මංගල අහස් ගමන (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔන්න එක පින්බර දවසක මං බැංකොක් යන්න කියල කටුනායකට සැපත් උනා. ඔෆිස් එකෙන් සේරම කරල දීලා ටිකට් එකත් ෆෝන් එකට එවපු නිසා මට තිබුනෙ ඒකෙ ප්රින්ට් අවුට් එකක් අරන් මාස 3කට රෙදි පෙරෙදිත් අරන් ගුවන්ගත වෙන එක විතරයි.
මීට කලින් එයාපෝට් එක අහලින්වත් ගිහිල්ල නැති මං තුමීට දැන් මේ ලයිට් පිරුණ සෙනඟ පිරුණ ඉස්තානය දැණෙන්නෙ තොරණක් වගෙයි. ඩිපාච , අරයිවල් කියල විසාල දොරවල් දෙකක ගහල තිබුනට ඒක දැක්කෙ නෑ එදා ඉතින්. සෙනඟ සේරම වාහන වලින් බැහැල බෑග් තල්ලු කරන් යන පස්සෙ මාත් ගොනා සේ ඇතුළට ඇදුනා.
ප්රධාන දොරෙන් ඇතුල් වෙද්දිම සික්කෙක් ඉඳන් පාස්පෝට් එකයි ටිකට් එකයි චෙක් කළා. ඒ දෙක අතේමයි තියන් හිටියෙ කලින් ලැබුන උපදෙස් නිසා. ඔන්න ඉතින් මුලින්ම දොරෙන් ඇතුල් උනාම බෑග් එක චෙක් කරන්න දාන්න උනා. අනිත් අය කරන පිළිවෙලට ඒක එහෙම කරලා මොකද්දෝ ඉලෙක්ට්රික් දොරක් අස්සෙන් මට යන්න කීවා මගෙ බොඩි එක චෙක් කරන්න. ඒකට ටිකක් බය හිතුනෙ ස්කෑන් වෙද්දි මගෙ අයිටම් සේරම ඒ පිරිමි අයට බලන්න පුළුවන් ඇති කියල දැණුන ලැජ්ජාවකින්…
ඔන්න ඉතින් ඒකත් කමක් නෑ කියල එතන දොරෙන් එළියට එනකොට මගෙ බෑග්ගෙත් එහා පැත්තෙන් ඇවිත් තිබුනා. එතනින් අනිත් අය කරන විදියට කාට් එහෙක බෑග්ගෙ දාන් ශහ් මේක මරුනෙ, බරත් නෑ දැන් කියල ආතල් එකේ ඉස්සරහට යනව දැන්.
ඔන්න එතකොට තියෙනවා බැංකු පෝළිම. ඔෆිස් එකෙන් දුන්න උපදෙස් අකුරටම මතක තියාගත්තු නිසා ඊළඟට ගිහින් ඒ එකකින් අතේ තිබ්බ ලංකාවෙ සල්ලි ටික දීලා ඩොලර් වලට මාරු කරගත්තා. ඔෆිස් එකෙන් වැඩිපුරත් එක්ක සල්ලි ටිකක් අතට දීලා තිබුනෙ ඉමිග්රේශන් එකෙන් මොනා හරි ප්රශ්න ඇහුවොත් අවුලක් නොවී පැනගන්න ලේසි වෙන්නයි. මොකද මතක විදියට මුලින්ම ගියේ සංචාරක වීසා වලට. බැංකොක් යන්නෙ කාගො ඔෆිස් එකේ වැඩට උනාට මුලින්ම බිස්නස් වීසා හදාගන්න ටිකක් අමාරු උනා.
ඩොලර් කොළ ටිකත් අරන් ඊලඟට කිලෝමීටර් බාගයක් විතර යනවා යනවා ඉතින්… ඔන්න ඊටපස්සෙ තියෙනවා ආයෙමත් අරුම පුදුම තැනක්. මිනිස්සු සූ ගාලා පිරුණ තැනක්. බෑග් තියාගෙන මිනිස්සු දිග පෝළිම්වල. එයාපෝට් යුනිෆෝම් එක ගහපු එක්කෙනෙක් ඇහැ ගැටුන ගමන් මං හෙමින් එයාට කිට්ටු කරලා ඊලඟට මං මොනාද කරන්න ඕනෙ කියල ඇහුවා. එයා මගෙ ටිකට් එක අරන් චෙක් කරලා එතන තියෙන මහ විසාල ටීවී ස්ක්රීන් එක දිහා බලාගෙන ඉන්න ගත්තා. ටික වෙලාවකින් මං යන්න ඕනෙ ෆ්ලයිට් එකේ විස්තර ස්ක්රීන් එකට වැටුනා. ඊටපස්සෙ එයා මට කරුණාවෙන් කියල දුන්නා අන්න අර පෝළිමට ගිහින් එකතුවෙන්න කියල. මං ඉතින් එයා කියල දුන්න විදියට ගිහින් පෝළිමේ හිටියා. එතන පෝළිමේ ඉන්න ගමනුත් හිතේ තියෙන ලොකුම ප්රස්නෙ කතා කරන්න කෙනෙක් ඕනෙ දැන් මට. ලොකුම ප්රස්නෙ ජනේලයක් අයිනෙ සීට් එකක් හොයාගන්න එක. පෝළිමේ මට ඉස්සරහ ඉන්නෙ ෆැමිලි එකක්. මේක බැංකොක් පෝළිම නිසා මාත් එක්කම එක ෆ්ලයිට් එකට සෙට් වෙයිනෙ කියල දැන් නිකං මේ කට්ටිය සේරෝම ගැන නෑදෑ හැඟීමක් මට දැණෙමින් තියෙන්නෙ…
මේහ්… මං මේ ප්ලේන් එහෙක යන මුල්ම වතාව. මේ සේරම අපේ එකේ යනව නම් ජනේලෙ අයිනක ඉඩ තියෙයිද දන්නෑ නේද…
මං ඉතින් මගෙ හිතේ කැකෑරෙන ප්රස්නෙ ඉස්සරහ ඉන්න පොශ් ඇන්ටිට ඉදිරිපත් කළා.
මෙතන බෝඩිම් පාස් එක ගන්න ගියාම ඔයා වින්ඩෝ සීට් එකක් ඉල්ලන්න.
ඔන්න ඉතින් ප්රස්නෙ විසඳුනා.
මං ගිහින් එයාලා බෑග්ගෙ ඉල්ලද්දි අතේ තිබ්බ බෑග්ගෙයි තල්ලු කරන් ආව ලොකු බෑග්ගෙයි සේරම එයාල කියපු තැනින් බර කිරන්න තිබ්බා. එයාලා ලොකු බෑග්ගෙට ඉස්ටිකර් හුඟක් ගහලා මං දිහාට හැරුනා.
මේහ්… මගෙ බෑග් එකේ පිඟන් කෝප්ප, වීදුරු බෝතල් එහෙම තියෙනවා. ඔයාල පරිස්සමින් අරන් යනව නේද…
මගෙ ප්රස්නෙට ඒ ලස්සන ගෑණු ළමයා හිනා කටක් පුරෝගෙන ෆ්රැගයිල් ස්ටිකර් එකක් ගැහුවා.
දැන් හරි…! එයා ආයෙත් හිනාවෙනවා අර ඇස්වහ වදියිද හිතෙන ලස්සන මූණු පොඩිත්තෙන්.
මේ පළවෙනි වතාවද…
එයා ආයෙත් හිනා කටක් පුරවන් අහනවා.
මං ඉතින් ලැජ්ජාවෙන් ඔව් කියනවා.
එයා හොඳ කෙනෙක් කියල දැන් හොඳටෝම තහවුරු වෙලා නිසා මගෙ කටට ටිකක් පණ ඇවිත් වගේ ඔන්න.
මේහ්… මට ආසයි ජනේලයක් අයිනෙ යන්න…
ඔයාට පුළුවන්ද මට
ප්රශ්නෙ අහල ඉවර කරන්නත් කලින් එයා හරිම පිළිවෙලට ඒ වැඩේ කරල දෙන්න පොරොන්දු උනා. ඊටපස්සෙ මගෙ පාස්පෝට් එකයි ටිකට් එකේ ප්රින්ට් අවුට් A4 ශීට් එකයි ඉල්ලගෙන මට බෝඩිම් පාස් එක එක්ක පාස්පෝට් එක දීලා එයා සීට් එකෙන් නැඟිටලා මට විස්තර කියල දුන්නා.
මේ තියෙන්නෙ ඔයාගෙ සීට් අංකෙ. වින්ඩෝ සීට් එකක්. මේ තියෙන්නෙ ඔයාගෙ ගේට් අංකෙ.
(එයා මගෙ ලස්සන බෝඩිම් පාස් එකේ පෑනෙන් රවුමක් ඇන්දා ගේට් අංකෙ තියෙන තැන ! )
එතකොට ඔයා දැන් යන්න ඕනෙ අන්න අර පේන තැනට. එතනින් ඔයාව පරීක්ෂා කළාට පස්සෙ මේ ගේට් නම්බර් එක හොයාගෙන යන්න ඕනෙ. ගුවන් යානය පිටත් වෙන්න පැය බාගයක් තියලා ගේට් එක ඕපන් වෙනවා. එතකන් ඔයාට ඒ තියෙන ඩියුටි ෆ්රී ශොප් වල එහෙම ඇවිදින්න පුළුවන්. හැබැයි වෙලාව ගැන සැළකිල්ලෙන් ඉන්න.
එයා හරිම ලස්සනට විස්තර ටික කියල දෙනවා. මං ඉතින් එයාට ස්තුතියි කියල අතේ ගෙනියන චූටි බෑග්ගෙත් කර දෙපැත්තෙ දාගෙන ඉමිග්රේශන් එකේ චෙකින් පෝළිමට එකතු උනා. එහා කෙළවරේ කාගීල්ද කීල්ස්ද මන්දා සුපර් මාකට් එකක් තියෙනවා පෙනිල බඩගින්නක් දැණී දැණෙන්න අරන්. යන ගමන පැත්තක තියලා මං ඉක්මනට සුපර්මාර්කට් එකට දුවල ගිහින් කන්න දෙයක් හෙව්වා. සමපෝෂ ! මගෙ ජාතික ආහාරෙ !
ආයෙ ඉතින් මේව කවද කන්නද කියල ඉක්මනට ඒකෙන් පැකට් දෙකක් අරන් ක්රීම් බනිස් ජෝඩුවකුත් අරන් කවුන්ටරේට ආවා.
මේහ්… ෆ්ලයිට් එකට නගින්න කලින් උඩ වොශ් රූම් එකක් නෑද?
මගෙ හිතේ දැවෙමින් තිබුන ප්රශ්නෙ මං ෆුඩ්සිටියෙ කවුන්ටරේ ගර්ල්ට යොමු කළා.
තියෙනවා. ෆ්ලයිට් එකෙත් වොශ් රූම් තියෙනවා…
අම්මෝ ඇති යන්තම්…!
ඔච්චර වෙලා දරාගෙන ආපු චූ බරට යටි බඩ කොරවෙලා වගේ. මං ඉතින් හිතේ සතුටින් ඉමිග්රේශන් පෝළිමට එකතු උනා. ඊට කලින් එතන හිටපු නිළධාරියාගෙන් විස්තර ඇහුවාම එයා ඒ හරියෙ මේසෙක තැන්පත් කරල තිබුන පොඩි කාඩ් ගොඩෙන් එකක් මට අරන් දීලා ඒක පුරවන හැටිත් කියල දුන්නා. ඊටපස්සෙ ඔන්න පෝළිමේ පිළිවෙලට ගිහින් ආගමන විගමන නිළධරියා ළඟට ගියාම ප්රශ්න අහන්න පටන් ගත්තා. මුලින්ම මගෙ පාස්පෝට් එකයි බෝඩිම් පාස් එකයි චෙක් කරලා උන් අනිත් අයගෙන් වගේම සුපුරුදු ප්රශ්න සෙට් එක අහන්න ගත්තා.
කොහෙටද යන්නෙ
මොනාටද යන්නෙ
එහෙ ගිහින් මොනාද කරන්නෙ
කොහෙද නවතින්නෙ
නවතින තැන එඩ්රස් එක මොකද්ද
අතේ සල්ලි කීයක් තියෙනවද
ඔය ප්රශ්න සේරටම උත්තරත් දීලා ඉවර උනාම ඔන්න පාස්පෝට් එකේ සීල් එක ගහල දුන්නා.
මං ඉතින් හිනාවෙවී උත්තර දුන්න හින්දා ඒ අංකලුත් හිනාවෙලාම පරිස්සමින් යන්න කියල මට සුබ පතල සමු දුන්නා. ඊටපස්සෙ ඔන්න උඩට තව තට්ටුවක් නැග්ගාම අතේ ගෙනියන බෑග්ගෙ චෙක් කරන රේගු නිළධාරින්ගෙ සංගමේ ඉන්නවා. මොන කරදරයක්ද කියල ඔන්න එතනත් පෝළිමේ ඉඳල බෑග්ගෙ ගළවලා දීලා උන් කියපු විදියට සපත්තු දෙකයි බෙල්ටෙකයි ෆෝන් එකයි සේරමත් ට්රේ එකක තියලා චෙක් කරන්න දුන්නා.
ඒ ටික හෙමින් මැශින් එක දිගේ චෙක් වෙලා එනකන් මං එයාල කියපු ඉලෙක්ට්රික් දොර ඇතුළෙන් ගිහින් එහා පැත්තට වෙලා හිටියා.
මෙන්න බොලේ මගෙ බෑග්ගෙ මැශින් එක හරහා යද්දී සිග්නල් එකක් වදිනවා. මළ මගුලයි. උන් ඒක ආයෙ ආයෙත් මුල ඉඳන් මැශින් එක හරහා යැව්වා. ඒ දෙපාරම රතු පාටින් ක්රීං ක්රීං ගාල මගදි බෑග්ගෙ නවතිනවා.
අම්මට සිරි! බඩු හරි වගේ…!
දැන් ඉතින් යන්න වෙන්නෑ !!
මගෙ හිතේ අකුණු දස දහසක් කොටන්න අරන්. පෝළිමේ ඉන්න අනිත් අයත් බයවෙලා වගේ මං දිහා බලනවා.
මිස් පොඩ්ඩක් මෙහෙන් එන්නකො!
එක කාන්තා නිළධරිවරියක් මාව එයාල ඉන්න පැත්තට කතා කරලා පෝළිමේ හිටන් ඉන්න අනිත් අයට නිදහසේ වැඩ කරගන්න ඉඩ පෑදුවා.
මාව එහා පැත්තෙ මේසෙට අඬ ගහලා මගෙ බෑග්ගෙ සේරම දේවල් එකින් එක එළියට අදින්න ගත්තා. මං දැන් එකසිය ගානට බයවෙලා …
මේ මොනාද ?
මේ මොනාද ?
ඒ ගෑනිට ඕන්නැති දෙයක් නෑ. සේරම ඇරල බලනවා.
වතුර ගෙනියන්න දෙන්නෙ නෑ මිස්. අර සින්ක් එකට වතුර එක හළලා හිස් බෝතලේ එතන ගාබේජ් බෑග් එකට දාන්න !
ඒත් මට යන අතරෙ වතුර තිබහ වෙනවනෙ !!
මං ඉතින් හිතට දහිරිය අරන් ඇත්තම කිව්වා.
ෆ්ලයිට් එකෙන් ඔයාට වතුර බෝතලයක් හම්බ වෙනවා!
ඒකත් එහෙමද කියල ඔන්න හිත හදාගත්තා.
පර්ෆියුම් ඇයි හෑන්ඩ් ලගේජ් එකේ ගෙනියන්නෙ? මේක අපිට චෙක් කරන්න වෙනවා.
එවුන්දා මගෙ සන්තකේටම තිබුන සෙන්ට් බෝතලෙත් අරන් තව නිළධාරියෙක් ගාවට ගියා. අනේ ඕක නම් ඩස්බින් දාන්න කියන්නෙපා දෙයියෝ කියල මගෙ හිත මොර දෙනවා…
(සැර වැඩි සුවඳ විලවුන් වර්ග අරන් යන්න තහනම් අතේ ගෙනියන බෑග් එකේ තියාන. ෆ්ලයිට් එක ඇතුළෙදි ඒක කෙනෙක්ගෙ ඇස්වලට ස්ප්රේ කරල කලබලයක් ඇතිකරවන්න පුළුවන් නිසා වෙන්නැති. ඒ විදියට අතේ අරන් යන්න තහනම් දේවල් කීපයක්ම තියෙනවා)
ඔන්න කොහොම හරි සෙන්ට් එකත් ආයෙ මට හම්බුනා උපදෙස් ගණනාවකින් පස්සෙ. ඒක එහෙම මිළ අධික එකක් නෙවෙයි අනේ…
මේ මොනාද ?
මේ මොනාද ?
ඔන්න ආයෙ පටන් ගත්තා…
මේ ක්රීම් බනිස් ජෝඩුවක්නෙ.
මං ශොපින් එක ලිහල පෙන්නලා කිව්වා.
එතකොට මේකෙ?
ස්වර්ණභූමි එයාපෝට් එකෙන් බහිද්දි උදේ 7 විතර වෙනවනෙ. ඉතින් එතකොට මට ගොඩක් බඩගිනි වෙලා තියෙයිනෙ. ඒ හින්ද මං රොටී ටිකක් පුච්ච ගත්තා…
මොනා කිව්ව! රොටී …..!!!
ඒ ගෑණු මනුස්සයා එදා ඒ දාපු ඒ කින්ඩි හිනාව මට තාමත් මතකයි මිතුරේ….!
උපුටා ගැනීම: Sandamali Dissanayake

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!