කලබලේට ඇන්ද ඩෙනිමයි, ශර්ට් එකයි, නෑඹිලි කට් කොණ්ඩෙයි එක්ක මම මනමාලයා ඉස්සරහට ගියා.
අම්මා ළඟ හිටියා කියලා මතකයි. අම්මා මට ඉස්සරහින් ගියාද, පස්සෙන් ආවාද, පැත්තකින් මගෙ වැලමිටෙන් අල්ලන් ආවාද මට මතක නෑ. මම බිම බලන් ගියාද, කෙලින් බලන් ගියාද මතකත් නෑ. ඉස්කෝලෙ ක්රීඩා උස්සවේ පෙළපාලි යන්නා වගේ මගේ අජූත, කොරවක් දික් අඩි ගමන නැතුව හෙමීට යන්න හිතන් හිටියත් ඒකත් අමතක උනා. අන්තිමට යැවුනේ සොම්බී වගේ. ස්කූබි ඩූ කෑමක ඉවක් ආවම ඒකෙ සුවඳ දිගේ මෝහනය වෙලා යනවා වගේ ඉබේම යැවුනා. මම ගියෙ නෑ, මගේ කකුල් මාව එක්කන් ගියා.
එයා වාඩිවෙලා හිටියා පුටු සෙටියෙ ලොකු පුටුවෙ. මට ඉන්ද වුනා එයාට මූණලා තිබ්බ සෙටියෙ පොඩි පුටු දෙකෙන් එකක.
අම්මා මොනවද මන්දන්නෙ නෑ මිණි මිණි ගාලා එයා එක්ක කතා කලා. මගේ කර්ණ පටහ පටල ඒ වෙලාවෙ වැඩ කලේ නෑ. අන්තිමට ටිකක් හයියෙන් කියපු එක විතරක් ඇහුනා.
“එහෙනම් දෙන්නා එක්ක ටිකක් කතා කරලා අඳුර ගන්නකෝ” කියලා අම්මා අතුරුදහන් උනා. කෝ මේ අනිත් උන්, ඔක්කොම සුනාමියට ගහන් ගිහින් වගේ සාලෙ හිස් වුනා. මාමයි මස්සිනයි ඉස්තෝප්පුවෙ කුටු කුටු ගානවා ඇහෙනවා. මොන කැත වැඩක්ද ඒ. මාව තනියෙන් දාලා ඔක්කොම හැංගුනේ!
මම ඔලුව උස්සලා එයා දිහා බැලුවා. කලින් කොහේ බලන් හිටියද මතක නෑ. අම්මේ හිනාව. කටේ කොන් දෙක කණ් දෙකේ ගෑවිලා. මාත් පොඩි හිනාවක් දැම්මා. එයා කතාව පටන් ගත්තා හරිම පුරුදු කාරයෙක් වගේ, සැහැල්ලුවෙන් සහ මිත්රශීලීව. ඒ නිසා මාත් සැහැල්ලු උනා ඉබේම.
“ඔයා අනුලා නේද ඉස්කෝලෙ ගියේ? බයෝ නේද කලා කිව්වෙ. මොකක්ද A/L කරපු අවුරුද්ද?” නෙලුම් ඇන්ටි විස්තර ඔක්කොම දීලා වගේ.
මම උත්තර දුන්නට පස්සෙ එයා අහපු ප්රශ්නෙම මම එයාගෙන් ඇහුවා කියලා හිතාගෙන එයා එයාවම අඳුන්නලා දුන්නා.
“මම ආනන්දෙට ඉස්කෝලෙ ගියෙ. මම අසංක”
ඕ… එහෙනම් ඒකයි එයා “අප්පමාදෝ අමතපදං”
එහෙම ඇරඹුණු කතාව විනාඩි විස්සක් විතර ගියා. සාමාන්ය දේවල් කතා කලේ. දෙන්නා කාලෙකින් මුණගැහුනු යාලුවෝ දෙන්නෙක් වගේ කතා කලා.
ඒ අතරේ මගේ ස්කෑන් යන්ත්රය වැඩ කලා. උඩ ඉඳන් පහළටම.
මෙතන විස්තර කරලා කියන්න තරම් ලොකු ලස්සනක් එයාට තිබ්බෙ නෑ. මගේ හිතේ හීනෙකින්වත් ඇඳිලා තිබුන පින්තූරෙකුත් නෙමෙයි. කොටින්ම “මගෙ ටයිප්” නෙමෙයි. මොකක්දෝ ආකර්ෂණීය බවකුත් තිබුණා. කඩවසම්. වැදගත් පෙනුමයි. කතා බහත් එහෙමයි. වාඩිවෙලා හිටියත් මට වඩා උසයි කියන එක තේරුණා. උසට හරියන පළල් උරහිස් ශක්තිමත් අත්. එයා පැහැපත්. හිනා වෙනකොට කට කණට යනවා. පුළුල් හිනාවක්. නිකටෙයි කම්මුල් වලයි වළවල් තුනක් තිබ්බා. නහය හොටක් වගේ තියුණුයි, දොරලොක් හෝම්ස් වගේ. ඊළඟට ඇස්. දිග, කළු, ඝණ ඇහි පිල්ලම්. ඇස් වටේ අඳුන් ගාලා වගේ.
හොඳ වෙලාවට මේකප් දාන්න වෙලා නැති උනත් ඇස් වටේ අයි ලයිනර් එකවත් ඇඳ ගත්තේ. නැත්නම් මගෙ ඇස් නිකන් බනිස් ගෙඩියක් මැදට ගිල්ලපු මුද්දරස්පලම් දෙකක් වගේ පෙනෙන්න ඉඩ තිබුණා.
එයා ලා නිල් පාට ශර්ට් එකක් ඇඳලා, අත් නමලා, සුදුවට හුරු ලිනන් කලිසමක් ඇඳලා හිටියා. අම්මෝ ඒ කලිසමේ හිර. කොහොම වාඩි වෙලා ඉන්නවද මන්දා. හ්ම්ම්ම් අත්වල නියපොතු කොටට කපලා, පිරිසිදුයි පිළිවෙලයි. කකුලෙ නියපොතු පේන්නෙ නෑ. කොච්චර හැන්ඩියට හිටියත් විලවුන්, ජෙල් ගාලා පොස් එකට හිටියත් කොල්ලෙක්ගෙ නියපොතු ලස්සනට පිළිවෙලකට නැත්නම් ඌ හඩ්ඩෙක් කියලා මම හදාගත්තු තියරියක් මට තිබුණා. තව දෙයක් එයා ටෙඩි බෙයා කෙනෙක්ගෙ වගේ අත්වල බූල් පිරිච්චි කොල්ලෙක්, කමක් නෑ, හොඳ පිරිමි ලක්සණයක් කියලා හිතාගත්තා.
විනාඩි 20ක් විතර කතාව යනකොට අම්මා මතුවෙලා තේ බොන්න ආරාධනා කලා. මෙන්න අනිත් උන් ටිකත් එක එකා හුඹස්වලින් එළියට ඇදෙන්න පටන් ගත්තා. එයාටයි මස්සිනාටයි තේ මේසෙන් වාඩි වෙන්න ඇරලා මම කුස්සියට ගිහින් අම්මා හදලා දුන්න තේ අරගෙන ඉස්සරහට ගියේ හරියට මම තේ හැදුවා වගේ. තේ බීලා ඉවර උනාට පස්සෙ කට්ටිය වටවෙලා සාමාන්ය සුහද කතා බහක යෙදුනා මිසක් විශේෂ දෙයක් අපි කතා කලේ නෑ. ඇවිත් පැයක් විතර යනකොට එයාලා යන්න නැගිට්ටා.
එයාටවත් මටවත් නැති උනන්දුවක් අපේ මාමාට මේ වෙලාවෙ ඇති වෙලා තිබුණා. අපි දෙන්නටවත් අදහසක් ඇතිවෙලා තිබුණෙ නෑ ඒ ගැන අවංකවම. මාමා නැන්දාව යාලු කරගත්ත කාලෙ ජංගම දුරකථන ගැන අහලාවත් නැති කාලෙක, ඒ සඳහා දැක්වූ දස්කම් අප ඉදිරියේ පසක් කරමින් පැනලා මෙහෙම කියපි.
“ආ දැන් ඉතින් ඉතුරු ටික කතා කරගන්න දෙන්නගෙ නම්බර්ස් දෙක මාරු කරගන්න ගන්න”
අපේ මල්ලිටවත් නෑ බොලේ මෙහෙව් හැකියාවක්. කොටින්ම කිව්වොත් ඉන්දික මස්සිනාත් බලන් හිටියා අපෙ මාමාගෙ ස්කිල්ස් දිහා, අපේ නෑනා යාලු කරගන්නකොට මස්සිනාටවත් තිබ්බෙ නෑලු.
ඔහොම තමයි මගේ මාමයි නැන්දයි මේ මඟුල ගොඩදාන්න ඇප කැප වෙලා වැඩ කලේ.
එයා යන ගමන් මස්සිනාට කිව්වලු ගෑණු ළමයා වරදක් නෑ, එනිසා ඉදිරි පියවරවල් සලකා බලමු කියලා. ඉන්දික මස්සිනා නම් හිතුවලු ආපහු යනකොටම මේ මඟුල ගොඩ යනවා තමයි කියලා. මට පෙනුනා වගේ සවිස්තරාත්මකව එයාට මාව පෙනිලා තිබුණෙ නෑ. ඒකට හේතුව මාමගෙ ගෙදර සාලෙ ටිකක් අඳුරුයි වගේම ලයිට් එක තිබුණෙ මම වාඩි උන තැනට පිටුපසින්. ගෙදර ගිහින් අම්මට කියලා තිබුණා “හොඳයි වගේ. හරියටම දැක්කෙ නෑ, හැබැයි කිව්ව විදියට සුදු නම් නෑ” කියලා.
එදායින් අවුරුදු එක හමාරකට පස්සෙ අපි විවාහ ජීවිතයට පිවිසුණා. දෙන්නට දෙන්නා අඳුර ගන්න වගේම අධ්යාපන කටයුතු නිසාත් එතරම් කාලයක් අවශ්ය උනා. හදිසි උනේ නැති නිසා දෙන්නට දෙන්නා අවබෝධ කරගන්න කාලයත් ලැබුනා. දැන් විවාහ වෙලා අවුරුදු 7ක් සම්පූර්ණයි. මගේ කියලා නිකටයි නහයයි විතරක් තියෙන, එයා වගේම ගතිගුණ, පෙනුම එහෙම පිටින්ම තියෙන, කෙටියෙන්ම කිව්වොත් දිග ඇස් තියෙන, හිනා වෙනකොට කට කණට යන, කම්මුල් වල ගැහෙන අවුරුදු 4ක කොලු පැටියෙක්ගෙත් ආදරණීය දෙමාපිය යුවලක් දැන්.
යෝජිත විවාහ වලටත් ආදරෙන් මතක් කරන්න පුලුවන් මතක ගොන්නක් තියෙනවා. මම අකුරු කලේ ඉන් ප්රථමය පමණයි. එතනත් ආදරය ඇති වෙනවා. පවතිනවා. ආදර විවාහයක් වුවත්, යෝජිත විවාහයක් වුවත් අවබෝධය, විශ්වාසය, ගරු කිරීම, කැප කිරීම, ඉවසීම සහ නම්යශීලී බව පැවැත්මට උදවු වෙනවා. නමුත් මේ දෙකෙන් කුමක් වුවත් ඉක්මන් වෙන්න හොඳ නැහැ. කාලය විසඳුම් ලබා දෙනවා. අපේ ගමනත් මල් යහනාවක් නොවේ. නමුත් අප විසින් මෙහි අකුරු කල නොහැකි බොහෝ දේ එක්ව ජයගෙන, වෙහෙස මහන්සියෙන් ජීවිතය ගොඩ නගාගත් බව පමණක් පවසමි
උපුටා ගැනීම: Nilmi Gunawardene Perera