මන්ද නුඹ ගියේ කියපන් පුන්චි සාවියේ??? (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන රෝහණ වීරසිංහ මහතා විසින් සංගීතවත් කල මෙම ගීතය රචනා කලේ රත්නශ්රී විජේසිංහ මහතායි,
මා හට මේ ගීතයේ සැඟවුණ පසුබිම් කතාව හෙළයේ මහා ගීත රචක රත්නශ්රී විජේසිංහ මහතා සහභාගී වූ වැඩසටහනක ඇසීමට වරම් ලැබෙනවා,
මේ ගීතයට අසූව දශකයේ රචනා වූවක් වුවත් එයට මුලික වශයෙන් පාදක වන කතා ඊට කලින් සිදුවූවක්,
එතුමා පවසන ආකාරයට මෙම ගීතය රචනා කිරීමට එතුමාට සිදුවීම් දෙකක් බලපානවා,
පළමු සිදුවීම මෙයයි,
එතුමා නගරයේ පාසලක නේවාසිකව අධයාපනය ලබන කාලයේ එතුමාගේ ගම වන ගාල්ලේ සිට ඉලෝමීටර 20ක පමණ ඈත පිටිසර ගමට සති දෙකකට වරක් පමණ යනවා,
ඉතින් ඒ යන මඟ අතරතුර මෙතුමා දකිනවා වඩුමඩුවක්,
එම වඩු මඩුව වැහි අවස්ථාවල රත්නශ්රී විජේසිංහයන් මඳකට නැවතී සිටින ස්ථානයක්,
එහි වඩු කාර්මික කටයුතු වල නිරත වී ඇත්තේ මැදිවියේ පියෙක්,
මෙතුමා පවසන ආකාරයට එම පියා එහි ජීවත් වී ඇත්තේ තම තරුණ වයසේ දියණිය සමඟයි,
මේ දියනිය මේ පියාට තම වැඩකටයුතු සිදු කරන අතරතුර තේ සාදාදීම් වැනි දේවල් සිදු කරනවා කාලයක් සිට විජේසිංහයන් දැක තිබෙනවා,
බොහොම ආර්ථික දුශ්කරතා මැද මේ දියණිය ලොකු මහත් කරනවා මේ පියා,
ඒත් එක දිනයක මෙම වඩු මඩුවට ගොඩවන විට ඉහත කී දියණිය නිවසේ නොමැති බව පෙනී ගොස් තිබෙනවා,
ඒ පිලිබඳව විමසූ විට එම පියා පවසා ඇත්තේ නගරයේ රස්තියාදුකාර පුද්ගලයෙක් සමඟ දුව හොර රහසේම ගොස් ඇති බවයි,
විජේසිංහයන්ගේ සිතට මේ පියාගේ වේදනාව තදින් කා වැදී තිබෙනවා.
—-
ඊලඟ සිදුවීම වන්නේ එතුමාට කියවීමට ලැබෙනවා රුසියානු සාහිත්ය කෙටි කතාවක් වන තානායම් කරුවා කතාවේ හැටියට එම තානායම් කරුවාගේ රූමත් දියනිය වන දුන්යා සමඟ නගරයෙන් ආ ජේත්තු කාර සිටුවරයෙක් නගරයට ඇය සමඟ හොර රහසේ පැන යනවා,
ඉන් පසු මෙම අසරණ පියා තම දියණිය සොයාගෙන ගිය ගමනේ එම සිටුවරයා ඔහුගේ දුවව ඔහුට අඩුම තරමේ පෙන්නන්නේවත් නැහැ,
එම සිටුවරයා ජනේලයෙන් මුදල් මිටියක් විසික් කරනවා,
නමුත් මෙම අසරණ පියා එහි පැමිණියේ මුදල් බලාපොරොත්තුවෙන් නොවේ,
ඔහු මුදල් ප්රතික්ශේපකර පාගා දමනවා,
අවසානයේ තම දියණියගේ මුහුණ නොදැක නැවත ගමට පැමිණීමට සිදුවෙනවා,
එම පියා පවසනවා මේ ආකාරයට නගරයේ ජේත්තුකාර තරුණයෝ සමඟ පැන ගිය ඉතිහාසයේ එකම කෙනා දුන්යා නොවේ,
ඉස්සරහටත් එහෙම වෙයි,
අද ඇය සේල ඇඳන් ඉඳියි,
නමුත් හෙට ඇය පාරවල් අතුගානු ඇත.
ඉතින් රත්නශ්රී විජේසිංහයන්ගේ සිතට තදින් කාවැදුණ මේ සිදුවීම් දෙකම අලලා තමයි මේ ගීතය ඔහු අතින් නිර්මාණය වන්නේ,
ඉහත කී තාත්තලා දෙදෙනාම මේ ගීතය ඇතුලේ ඉන්නවා කියා එතුමා පවසනවා…
—–
එම ගීතයෙන් තාත්තාගේ වේදනාව පවසන ආකාරය මෙසේයි,
සඳ මඬලේ සැඟවුණ පුංචි හා පැටියෙක් වගේ අහිංසක මගේ දුවේ,
ඇයි කියපං සඳ හැංගුණා වගේ මේ තාත්තාට නොකියා හැංගිලා ගියේ,
අම්මා නැති මේ ගෙදර උඹ තමයි මගේ දුවේ ආලෝකය,
මට උඹ නැති අඩුව පාලුව දැනෙන්නේ මේ ලයිං කාමරයක් වගේ කුඩා ගෙදරට එලිය දුන්න පහන නිවුණා වාගේ,
ඇයි උඹ ගියේ කියපන් මගේ දුවේ…
“චන්ද්ර මණ්ඩලේ සැඟවුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුණ සේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුන්චි සාවියේ”
රත්තරන් මෙන් දිළිසුණත් ඇත්තටම රත්තරන් නොවන පුහු ආටෝපයකට හසුවී තම දෙමාපියන් හැරදා ගිය එකම දියණිය නුඹ නෙවෙයි මගේ දුවේ,
ඉස්සරත් ඔහොම රැවටිලා ගිහින් තියනවා,
ඒත් දුවේ උන්ට කවදාවත් හරි ගිහිල්ලා නෑ,
උඹට වරදිනවාට කවදාවත් මේ තාත්තා කැමතිවුණේ නැහැ,
අන්න ඒ හේතුව හින්දයි මගේ දුවේ මට මේතරම් දුක..
“ලාබ රත්තරන් දිළිසෙන පාලු වීදියේ
ගෑනු ලමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ”
බොරු පුහු ආටෝප මවාගෙන රස්තියාදුකාර තරුණයින් අප නිවස අසල ගැවසුණා මට මතකයි මගේ දුවේ,
ඒත් උඹ ගැන මට තිබ්බේ අසීමිත විශ්වාසයක්,
මට හීනෙකින්වත් උඹ මට වැරැද්දක් කරයි කියලා හිතුනේ නෑ දුවේ,
උඹ වැරදි කලත් මම තරහා නෑ දුවේ,
උඹ ගේ මේ තාත්තාව අමතක කරලා ගියාට ගෙදරට එන පාර මතකනම් උඹට ආපහු එන්න පුලුවන් දුවේ,
උඹ හිතන තරම් දුරක් නෑ මගේ දුවේ…
“මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
හීනෙනුත් හිතුණේ නෑ මට මොකද කාරණේ
පාර මතකනම් තාමත් ගේ ලඟයි දුවේ”
උපුටා ගැනීම:  -Tharu Rajapaksha-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!