මනුතාපයක කෙලවර (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“මේ ගෙදරට ගේනවනං ඒ ළමය විතරයි. ඒ ගැන ආයෙ කතා කරන්න එපා.”
“ඔයාට පිස්සුද අවිශ්ක ,ඒ ළමයා අබ්බගාතයි.”
“ඒ හින්ද තමා අපි එයාව ගමු කියලා මං කියන්නෙ”
“අවිශ්ක .ඕන තරං ලස්සන නිරෝගී ළමයි ඉද්දි ඇයි අපි ආබාධිත ළමයෙක් ගන්නෙ? ඒක කොච්චර කරදරද ? අනාගතේ කොච්චර කරදර වෙයිද, අනික මිනිස්සු මොනව හිතයිද..අපෙ අම්මලා ඔයාලගෙ අම්මලා”
“අපි දෙන්නට ළමයි ඉඳලා කකුලක් නැති ළමයෙක් හම්බුනා නං?එතකොට අපි ඒ ලමය හදාගන්නැද්ද?”
“අවිශ්ක,ඒ අපිට හම්බුනා නං නෙ. .මේ එහෙම දෙයක් නෙවෙයිනෙ.,ඇයි ඔයාට මේක තේරෙන්නැත්තෙ? ඇයි ඒ ලමයම.?”
“හරි ඉතිං. ඒ ලමයම ඕන්නෑ. ඒත් අපි කකුලක් නැති ගෑනු ළමයෙක් හදාගමු. මං ගෙවල් හැදුවෙ වාහන ගත්තෙ සේරම ඔයා කැමති විදියට. අඩු ගානෙ මං කොන්ඩෙ කපන්නෙත් ඔයාට ඕන විදියට. මෙන්න මේ ළමයා ගැන තීරණේ මට ඕන විදියට ගන්න ඉඩදෙන්න ලිහිනි. ප්ලීස්..මං වෙන කිසි දෙයක් ඉල්ලන්නෑ. ඔයා මොකුත් කරන්න ඕන නෑ..මං ළමයව බලාගන්නං. හදාගන්නං. ඔයා උප්පැන්නෙට නම දෙන්න. නීතියෙං කෙරෙන වැඩ වලට පෙනී හිටින්න ඒ ඇති . ඔයාට ඕන විදියෙ ලමයෙකුත් ගමු. මං කැමතියි . ඔයා කැමති ඕන විදියක බබෙකුත් ගමු. අපිට දෙන්නෙක් හදාගන්න බැරි නෑනෙ. “
ඉනික්බිති මම වාද නොකළෙමි . මෙතෙක් උණුසුම්ව තිබූ වාදය සීතළ කරවීමට සමත් වූ මගේ සැමියාගේ එම ප්රකාශය මා තුළ ඇතිකළේ ගුප්ත වූත් යම් ආකාරයක නිමාවක් නිටුහන් කළාක් බඳු වූත් හැඟීමකි. තව දුරටත් වාද කිරීම පලක් නොවන බව මගේ යටි සිත වටහා ගත්තා වන්න ඇත .
විවාහයෙන් සිව් වන වසර ගෙවෙත්ම අප දෙදෙනාට දරුවන් අහිමි බව සහතිකව තිබුණෙන් අනුන්ගේ දරුවෙකු අරන් හදාගැනීමේ මාවතට ආවතීර්ණ වන්නට අපට සිදුවිය.
අඩුව තිබුණේ මටය. අඩුවක් ඇති සෑම තැනකම පාඩුවක ඉඟි සිය දහස් ගණානක්ද ඇති අතර අඩුව ඇත්තේ එක් අයෙකුට වුවත් පාඩුව එකී තැනැත්තා වටා සිටින්නවුන් අතරද බෙදී යයි. මගේ අඩුවේ පාඩුවද බොහෝ පිරිස් අතර බෙදී ගියෙන් මා සිටියේ වරදකරුවෙකුගේ හැඟීමකින් යුතුවය.
ඔය කියන දිනයේ අවිශ්ක හා මා “යෙහෙලියෝ පදනම” මඟින් පවත්වාගෙන යන “සහේලී” ළමා නිවාසයට ගියේ මගේ අඩුවත් ඔහුගේ පාඩුවත් පූරණය කරගැනීම උදෙසා කාගේ හෝ මදිපාඩුවක් සැපිරීමේ ඉරණමකට යටත්ව උපත ලබා ළමා නිවාසයේ තොටිල්ලක් මත වැදහොත් දරුවෙකු බැලීමටය .
මම තොටිලි තිහක් පසුකොට ගොස් ආපසු මුලට පැමිණ තෙවන තොටිල්ලට අත තැබීමී. ඒ එතැන සිටි පියකරුම සිඟිත්තාය. තෝරාගැනීමට ඉක්මන් නොවිය යුතු යැයි අම්මා කියා තිබුණෙන් හා ගැහැනු දරුවෙකු හදා ගැනීමේ වාසි තාත්තාත් අක්කාත් කියා දුන් බැව් සිහිපත් කරගතිමි. අවිශ්ක ඒ දරුවා වඩාගෙන මා වෙත ආවෙ එවේලේය. ඒ අර කෙලවර තොටිල්ලක සිටි උපතින්ම පාදයක් අහිමි කලු දරුවාය. එම දරුවාගේ එක් පයක් පිහිටා තිබූ නමුදු එහිද ඇඟිලි පිහිටා තිබුනේ නැත. අතකද ඇඟිලි නොවූ බව එවෙලේ මා දුටුවේ නැත.
“අපි මෙයාව ගමු. “
අවිශ්ක කියූ විට මම ගල් ගැහුණෙමි.
“හැම ජෝඩුවක්ම ඇවිත් ගන්නෙ ලස්සනම ළමයි තමා අවිශ්ක මහත්තයා. දානෙකට එන අය වුනත් හුරතල් කරන්නෙත් ලස්සන ළමයි. හැමෝම දන්නවා අනිත් ළමයිනුත් පව් කියලා. ඒත් ඉතිං අත හිත යන්නෙ ලස්සන ළමයි දිහාට තමා .මොනව කරන්නද. පව් පිං වල හැටි තමා. ඒ අතින් අවිශ්ක මහත්තයයි නෝනයි පුදුම මිනිස්සු.”
සහේලීහී පාලිකාව කියූවාය. අවිශ්ක මුල පටන්ම සෙවූයේ පාදයක් අහිමි දැරියක බව ඔහුගේ බිරිඳ වන මම ඒ වනතෙක් දැන සිටියේ නැත. කෙසේ හෝ එදින සිට දෙසතියක් පුරා අප අතර ඇති වූ වාදයන් නිමා වූයේ පසු ගිය සෙනසුරාදාය.
“අවිශ්ක ..දැන් අපි රන්ඩු වුනා ඇති. මට ළමයි ඕන නෑ.”
“මට ඕන.”
“ඒත් ඇයි අබ්බගාත ලමයෙක්ම?”
“මට ණයක් තියෙනවා ගෙවන්න.”
“කාටද?”
“අබ්බගාත ලමයෙක්ට.”
“මොකක්?”
” මගෙ අක්කගෙත් කකුලක් නෑ. “
“අක්ක? ඔයාට කොහෙද අක්කෙක්?”
ඒ ඒ කතාවය .එනම් අවිශ්කගේ කතාවය.
” එතකොට මට අවුරුදු අටයි. අපෙ අක්කට දොළහයි. අක්ක කියන්නෙ තාත්තගෙ කලින් වයිෆ්ගෙ දුව. අක්කට කකුලක් නෑ, එක කනකුත් නෑ. අක්කා පොඩිම කාලෙ ඒ ලොකු අම්මා අක්කව දාලා ගිහිං. ඊට පස්සෙ තමා තාත්තා අපෙ අම්මව බැඳල තියෙන්නෙ . අපෙ අම්මා අක්කට ආදරේ නෑ. ඒ වුනාට ඉතිං බලාගත්තා. අක්කා ඉස්කෝලෙ ගියෙ නෑ ළමයි කොල්ලොප්පං කරන හින්ද. ගෙදරම හිටියෙ. එයාට පොඩි කිහිලි කරුවක් තිබ්බා. “
අවිශ්කගේ පැරණි පාසල් පොත් වල අවසන් පිටුවලත්, අපගේ සාලයේ ස්ටූලය යට තිබූ කියවා අවසන් කරන ලද පත්තර වල ඇතැම් තැන් වලත් කටු බලි කුරුටු මැද පැහැදිලිව අඳින ලද ලී කිහිලි කරුවක රූපයක් තිබූ බවත් ගිය ගිය තැන කිහිලි කරුවක් කුරුටු ගාන්නේ ඇයිදැයි මා ඔහුගෙන් අසා ඇති බවත් මට මතක් විය .
“අපෙ මල්ලිට එතකොට අවුරුදු හතරයි. කොන්ඩෙ දිගම දිගයි. මාස තුනට ඉස්සර කැපුවෙ නැත්තං ආයෙ කපන්න ඕන නැකැත් බලලා. නැත්තං ළමයි ගොත වෙන හින්ද කපලා නෑ.
පොඩි කාලෙ අක්කයි මායි දෙන්නම හිතාගන හිටියෙ බාබර්ලා වෙන්ඩ. දවසක් තාත්තා හන්දියට ගිහිං සැලුන් එකෙන් මගෙ කොන්ඩෙ කපලා එක්ක ආව. එදා මං අක්කට කිව්වා අපි සැලුන් එකක් දාමු කියලා. අක්කා මට වඩා ආසයි කොන්ඩෙ කපන්ඩ. අපි සෙල්ලං සැලුන් එකක් දැම්ම. මං මල්ලිගෙ කොන්ඩෙ කැපුවා. ඊට පස්සෙ අක්කත් තව කතුරක් අරන් ඇවිත් කැපුවා. අම්ම නාලා එද්දි අපි මල්ලිගෙ කොන්ඩෙ කපලා ඉවරයි. අක්කා අතේ තමා කතුර තිබ්බෙ. අම්මා අක්කට හොඳටම ගැහුවා. තාත්තත් බේරුවෙ නෑ.
ඊට පස්සෙ මල්ලි පෙර පාසල් ගියා . මල්ලි ගොත ගහන්ඩ පටන් ගත්තා. මල්ලිගෙ ගොතේ වැඩි වෙන්ඩ වෙන්ඩ අපෙ අම්මට අක්ක පේන්ඩ බැරි වුණා. මං තමා මල්ලිගෙ කොන්ඩෙ කැපුවෙ. අක්කා ඒක කිව්වෙ නෑ. ඊට පස්සෙ තාත්තත් අක්කට වෙනස්කම. හරියට ගහනවා අක්කට. මූසලයි කියලා.
එක දවසක් මල්ලිට ළමයි ගොතයා කිව්ව කියලා තාත්තට තරහ ගිහිං, අක්කට කිහිලි කරුවෙනුත් එක්ක ගැහුවා. එහා ගෙදර නැන්දලා ඇවිත් තමා බේරගත්තෙ. ඒ නැන්දලා ආමි මාමලගෙ ගෙදරට ගිහිං කියලා. ආමි මාමා පොලිසියට කියලා. කොහොම හරි අක්කව ළමා නිවාසෙට දැම්මා.
ගෙදර ඉඳන් බස් දෙකයි ලමා නිවාසෙ ගාවට .ඒත් අම්මලා කවදාකවත් බලන්ඩ ගියෙ නෑ.
අපෙ අම්මා මතක් වෙන ගානෙ අක්කට සාප කෙරුවා. එදා කොන්ඩෙ කැපුව හින්ඳ මල්ලි ගොත වුනේ කියලා.
ඊට පස්සෙ මං හොස්ටල් එකේ. මට අක්ක අමතක වුණා.
මං හොස්ටල් ඉන්න බෑ කියලා ගෙදර යද්දි මට අවුරුදු දහතරයි. දවසක් ළමා නිවාසෙන් ගෙදරට ආව. එයාලා කිව්ව දෙතුන් පාරක්ම දැනුම් දීලත් ප්රතිචාරයක් නැති හින්ද ආවෙ කියලා. අක්කට දහ අට පිරිලා හින්ද එයාලට නිවාසෙ තියාගන්න බෑලු. එක්කො අක්කව ගෙදර ගේන්න කිව්වා. නැත්තං එයාට යන්න තැනක් හදල දෙන්න කිව්ව . ආබාධිත ළමයෙක් නෙවෙයි නං එයාල මෙහෙම එන්නෑ කියලත් කිව්වා මට මතකයි.
අපෙ අම්මලා ගියෙනෑ. අක්කා ගෙදරින් ගියාට පස්සෙ තමා හරිගියෙ කියලා අම්මා කිව්වා. අක්කා මල්ලිට කරපු අපරාදෙ අමතක කරන්න බෑ කියලා තාත්තත් කිව්වා. එයාලා කැමති වුනේම නෑ අක්කව ගෙදර ගේන්න. මල්ලිත් අක්ක එක්ක තරහෙ හිටියෙ. එයා ගොත වුනේ අක්කා නිසා කියලා.”
මා දන්නා තරමින් අවිශ්කගේ මල්ලී ගොත ගසන්නෙකු නොවේ. හෙතෙම ගුවන් විදුලි නාලිකාවක නිවේදකයෙකු ලෙස රැකියාවක නිරත වන්නෙකි. එවිට අවිශ්ක මේ කියන්නේ කුමන සහෝදරයා පිලිබඳවදැයි කල්පනා කළෙමි.
“ඊට පස්සෙ දවසක් ටවුමෙ පන්ති ගියාම මං යාලුවෙක් එක්ක ගියා අක්කා බලන්න. ලමා නිවාසෙ මැඩම් අපෙ ගෙදරදි මාව දැකලා තිබ්බ හින්ද අක්කව බලන්න දුන්න.
අක්කා හුඟක් වෙලා මං දිහා බලාගන ඉඳල “ලොකු මල්ලි ” කියලා කිව්වා. මට අද වගේ මතකයි. අක්කා කන වැහෙන්න ෂෝල් එකක් දාල හිටියෙ. . සිංහල කෙල්ලෙක් නෙවෙයි වගේ. දිගම දිග සායක් ඇඳලා කකුල පෙනුන්නෑ. මං ඇහුවා කකුල දැම්මද කියලා. දැම්මලු. ඒත් ඒක දාපුවාම තුවාල වෙන හින්ද දැම්මෙ නෑ කිව්වා. අක්කට යන්න තැනක් නෑ, ලමා නිවාසෙන් යන්න තැනක් නැති අයට ජොබ් අරන් දෙනවලු. අක්කට ජොබ් එකකට යන්නත් බෑනෙ.මැඩම්ලා එයාව බන්දලා දෙන්නත් හොයනවලු. ඒත් කනකුත් නැති කකුලකුත් නැති කෙල්ලෙක් කවුද බඳින්නෙ . අක්කා හිටියෙ ගෙදර එන්න ආසාවෙ. එදා ලී කිහිලි කරුව ඇන ඇන එයා ගේට්ටුව ගාවටම මාව ඇරලුවා..
එදා මං අක්කට කිව්වා එදා මල්ලිගෙ කොන්ඩෙ කැපුවෙ මං කියලා අම්මලට කියන්නං කියල. එහෙම වුනොත් අම්ම නැතත් තාත්තා හරි ඇවිත් අක්කව එක්ක යයි කියල අක්කා කිව්වා.
ඇත්තටම මං ගෙදර ආවෙ අම්මලට ඒක කියන්නමයි.
ඒ වුනාට ගෙදර ගියාට පස්සෙ මට ඒක කියන්න හිතුන්නෑ. අපෙ මල්ලි ගොත වුනේ අක්ක නිසා කියලා නොදන්න කෙනෙක් නෑනෙ.. එක පාරටම මං කිව්වම ඒක කෙරුවෙ මං කියල,, එතකොට අක්ක ගැන තියන තරහ මගෙ පැත්තට හැරෙයි කියලා මං බයවෙන්න ඇති . අනේ මන්ද.මට තේරෙන්නෑ. මං ඒක කියන්න හිතුවා .ඒත් කිව්වෙ නෑ.
ඊට ටික දවසකට පස්සෙ මං ආපහු නිවාසෙට ගියා. අක්කා එදා ඇහුවා ඔයා ඒක කිව්වද කියලා.
මං ඇහුවා මං තමයි මල්ලිගෙ කොන්ඩෙ කැපුවෙ කියල ඇයි අක්කා එදා අම්මලට කිව්වෙ නැත්තෙ කියලා. අක්කා කිව්ව අම්මලා මට ගහයි කියලා බයට කියලා. මට ගහයි කියලා..මට ගහයි කියලලු.දැං ඔයා ලොකුයිනෙ. දැං කිව්වට ගහන එකක් නෑ කියල අක්කා කිව්වා.
අක්කා ලිවුමක් දුන්නා තාත්තට දෙන්න කියලා. එතකොට අක්කට අකුරු පුළුවන් . මං ඒක ගෙනත් තාත්තට දෙන්ඩමයි හිතුවෙ .ඒ වුනාට මං ඒක දුන්නෑ. මං හිතුවෙ ඒකේ අර සිද්ධිය කියලා ඇති කියලා. මං ඒක කඩලා බැලුවෙත් නෑ .තාත්තට දුන්නෙත් නෑ. මට හිතුන්නෑ. මං ඒක කඩලා බැලුවෙ හුඟක් කාලෙකට පස්සෙ. ඒකෙ තිබ්බෙ “අනේ අප්පච්චි මං එක්ක යන්න එන්න. මං අප්පච්චියි ,පුංචියි කියන විදියකට ඉන්නං.දැං මට හොඳට ගෙදර වැඩ වුනත් පුළුවන් .මං බලාගන ඉන්නව අනේ අප්පච්චි ඇවිත් මාව බාරගන්න. “කියලා විතරයි.
ඊට පස්සෙ මං අක්ක බලන්ඩ ගියේ ඊළඟ සෙනසුරාදා. යන්න හිතුනෙත් නෑ ඒ වුනාට යාලුවා කිව්වා අපි එනවා කිව්ව හන්දා යං කියලා. යාලුවා ආසයි බස් වල දුර ගමන් යන්ඩ. ඒ වයස එහෙම තමා. ගෙදරට හොරෙං ගමන් යන එක,තනියම ..වීරකමක් වගේ.
අවිශ්ක නිහඬ වූවේය. මෙතෙක් වේලා නිහඬව සිටි මට කතාව දිග වැඩි බවක් හැඟෙන්නට වූයෙන් ඉක්මන් අවසානයක් දැන ගැනීම උදෙසා මෙසේ ඇසීමී.
“ඉතිං. ?”
“අපි යද්දි නිවාසෙ පොලීසියෙන්. කෙල්ලෙක් ලිඳට පැනලා මැරිලා. මිනිය ලිං පඩියෙ රෙද්දකිං වහලා තිබ්බා. ඒ මිනියෙ එක කකුලක් එලියට ඇවිත්. ඒ කකුලෙ ඇඟිලි නෑ . අක්කගෙ කිහිලි කරුව…
. ලිං පඩියට හේත්තු කරලා තිබ්බා.
“මොකක්?”
” එයා ලිවුමක් ලියල තියලා ලිඳට පැනලා .එයාට යන්න තැනක් නෑ. එයාව ගන්න කෙනෙක් හිට්යෙ නෑ.මට තිබ්බා තාත්තට කියන්ඩ. “
පසු කාලීනව අවිශ්කගේ සොයුරාගේ පාසලේ සිටි මනෝවිද්යා විෂය උගත් ගුරුවරියක විසින් ගොත ගැසීම කොලුවාගේ ශාරීරික ආබාධයක් නොව මානසික ආබාධයක් බව වටහා ගැනීම ඔහුගේ ගොතය සුව වීමට හේතු වී ඇත.ඔහුගේ කොන්ඩය කැපූ අවස්ථාවේ පටන් මව් පියන් කියන්නට යෙදුනු මේ කාරණාවෙන් මොහු ගොතගෙකු හෝ ගොලුවෙකු වෙතැයි යන්න කුඩා කොලුවාගේ මනසේ තැන්පත් වීම හේතුවෙන් ඔහු ගොත ගැසුවා මිස කෙහෙල්මල් කෙහෙවල්ලක් නැකතකින් ඔහු ගොලුව තිබුණා නොවේ. අර උපදේශක වරියට පිං සිදුවන්නට ඒ ගොත කොලුවා ,එනම් මගේ මස්සිනා දැන් ගුවන් විදුලි නිවේදකයෙකි.
මගේ සැමියාණෝ නින්දිත කොලුවෙකි . සාපලද යුතු සහෝදරයෙකි. හෙතෙම කිසිදා ඒ රහස කියා නැත . එනම් එදා සෙල්ලම් සැලූනයේදී මල්ලීගේ කොන්ඩය කැපූවේ අක්කා නොව තමන් බව ඔහු මෙදා වන තුරු කියා නැත. නමුදු ඒ නින්දිත කොලුවාට ,සාපලද යුතු සහෝදරයාට උත්තම පිරිමියෙකු සහ පියෙකු වීමට අවශ්යවූ පසු ඔහුගේ අර්ධාංගනිය වන මම ඔහුට සහය දීමට මැලි විය යුත්තේ ඇයි..
ඉනික්බිති,
අද උදෑසන සියලු නීතිමය කටයුතු අවසන් විය. අවිශ්ක සිසිර කුමාර වන ඔහුත් නිසල්කා මංජරී සපරමාදු වන මමත් අර සහේලියෙන් තිළිණ ලද උපතින්ම කකුලක් හා එක් අතක ඇඟිලි අහිමි කේඬෑරි සිඟිත්තියට දෙමාපියන් වීමු. ඈ අද පටන් “අජන්තා පුංචි කුමාරි ” වන්නීය. ඔව් එය පැරණි නමකි. නමුදු වෙනස් කිරීමට නොයමි. ඒ අවිශ්කගේ අර නිවාසයේ ලිඳ තුළ අවසානය සනිටුහන් කළ අසරණියගේ නමය.
ඇතැම් මනුතාපයන්හී කෙලවර සෑම සියලු හානියක්ම හානි පූරණය කළ නොහැකි විය හැකිය. නමුදු හැකි සීමාවක් දක්වා උත්සාහ කළ නොහැක්කේ මන්ද. අවිශ්ක උත්සාහ කරන අතර මම සහය වන්නෙමි.
====

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!