“මං එහෙනම් යන්නද?” (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇය සමුගන්නට ප්රථම මගේ දෙකම්මුල් සිපගත්තාය. වැටකෙයියා හෙවන යට වූවද අව් රස්නෙන් බැටකකා උන් මට ඒ හාදු හිස මුදුනට සීතල වතුර බාල්දියක් හැලුවාක් මෙන් විය.ඇග පුරා බිඳු බිඳු රූරා යන විට සීතල පතුල දක්වා බේරෙමින් තිබුණි.දෙකකුල් පණ නැති ගානටය. කිසිසේත්ම අපේක්ෂා නොකළ ඇගේ පළමු සිප ගැනීම එය විය.
“මං එහෙනම් යන්නද?” වෙනදා බලෙන්ම යන්නට දගලන ඇය අද මගෙන් ඇසුවේ ඉතාමත් ශාන්ත ස්වරයකිනි. ඇගේ මුහුණේ ඉරියව් භාවනාවක් මෙන් විය. ඒ මුහුණ මට වෙන කාගේ හෝ මුහුණතක මතකය හිතට ඉබේම ගෙන ආවේ ක්ෂණයකිනි.
____________________________________________________________________
ඒ දෙදහේ මුල් දශකයේ අග භාගයයි. එකා දෙන්නා හෙමිහින් අත්වැල් පටලන් රීගල් සිනමා ශාලාවෙන් කළුවරේම පිටතට ඇදෙන මොහොතයි. මාත් ඈ ත් අන්තිමටම එළියට ආවේ ඇගිලිතුඩු ගෑවෙන නොගෑවෙන පරිදී සීරුවෙන් සීරුවට තබාගෙනය. හතේ කණිසමට පටන් ගත් “අබා” අවසන් කිරීමට සෑහෙන වෙලාවක් ගත විය .මා එළියට බහින ගමන් ජැක්සන් ඇන්තනීට පින් දුනිමි. සිකුරාදාවක් වූ එදා , කොළඹම පාලුවට යමින් තිබුණි. ත්රීවිලරයක් වත් පෙනෙන තෙක්මානයේ නැත. “අපි පයින් යමුද?” මා ඇයගෙන් විමසුවෙමි. “ම්ම් හා” දිගු නිහැඬියාවකට පසු ඇගේ මුවින් නිකුත් වූ එකම වදන එය විය.අපි හෙමින් හෙමින් කොටුව ස්ටේෂම පැත්තට පියනගන්නට පටන් ගතිමු. කපුටෝද නිහඬය. ඉඳහිට පාර දිගේ ඇදෙන වාහනයක් දෙකක් හැරුණුකොට වෙන සද්දයක් නෑසෙන තරම්ය. කහපාට ලයිට් එළි යටින් අපි අත්වැල් පටලන් හෙමින් සීරුවේ පිය නැගුවේ මීට මොහොතකට පෙර හමුවූවන් පරිද්දෙනි. මීට විනාඩි කිහිපයකට පෙර අබා බැලුවාද යන්න මතක නැති වෙනතරමට අපි චිත්රපටියක් රඟපෑවෙමු.නමුත් ඈත් මමත් කළුවරෙහි හඳුනන්නන් වූවද එළිය යටදී නන්නාඳුනන්නන් බවට පත්වූයේ නිමේෂයකිනි.
හෙමින් හෙමින් අපි කොටුව ස්ටේෂමද පහුකලෙමු. ගුණසිංහපුරෙන් වැලිවේරියට පිටත් වෙන අන්තිම බසයට කලින් බසය නවතා ඇත. ඈ අන්තිම පියවර කිහිපය තැබුවේ ඕනෑවට එපාවට මෙනි. මාදෙස නොබලා මෙතෙක් වෙලාවක් ආ ඈ එක වරම පැන කම්මුලට හාද්දක් දුන්නාය. සෙනග අතර කිසිසේත්ම අපේක්ෂා නොකළ එම හාද්ද මට දැනුනේ උණුසුම් තේකක් සීතල පාන්දරක බොනවිට එන හැඟීමකි.කොටුවේම ලයිට් එකවර දැල්වූ සේම තරම් දීප්තිමත් බවක් හැඟුනි.
“මං එහෙනම් යන්නද?” වෙනදා බලෙන්ම යන්නට දගලන ඇය අද මගෙන් ඇසුවේ ඉතාමත් ශාන්ත ස්වරයකිනි. ඇගේ මුහුණේ ඉරියව් භාවනාවක් මෙන් විය. ඒ මුහුණ මට වෙන කාගේ හෝ මුහුණතක මතකය හිතට ඉබේම ගෙන ආවේ ක්ෂණයකිනි.
මා තවත් ඈත අතීතයට පා වුනෙමි..
__________________________________________
ඒ 98 අවුරුද්දේ ඔක්තෝබරයේ අවසාන සතියයි. නුගේගොඩ හංදියේ ටොප්ෆෝම් අවහන්හල පමණක් සේවයේ නියුතු වූ පෝය දවසකි. මාත් ඇයත් පමණකි.ඈ ආසා කළ බිරියානි රස කල අප එළියට ආවේ අදුර වැටීගෙන එද්දීම වාගේය.ඇගිලිතුඩු තද කරමින් ලිහිල් කරමින් අපි ස්ටේශම වෙත ආවේ පාදුක්කට ඇදෙන අන්තිම කෝච්චිය අල්ලා ගන්නා අටියෙනි. යද්දිමවාගේ කෝච්චිය පැමිණියේ හූ හඬ නංවමිනි. ඈව තුන්වෙනි කෝච්චි පෙට්ටියට නැග්ගූවා මතකය. කියන්නට තරම් කවුරුත් එහි නැත. මගීන් හතර පස් දෙනෙකි.ඈ කෝච්චිය පිටත්වන්නට පෙර වට පිට බලා මගේ නළලත සිපගත්තාය. මිරිස් කෑ මුවිනුත් පයින් ආ දාහයෙනුත් පෙඟීසිටි මට පවං ගැහුවාක් මෙන් දැනුණි.කෝච්චියේ හූ හඬද ඇසෙන නෑසෙන ගාණටය . ඈ විතරක්ම ඇසේ.
“මං එහෙනම් යන්නද?” වෙනදා බලෙන්ම යන්නට දගලන ඇය අද මගෙන් ඇසුවේ ඉතාමත් ශාන්ත ස්වරයකිනි. ඇගේ මුහුණේ ඉරියව් භාවනාවක් මෙන් විය. ඒ මුහුණ මට වෙන කාගේ හෝ මුහුණතක මතකය හිතට ඉබේම ගෙන ආවේ ක්ෂණයකිනි.
______________________________________________
ඒ අසූ අට අවුරුද්දේ අගෝස්තු වියයුතුය.වියලි කර්කෂ කාලයක් ගෙවන මට ඈ අවසන් වරට හමුවූයේ හමුවූයේ මාස දෙකකට පෙරය. එළියට බහින්නත් තහනම් වූ කාලයක පත්තර රස්සාවද ටිකකලකට නැවැත්වූයේ ආ තර්ජන හමුවේය. ජීවත් වීමට ආසා කලෙමි. ඈත් මාත් රාජගිරියේ ඇගේ නැන්දණියගේ නිවසේ හමුවීම අහම්බයකි. මා ඔවුන් වෙඩි තබද්දී පලාවිත් මෙහි සැඟවී අදට දින දෙකකි . ඈ මෙහිදී මාවත් මා ඈවත් කිසිදුවිටක අපේක්ෂා නොකළෙමු.
මා දුටු වහාම ළඟම වූ කාමරයට ඇදගෙන ආවාය හෙමින් සීරුවේ මා දෙතොල් සිපගත් ඈ මා දිහා බලා සිනාසුණි. ” පරක්කුවෙනවා” “ජීවත් වෙලා හිටියොත් මාව බලන්න එන්න!”
“මං එහෙනම් යන්නද?” වෙනදා බලෙන්ම යන්නට දගලන ඇය අද මගෙන් ඇසුවේ ඉතාමත් ශාන්ත ස්වරයකිනි. ඇගේ මුහුණේ ඉරියව් භාවනාවක් මෙන් විය. ඒ මුහුණ මට වෙන කාගේ හෝ මුහුණතක මතකය හිතට ඉබේම ගෙන ආවේ ක්ෂණයකිනි.
________________________________________________
පෙරළිකාර උන්මාදී හැඟීමෙන් පෙලුනු මා ඈ බලන්නට දවසට දෙතුන් වතාවක් ඇගේ නිවස අද්දරින් එහා මෙහා ගමන් කළ 78 අවුරුද්දයි. දින කිහිපයක සිට එළිපහලියට නො ආ ඈ පිළිබඳ විපරම් කලෙමි. හවස් වනතුරු කිසිවකුත් එළියට නො ආවද, හවස් වරුවේ ඇගේ නිවස ඉදිරිපිට ලොරියකට දඩිබිඩියේ බඩු පටවනවා දුටුමි. ඈ කොහේ යන්නද? මා කලබල උනෙමි. කඩාබිඳගෙන ගෙදරට යන්නට හදද්දී මාව පසෙකට ඇදගත් අතක් නිසාවෙන් මා නැවතුනෙමි. ඒ ඈය ලක්ෂ්මී දෙවඟන සේ බලා හිඳින ඈ ය. “අපිලා මෙහෙන් යන්වා, අප්පට ට්රාන්සර් එකක් , දුකියි තමා. ඒත් යන්න ඕනා”
ඈ මා ඇදගෙන වත්ත පහලට ආවාය. උණ පඳුරු හෙවනේ මා ඇද තදින් බදා මුව සිපගන්නට වූවාය. ඇගෙන් මෙතරම් රුදුරු සිපගැන්මක් මා අපේක්ෂා නොකළෙමි. එහෙත් මහා සුළි සුළං හමන්නාක් මෙන් දැනුණී. ඈ උරහිසට හේත්තු වී සිටියාය. මා මූණ නොබැලුවාය..
“මං එහෙනම් යන්නද?” වෙනදා බලෙන්ම යන්නට දගලන ඇය අද මගෙන් ඇසුවේ ඉතාමත් ශාන්ත ස්වරයකිනි. ඇගේ මුහුණේ ඉරියව් භාවනාවක් මෙන් විය. ඒ මුහුණ මට වෙන කාගේ හෝ මුහුණතක මතකය හිතට ඉබේම ගෙන ආවේ ක්ෂණයකිනි.
_________________________________________________
“මං හෙට කසාද බඳිනවා” .ආවෙ ඔයාට කියල යන්න. අදින් පස්සෙ මං එන්නෑ. විජේරාම හංදිය පෙනෙන නොපෙනෙන දුරින් බොරළු පාරේ එහා මෙහා ගිය ඈත් මාත් උන් හිටි තැන නතර වුනෙමු. ඒ හැට අටේ අවුරුද්දයි.”මං ආවෙ කියල යන්න” . “ඔයා නාවට කමක් නෑ”. ඈ එසේ කිවේ බිම බලාගෙනය. ඈ දෙපස බලා ,මගේ කම්මුල් සිපගත්තාය. මට වෙනදා මෙන් නොව එය තදින් දැණුනි. මා කිසිදු වචනයක් පිට නොකළෙමි.
“මං එහෙනම් යන්නද?” වෙනදා බලෙන්ම යන්නට දගලන ඇය අද මගෙන් ඇසුවේ ඉතාමත් ශාන්ත ස්වරයකිනි. ඇගේ මුහුණේ ඉරියව් භාවනාවක් මෙන් විය. ඒ මුහුණ මට වෙන කාගේ හෝ මුහුණතක මතකය හිතට ඉබේම ගෙන ආවේ ක්ෂණයකිනි.
_________________________________________________
ඒ ඈ පිටවගිය දවසය. ඒ පනස් අට අවුරුද්දය. මා මතකය දුර්වලය. ඒ ඇගේ සමුගැන්ම දස වියේ වුන් මා හට දැනුනු පරිද්දෙන් මිය යනතුරු මතකයේ කැකෑරෙමින් තියෙනු ඇත.
මට නිසි අයුරින් සමුදුන් එකම තැනැත්තිය ඈය. මහ ස්පිරිතාලෙ ඇඳෙක හිඳ ඈ මලානිකව මා දිහා බලා මගේ කම්මුල් සිපගත්තාය.
මං එහෙනම් නිදා ගන්නද?
මගෙන් ඇසුවේ ඉතාමත් ශාන්ත ස්වරයකිනි. ඇගේ මුහුණේ ඉරියව් භාවනාවක් මෙන් විය.
සියලු මතකයන් මිලි තත්පර ගණන දශමවලට කඩා එහි අංශු ගතවන වේගයෙන් එක පෙළට මතකයට නැගුණි.
“මං එහෙනම් යන්නද?”
ඇගේ නැවත අඬගැසීමෙන් මා දෙදහස් දහ අටට පාත් වුනෙමි.
“හ්ම්ම්”
ඈ කිසිවක් නොකියා ඈතට යනු, මා බලාසිටියෙමි.
“මං එහෙනම් යන්නද?”
වචන ස්වර එක පෙළට එක එක හඬින් මතකෙට තට්ටු කරමින් සිටී.
මිය ගිය කැස්බෑවෙකුගේ කට්ටක් ගල්කුලක වැදි වැදී ගිලෙන්නට අවසර පතයි.
මා දෑස් පියා ගතිමි
“හාදු තාමත් තරුණයි”
උපුටා ගැනීම: Nisal Raigamage – – 2018

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!