මං තනි වෙලා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පාන්දරම එක පාරට සද්දයක් ඇහිල ඇහැරුනාට පස්සෙ ආයිත් නින්ද ගියේ නෑ. සද්දයක් ඇහුනත් අනිත් මනුස්සයා නැගිටින එකක්වත්ද. මමම බලන්න එපැයි. බල්ලෙක්වත් ගෙදර ඉන්න එකක්ද? මගෙ හිත දොස් කිව්වා. එක අතකට සද්ද බද්ද ඇහුනට ඒ මනුස්සයා මොනව කරන්නද?
මම කසාද බැන්දට පස්සෙ මන්තරේ වගේ හැමෝම මට කිව්වෙ
” බලන්න කොච්චර හොද මනුස්සයෙක්ද ඔයාට හම්බවෙලා ඉන්නෙ” කියලා.
” උඹට නම් මොන අඩු පාඩුද” පාරක තොටකදි හම්බ වෙච්ච , ඉද හිට ඇමතුමක් දෙන යාලුවෙක් එහෙම කිව්වා.
” අනිත් මිනිස්සු එක්ක බැලුවම බෑණා නම් දූටත් වඩා හොදයි” අම්මා තාත්තා කිව්වා.
ඒත් රටටම හොද වෙන මිනිහෙක් ගෑණිටත් හොද වෙන්න පුලුවන්ද? එහෙම වෙනවමෙයි කියල කොයි පොතේද ලියල තියෙන්නෙ. අනෙක භාහිර දේවල් වලින් ගැණියෙකුගෙයි මිනිහෙකුගෙයි පවුල් ජීවිතේ සතුට මනින්න පුලුවන්ද. මනස්ගාත.
මම කසාද බැන්දෙ අවුරුදු ගානක් මගුල් හොයල හොයලා. අන්තිමට ඕන එකක් කරගහනවා කියලා හිතුන වෙලාවත් පැන්නට පස්සෙ. ගෙදරින් මේකවත් හරියයිද කියල කියන තැනටත් ආවට පස්සෙ. හැමෝටම මාව බරක් කියල හිතුනට ගොඩ කාලෙකට පස්සෙ. අන්තිමේදි ඔහු ආවා. පස් මහ බැලුම් බැලුවා වගේ අපි හොයපු ඔක්කොම එයාට තිබුනා.
අන්තිමේදි අපි බැන්දා. ගෙදර ඉන්නවට වඩා පුදුම නිදහසක් මට හම්බවුනා. නමුත් මං කියන දේවල් අහන්න , මට ඕන දේවල් කතා කරන්න ඔහුට වෙලාවක් නැතිවුනා. ඊටත් වඩා ගිහාන්ට ඕනකමක් නැති උනා.
කසාදෙත් එක්ක මගෙ රස්සාව මට අතහරින්න උනා. රස්සාව අතහැරියට මට සල්ලි වලින් මදිපාඩුවක් උනේ නෑ. ඒ කාලෙටත් වඩා නිතර අතේ සල්ලි රැදුනා. ඒත් මගෙ වටිනාකම මට නැතිවුනා. මට මං නැති වුනා. කාලයක් තිස්සෙ කෙලින් කරන් හිටපු ඔලුව එක එක වෙලාවලදි පහත් කරන් ඉන්න සිද්ද වුනා. ඒත් හැමෝම දැක්ක මම හිටියෙ සතුටින්. එක අතකට මට මොන අඩුපාඩුවක්ද මම හිතුවා.
” මට එපා වෙනවා, ඔයාට මං කියන කිසිම දෙයක් අහන්න වෙලාවක් නෑ. රස්සාවමයි ඔලුවෙ තියෙන්නෙ. මොකද්ද මේ ජීවිතේ” මම වෙලාවකට කිව්වා.
” ඕව හිතල ඔය චූටි මොලේ වෙහෙසන්න එපා සුදූ. ඔය ෆිල්ම් එකක් එහෙම බලල සතුටින් ඉන්න. මම ඉතින් මේ රස්සාව එක්ක ටිකක් බිසිනෙ” ගෙදර ගෑණි එක්ක කතා කරන්න බැරි තරම් බිසිය මොකක්ද.
” වෙලාවකට මට හිතෙනවා මෙහෙම ඉදල මාව ගල් වෙලා යාවිද කියලා” මම අඩමින් කිව්වා.
” ගල් වෙලානම් අඩන්න බෑනෙ. ඉන්ද්රියන් හොදට වැඩ කරනවා. ” ගිහාන් මගෙ පිටට තට්ටුවක් දාල කිව්වා.
” ප්රශ්න නැතුවට මේගොල්ලන්ට ප්රශ්න.” ඕක කිව්වම අම්මා කිව්වා.
” ඕවා ප්රශ්නද, පාරකට බැහැල බැලුවොත් තේරෙයි මිනිස්සුන්ට තියෙන ප්රස්න මොනවද කියලා. ඕවට කියන්නෙ හිතේ මවා ගත්ත ප්රශ්න කියලා” තාත්තා කිව්වා.
” එතකොට මේක ප්රශ්නයක් නෙමෙයිද?” මම ඇහුවා.
” ඕයි ඕක ප්රශ්නයක් තමයි. නමුත් හඩක් නගන්න බැරි ප්රශ්නයක්. අනිත් දේවල් එක්ක කම්පෙයා කරල බැලුවම වටිනාකමක් නැති ප්රශ්නයක්. වෙන වෙන ප්රශ්න තියෙන මිනිස්සුන්ට ඕවා හිතන්න වෙලාවක් නෑ. ඒ මිනිස්සු දවස තිස්සෙම ඒකෙන් ගොඩ එන්න කල්පනා කරනවා. තමුසෙට වෙන ප්රශ්න නෑනෙ. ඒක හින්දා ප්රශ්න හදාගෙන ඒවා කල්පනා කරනවා. හරි සරලයි” අයියා කිව්වා.
” මං තනි වෙලා” මම ඇඩුවා.
” මොනවද මේ ලමයා මේ කියවන්නෙ. අර ලමයාට එහෙම ඔය බහු බූත කියවන්න එපා. කොච්චර හොද මිනිහෙක්ද උඹට හම්බවෙලා තියෙන්නෙ. කොච්චර අමාරුවෙන්ද ඔය කසාදෙ හොයා ගත්තෙත්. බොරු මනස්ගාත ඔලුවට දාගෙන. මෙයාට තියෙන්නෙ මානසික ලෙඩක් . දොස්තර කෙනෙක්ට තමයි පෙන්නන්න වෙන්නෙ. අනෙක මොනවද ගෑනුන්ටයි මිනිස්සුන්ටයි ඔය තරම් කියවන්න තියෙන්නෙ.” අම්මා කිව්වා.
කොච්චර දේවල් තියෙනවද ගෑණියෙක්ට මිනිහෙක්ට කියවන්න. විශේෂයෙන් ගෙදරක තනියම ඉන්න ගැහැනියෙක්ට. තමන්ගෙ දේවල් බෙදා හදා ගන්න අයිතියක් නැද්ද. ගෑණු උනාම කට පියාගෙන ඉන්න ඕනද, මම එහෙම හිතුවා.
මම ආපහු ගෙදර ආවෙ හොදටම හිතේ අමාරුවෙන්. කවුරුවත් ඇයි මාව තේරුම් ගන්නෙ නැත්තෙ. පාරෙ අයිනෙ හොදටම තෙමිච්ච බලු කුක්කෙක් කෙදිරි ගගා ඉන්නවා දැක්කා. ඌත් මං වගේ තනිවෙච්ච අසරණයෙක්. එක්කො අම්මා නැති වේදනාවෙන් අඩ අඩ ඉන්නව වෙන්න ඇති. මම බලු කුක්කා දිහා වැඩිය නොබලාම ඇවිදගෙන ගියේ ආයිත් එන වැස්සට කලින් ගෙදරට යා ගන්න. ටික දුරක් ගිහින් පිටිපස්ස හැරිලා බලනකොට බලු කුක්කා කොර ගගහ මගෙ පස්සෙන් එනවා. මම ඇත්තටම බල්ලන්ට පූසන්ට ලොකු කැමැත්තක් නෑ. ඒ නිසා මම ඒ ගැන නොහිතා ඉන්න උත්සාහ කරා.
මම ගේට්ටුව ලගට ගිහින් ආයිත් හැරුනෙ මොකද මන්දා. බලු කුක්කා කොර ගගහ තාම පස්සෙන් එනවා. ගේට්ටුව වහන්න හදනකොට ඌ මගෙ දිහා දුකෙන් වගේ බලං හිටියා.
” මං තනි වෙලා” උගේ මූනෙත් ඒකම ලියවිලා තිබුනද මන්දා. ඌව එතන දාල ගේට්ටුව වහන්න හිත දුන්නෙ නෑ. මම බල්ලෙක්ව කවදාවත් අතින් අල්ලලා තිබ්බෙ නෑ. ඒත් මම ගේට්ටුව ඇරල ඉජූ කියලා ඌට ඇතුලට කතා කරා. ඌ හිමින් හිමින් කොර ගගහ ගේට්ටුවෙන් ඇතුලට ආවා.
මම ගෙට ගිහින් පරන රෙදි කෑල්ලක් ගෙනත් ගරාජ් එකෙන් දැම්මෙ ඌට ඒකෙ නිදා ගන්න. කිරි ඩිංගකුත් හදල පොල් කට්ටකට දාල ලගින් තිබ්බා. ඌ බස බස ගාල කිරි ටික බීල දාල මගෙ දිහා බයාදුවෙන් වගේ බැලුවා. හවස් වෙලා මම ගිහින් බලනකොට ඌ හොදටම නිදි.
හවස ගිහාන් ආවම මම බලු පැටියගෙ කතාව කියලා උගෙ කකුල පොඩ්ඩක් බලනවද කියල යාප්පුවෙන් වගේ ඇහුවා. එයා බල්ලන්ට කැමතිද අකමැතිද මම දන්නෙ නෑ. ඒත් මම බල්ලො අල්ලන්න අකමැති නිසා අදට විතරක් බලල දෙන්න කියල මම කිව්වා. එයා ගිහින් බලු පැටියව බලල කිව්වෙ කොරයක් තිබ්බට කකුලෙ අමාරුවක් නැති පාටයි හෙට ගෙදර නිසා දවල්ට නාවලා පොඩ්ඩක් බලමු කියලා. තව පුංචි කාලෙ ගෙදර හිටපු බල්ලො ගැන විස්තරත් කිව්වා.
ගිහාන්ට නිවාඩු උනත් දවසෙම වැඩ තමයි. මම උදේ වරුවෙත් බලු පැටියව බලන්න දෙතුන් පාරක් ගියා. දාපු කෑමත් කාල තිබුනා. මාව දැක්කම නැට්ටත් වැනුවා. දවල් මට පොරොන්දු උනා වගේම ගිහාන් බලු පැටියව නාවල දුන්නා. මට ඕනම නම් බලු පැටියව තියා ගන්නත් අවසර දුන්නා. බල්ලො හදන හැටි පාඩමක් වගේ කියලත් දුන්නා.
මගෙ දින චරියාවට අලුත් රාජකාරි දෙක තුනකුත් එකතු උනා. හවසට වැඩ ඇරිල ආවම ගිහාන් හිනා උනේ මට බලු පිස්සුව ඉහට ගහල කියලා. එහෙම කිව්වට එයත් හවසට ගෙදර ආවම බලු පැටියා පේන්න නොහිටියොත් හොයනවා. මගෙ බලවත් ඉල්ලීමට අපි බලු පැටියව පශු වෛද්ය ලගටත් එක්කන් ගියා. ඒ කකුලෙ කොරේ උපතින්ම ආපු එකක් වගේ කියල එතනින් කිව්වා.
” ජීවිතේටම කකුලක් කොර වෙච්ච බල්ලෙක්ව තියාගන්න ඕනද ඔයාට ? ” කියලා ගිහාන් මගෙන් ඇහුවා. මේ ටිකේ වැඩ දාහක් අස්සෙ උනත් ඔහු මගේ ඉල්ලීම් ඉටු කලා. අපි වෙනදට වඩා ලංවෙලා වගේ මට හිතුනා.
” උඹ අපිත් එක්ක ඉන්නවා නේද ” කියල මම අහද්දි ඒ ඇස් දෙකේ තිබ්බෙ මම දැන් තනි වෙලා නෑ කියලද මන්දා.
(පින්තූරය අන්තර්ජාලයෙන් – මුල් හිමිකරුට ස්තූතියි )
උපුටා ගැනීම:  Buddhika Abeysundara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!