මම ජනාධිපති උනාට පස්සේ දවසක් මම මගේ ළගම හිතවත් ආරක්ෂකයින් කීපදෙනෙක් එක්ක නගරයේ ඇවිදින්න ගියා. උදේ වරුවේ ඉදන් ටිකක් වැඩිපුර නගරයේ ඇවිදලා හිටපු නිසා මහන්සිය නිවාගන්නත් එක්ක කොහේහරි අවන්හලකින් දහවල් ආහාරය ගමු කියලා මම මගේ ආරක්ෂකයින්ට යෝජනා කළා. අපි නගරය මධ්‍යයේ තිබුණු එක්තරා අවන්හලකට ගොඩවෙලා අපට අවශ්‍ය කරන ආහාර ඇණවුම් කලා. ටික වෙලාවක් යනකොට වේටර්වරයා විසින් අපගේ ඇණවුම ගෙන එනු ලැබුවා…
අපි අපේ කෑම කන්න ලෑස්ති වෙනකොටම මම දැක්කා මගේ ඉදිරිපස මේසයේ මා ඉදිරියෙන්ම මිනිසෙක් තමා ඇණවුම් කළ ආහාර එනකම් බලාගෙන ඉන්නවා. මම මගේ ආරක්ෂකයෙක් ගෙන්නලා අර මනුස්සයාව පෙන්නලා එයාගේ කෑම එක ආවාම ඒක අරගෙන ඇවිත් අපිත් එක්ක කෑමට සම්බන්ධ වන්න කියලා ඔහුට ආරාධනා කරන ලෙස ඉල්ලා සිටියා. ආරක්ෂකයා ගොස් ඔහුගෙන් එම ඉල්ලීම කළා…
ටික වේලාවකින් ඔහු ඇණවුම් කරන ලද කෑම එක ඔහුට ලැබුණා. ඔහු එයත් රැගෙන ඇවිත් මා ඉදිරි පිටින් අසුන්ගත්තා. කිසිම කතාවක් නොමැතිව අපි සැමදෙනාම එකට ආහාර ගත්තා. ආහාර ගැනීමෙන් පසු අර මනුස්සයා මුකුත්ම නොකියා එතනින් පිටවෙලා ගියා… හැමදෙනාම එකට ආහාර ගන්නා වෙලාවේ ඒ මනුස්සයාගේ එක දෙයක් ගැන අපි සැළකිලිමත් උනා. ඔහු කෑම එක රැගෙන මා ඉදිරියේ වාඩිවුනු වේලාවේ ඉදලා කෑම කාලා අවසන්වී මෙතනින් පිටවෙන තෙක්ම ඔහුගේ දෙඅත් වෙව්ලමින් තිබුණා…
ඔහු පිටවගිය පසු මගේ ප්‍රධාන ආරක්ෂකයා මගෙන් මෙහෙම අහනවා…
” සර්… ඒ මනුස්සයා මොකක් හරි අසනීපයකින් ඉන්නවා වගේ නේද..? කෑම කන මුළු වෙලාවෙම එයාගේ අත්දෙක වෙව්ලනවා අපි දැක්කා…”
” නෑ… ඒ මනුස්සයට කිසිම අසනීපයක් නෑ… ඒ මනුස්සයා කවුද කියලා දන්නවද..?
ඒ මනුස්සයා තමයි මම බන්ධනාගාර ගතවෙලා ඉන්නකොට මාව බලාගන්න බාරවෙලා හිටිය ආරක්ෂකයා… මාව හැමදාම වගේ වධකාගාරයට අරන් ගිහිල්ලා ගහලා, වද දීලා ආපහු හිර කුටියට ගෙනත් දැම්මාම මම වේදනාවෙන් කෑගහනවා… වේදනාවන් ඉවසගෙනම මම හැමදාම මෙයාගෙන් වතුර ටිකක් ඉල්ලනවා බොන්න… මම වතුර ඉල්ලුවම මෙයා හිනා වෙවී අවිත් වැටිලා ඉන්න මගේ ඔළුවට මුත්‍රා කරනවා…”
” ඔහු දන්නවා මම දැන් මේ රටේ ජනාධිපති කියලා… මම මෙතනට ඔහුට එන්න කිව්වාම ඔහු බයවෙන්න ඇති… මට ඔහු සලකපු ආකාරයටම මමත් ඔහුට සළකයි කියලා ඔහු හිතන්න ඇති… මගේ බලය පාවිච්චි කරලා ඔහුව සිරගත කරලා මට කළා වගේම ඔහුටත් වධහිංසා කරයි කියලා ඔහු හිතන්න ඇති… ඒකයි ඔහු බයෙන් වෙව්ලන්න පටන් ගත්තේ…”
” නමුත් මම ඒ වගේ මිනිහෙක් නෙවෙයි… පළිගැනීම මගේ අචාර ධර්මවලට අයත් කොටසක් නෙවෙයි…”
” පළිගැනීමේ මානසිකත්වය රාජ්‍යයන් විනාශ කරනවා…”
” ඉවසීමේ මානසිකත්වය රටක ජාතීන් ගොඩනංවන්න හේතු වෙනවා…”
නෙල්සන් මැන්ඩෙලා…
හිටපු ප්‍රථම කළු ජාතික දකුණු අප්‍රිකානු ජනාධිපති
(1994 – 1999)
උපුටා ගැනීමකි..