මල්වල ලස්සන ( පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ හිත්වල තියෙන සමහර හැඟීම් සහ දැනීම් විස්තර කරන්න වචන තාමත් ශබ්ද කෝෂ වල නැහැ.වචනයෙන් කියන්න බැරි අනන්ත අප්රමාණ ප්රමාණයක් දේවල් විශ්වයටත් වඩා අනන්ත දුරක් තියෙන ගැඹුරු හිත්වල හැංගිලා තියෙනවා..හැඟීම් සහ දැනීම් කියාගන්න බැරි තැනදි සමහර සම්බන්ධතා විරහවෙන් නිමාවෙන්නෙ හිතාගන්නත් බැරි විදියට.මටත් තියෙනවා එහෙම කතාවක් කියන්න••••••••••••••••••••••••••••••••
මට ඇයව මුලින්ම මුණ ගැසුනේ හය වසර පංතියට ආව දවසේ දි..අපේ ගුරුතුමිය ගැහැණු පිරිමි මිශ්ර කරලා වාඩි කළා..ගැහැණු ළමයි නම් නිතරම කිළුටු වෙලා ඉන්න පිරිමි ළමයි ලඟ වාඩි වෙන්න අකමැති උනත් ගොඩක් පිරිමි ළමයි ගුරුතුමියගේ එම ක්රියාවට හදවතින්ම කැමති උනා..කොහොම හරි ඇය මගේ ලඟට දෙවියො එව්වා…දැන් එයා වාඩි වෙලා ඉන්නෙ මගේ ලඟ..මම ගුරුතුමියට නිහඬව හදවතින්ම ස්තූති කලා.මට ඇත්තටම ලොකූ සතුටක් දැණුනා..ඇය මගෙන් පැන්සල ඉල්ලපු මුල්ම අවස්ථාවේ දි මම උල් නොකරපු අළුත්ම පාට පැන්සලක් දුන්නෙ කැමැත්තෙන්මයි..ඊට ස්තූති කරන්න ඇය මට කඩදාසි බෝට්ටුවක් පස්සෙ දවසක හදලා ගෙනත් දුන්නා..මම ඒ බෝට්ටුව වැස්ස දවස්වල පාරෙ අයිනෙ කාණුවෙ පා කරන්නෙත් නැතුව කබඩ් එකේ දාලා පරිස්සමින් තියා ගත්තා..වෙලාවට ඒක අපේ අයියට නම් අහු උනේ නෑ…දවසක් ඇය මගේම කියලා මට හිතුනා..මම දන්නෑ ඒ ඇයි කියලා..ඒත් අපි හොඳ යාලුවො නිසා මම විශේෂ ආදරයක් පෙන්නන්න ගියේ නෑ..
************************
මෙහෙම කාලයක් ගතවෙද්දි නවය වසරෙදි අපි දෙන්නම ටියුෂන් ගියේ එකම සර් කෙනෙක් ලඟට…මම ඇයට වඩා දක්ශයි කියලා තමයි ඇය හැමවෙලේම කිව්වෙ..ඒත් මම නම් එහෙම හිතුවෙ නෑ..මට හොඳට මතකයි ඒ දවස් වල එයා ලොකු ළමයෙක් උනා..සඳක් වගේ පිරිලා ඇය පන්තියට ආවම යාළුවො එයාට විහිළු කරා…ඇයගේ කොපුල් ජම්බු වගේ රෝස පාට උනා…ඇස් රතු උනා..වැඩි කාලයක් යන්න කලින් ඇය පස්සෙන් පිරිමි ළමයෙක් එනවා කියලා ඇය පළමු වතාවට මට කිව්වා..මමත් එන්නෙ ඔයාගෙ පස්සෙන් කියලා කියන්නත් මට හිතුනා..ඒත් මම එහෙම කිව්වෙ නෑ..මොකද අපි හොඳ යාලුවො නිසා..ඒත් මට නම් එයා හොඳම යාලුවට වඩා ගොඩක් විශේෂයි කියන්න ඕනකමක් තදින්ම තිබුණා..නමුත් එය එදා නොකියවුනා..
උසස්පෙළ කරන කාලයේ දි ඇය පිරිමි ළමයෙක් එක්ක යාළු උනා..මට මතක තියෙන්නෙ ඒ කතාව ඇහුවම මම ලෝකෙටම රහසින් ඇඬුවා කියලා විතරයි…ඒත් දවසක් පංති ඉවරවෙලා යනකොට ඇය මාව හමුවෙන්න ආවා..ඇයගෙ පෙම්වතා ඇයට නොගැළපෙන බවත් ඒ ප්රේමය තමන්ට ශක්තිය උනේ නැති නිසා ප්රේම සම්බන්ධය නැවැත්තුවා කියලත් එයා කිව්වා…මම ගොඩක් සතුටින් ඇයගේ හිත හැදෙන්න කතා කරා…ඇය එදා මගෙන් සමුගත්තෙ මාව වැළඳගෙන…ඇය මාව වැළඳගත් දිනයේ ඇයගේ සිනිඳු රැලි කොණ්ඩයෙන් හමාගිය ජනප්රිය ශැම්පු සුවඳත් මගේ මුහුණේ යාන්තමට ගෑවුණ පවුඩර් සුවඳත් තාමත් මගේ මතක පොතේ තියෙනවා…
අපි හොඳ යාලුවො නේද??? මම ඇහුවා..
ඔව් ඇය එහෙම කිව්වෙ ළපටි සිනාවක් දානගමන්…ඒ සිනාව තුළ ආදරණීය සංඥා දුසිමක් මම දැක්කා..ඒත් අපි හොඳ යාලුවොනෙ…යාලුවන්ට වඩා විශේෂයි කියන්න මට ලොකූ ඕනකමක් තිබුනා..ඒත් ඒක එදා නොකියවුනා..
උපාධියෙන් පස්සෙ ඇය බැන්දා..මටත් වෙනත් නගරයක රස්සාවක් ලැබුනා..මමත් ඇයගේ වෙඩින් එකට ගියා..එයා බඳින කොල්ලා හරි වැදගත් ඇති කියලා මට හිතුනා..ඒ නිසා මම ඇත්තටම ඔවුන්ට සුබ පැතුවා…වෙඩින් එකේදි ඇය මගේ දිහා කීපවරක්ම දුකෙන් වගේ බැලුවා..මට ඒක හොඳට පෙනුනා..මම ඇය ලඟින්ම වාඩි උනා..අපි හොඳ යාලුවො නේද?? ඇය මගෙන් රහසින් ඇහුවා..මම සුපුරුදු පරිදි ඔව් කියලා ඔළුව වැනුවා…ඒත් තාමත් ඔයා මට යාලුවෙක්ට වඩා ගොඩක් විශේෂයි..මම ඔයාට ආදරෙයි කියලා කියන්න මට එදත් ලොකු ඕනකමක් තිබුනා..ඒත් එදත් ඒක නොකියවුණා..මම එදා නම් ගෙදර ආවේ ලොකූ දුකකින්….
රුසියානු මිග් යානයක වේගයෙන් කාලය පියාසර කරා…මම මගේ රජයේ සේවයෙන් විශ්රාම අරන් ලොකු පුතාලගෙ ගෙදර නැවතුණා..එක් සිකුරාදා දවසක ලියාපදිංචි තැපෑලෙන් ආව ලියුමකින් මගේ ගත සිත සලිත උනා..ඔබගේ හොඳම මිතුරිය නැති උනා..ඔබට අවසන් වතාවට ඇයව පෙන්නන්න කියලා ඇය මට කියලා තිබුණා..
මට එම පණිවිඩය එවලා තිබුණෙ මගේ ආදරණීය යහළුවාගේ සැමියා..වසර 30කින් පමණ ඇයත් මමත් වැරදිලාවත් මුණ ගැහුනෙ නෑ..නමුත් ඇගේ අන්තිම කැමැත්තෙන් මා පිළිබඳව දැක්වීම ගැන මම ගොඩක් පුදුම උනා…මම ලොකු පුතාගේ ලොකු මුනුපුරත් එකතු කරගෙන මලගෙදරට ගියා…ඇයටත් මට වගේම ලොකු පුතාලා දෙන්නෙක් ඉන්නවා..ඇය වගේම ලස්සන තරුණ දියණියකුත් ඉන්නවා…
මම ඇයගේ මෘත දේහය දිහා අවධානයෙන් බලාගෙන හිටියා…එයා මැලවුන අරලිය මලක් වගේ..මම ඉස්සර එයාට කිව්වෙ රෝස මල කියලා…කලුපාට ලී පෙට්ටියක් තුළ නිහඬව සතපලා ඉන්න මේ නිසල ජීවියාගේ සජීවි චලනයන්ට මම ඒ කාලයේ කොයිතරම් ආදරය කලාද…මගේ හිත මගෙන් එහෙම ප්රශ්න කරා….මම කාටවත් නොපෙන්නෙන්න ඇය මට හය වසරේදි තිළිණ කල කඩදාසි බෝට්ටුව ඇයගේ සුදු අත්වැසුම් දාලා තියෙන අත් යට රහසින් සැඟවුවා…ඒ අත් අයිස් වගේ හරිම සීතලයි…ඒ කාලයේ ඇය මට ලංවෙන කොට හැමුව ඕඩිකොලොන් සුවඳ වෙනුවට මට එදා දැණුනෙ බෙහෙත් සුවඳක්…දහය වසරෙ දි මිල්ටන්ගෙ සිංදු පොතක් දෙන අවස්ථාවකදි මගේ අත ඇයගේ අතේ වැදුන මොහොතෙ එයා ගොඩක් කළබල උනා…හරියට කරන්ට් එකක් වැදුනා වගේ..මම ඇයගෙ බිය නැති කරන්න “අපි හොඳ යාලුවො නේද?” කියලා ඉක්මනින්ම ඇහුවා..ඒත් ඔයා මගේ නේද කියලා අහන්න තමා මට ඇත්තටම ඕන උනේ…මට ඒ සිද්ධිය හිත් අහසෙ ඇති වූ හදිසි විදුලි කෙටීමක් වගෙ මතක් උනා..
මම යන්න ඔන්න මෙන්න තියෙද්දි ඇයගේ සැමියා මට කලු පාට පොත් කිහිපයක් ගෙනත් දුන්නා..මේ ඩයරිස් ඔයාට වැදගත් වෙයි..තරුණ කාලේ ඔයාට ආයෙත් මතක් වෙයි..ඔහු මඳ සිනාවක් පාන ගමන් එහෙම කිව්වා..
මම ඒ ඩයරිවල තිබුණ සියළුම දේවල් ඔබට කියන්නේ නෑ…දුරින් ඉඳන් කළ අපි දෙන්නගෙ අහිංසක ආදරය ගැන ගොඩක් දේවල් නිල් පාට මුතු අකුරෙන් ඒවායේ ලියවිලා තිබුණා…ඒත් ඇය දහය වසරේ දි ලියපු ඩයරියේ වැසිබර සඳුදා දිනක දුක්බර සවසක් ගැන මෙහෙම සටහනක් තිබුනා…
“එදා හුඟක් වැස්ස දවසක්..ඇත්තටම ඒක කඳුලු වැස්සක් කියන්න පුලුවන්..මට එයා ගණන් පන්තියෙ දි මුණ ගැහුනා…එයා මම ආස නිසා මිල්ටන්ගෙ සිංදු පොතක් ගෙනත් දුන්නා…පොත ගන්නකොට අපේ අත් යාන්තමින් ගෑවුනා….මට ආදරණීය උණුසුමක් දැණුනා…ඒත් මම ඒ උණුසුම පෙන්වන්නෙ නැතුව ගින්දරට අත පිච්චුන බව පෙන්නලා මගේ අත වේගයෙන් පැත්තකට ගත්තා…”අපි හොඳ යාලුවො නේද?” එයා ඉක්මනින්ම එහෙම ඇහුවත් මට නම් ඔයා යාලුවෙක්ට වඩා විශේෂයි කියන්න දහස් වර හිතුණා…නමුත් හැමදාම වගේ එදත් ඒක නොකියවුනා…
ඔව් අපි දෙන්නා තුලම තිබුනේ නොකියවුනු ආදරයක්..මම අද ඒ ගැන දුක් වෙන්නෙ නෑ…ආදරය හිමිවීමෙන් හෝ අහිමිවීමෙන් නොලැබෙන දෙයක් නෙවෙයි කියලා හිමින් හිමින් ගැහෙන වයසක හදවත මට දැන් රහසින් වගේ කියනවා…සැබවින්ම ආදරය කියන්නෙ අනෙකා ඔබගේ ජීවිතය තුළ තබලා යන සදාතනික සුවඳට මිසක් අනෙකාගේ ශරීර කූඩුව හිමිවීමට හෝ අහිමිවීමට නෙවෙයි…මට ඇය නොලැබුනත් ඇගේ ආදරයේ සුවඳ තාමත් මගේ හදවත පුරා හමනවා…
“මල්වල ලස්සන බලන්න මල් කඩලා අතට ගන්න ඕනෙ නෑ”
දඟකාරකමට ගෙවත්තේ මල් කඩන්න පුරුදු වෙලා ඉන්න මුණුපුරාට පුරුද්දකට වගේ මමත් හැමදාම එහෙම කියනවා…පොඩ්ඩා ලොකු උනාම ඒක කොහොම තේරුම් ගනීද දන්නෙ නැ…..
උපුටාගැනීමකි-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!