කලිනුත් යම් තරමකට කියා ඇති පරිදි මගේ ඉරම්කාරයා මට ගැහුනේ සාමාන්යයෙන් අසාමාන්ය අත්වැරදීමකින් අහම්බෙනි.
කතාව පටන් ගන්නේ මා බලන්නට මනමාල යෙකු අප නිවසට පැමිණීමත් සමඟය. එවකට විවාහයක් ගැන මගේ සිතේ කිසිම හැඟීමක් තිබුනේ නැත.
එනිසාම ඔය මනමාලයාගේ පැමිණීම ගැන මට නං වගේ වගක් තිබුනෙත් නැත. එනවා නං ඇවිත් කාලා බීලා යන්නෙ නැතෑ මම හිතුවේ එහෙමය.
එහෙත් අපේ ගෙදර අයට නං එය මගේ විවාහ මංගල්ය තරමට වටිනා කියන වැදගත් එකක් වග ඔවුන්ගේ සූදානමින් පෙනෙන්නට තිබිනි.
අම්මාත් අත්තම්මාත් පුංචි අම්මලාත් ලොකු අම්මලාත් නෑනලාත් ඒ වෙනුවෙන් හරි හරියට සූදානම් විය. මම පමණක් වගේ වගක් නැතුව ඔහේ මගේ පාඩුවේය.
නියමිත දිනය උදාවිය. උදෑසන පටන් ගෙදර එකම යුද්ධයකි. හරියට පැමිනෙන පලවෙනි මනමාලයාටම මා බන්ඳා දී මගේ වදයෙන් ගැලවෙන්නට ඔවුන් උත්සහා කරනාවක් මෙනි.
ටික වේලාවකින් නෑනලා පැමිණ මා සාරියකින් සරසවා මේකප් දමා අමුතුම සත්වයෙක් බවට පත්කරන ලදී.
ඒ මම දැයි මටම හදුනා ගන්නට බැරිවීම නිසා මම මහත් සේ බියට පත්වූයේ මේ එන මනමාල කොල්ලා මගේ ඒ පෙනුමට කැමති උවහොත් මගේ මුළු ජීවිත කාලය පුරාම මේකප් තලියක් මුහුනේ උලාගෙන ඉන්නට සිදුවේවි යැයි සිතූන නිසාය.
මේකප් තට්ටුව ගලවා ඉවත් කරන තුරු මම කෑ ගසන්නට වීම නිසා ඔවුන් එය ඉවත් කර මා යතා තත්වයට පත්කලේ මට බැන වදිමිනි.
සියළු විකාර අවසන් වෙද්දි මනාලයා හා පිරිව රාගත් නෑදෑ සනුහරය සැපත් වූ බව අත්තම්මා දැනුන් දුන් නිසා මම සාන්ත දාන්ත තීන්ත කූඩුවක් සේ නිශ්ශබ්ධ විමි.
සාලයේ සිට ඔවුන් කරනා කතා බහ මට නෑසුනේ කාමරයේ සිටි නෑනලාගේ කච කචය වැඩි වූ නිසාය. මඟුල කෙසේ වෙතත් මේ මා බලන්නට ආ කොළුවා දැක ගැනීමේ උවමනා වක් මට දැනෙමින් තිබිනි.
ටික වේලාවකින් අම්මා පැමිණ මා සාලයට රැගෙන ගියාය.
අර රෝසපාට සර්ට් එකක් ඇදගෙන ඉන්න එක්කෙනා…
අම්මා දොරකඩ නතර වී එසේ කීවෙන් මට තනිවම ඔහු අසලට යන්නට සිදුවිය. මා සිටි තැන සිට බැලූ විට ඔහු සිටියේ පස්වෙනියටය.
අමුතු බියක් සිතට නොදැනුනත් මොකක්දෝ කෝල කමක් සිතට දැනුනේ මේ නන්නාදුනන පිරිමියෙකු ඉදිරියට යන පලමු වතාව නිසාම නොවේ.
නෑනාලා කෙතරම් අපූරුවට අන්දවා තිබුනද ඇඳ සිටි සාරිය ගලවාගෙන වැටෙන්ට හෝ මටම පැටලී මා බිම වැටෙන්නට හෝ සිදුවෙතැයි බියවීම ඒ කෝලකමට හේතුවිය.
මොල ඉලව්වක් හෝ සිදුවී මට හතර පහට ගනන් ගත් නිසාම මම නතර වූයේ මා බලන්න ට ආ මනාලයා අසල නොව ඔහුට කලින් සිටි ඔහුගේ මිතුරා අසලය.
ඔහු හිඳගෙන උන් තැනින් නැඟිට ගත්තේ ඒ තමා නොවන බව කියන්නට උවත් මම ඔහු දෙස නොබලාම අත වූ හෙප්පුව ඔහු අතින් තැබුවෙමි. මට උවමනා වුයේ හැකි ඉක්මනින් මේ කරදරයෙන් මිදී පලා යන්නටය.
ම..ම…. නෙ..මෙ..යි… එහා..පැත්තෙ..
ඔහු කිවේ නොසන්සුන් හඩකිනි. සැබැවින්ම මා පිස්සු කෙල්ලක ලෙසින් ඔහු සිතන්නට ඇත.
ඔයා දෙන්න…
එසේ කියමින් හෙප්පුව ඔහු අතට දී ආපහු හැරුණු මම නතර වුයේ මගේ කාමරයේමය. ඉන්පසු සාලයේ කුමක් සිදුවූවා දැයි මම නොදන්නේ ලජ්ජාවත් නොසන්සුන්කමත් නිසා මම කාමරයට වී දෙකන් වසාගෙන සිටි නිසාය.
ටික වේලාවකින් ඔවුන් පිටව යන්නට ඇත. ඉන්පසු අත්තම්මාගේ සිට නෑනලා දක්වා සියල්ලෝ මගෙ කාමරයට විත් මගේ ආගමත් ජාතියත් හොඳ හැටි ඇමතුවේ එකෙක් නතර වන්නට කලින් තවත් එකෙකු ලෙසිනි. මට දැනුනේ මගේ කන් දෙක හිටිවැටී ගිය සෙයකි.
මොන වැඩේ කලත් ඔහොම තමයි කිසි පිලිවෙලක් නෑ..කලබලෙයි පණ්ඩිත කමයි විතරයි..
මොන මිනිහද කැමති මෙහෙම පිලිවෙලක් කල්පනාවක් නැති ගෑණියෙක්ව බඳින්න..
ඔවුන්ගේ බැනුමෙන් මා වටහා ගත් එකකම දෙය ඒ මනාලයා මට අකමැති වූ එක විතරය. ඉතිං මට මාර ජොලිය. එහෙත් ඒ ජොලිය පැවතුනේ සතියකටත් අඩු කාලයක් විතරය.
ඒ කතාව පසුවටය.
උපුටා ගැනීම: Priyanga Gunathilaka