අදින් වසරකට පමණ පෙර වූ සිදුවීමක්
අලුත්ගම සිට කොළඹ බලා ධාවනයවූ සුඛෝපභෝගී බස් රථයකට මම බේරුවලින් ගොඩවන්නේ දෙහිවල බලා ගමන් කිරීමටයි.
බස් රථයට ගොඩවනවන විට කොක්හඬලා සිනාසීම් සමඟ සිටින පිරිසක් දුටු මට සැකයක් ඇතිවූයේ මම නැග්ගේ වැරදි බස් එකකටද කියන හැඟීමද ඇතිවය.
මට ක්ෂනිකව එසේ සිතුනේ බස් රථය තුලවූ පිරිසගේ හැසිරීම නිසා වෙනි. ඉඩ තිබු හසුනක මම හිඳගත් අතර එහි අනෙක් පස කවුලුව අසලට වන්නට සිටියේ යෞවනියකි.
මා සෙමින් වටපිට බලනවිට දුටුවේ පිටුපසම අසුනේ බෑග් කිහිපයක් පටවා තිබූ අතර යෞවන වයසේ දොලොස් දෙනෙක් පමන බස් රථයේ විය. රියදුරුට යාබද අසුන පමනක් හිස්ව තිබුනි. මාත් සමඟ හතරපස් දෙනෙක් හැරුනුකොට අනිත් සියලුදෙනාම සම වයසේ තරුණ අය විය. ඔවුන් නොයෙක් කතාවල සිටි අතර ඒ සියලුමදෙනා ඉංග්රීසි භාෂාවෙන් කතා කරනු මට ඇසුනි. මා අනුමාන කරේ ඔවුන් ජාත්යන්තර පාසලක අධ්යාපනය ලබන සම වයසේ පිරිසක් ලෙසයි. මා අසල සිටි තරුණිය කවුලුවෙන් එහා බලාගෙන යන්නට විය. මමද දුරකතනය ඔබමින් සිට සුපුරුදු පරිදි මා මෙවැනි ගමනක් යනවිට රසවිඳින ගීත ගොන්න රසවිඳින්නට පටන් ගත්තේ Hands free එක කනේ ඔබාගනිමින්ය. තරුණ පිරිසගේ සිනහ හඬවල් විටෙක බස් රථය පුරාවට ඇසුනි.
ටික වේලාවකින් මා අසල සිටි තරුණිය පිටුපස අසුනේ සිටි තරුනියක් අමතා වතුර බෝතලයක් ඉල්ලා සිටියාය. මා එවිට දැනගත්තේ ඇයත් මේ පිරිසේම කෙනෙක් බවය. නමුත් ඇය ගමන් කලේ නිහඬවමය. ටික දුරක් යන විට මට දැනුනේ ඇය යම් අපහසුවකින් සිටින බවකි. විටෙක ඇය ඉදිරි ඇසුනේ ඇන්ඳට හිස ඔබාගෙන ඉන්නට විය.
ටික දුරක් ගිය පසුව ඇය මා අමතා යමක් පැවසූ බව මට දැනුනි.
මා සිටියේ ගීත රසවිඳිමින් නිසා ඇය ඇසූදේ මට හරි හැටි පැහැදිලි නොවීය. මම hands free එක ගලවා
“Sorry?” කියමින් ඇය දෙස බැලුවේය.
නැවත ඇය
“Can you come here?”
මම : “Ok”
යනුවෙන් පිලිතුරු දී නැගිටිනවාත් සමඟ ඇය මා සිටි තැනට පැමිනියේය. ඒ සමඟම මම ඇය සිටි තැනින් හිඳගත්තේය. මට හරි හැටි හිඳගන්නට වූයේවත් නැත.
ඒ සමඟම ඇය වමනය කරන්නට වූයේ බස් රථයේ මැද බිමට අතුරා ඇති කාපට් මතටය.
ක්ෂනිකයෙන් සියල්ලෝම නිහඬ විය. මටද ඉබේටම
“අයියෝ” යැයි කියවුනේ ” මේ ලමයට කියන්න තිබ්බනෙ ” යැයි සිතමින්ය.
පසුව ඇය අතේ තිබූ ලේන්සුවකින් මුහුන පිසදාගන්නට විය. පිටුපස අසුනේ සිටි ඇයගේ මිතුරිය පැත්තකින් අත දමා තම මිතුරියගේ පිට යන්තමට පිරිමදින්නට විය. බසයේ කොන්දොස්තරවරයාද “අයියෝ” කිව්වා පමණකි. ඔහුද ඊට වඩා කිසිම දෙයක් නොකිව්වේය. පසුව මේ තරුනිය පිටුපස සිටි මිතුරියගෙන් තමාගේ බෑගය ඉල්ලා සිටියාය. බෑගයෙන් තුවායක් ගෙන ඇය බිමට පහත්වී ඇගේ තුවායෙන් බසයේ බිමට අතුරා තිබූ කාපට් පිසදමන්නට විය. සියල්ලෝම බලා සිටියේය.ඉන් පසුව ඇය වට පිට බැලුවේය. මම ලඟ තිබූ පොලිතීන් බැගයක් ක්ෂනිකව ඇයට දුන්නේය. බිම පිසදැමූ ඇගේ තුවාය එම බෑගයේ දමාගෙන ඇය අසල තබා ගත්තේය. මම නිකමට පිටුපස හැරී බැලුවේය. ඇගේ මිතුරන් කිහිප දෙනෙකුට ක්ෂනිකව නින්ද ගොස් තිබුනි. ඇය අස්වසන්නට කිසිවෙකු වචනයක් නොකිව්වේය.
මගේ ලඟ තිබූ Wet Wipes පැකට්ටුවක් මම ඇය අත තැබුවේ. “ඔයාට කියන්න තිබ්බනේ” යැයි පවසමිනි. ඇය කිසිත් නොකියාම බිම බලා සිටියාය. පසුව මට සිතුනේ ඇයට සිංහල නොතේරුනා විය හැකිද යනුවෙනි. නැතහොත් ඇයට පිලිතුරක් දීමට තරම්වත් මානසිකත්වය ඒ මොහොතේ නොතිබෙන්නට ඇත. ඇය ඉතා අසරණවූ බවක් ඇයටම තේරුම් ගොස් තිබුනි. ඒ අසලම වූ තරුණයෙක් ඔහුගේ බෑගයට අතදමා mentos පැකට්ටුවක් ඇයට දුන්නේය. ඔහු බස් රථයට ගොඩවූයේද මටත් පසුවය. ඇය එයද අතට ගෙන බිම බලා සිටියේය. ටික වේලාවකින් මා දුන් තෙත් කඩදාසි වලින් ඇගේ මුහුන සහ අත් පිසදමාගත්තාය.
මට හරි පුදුමයි. ඇගේ කිසිම යහලුවෙක් මේ තම සහෝදරියට වචනයකින් වත් අස්වැසිල්ලක් ලබා නොදුන්නේ ඇයි දැයි යන්නයි. දැන් මට බසයෙන් බහින්නට කාලයයි.මම නැගිටිනවාත් සමඟම තරුණිය යන්තමින් මා දෙස බලා
“Thank you so much “යැයි පැවසුවාය.
මමද “welcome” යැයි ඇයට පිලිතුරු දී බස් රථයේ පිටුපස බලා මගේ හිතට කියාගත්තේ
” මුං නං මාර යාලුවෝ”
ඒ අවස්ථාවේදී ඒ අයුරින් ඇයට උදව් කිරීමට ලැබීම මට ආත්ම තෘප්තියකි. අර තරුණයාටත් ඒ ආත්ම තෘප්තිය ඇති. ඒත් අර තරුනියගේ යහලු යෙහෙලියන්?
ඔවුන් කෙසේ තෘප්තිමත් වන්නට ඇතිද?
මා ගෙදර ආ විගසම මෙම සිද්දිය මගේ දියණියට පැහැදිලි කර කියා සිටියේ එවැනි අවස්තාවකට ඇයටත් මුහුනදෙන්නට සිදුවේවි යන්නයි. එවැනි අවස්තාවකදී කිසිම විටක තමාත් සමඟ ආ අය තනි නොකරන ලෙසටය.
එහෙම නොවුනොත් යම් දිනයක ඒ ගැන පසුතැවිලි වන්නට අපිට සිදුවන බවය.
උපුටා ගැනීම: සුරේෂ් එස්. වීරසිංහ