අම්මාට සනීප උනාට පස්සේ,අම්මටයි තාත්තිට යි තිබුණු ලොකුම ප්රශ්නය උනේ ඉන්න ගෙයක් හොයා ගන්න එක. මොකද තාත්ති ගේ මල්ලී එයාලගේ මහා ගෙදර අපි ඉන්න එකට කැමති උනේ නෑ. තාත්ති ගෙවල් හෙව්වා. දවසක අපේ ගෙදර අත්හැර ලා අපි ගෙදරකට ගියා.ගෙයක් කිව්වට ඒක පුංචි කඩ කාමර දෙකක්. නිදාගන්න කාමරය යි, කුස්සිය යි. රෑ වෙත්දී බීපු මිනිස්සු කෑ ගගහ පාරේ ගියා. පාර අය්නෙ ම නිසා පිල උඩත් වාඩිවෙලා මිනිස්සු හිටිය. අපිට හුරු පුරුදු සැනසිල්ල නැති උණා. අම්මා සින්දු කියලා අපි නලවන එක නතර කලා. රෑ වෙත්දී කෑ ගහල කවි, චක්කර කට පාඩම් කරන්න බැරි උණා. නාදුනන පරිසරයක අපි තනි උණා.
අම්මා ලොකු අත්ති මුණ ගැහෙන්න ගියා. දවසක් දෙකක් නෙවේ. ගොඩක් වතාවක්. ලොකු අත්ති ට අයිති ඉඩමක් කුඹුරු අද්දර තිබුණ. ඒක ඉල්ලගෙන ගෙයක් හදා ගන්නයි අම්මට ඕන උනේ. ඒ ගියපු හැම වාරයකම අම්මා ආවේ කම්මුල් රතු කරගෙන ඇස් වල කඳුළු පුරවාගෙන. “අම්මා ලොකු අත්ති අපට ඉඩම දෙනවා කිව්වද “අම්මා මුකුත් නොකියා ඇස් වල කඳුළු පිහිද ගත්ත. ටික දවසකින් අත්තම්මි සීනි විස්කොතු ඔතාගෙන අපේ දිහා ආව. “ඔන්න තාත්තා අර ඉඩමේ ගේ හදා ගන්න කිව්ව “අත්තම්මි එහෙම කිව්වම අම්මගේ මුනේ ඇඳුනු හිනාව මට තාම මතකයි.
අපි ඉඩම බලන්න ගියා. මහා පාරෙන් ඈතට වෙන්න පුංචි දෙවට පාරකින් කුඹුරු යායට ගොඩ වෙත්දී ඒ පුංචි ඉඩම තිබුණ. කෙසෙල් යායක් තිබුණු මහා ලොකු සියඹලා ගහක් තිබුණු ඒ ඉඩම අපේ නේද කියන සතුට අපිට දැනුනා. ගෙයක් හදා ගන්න තරම් ලොකු වත්කමක් රස්සාව අහිමි උණු තාත්තිට තිබුණේ නෑ.. ඒත් වාසය ට නොගැලපෙන තැනක අපි උස්මහත් වෙනවා දකින්න අම්මා කැමති උනෙත් නෑ.. ඒ නිසාම මැටි වලින් අපේ පුංචි මාලිගාව ඉදි උණා. දවස පුරාම අම්මා දාඩිය වක්කරගන මැටි ඇ නුව. තාත්ති ලී හිටෙව්වා. අපි මැටි ගුලි තාත්තිට ගෙනිහින් දුන්නා. චූටි නංගි සියඹලා ගහේ බැඳපු ඔන්චිල්ලා වේ නිදි කලේ මං. අපි කව්රුත් බඩගිනියි කියලා අඩුවේ නෑ. හැන්දෑ වෙනකල් අපි වැඩ කලා. අපිට තිබුනේ එක අරමුනයි. අපේ කියලා ගෙදරක්. නිදහසේ හුස්ම ගන්න තැනක්. දවස් කීපයක් යත්දී අපි අපේ ගේ හදලා ඉවර කලා. මහන්සිය අපේම යි. පුංචි සාලය ක් කාමරයක් දිග කුස්සිය ක් ඒ ගෙදරට තිබුන. වහලේ පොල් අතු වලින් රෑ අහසත් පෙනුන. මහා ගෙදර තිබ්බ සැප පහසුව නැතත් සැනසිල්ලේ නිදා ගන්න පුළුවන් බව අපිට දැනුනා. දැන් අම්මට බනින්න එන්න කෙනෙක් නෑ. හැන්දෑ වෙත්දී වෙල් යායේ සිතල සුළං අපේ ගෙදරට හමාගෙන ආව. පොල් අතු වලින් අහසෙ තරු බලන්න පුළුවන් උණා. ආපහු අම්මා සින්දු කිව්ව. “සුරබුන් සුරකෙලි පිණිස ළගා වෙන පිඹ පිඹ ජය ශන්කා”ඒ සින්දුවත් අම්මා අපිට කියලා දුන්නා. ළඟ පාතක ගෙයක් දොරක් නැති ඒ හුදෙකලා ඉඩම අපේ සුරපුරය උණා. කුඹුරු වැඩ කාලෙට පහළ වෙල් යාය පුරාම කුඹුරු හාන මිනිස්සුන්ගේ ඕසේ ඇහුණා. රෑට කුඹුරේ ගෙම්බන්ගේ කෑ ගැහිල්ල නොනවත්වා ඇහුණා. අපිට තනියක් දැනුනේ නෑ.
වැහි කාලෙට පොල් අතු තෙමාගෙන වැහි වතුර ගෙට වැටුන. නොතෙමි ඉන්න තැනක් ගේ ඇතුලේ තිබුණේ නෑ. එකම නොතෙමෙන තැනකට ඇඳ ඇදල අම්මා අපිව නිදි කලා. රෑ ඇහැරුනේ මොකකට හරි ගහන සද්දෙට. අම්මා තඩි පොල්ලකින් මොකෙක් ට හරි ගහනවා. ආයේ කෑ ගහනවා. ආයේ ගහනවා. බලත් දි තඩි සර්පයෙක් මැටි බිත්තිය දිගේ ඇඳ දිහාට ඇවිත්. අපි නිදා ගත්තත් අම්මා රෑ පුරාම ඇහැරන් හිටිය. උදේට වැහි වතුරට ගොම පොළව හෑරිලා. වලවල් හැදිලා. අම්මා හරක් බැඳලා ඉන්න තැන් බලලා ගොම හොයා ගෙන ආව. පුරුදු නෑ වෙන්න ඇති. අපි හතර දෙනා ව සියබලා ගහ යට තියලා අම්මා ගේ පුරා ම ගොම ගෑ ව.
ජිවිතේ ගලාගෙන ගියා. ඉස්කෝලේ පන්තියෙන් පන්තිය අපි හතර දෙනා ඉහළ ට ආව. අම්මා අපිට පිරිසිදුව ඇඳුම් ඇන්දූවා. ඉස්කෝලේ වැඩ හොයල බලලා කලා. හැන්දෑ වෙත්දී කවි, ලියපු රචනා අපි අම්මා ට ඇහෙන්න කියෙව්වා. තාත්ති රන්දෙනිගල ජල යෝජනා ක්රමයේ වැඩ පරික්ෂක තනතුරක් ලැබිල ගියා. අග හිඟ කම් දහසක් මැද්දේ ඉස්කෝලේ හැම පන්තියේ ම හොඳම ළමයි වෙන්න අපි හතර දෙනාට පුළුවන් වුණා. පන්ති යන්න සල්ලි නොතිබ්බ අපිට අම්මා ගනං කියලා දුන්නා. සාමාන්ය පෙළ හොඳින් සමත් වෙලා විද්යා විෂයන් කළ අම්මට ඒ හැකියාව තිබුණ. ඉස්කෝලේ ගුරුවරු අපිව අඳුන ගත්ත. නැති බැරිකම් වලට අපිව පාගන්න අපි ඉඩ දුන්නේ නෑ. ඒ හය්ය අපිට ලැබුනේ අපේ අම්මගෙන්. රෝස මලක් වගේ ලස්සන අපේ අම්මා අව්වට කර උණා. වැස්සට තෙමුනා. අම්මට මග ඇරුණු ජිවිතේ අපිට දෙන්න දවල් රෑ නොබලා දුක් වින්ද.
තාත්ති අඩියෙන් අඩිය ජිවිතේ ගොඩ නගා ගත්ත. මැටි බිත්ති බිමට දාල අපි වෙනුවෙන් එයා මාලිගාව ක් සිමින්ති යෙන් හැදුව. රට රටවල් වල ගිහින් දුක් වින්ද. මිනි සෙක්ගේ ලොකුම වත් කම දැන උගත්කම හිතූ හින්දම වෙන්න ඇති අපිට ඉගෙනගන්න කරන්න පුළුවං හැම කැප කිරීමක් ම කලේ. අව්රුදු 21වෙත්දී අපි හතර දෙනාම ජිවිතේ ස්ථාවර කරගත්ත. අදටත් ගමේ ගෙදර ගියාම පුංචි කාලේ හැමුව හුළගේ මුහු උණු කුඹුරු වල ගොයම් සුවඳ මට දැනෙනවා. දැන් ඒ පුංචි ඉඩමට ලොකු පාරක් හැදිලා අලුතෙන් ගෙවල් හැදිලා පුංචි ටවුන් එකක් වෙලා. සියඹලා ගහ වත්තෙන් අයින් වෙලා. තාමත් ඒ බිත්ති වල පුංචි කාලේ කියූ කල දේ වල දෝන් කාරය ඇහෙනවා. කොහේ හිටියත් මොනවා කලත් ඒ අතීතයෙ න් මිදෙන්න මට බෑ. ඒ අතීත මතක සුවඳ මැරෙන තුරු මං ළඟ තියේවී.
උපුටා ගැනීම: WasNa Disanayaka