අම්මෙ අම්මෙ අන්න මාමෙක් පාරෙ එහා පැත්තෙ දෙල් විකුණනවා..මගෙ දෝණි එහෙම කියාගෙන මගෙ පැත්තට දුවගෙන ආවා.
නිරෝධායන නීති සහ සංචරණ නීති සියල්ලම අමතක කරල මම දොර ඇරගෙන පාර පැත්ත බැලුවේ මගෙ දිව්ය භෝජන වලින් එකක් වෙච්චි දෙල් කල්ප කාලාන්තරයකින්වත් ඇස නොගැටුන හින්දා.
පාරෙ එහා පැත්තෙ පිරිමි කෙනෙක් දෙල් ගෙඩි කිහිපයක් බිම දමාගෙන,ඒ වටා රොක් වෙච්චි ලලනාවන් කිහිපදෙනෙක් දෙල් ගෙඩි මිලදී ගැනීමට ඇවිත්. හැබැයි ඒ දෙල් ඩීල් එක කොච්චර දරුණුයි ද කිව්වොත් මට මොහොතකට හිතුනා මේ ඇත්තටම මේ මනුස්සයගෙන් මෙයාල ගන්න හදන්නෙ දෙල්මද කියලා.
සනිකව මම “අයියාහ් දෙල් ගෙඩියක් කීයදෝ” කියලා කෑ ගහනකොට ඒකට උත්තර දුන්නෙ එතන හිටපු ලලනාවක්. නංගී මේව දෙල් වුණාට මෙයා මේව විකුණන්නෙ රත්තරන් වල ගාණට. ගෙඩියක් රුපියල් 150 යිලු. ඒ උත්තරේ දෙන ගමන් දෙල් අයිය දිහාවෙ එයා බැලුවෙ අයියව දැවිල අළුවෙලා යන වේගෙකින්. ඇත්තටම මම දන්නෙ නෑ මාකට්ටෙකේ පවතින වර්තමාන දෙල් මිල. “මිස් මේ අන්තිම දෙල් ගෙඩි තුන. මිස් කැමති නම් ගන්න..රුපියල් දෙසීයට වික්කෙ..දැන් එකසිය පනහ ගානෙ දෙන්නම්”. යන්තම් මාස්ක් එක පාත් කරල දෙල් අයියා බැගෑපත් හඩින් මට කිව්වේ මගෙ හිතත් උණු වෙලා යන විදියට.
අන්තිම දෙල් ගෙඩි තුන සහ එකකට රුපියල් පනහක ඩිස්කවුන්ට් එකකුත් ලැබෙනවා..අනික මගෙ ආසම කෑමක්..එහෙම හිතපු මම හරි එහෙනම් දෙල් ගෙඩි තුනම දොර ලගින් ගෙනල්ලා තියන්න..ඉන්න මම සල්ලි අරගෙන එන්නම් කියාගෙන ගෙට ආවේ ඉහවහා ගිය ප්රීතිප්රොමෝදෙන්. ගෙට ඇවිත් එලියට එන ටිකට අර හිටපු අක්කලා ටිකත් යන්න ගිහින්. ගණන් මිනුම් බේරලා මම දෙල් අයියට “ආයෙත් දෙල් හම්බවුණොත් මට ගෙනල්ලා දෙන්න ඈ” කියව්වෙ හිත පිනා ගියපු වැඩි සංතෝසෙට.
දැන් මේ එලඹෙනනේ දෙල් වසන්තයයි. ඉතිං ඒවා රාජකීය මහ විසාල හොඳටම පැහුන දෙල්. රෑට වේලට එකක් බේක් කලා. අද දවල්ට කිරට දෙල් ඉව්වා. දැන් තව එකක් ඉතුරුයි. අදම මේක හැදුවේ නැත්තම් හෙට වෙනකොට ඉදෙන බවක් තමයි දෙල් ගෙඩිය නිරීක්ෂණය කරපු විද්වතුන්ගෙ අවසාන අදහස වුණේ. මේක ඉදිල අහක ගියොත් නැති වෙලා යන රුපියල් 150ට වඩා විසාල පාඩුවක් මගෙ විචක්ෂණ ප්රතිරූපෙට වෙනව කියලා මට තදින්ම දැනුනා. දෙල් ගෙඩියක් නිසා එහෙම වෙන්න දෙන්න පුළුවන් ද, මේක තෙලේ බැදල මොනව හරි කරනවද කියලා කල්පනා කරනකොටම දුවගෙන දුවගෙන ඇවිත් දෝණි කිව්වා “අම්මේ අර දෙල් මාමා අදත් ඇවිත් කියලා”
ඉදගෙන හිටපු තැනින් ඉබේටම වගේ නැගිටලා හීනෙන් වගේ ජනේලය ලඟට ගියාම ඉන්නවා දෙල්ලයියා හෙණ ගහල වගේ මල්ලකුත් එල්ලගෙන හිටගෙන.
“නෝන ඊයෙ කිව්වනේ ආයෙ දෙල් හම්බවුණොත් ගේන්න කියලා,අද කඩපුව හොඳටම පැහිල. ඊයෙත් ගෙඩි තුනක් ගත්ත නිසා 150 ගාණෙ නෝනට දෙන්නම්” අයියා කියවගෙන කියවගෙන ගියා.
අඩෝ වයි බං බැල්මෙන් ඔහු දිහාවෙ බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මතකෙට ආවෙම නෑ මිත්රවරුනි.
ස්තූතියි
අපර්ණා සෙව්වන්දි
ඡායාරූපය උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි
උපුටා ගැනීම: අපර්ණා සෙව්වන්දි