අපි වෙන්වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා. අවුරුද්දකට දෙසැරයක් දෙන්නගේ Birthday wish දෙකට ඇර වෙන ලොකු ඇයි හොඳැයියක් තිබුනේ නෑ.
අවුරුදු හයක් නිකම් නෙමේ, මැරීගෙන මමත් ඇත්තටම ආදරය කලා. ජීවිතේ හොඳම වයසේ මට කරන්න පුලුවන් ලොකුම ආයෝජනය උන මගේ කාලය, මුදල්, අනාගතයේ තීරණ එයත් එක්ක ගෙවෙන දේට කැප කලා. මම රට ඇවිත් අවුරුදු තුනෙන් අපි වෙන් උනා. හිතා ගන්න බැරි විදියට. මම මගේ ජීවිතේ ප්රමුඛත්වය දීලා තිබුනේ එයාට උනත් එයාගේ ජීවිතේ කොනක තමයි මම හිටියේ. ඒකට හේතුව උනේ එයාගේ පවුල හරි හයිෆයි පොශ් මිනිස්සු. මගේ අම්මා අප්පච්චිලා සාමාන්ය උදවිය. හැබැයි අපිට යමක් කමක් තිබුනා. දෙයියන්ගේ පිහිටෙන් අදටත් තියෙනවා. ඉතිං එයාගේ ජිවිතේ අනිත් දේවල් වගේම මාත් එයාට තව කෙනෙක් විතරයි කියලා තේරුනාම මම සෑහෙන කැපකිරීම් ගොඩක් කරලා ඉවරයි. ඒත් මම එයාට යන්න දුන්නා, කිසිම අගෞරවයක් නොවෙන විදියට. අද මේ වෙන කල් මම එයාට වචනෙකින්වත් අවලාදයක් නම් කියලා නෑ. අපේ යාලු මිත්රයෝ, පවුලේ සමීපතමයන් මගෙන් හිමින් සැරේ ඇහුවම මොකෝ උනේ කියලා මම කිව්වේ අපි දෙන්නට දෙන්නා තේරුම් අරන් සුහදව දෙන්නම වෙන් උනා කියලා. (උන් පුපෙන් හිනා උනෙ, පුපෙන්. මට පාං යෑ)
මගේ මරුමුස් තග් පෙනුමටයි හැසීරීමටයි ඕන කෙනෙක් හිතන්නේ මගේ හිතත් ගලක් වගේ කියලා. ඒ නිසා ඕනේ දුකක් වේදනාවක් මගේ ඇඟට අතැරලා “අපෝ ඌට ඕවා ගානක් නෑ” කියලා ඇඟට නොදැනි යනවා. මමත් කාගෙන හිනා වෙලා ඉන්නවා. ඒත් හිත ඇතුලෙන් අනිත් අයට වගේම මටත් ගොඩක් රිදෙනවා.
අපි වෙන් උනාමත් ඒකමයි උනේ. හිතා ගන්න බෑ ඒ වේදනාවෙන් කොහොම ගොඩ ආවද කියලා. බේබද්දෙක් පිස්සෙක් නොවී කොහොම හරි ඒකත් දරා ගත්තා. ඒත් තාමත් හදවතේ තුවාල වලින් ඉඳලා හිටලා කැක්කුමක් එනවා. ඒ වෙලාවට එයා හොඳින් ඉන්නව බලලා ආයෙත් හිත හදා ගන්නවා. හිනාවෙලා ඉන්නවා.
එයා මගේ ජිවිතෙන් ගියාට පස්සේ ආයේ කිසිම කෙනෙකුට මගේ ජිවීතේට එන්න දුන්නේ නෑ. ඇත්තම කියන්නම්, එයා ගිහින් මාස 8ට විතර පස්සේ එයාම ආයේ මගේ ජීවිතේට එන්න ඕනේ බවට ඉඟි කලා. ඒත් මම ආයේ එයාව මගේ ජිවිතේට ගත්තේ නෑ. මට වැරදුනෙත් නෑ. රැකියාවෙන් ඉහලටම ගියා. මගේ මට්ටමේ ඉන්න අනිත් අය ගන්න සාමාන්ය වැටුපට වඩා වැටුපක් මම ගන්නවා. මේ රටේ පුරවැසියෙක් උනා. තව පැති කීපයකින් මම ඉස්සරහටම ගියා.
පිටරට ජීවිතේ රළුයි. මට පුලුවන් විදියට එයාගේ ජිවිතේ සුමටව අරං යන්න උදව් කලා. හැමතිස්සෙම අර “කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී…” සින්දුව මගේ කන් දෙක ඇතුලේ ඇහෙනවා මට. ඒ සින්දුව හිතට හරියට වදින්න නම් ඒ අවස්ථාව අත් දැකලා තියෙන්න ඕනේ.
ඔන්න අද එයා මට ටෙක්ස්ට් කරලා තිබුනා.
“හායි අයියා, මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනා”
“ඕකේ නංගි, පුලුවන් දෙයක් නම් අනිවා”
“ඔයා මේක කරන්න කැමති වෙයිද නම් දන්නේ නෑ….”
“කියන්න බලන්න”
“මට ඔයාගෙන් ලියුමක් ගන්න ඕනේ”
“ලියුමක්?”
“මේකයි, මම දැන් යාලුවෙලා ඉන්න බෝයිට මෙහෙට එන්න ඕනේලු. ඒත් මට එයාව මෙහෙට ගන්න විදියක් නෑ මම රිලේට් නැති නිසා. ඔයා සිටිසන් නිසා ඔයාට පුලුවන්ද ලියුමක් දෙන්න එයා ඔයාගේ යාලුවෙක්, ඔයාව විසිට් කරන්නයි එන්නේ කියලා? අනේ බිග් හෙල්ප් අයියා…”
ඔයාලට හිතාගන්න පුලුවන්ද මට ආපු හැඟීම ඒ වෙලාවේ? මට එක පාරට මැවිලා පෙනුනේ මීට අවුරුදු ගානකට කලින් මම එයාව පික් කරන්න එයාපෝර්ට් එකට ගිය හැටි. ඒ එයා පලවෙනි පාර ෆ්ලයි කරපු. එයාපෝර්ට් එක තිබුනේ පැය හතරක දුරින්. මම කලින් දවසේ ඔක්කොම ලෑස්ති කරලා කාර් එකත් අරං පිට උනා. මගදි ලස්සන ලොකූ රතු රෝසමල් පොකුරක් අරගත්තා අර ෆිල්ම් වල වගේ ඒක එයාගේ අතට දීලා පිලිගන්න හැටී හිතේ දහස් පාරක් මවා ගත්තා. පැය හයකට විතර කලින් එයාපෝර්ට් එකට ගිහින් මහ පාන්දර එයා එනකල් එයාපොර්ට් ලොබියේ නිදි කිරුවා. සැරින් සැරේ එරයිවල් නෝටිස් දිහා බල බල කෝපි බිබී මොනතරම් ආසාවකින් ආදරයකින් මම හිටියද කියලා දන්නේ මම විතරයි. අන්තිමේ එයා ආවා. සෙනග අතරින් රෝසමලක් වගේ ලස්සන එයාගේ මූන දැක්කම මට ඇති උන සතුට තාමත් මට හොඳට මතකයි. තෙහෙට්ටුවෙන් බාගෙට මැරිලා අමාරුවෙන් ලගේජ් එකත් ඇදගෙන එන එයාගේ අතට රෝසමල් ටිකත් බර වැඩී කියලා මට හිතුනා. දුවල ගිහින් ලගේජ් එකයි එයාවයි දෙකම උස්සගෙන මම එලියට ආවේ. ඒ ලස්සන මූන, ලස්සන මතකය මගේ ඉස්සරහ මැවිලා පෙනුනා.
මට පුලුවන්ද හිත හදාගෙන එයා ඉල්ලපු දේ කරන්න යාලුවනේ? මම ඉන්න තැන ඔයා හිටියා නම්? ඔයා කරන්නේ මොනවද?
මම කියන්නම් මම කලේ මොකෝ කියලා. ඔයාලා හිතනවා ඇති “හරි නංගි මම කරන්නම්” කියන්න ඇති කියලා. එහෙම හිතුවා නම් ඔයාලා වැරදි. මට ඒක කරන්න පුලුවන්කමක් නෑ.
මම පරිපූර්ණ නෑ.