“ අද ඔෆිස් එකට ඔයාව හම්බවෙන්න කවුරුහරි ආව ද ” ගෙදරට ගොඩ වෙද්දීම අම්මා ඇසුවාය
සිද්ධිය මුල ඉදලාම සැක කරපු මම “ විශේෂ කෙනෙක් අවේ නෑ. ඇයි ” දැයි අසා සෙමින් කාමරයට මාරු විය
කාමරයට එබුණු අම්මා
“ නෑ. මේ මල්ලිගේ යාලුවෙක් එනවා කියලා තිබ්බා. ඒකයි ඇහුවේ ”
“ ආ. මල්ලිගේ යාලුවෙක් ද, ඌ ඇවිත් වැඩේ කරන් ගියා .මල්ලිගේ යාලුවෝ විශේෂ උනේ කවදා ඉදලා ද.”
“ මෙකක් ද ලොකු දුව, මේ කතා කරන විදිහ ඌ, මූ, මචං. ඒ ළමයා ආවේ මොකට ද කියලා දන්නවද” අම්මාගේ මල අතේ බව වැටහුණත් මුකුත් ම නොතේරෙන ගානට බබා පාට් දමා මටත් පුරුදු ය.
“ඔව්. ඇවිත් කිව්වා. බැංකු කාර්ඩ් එකේ අවුලක්. පැය භාගයක් විතර යන වැඩක්. මල්ලිගේ යාලුවා නිසා විනාඩි පහෙන් ගොඩ දාලා දුන්නා. ”
“ හරි ඔයා එයාට කතා කලේ කොහොමද ”
දත් තිස් දෙකම පෙන් වූ මම “ මචං කියලා කිව්වේ ඉතින්. මල්ලිගේ යාලුවානේ. මන් උට කියන්නේත් එහෙමයි. උගේ යාලුවන්ට කියන්නේත් එහෙමනේ. මෙහෙ එන එකෙක් මට අක්කා කියනවද. නැහැනේ. ” පවසද්දී අම්මාගේ මුහුණ රතු වී අදුරු වී කළු වී යනු දිටිමි
“ යකෝ. ඒ ළමයා උඹව බලන්න ආවේ. ඒ ළමයාට මචං කියලා කතා කරලා හරි යනවාද. ”අම්මගේ ආදර වදන්
“ මන් දන්නේ කොහොම ද ”
“ ඔයා ඔහොම කෑ ගැහුවට ලොකු දුව දන්නවද ඒ ළමයා මොකටද ආවේ කියලා ” කවදත් මගේ පැත්තට සපෝට් තාත්තා කඩහඩ අවදි කලේය.
“ ඔව් ඔව්. මෙයැයි මුකුත් දන්නේ නෑ. මෙයා බබා. ඔයා දන්නවාද ඒ ළමයා යද්දී මේකි කිව්වලු හරි මචං ගිහින් වරෙන්. තව මොකක් හරි වැඩක් තිබ්බොත් උඹ එන්නෙපා මල්ලි අතේ කියලා එවපන් කියල. ගැහැණු ළමයෙක් කතා කරන හැසිරෙන විදහ ද මේ. ඔයා තමයි මෙයා නරක් කරන්නේ ” අම්මා එක දිගට කියවගෙන යයි.
“ ඔහොම හයියෙන් එක දිගට කියවන් යන්නෙපා. ඉස්පිල්ලක් හරි පාපිල්ලක් හරි එහා මෙහා වෙලා එලියට පනී. හොද හුස්මක් අරගෙන හිමින් බනින්න ” යැයි පවසා මම නාන කාමරයට පැමිණියේ මල්ලී ආවහම බලාගන්නම් යැයි සිතින් සිතමිනි.
වතුර ශබ්දයට අම්මාගේ හඩ යටපත් වි ගියේ ය.
නැවත ගෙතුලට එද්දී සටන් විරාම ගිවිසුමක් අත්සන් කර තිබුණ දඅම්මාගේ මුහුණ අදුරුය.
මල්ලී ගෙදර ඇවිත් යැයි දැන ගත් විගස මන් ඔහුගේ කාමරයට ගොස් බැන්නේ ය.
“ තමුසෙට මට කියන්න තිබ්බා එක එකාව එවන්න කලින්. උඹට බදින්න ඕනේ නම් උඹ බැදගනින්. මාව බන්දන්න හිතන්නෙපා. මට ඕන වෙලාවට මට ඕන විදිහට මං බදින්නේ. මල්ලි ඉන්න ඕනේ මල්ලි විදිහට. කපුවෙක් වෙන්න යන්නෙ නැතිව ”
“ ඌ හොද එකා.තමුසෙට කැමතියි කිව්වා. ඒකයි. හරි හරි අකමැතිනම් අල්ලලා දානවා ”
“ අම්මේ කන්නේ නැද්ද”
“ නෑ මට එපා. තාත්තලා දූලා ඕන දෙයක් කර ගන්න එකයි ඇත්තේ ” අම්මා අඩමින් පිළිතුරු දෙයි
“ අම්මා කියන දෙයක් කරන්නම්. දැන් කන්න එන්නකො” මම පිළිතුරු දුනිමි.
මං වැඩේ කාගත්තා කියලා තේරුණේ කිව්වට පස්සේ. අම්මාගේ බලවත් ආයුධය. කදුළු. ඒකට ඕනෑම දෙයක් දියකිරීමේ අපූරු බලයක් ඇත.
“තාත්තේ, මං අහුවුණා නේද ” අම්මාට නොඇසෙන සේ ඇසීමි.
“ මමත් අහුවෙච්ච එකේ උඹ පුංචි හා පැටියෙක් බං” තාත්තා සිනාසි පිටට තට්ටු කලේය.
මගේ තාත්තා මේ ලෝකේ හොදම තාත්තාය. මගේ ෆස්ට් ලව් එක, මගේ ලවර් කිය කියා සමහරුන් දෙමාපියන් පාවා දෙයි. නමුත් මම එසේ නොපවසමි. ලවර් – ඒ කියන්නේ ආදරවන්තිය හෝ ආදරවන්තයායටයි. එම ස්ථානය මවට හෝ පියාට ඇති ස්ථානයට වඩා වෙනස් බව මාගේ හැගීමයි. ආදරය, සෙනහස, ප්රේමය මේ සෑම වචනයක්ම එකම අර්ථයක් ගෙන දෙන්නක් ලෙසට මට හැගේ. අපි ආදරේ කරන, ප්රේම කරන, සෙනෙහස දක්වන, සියලු දෙනා සතුටින් කරදරයක් නැතිව සිටීමට අවශ්ය කටයුතු කිරීමත් ඔවුන් සමග වෙලාව ගත කිරීමට සිතීමත් එකම හැගීමකි. එම හැගීම මව, පියා, සහෝදර සහෝදරියන්, යහලුවන්, ආදරවන්තයින්, මේ සෑම කෙනෙක්ට ම පොදු ය. නමුත් එම පුද්ගලයන් සමග ජීවිතයේ ඇති කරගන්නා සම්බන්ධතාවය අනුව මේ සියලු හැගීම් වෙනස් ක්රියාකාරකම් ඔස්සේ ගලාගෙන යයි. ඒකයි මන් කියන්නේ මගේ තාත්තට මගේ ලවර් වෙන්න කවදාවත් බෑ කියලා. හැබැයි එයාට වඩා ආදරය කරන්න පුළුවන්. තාත්තා වගේ පිරිමින් සෙවිමෙන් පලක් නැත. ලොවට ම සිටින්නේ එකම කෙනයි. ඔහු මගේ පියායි.
එන සියලු දුක් කරදර වලින් හිත් රිදවීම්වලින්, මල්ලීගේ රණ්ඩුවලින් මෙන්ම අම්මාගේ බැණුම්වලින් මා බේරගන්නා ආරක්ෂකයා ඔහුයි. අම්මාට සියලු දේට වඩා සෙනෙහස දක්වයි. කවදාවත් වචනයක් කියනවා මා අසා නැත. සෑම දේටම උදව් පදවු කරයි. මන් පිරිමියෙක් කියන උඩගු කමින් මහන්තත්වයෙන් කටයුතු නොකල මා දැක ඇති එකම තැනැත්තා තාත්තාය. අප සියලු දෙනාටම ඔහු යහලුවෙකි. හොද යහලුවෙකි. යහලුකම අකුරටම ඉෂ්ට කල කල්යාණ මිතුරෙකි. අපගේ සෙනෙහස හැරුණු විට ඔහු අපගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වූයේ නැත. අසීමිත සෙනෙහස දක්වන්නෙකුට අපත් අසීමිතව සෙනෙහස ලබා දුන්නෙමු. නමුත් එය ගණුදෙණුවක් නොවන්නේ අසීමිත ආදරයකට යන්තමින් හෝ ආදරයක් පෙරලා ලබා දීමට නොහැකි නම් මිනිසෙක් වී ඉපදීමේ තේරුමක් නොමැති බැවිණි.
“ අම්මා කියන දේ කරන්නම් කිව්වානේ, අන්න වැඩේ පත්තු වෙලා, හෙට ඉදලා එයි කට්ටිය බලන්න” හවස තේ බොමින් තාත්තා කිවේ ය.
“හයියෝ තාත්තේ. මොකක් හරි කරන්නකො ”
“ මගේ මගුල කඩන්නද උඹ හදන්නේ. මටනම් බෑ. අම්මලා දූලා බේරගන්න එකැයි ඇත්තේ. දැන් තිස් දෙකක්නේ පුතේ. හොද කෙනෙක් බලලා කැමති වෙන්න”
“ හරි හරි ඔයැයි නෝනයි සතුටින් පවුල් කන්නකෝ. හැබැයි මන් කැමති වෙන්නේ මට ඕන කෙනාට. ඔයැයිගේ නෝනට ඒක කියන්න. හොදද. ”
“ හරි හරි බලමුකෝ”
මනමාලය අංක 01
“ ලස්සන මගේ කෙල්ලගේ. තව ටිකකින් කේක් එක අරන් එන්න. අහන ඒවට විනීතව උත්තර දෙන්න” අම්මගේ ආදරේ දෝරේ ගලයි.
කේක් එක රැගෙන ගියෙමි. දහදෙනෙක් පමණ පැමිණ සිටිය අතර මනමාලයාගේ ද වරදක් නැත. සියලු සම්මුඛ පරීක්ෂණ වලින් අනතුරුව මම ගේ ඇතුලට ආවෙමි.
“ ලොකු පුතේ ” අම්මාගේ කඩහඩය.
මම නැවත සාලයට පැමිණියෙමි.
“ මේ පුතාට පුතත් එක්ක කතා කරන්න ඕනේ ලු.”
පොඩ්ඩක් කතා කලහම ඇත්නේ ද අම්මේ කියා අසන්න කටට ආවත් එය ගිලගතිමි. මල්ලී අයිනේ පුටුවකට බර දී මට ඇසක් ගසයි.
මමත් ඔහුත් මිදුලට පැමිණියෙමු.
“ අක්කේ පුටු දෙකක් ගෙනත් දෙන්න ද ” මල්ලී පැමිණ කනට කෙදිරීය
“ගෙනිහින් දීපන් බොගේ ” කියා හෙමින් උට පවසා මනමාලයට දත් තිස් දෙක පෙන්වීය.
මිදුලේ ඇති ගස් ඔහු ගණන් කරමින් සිටිනු පෙනේ. ගොඩාක් දවසකින් මල්වලට වතුර දාලා නෑ නේද යැයි සිතමින් සිටිය දීම
“ඔයාට මගෙන් මුකුත් අහන්න නැද්ද ” ඔහු මගෙන් ඇසීය.
“ ඇයි බන්, මම ද කතා කරන්න ඕනේ කිව්වේ. ” මම සිතුවට ඇසුවේ නැත.
“ සෙක්ස් කියන්නේ මොකක් ද” මම එක එල්ලේ ඔහුගේ මුහුණ දෙස බලා ඇසීමි.
තෘෂ්ණීම්භූත වූවා සේ ඔහු මා දෙස බැලීය.
“ මේ.ඒ……..ක. මේ….. මේ ” ඔහු ගොත ගසයි.
“ මට තේරුණේ නැ. ඔයා දන්නේ නැද්ද ” මම පිළිතුරු දුනෙමි.
“ නෑ මන් දන්නවා. මේ ඒක … ගැහැණු ළමයෙකුයි මේ පිරිමි ළමයෙකුයි… මේ මේ ” අත් සොලවමින් කීමට උත්සාහ කරයි.
“ මම මුලින් ම රස්සාවටක ඉල්ලුම් පත්රයක් දාද්දී ඒකෙ අහලා තිබ්බා. මන් female කියන කොටුව ටික් කලා. ඉස්සර ඉල්ලුම් පත්රවල sex – male female කොටු දෙකක් තිබ්බා අදාල එක ඉස්සරහින් ටික් කරන්න. ඔයා දන්නේ නැද්ද. ”
ඔහු මුකුත් නොකියා ගේතුලට ගියේය
අම්මා කොහේ හෝ සිට මා දිහාට දුරේක්ෂය යොමු කරන් සිටි බව ඉවෙන් මෙන් දැනුන නිසා මම ඔහු සමග සිනාසී කතා කලෙමි.
පළමු මනමාලයා කතාව අවසන්.
සුපුරුදු පරිදි අම්මාගේ කියවීම.
“ ඒ මිනිස්සු හොද වැදගත් මිනිස්සු. මන් එක්ක කතා කරද්දි තේරුණේ මේ මගුලට හොදටම කැමති කියලා. දැන් අකමැතියි කියනවා. උඹ එදා ඒ ලමයාට එලියේ දි මොකක් හරි කිව්වද ” අපේ අම්මා ගානට මන් ගැන දනී.
“ මන් මොනා කියන්න ද. මමයැයි කතා කරන්න ඕනේ කිව්වේ.”
“ මන් දන්නේ නෑ බං උඹට කොහොම මිනිස්සු හොයන්න ද කියලා. මට උඹව තේරෙන්නේ නැ. ”
“ වදපු අම්මට මාව තේරුම්ගන්න බැයිනම් පිට මනුස්සයෙක් කොහොමද මාව තේරුම් ගන්නේ. මට ඕනේ මන් එක්ක හිල්ටන් එකට බාටා සෙරෙප්පු දෙක වුනත් දාගෙන යන්න ලෑස්ති මනුස්සයෙක්. අම්මව තාත්තව මල්ලිව තමන්ගේ වගේ බලාගන්න පුළුවන් කෙනෙක්. සල්ලි පොදි ගහන්නේ නැතිව වියදම් කරන කෙනෙක්. දුකයි දුකයි කියලා ජීවිතේ විදවන්නේ නැතිව විදින කෙනෙක්. මාව මන් විදිහට පිළිගන්න කෙනෙක්. මමත් මනුස්සයෙක් කියලා හිතන කෙනෙක්. එහෙම නැතිව සමාජය කිය කියා, බොරුවට පොෂ් විදහිට ඉන්න රොබෝලා නෙවි. අම්මට පුළුවන්නම් තේරුම් ගන්න නැත්නම් අතාරලා දාන්න.”
“ කසාදයක් බැන්දේ නෑ කියලා මනුස්සයෙක් අසම්පූර්ණ වෙන්නේ නෑ මාලා. හැබැයි නොගැලපෙන කෙනෙක් බැන්දොත් මුළු ජීවිතයම අපායක් වෙන්නේ. ඒ දරුවගේ විතරක් නෙවි අපෙත්. මට මගේ දරුවගේ කිසිම අසම්පූර්ණබවක් පේන්නේ නෑ. එයා ස්වාධීනව ජීවත් වෙනවා. ඔයා හිතන්නේ අපි නැති වෙච්චදාක එයා තනිවෙයි කියලනම් ඒක එහෙම වෙන්නේ නෑ. අද තනිවෙලා ඉන්නේ නොබැදපු අය නෙවි. බැදලා දරුවො ඉන්න මිනිස්සු. අපේ කැමැත්තට අපි බල කරලා බැදලා අපිට වැරදිලා තිබ්බොත් ” තාත්තා අම්මාගෙන් ඇසීය
“ එහෙමයි කියලා මෙයා මෙහෙම තනිකඩව ඉන්න ද හැමදාම ” අම්මා අඩිය පස්සට ගන්නට කැමතිම නැත.
මනමාලයා 02
“ ඔහොම ද යන්නේ.” අම්මා ඔරවාගෙන සිටි.
“ ඇයි මොකක්ද වැරැද්ද. කොහෙවත් පේන්නේ නෑනේ. ”
“ කලිසමයි. ටී ෂර්ට් එකයි. බාටා දෙකයි. ඒ මිනිස්සු අපි ගැන මොනවා හිතයි ද. සාරියක් ඇදගනින් කිව්වහම” අම්මා කේන්තියෙන් කෑ ගසයි
“ මේ ඔක්කොම ඔයාගේ වැරදි. අදින් පස්සේ මෙයාට මනමාලයො ඔයාම හොයන්න. මන් නෙවි පැත්ත බලන්නේ ” අම්මා තාත්තට ඒ කියපු දේ ඇහුණ මට දැනුන සතුට ගැන වචන නැත.
මාත් අම්මාගේ දුවනේ . අඩිය පස්සට ගත්තේ ද නැත. කේක් ඇල්ලුවේ මට ඕනේ ඇදුම ඇදගෙනය. හැමෝම මගේ දිහා අමුතුවට බලයි.
“ ලොකු පුතේ. මේ දරුවට ඔයාත් එක්ක කතා කරන්න ඕනෙලු ” අම්මාගේ සුපුරුදු කතාව
මමත් සිනාසී ඔහු සමග මිදුලට ගියෙමි.
හිස සිට පහලට මාව ස්කෑන් කල ඔහු
“ බැංකුවේ කිව්වා වැඩ කරන්නේ. නේද” එක එල්ලේ මගෙන් ඇසීය
දැනගෙන අහන්නේ මොන මගුලකට ද වෙනුවට “ ඔව්” යන්න පිළිතුරු දුනෙමි.
“ ගොඩක් කල්ද”
“ නෑ. අවුරුදු 04ක් විතර ”
“ ටිකක් කල් නේද. පඩිය කීයක් වගේ ද”
මුගේ ආච්චිට යකෝ අපේ තාත්තවත් අද වෙනක් මගේ පඩිය ඇහුවේ නෑ වෙනුවට “80ක් විතර ” ඉවසීමෙන් පිලිතුරු දුන්නෙමි.
“ හ්ම පොඩි ගානක්” නිකන් නෝන්ඩියට මෙන් පැවසීය.
තොට පොඩි උනාට මට ලොකුයි කියලා කටින් එලියට පනින්න ඔන්න මෙන්න තිබියදී හෑන්ඩ් බ්රේක් ඇදීමි.
“ මන් මාසෙට ඒ ගාන දුන්නොත් ඔයා ගෙදර නවතිනවද. දෙන්නම වැඩට ගියොත් ගෙදර වැඩ කටයුතු කරන්නේ කවුද. මට ඒ ගාන සුලු දෙයක්.”
මගේ ඉවසීමේ කට්ට උපරීමේට පැන්නත් දෙමාපියන්ට ලැජ්ජ කිරීමට අකමැති වූ නිසා බොහෝ ඉවසීමෙන් කතා කලෙමි.
“ ඔයාට ඔච්චර සල්ලි තියේනවානම් සර්වන්ට් කෙනෙක් ගන්න පුළුවන්නේ ”
“ ඔව්. පුළුවන්. ඒත් විශ්වාස කරන්න බෑනේ.”
“ මාව විස්වාස ද ඒ කියන්නේ”
“ ඔව් ඉතින් අපි බදිනවනේ”
“ ඇයි. බැන්දට පස්සේ ඔයාගේ සල්ලිත් අරන් මට වෙන මනුස්සයෙක් එක්ක යන්න බෑ කියලා හිතුවද“ මම සිනාසී ඇසීමි.
ඔහුගේ මුහුණ රතු වී යනු දුටිමි. ඔහු විදුලි වේගයෙන් සාලයට ගියේය.
මනමාල කතා දැනට එතනින් අවසන්.
උපුටා ගැනීම: Vasuda Jayawarna