පුතා සන්සුන් කරගන්න සටන් කළේ ලැජ්ජාව ඉහින් කණින් බේරෙද්දි.
ඒත් එදාට වඩා යම් තරමකට මේ අවුරුදු දෙක තුළ මනසිනුත් සිරුරෙනුත් වර්ධනය වෙලා හිටපු ඩිලේන් ඉල්ලන්නේ මාලුවා බවත් මාලු ව්යාංජනයක් නොවෙන බවත් ඔවුන්ට ටික වෙලාවකින් තේරුණා.
පැත්තකට වෙලා තුෂ්ණීම්භූත වෙලා හිටපු වේටර්වරයාට කරුණු පැහැදිලි කිරීමෙනුත්, අවන්හල හිමි මිතුරාට දුරකථන ඇමතුමක් දීලා කාරණය කියලා, සමාව ඉල්ලමින් තමාගේ ඉල්ලීම ඉදිරිපත් කිරීමෙනුත් මාලුවාව ඉල්ලගන්න අතුල සමත් උනා. ඒකට මිලක් ගන්නත් වේටර්වරයා තරයේ ප්රතික්ෂේප කළේ ඔහුගේ ස්වාමියා ඔහුට ඊළගට දුන් ඇමතුම අනුව.
ඒ හින්දා අවන්හලෙන්ම හොයාගෙන ආපු ලොකු ප්ලාස්ට්ක් බාල්දියකට දාපු මාලුවා ඩිලේන්ගේ උකුළේ ගෙදර එන්න පිටත් උනා.
වාහනය ඇතුළේ මඳ එළියෙන් ඩිලේන් මාලුවගේ මිතුරු ඇස් දිහා බලන් උන්නා.
“අපි ආයෙ හම්බුණා. ඔයා මාව හොයාගෙන ඇළ දිගේ වැවකට ආවද? වැවෙන් ලොරියක නැගලා කොළඹ ආවද?” ඔහු ඇස්වලින් ඇහුවා. උත්තර නොදුන් ගොලු මාලුවා බාල්දිය වටේ රවුමට පීනුවා.
නාන කාමරය ඇතුළේ බාල්දි නිවහනේම එදා රෑ පහන් කරපු මාලු රාළට උදේම අතුල ගිහින් ගෙනාපු ටැංකියට ගෙවදුණා.
ටිකක් අලුත් නවාතැන වටේ පීනපු මාලුවා හොඳට පේන එක ඇහෙන් තමන්ගෙ යාලුවා දිහා බැලුවා. ප්ලාස්ටික් බංකුවක් තියාගෙන මාලු ටැංකියට හේත්තු වෙලා ඉඳගත්තු ඩිලේන් මාලුවා දිහාම බලාගෙන හිටියා.
රෑ වියරු වැටුණ පාටක් වත් නැතිව සන්සුන්, සතුටු මුහුණේ පාට දෙකක ඇස් දෙක අපරිමිත මිත්රකමින් සතුටින් දිළිසුණා.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!