සරසවියේ අවසන් දිනයේ නවාතැන වෙත පැමිණි විගස මට ලැබුණු කෙටි පණිවිඩයේ එසේ සදහන් වී තිබුණා.
එයට ප්‍රතිචාර දක්වනවාද නැද්ද යන්න මොහොතක් ලතැවුනත් ඊට ප්‍රතිචාර නොදැක්වීමෙන් ඔහුව අපහසුතාවයට පත් වේද යන්නට වඩා මම මාවම වේදනාවට පත් කර ගන්නා බව දන්නා නිසා මොහොතක ප්‍රමාදයකින් මම ඔහුට ප්‍රතිචාරයක් තැබුවා.
“ඒ ඇයි”
“කතා කරන්න හිතුනා”
වසර 4ක් සරසවියේ ගෙවූවත් මා ඔහුට දැඩිව ඇලුම් කරන බව දැන දැනත් කිසිම දිනයක මා සිටිනා බවක්වත් තැකීමක් නොකල ඔහු!
“මම දැක්කා ඔයා ඉන්නවා. යාලුවොත් එක්ක”
“ඉතින් කතා කරන්න තිබුනා නේ”
අපිට කතා කරන්න අව්රුදු 4ක් තිබුනා. මීට දවසක් කලින්වත් ඕක හිතුනෙ නැත්තෙ ඇයි, කියා අසන්නට උවමනා උනත් අවසාන දවසේ අවසාන කතාව ශෝකාන්තයක් කරගන්නට නොතිබූ උවමනාවක් නිසා ඒ සිතුවිල්ල මා තුලම තබා ගත්තා.
“කාලය ගෙවෙනවා දැනුනෙවත් නෑ. සමහරවිට අදින් පස්සෙ අපි හම්බෙන එකක් නෑ. ඉතින් පරිස්සමෙන් ඉන්න.”
“එහෙම වෙන්නෙ නෑ. අපි ආයෙම හම්බෙනවා. ඉක්මනට නැතත් කවදාමහරි”
ඒ බව ඔහු ඒ තරම් විශ්වාස කරේ ඇයි.
“අපෝ මෙන්න මෙන්න ආයෙම අඩනවා. දැන් අවුරුදු 4ක් ඇඩුවනේ. එක්කො ඔන්න ඕක කියල දාන්න අදවත්. මොකද බෑ කිව්වොත් ආයෙ හම්බෙන එකක්ද.”
“ඔව් අනේ ඔන්න ඕක කියලා දාන්න. නැත්නම් ඔයා මැරෙනකල්ම ඔය මනුස්සයා ගැන හිත හිතා ඉදීවි.
ඒ මගේ යෙහෙළියන්ගේ ඇනුම්පදයි. මට ඇනුම්පද කියමින් හෝ අවුරුදු 4 පුරාවට මගේ දුක් වේදනා අසා සිටියේ ඔවුන් දෙදෙනායි.
හෙටින් පසුවට මට අඩන්නට අවැසි විටක ඔවුන් දෙදෙනාද මා සමග නොමැති බව සිහිවන විට මාගේ දුක දෙගුණ වෙයි.
“ඔව් මම එක්කො අද කියනවා. කිව්වා කියලා නැති වෙන්න දෙයක් නෑනේ. වැඩිම උනොත් හැමෝම දැන ගනීවි. මම කොල්ලෙක්ගේ පස්සෙන් ගියා කිය”
“ඒ ළමයා එහෙම තැන තැන කියවන කොල්ලෙක් නෙවෙයි. ඔයා ඕක අද කියන්නම ඕන”
ඉතින් ඔහුට මා තුල ඔහු ගැන පැවති සියලු හැගීම් පවසනවාද නැද්ද යන්න මා සමගම සිදුවූ මහා අරගලයකින් පසු මම ඔහුට කෙටි පණිවිඩයක් තැබීමි.
“මට ඔයාට කියන්න දෙයක් තියෙනවා”
මා කියන්න යන දේ කුමක්දැයි ඔහු දැන සිටි බව මට විශ්වාසය. හෝ ඔහු ඒ ගැන නොදැන ඉන්නටද ඇත. කෙසේ හෝ හිතුවාට වඩා ඉක්මනින් මට ප්‍රතිචාර ලැබිණි.
“කියන්න. මොකක්ද”
“ඔයා සමහරවිට දැනටමත් ඒ මොකක්ද කියන්න දන්නවා ඇති. මට මේක මීට කලින් කියන්න හිතුනු වාර අනන්තයි. මට මේකට ඔයාගෙන් උත්තරයක්වත් ඕන නෑ. මට ඕන ඔයා මේක දැනගන්න විතරයි”
“මම ඔයාට කැමතියි”
කාලය ආපස්සට හරවා මේ සංවාදය කිසිම මොහොතක ආරම්භ නොකරානම් යැයි ඒ තත්පර කිහිපය තුල මම සියවරක් සිතන්නට ඇති.
එහෙත් දැන් කල දේ කර හමාරය. ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුණු වග දන්වමින් දුරකතනය නැගූ හඩන් මම ගැස්සී ගියෙමි.
“මම දන්නවා. ගොඩක් අය මට ඒ ගැන කියලා තිබුනා. ඔයා හරිම හොදයි. ඒත් ඔයා දන්නවා ඇතිනේ මම එක තැනක නතර වෙලයි ඉන්නේ. මට එතනින් ඉස්සරහට යන්න උවමනාවක් නැහැ. මට සමාවෙන්න.”
දෑස් වලින් වැටුනු කදුලු කම්මුල් දිගේ රෑරා වැටෙද්දී පියවි සිහියට පැමණීමට මම අසාර්ථක වෑයමක යෙදෙමින් සිටියෙමි. මගෙ යෙහෙලියන් මා දෙස අසරනව බලා සිටියේ මේ අවස්ථාවට වගකිවයුතු ඔවුන් දෙදෙනා යැයි සිත් තුල වූ වරදකාරී හැගීමද සමගයි.
ඔව්. ඔහුත් කලෙක එක් යුවතියකට බොහෝ ප්‍රේම කර තිබුණා. නමුත් එය සතුටින් කෙළවර නොවූ ප්‍රේම කතාවක් වූ අතර ඒ මීට වසර 8 ට පමණ පෙරයි.
” අවුරුදු 10ට විතර කලින් දාලා ගියපු කෙල්ලෙක් ගැන තාම හිතන්න පිස්සු මනුස්සයෙක්. ඔයා ඔන්න ඕක අමතක කරලා දාන්න.”
සැබෑවටම තමා එපා යැයි හැර ගිය ප්‍රේමයක් වෙනුවෙන් තම ජීවිතයක් බලා ඉදින්නට මිනිසුන්ට හැකිද ? මීට වසර දහයකට පෙර්දී එදා මට නැගි සිතුවිල්ලකි ඒ.
හැබැව්න්ම. එදායින් වසර 14 ටත් පසු මම තවම හිදින්නේ එදා ඒ සරසවියේ අවසන් දිනයේයි. අද ඔහු කොහේ සිටිනවාදැයි කුමක් කරනවාදැයි නොදනිමි. අවසන් වරට මම ඔහුව දුටුවේ උපාධි ප්රදානය දිනයේ දීයි. එදා මට පෑ සිනාව අදද වසර 14 ට පසු මගේ සිතේ තවම රැදී පවතී.
“ඉතින් අපි ආයෙත් කවදාකම හරි හම්බවෙයි. ඉක්මනට නැතත් කවදාකමහරි”
~උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගුකාලයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
දෑස අග මල් පිපි සැලුනත් කොයිතරම්
එක මලක්වත් සුවද නැතිවිය ඔබ තරම්
ඔබ නොදැක සිටි දිගු කාලයේ
නෙතු කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
උපුටා ගැනීම: Shaakya Samaradiwakara