මැණික්හාමීගෙ ඩොක්ට (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“නෝනා මෙතන හතර දෙනයී නෙ ඉන්නේ. ඒත් මගේ නොම්බරේ විසි එකනේ”
“ආ ඔව් අම්මා. ගොඩක් අය කෝල් කරලා නම්බර් ගත්තා. ඩොක්ට එන වෙලාවට එයාලා එයී”
කුඩා කවුළුවෙන් ඇතුළට එබී සිටි මැණික්හාමී කල්පනා කර කරම එතනින් ඇවිදින් පුටුවක වාඩි වුණා.
මැණික්හාමී කලියෙන්ම ආවෙත් මුල් අංකයක් අරගෙන ඉක්මනින් ගෙදර යන්න හිතාගෙන.
ඒත් දැන් ඇයට කලින් රෝගීන් විසිදෙනෙක්ම.
කලින් නම් බෙහෙත් ගන්න පෝලිම තිබුණෙ එතෙනට ආපු පිළිවෙලට පුටුවෙන් පුටුවට මාරුවෙන්න.එතකොට නම් කලින් ගෙදර යන්න පුලුවන්.
ටව්මෙ ඉස්පිරිතාලේට යනවනම් වත්තෙ වැඩට නොයා දවසක්ම නිවාඩු දාන්න ඕනෑ. ඊටවඩා හොඳයී හවස් වෙලා හන්දියේ ඩිස්පැන්සරියෙන් කොන්දෙ අමාරුවට බෙහෙත් ටිකක් ගන්න එක.
ඒත් ගොඩක් රෑ වුණොත් ආපහු යද්දි පයින් යන්න බෑ. අලි කොහේ ඉදීද දන්නෙ නෑ. ඡන්දෙට කලින් අලි වැට හදනවා කීවාට හැදුවෙත් නෑ.
ගමට යන බස් එක ටව්මෙන් එන්නෙ හතරමාරට. හන්දියට එද්දී හය විතර වෙනව. ඒ වෙලාව වෙද්දිවත් බෙහෙත් ගන්න පුළුවන් වුණොත් බස් එකෙ යන්නත් පුළුවන්.
දොස්තර මහත්තයා එනවත් එක්කම සෙනඟත් වැඩි වුණා. මැණික්හාමීට කලින් නොම්බර තිබුණු කීපදෙනෙකුත් ආවා. අනිත් අය එන්න පරක්කු වුණොත් හොඳයි කියල මැණික්හාමී හිතුවෙ.
කෝල් කරල නොම්බර අරන් තිබුණ හැමෝම වගේ ආවෙ වාහන වල. එයාලට ඉතින් රෑ වුණත් කමක් නෑ. මැණික්හාමී හිටියෙ ඕවාමේවාම හිත හිත.
දැන් ටික වෙලාවක ඉදලා පොඩි දරුවෙක් අඬනවා. දරුවගෙ අම්මට එච්චර වයසකුත් නෑ වගේ. නලවගන්නවත් තේරුමක් නැති පාටයී. පෝලිමේ ඉන්න හැමෝම ලෙඩ්ඩු වුණාට ඉතින් කතා කරන්නවත් බැරි පොඩි දරුවො ටිකක් වෙනස්. ඒත් මොනා කරන්නද හැමෝම ඇතුළට යන්නෙ පෝලිමට. මැණික්හාමීට දුක හිතුණත් ඈ සිටින්නෙත් අසරණවෙලා.
ඔයිට කලින් දවසකත් පෝලිමට ඉන්නෙ නැතිව ඇතුළට යන්න හදපු කෙනෙක් එක්කන් පෝලිමේ හිටපු අය හොඳටම රණ්ඩු වුණා.
මැණික්හාමීගෙ ඇස් වැඩි පුරම තිබුණෙ බිත්ති ඔරලෝසුවේ. වෙලාව පහයි හතළිස්පහයී. ඊළඟට දොස්තර ගාවට යන්න ඉන්නෙ ඇයයී.
ඩිස්පැන්සරිය ඉස්සරහ වාහන දෙක තුනක් එකපාරටම ඇවිත් නැවැත්තුවා. ඒ වාහනෙකින් බැහැලා ආවේ මන්ත්රීතුමා කියලා මැණික්හාමී දැකපු ගමන් අදුරගත්තා. අමාරුවෙන් හිටපු ලෙඩ්ඩු ඔක්කොම පුටු වලින් නැගිට්ටෙ ඉබේටම. මන්ත්රීතුමා හැමෝටම හිනාවෙලා ආවෙ.
මන්ත්රීතුමා මැණික්හාමීගෙ ගමේමයී. ඉඳලා හිටලා ගමට එනවා කියල දැනගන්නෙ එන වාහන වලින්. මන්ත්රීතුමා මෙච්චර ළඟට දැකපු පළවෙනි පාර තමයී මේ. මැණික්හාමී ට හරි සතුටුයී.
දොස්තර ළඟ හිටපු ලෙඩා එළියට එනවත් එක්කම දොර ගාව හිටපු මැණික්හාමී පහුකරලා මන්ත්රීතුමා ඇතුළට ගියා.
දොස්තර ළඟට ගියපු වෙන ලෙඩ්ඩු ඉක්මනට ආවාට මන්ත්රීතුමා එන පාටක් නෑ. දොස්තර මහත්තයා මන්ත්රීතුමා ගේ හොඳ යාළුවෙක්. ආගිය තොරතුරුත් ඇති කතා කරන්න. වෙලාව හයයී බස් එකත් හන්දියේ නැවැත්තුවා. ගමට යන්න හිටපු සෙනඟ ඔක්කොම බස් එකට නැග්ගා. මැණික්හාමී කරකියාගන්න දෙයක් නැතිව ඔරලෝසුව දිහා බලලා ඉක්මනට ගිහින් බස් එකට නැග්ගෙ හෙටවත් මීටවඩා කලින් එනවා කියලා හිතාගෙන.
උපුටා ගැනීම: Subhashini Rathnayaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!