කිසියම් කාරණයක් සම්බන්දයෙන් උපදෙසක් ගන්න මම දවසක්, කුඩා ආරණ්ය සෙනාසනයක, මම දන්න ලොකු ස්වාමීන් වහන්සේ නමක් හමුවෙන්න ගියා. දිනය මට මතක නෑ දෙදාස්විස්ස අවුරුද්දෙ කියලානම් මතකයි. මම ගියාම එළියෙ ඉඳන් දැක්කා, වටේම විවෘත බණ ශාලාවක ඒ ස්වාමීන් වහන්සේ, තමන්ගෙ එක ගෝල ස්වාමීන් වහන්සේ නමකට පොතක් අතේ තියාගෙන මොනවද කියල දෙනවා.
මම පොඩ්ඩක් ඈත ඉඳන්ම බලාගෙන හිටියා, බාධා කරන එකත් හරි නැති නිසා. එතකොට ඒ ලොකු ස්වාමීන් වහන්සෙ මාව දැක්කා, ඒ නිසා මම ඇතුලට ගිහින් ලඟට ගියා. ලොකු ස්වාමීන් වහන්සේ අසුන්ගෙන සිටියෙ සාමන්ය ප්ලාස්ටික් පුටුවක, ගෝල ස්වාමීන්වහන්සේ අසුන්ගෙන සිටියෙ බිම. ලොකු ස්වාමීන්වහන්සේ මම දිහා බලාගෙන හිටියා. මම ඇහුවා ස්වාමීන්වහන්ස, මාව මතකද කියලා. ස්වාමීන්වහන්සේ කිව්වා හරියටම මතක නෑ , දැකලා පුරුදුයි කියලා. මම ඒ වෙනකොට දෙතුන් සැරයයි ඒ ස්වාමීන්වහන්සේව මුණගැහිලා තිබුණෙ. ඒත් ඒ ඊට මාස කිහිපයකට පෙර. ඉතින් මම ස්වාමීන්වහන්සේට මතක් කරා මම කලින් උන්වහන්සේව මුණ ගැහෙන්න පැමිණි බව. එතකොට, උන්වහන්සේ මාව හඳුනාගත්තා.
උන්වහන්සේ ඇහුවා මගෙන් යන්න හදිස්සිද කියලා. මම කිව්වා නෑ කියලා. එහෙනම් පුතා ඔය පැදුර දාගෙන වාඩිවෙන්නකො ඔයාලටත් මේවා වැදගත් කිවුවා. ඉතින් මමත් එරමිණියා ගොතාගෙන වාඩිවුනා, ඊටපස්සෙ උන්වහන්සේ දිගටම පාඩම කරන්න පටන් ගත්තා. ඒ පොත තැඹිලි පාට, අඟලකට පොඩ්ඩක් අඩුව විතර ඝනකම තියෙන පොතක්. උන්වහන්සේ එදා ඒ පංතියේ ඉගැන්නුවේ පැවිද්දෙක් විසින් දහම් දෙසීම සම්බන්ධයෙන් දැනගත යුතු කරුණු, පැවිද්දන් විසින් සම්බන්ධය නොපැවැත්විය යුත්තෝ, ස්ත්රීන් හා සබඳකම් පැවැත්වීම, ධුතංග සමාදානය වැනි කරුණු. ඒ වෙනකොට මම අහලවත් නෑ ඒ දේවල්. මම හරිම කැමැත්තෙන් අහගෙන හිටියෙ.
ස්වාමීන්වහන්සේ උගන්වන ගමන් ඇහුවා, පුතා ඔයාට යන්න පරක්කු වෙනවද, අපි මේ පංතිය පැයක් කරනවා කියලා. මම කිව්වා නෑ කියලා. ඉතින් මම ඒ කියලා දුන්න දේවල් වලට කැමති නිසා, ඒ පොතේ නම බලාගත්තා. ඒකෙ තිබුණෙ “ශාසනාවතරණය” කියලා නමක්. ඒ පංතිය ඉවරවෙලා මම ගිය කාරණෙත් කරගෙන මම ගෙදර ආවා. ඊට දවසකට හෝ දෙකකට පසුව, බුක්ෂොප් තුනකට විතර ගිහින් ඒ පොතේ නමයි පාටයි කියලා කොහොමහරි හොයාගත්තා. එකකින් ඇහුවා ශාසනාවතරණය නෑ පාලි භාෂාව තරණය දෙන්නද කියලා. තව එකකින් ඇහුවා රේරුකානේ හාමුදුරුවොන්ගේ පොතක් නේද කියලා. එතකොට මම රේරුකානෙ හාමුදුරුවෝ කියලා චරිතයක් ගැන අහලාවත් තිබුණෙ නෑ.
ඉතින් මම ඔය පොත ගෙදර අරන් ආවා. පොතේ මුල් පිටුවෙම තියෙනෙවා,
“මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්ය චක්රවර්තී, පණ්ඩිත, ප්රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්යාය ශාසන ශෝභන, ශ්රී සද්ධර්ම ශිරෝමණි) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි”
කියලා. ඒ දවස්වල “මහාචාර්ය” වරයෙක් කිවුවාම මට ලොකු ගෞරවයක් තිබ්බා, දැන් තියෙනවාට වඩා. ඒ ටික දැක්කම ඉතින් පොත කියවන්න තවත් කැමැත්ත ඇතිවෙනවනෙ. ඉතින් මම පොත කියවන්න පටන් ගත්තා.
පොතේ පිටු 4ක් 5ක් විතර කියවද්දි මට ඇඬුනා. මම පොත වහලා ටික වෙලාවක් ඇඬුවා. මට ඒ වෙලාවෙ ලොකු දුකක් ඇතිවුනා. පොඩි කාලෙ දහම් පාසල් ගියා, ඉස්කෝලේ “බුද්ධ ධර්මය” කියලා විෂයක් සාමාන්ය පෙල වෙනකම් ඉගෙනගත්තා, ඒකට “ඒ” සාමාර්ථයකුත් තියෙනවා. ඒත් ඒ කොතනදිවත්, අඩුම තරමේ අම්මා-තාත්තාවත්, මේ තරම් වැදගත් දේවල් කියලා දීලා තිබුණෙ නෑ.ඉස්කෝලෙ බුද්ධ ධර්මය විෂය උගන්වපු හමුදුරුවරු ගැනනම් මම කියන්න දන් නෑ, නමුත් අම්මා-තාත්තා හා දහම්පාසල් ගුරුවරු එහෙම දේවල් කියලා දුන්නැත්තෙ ඔවුන්ගෙ නොදැනුවත්කම නිසාමයි.
ඒ පොත මම ඉවර වෙනකම් කියෙව්වා, ගොඩාක් දේවල් ඉගෙනගත්තා. කතෲ ගැන ලොකූ පැහැදීමක් ඇතිවුණා. ඉතින් මම ඒ පොත ඉවරවෙද්දි රේරුකානේ චන්දවිමල මහානාහිමිගේ තව පොතක් ගත්තා. ඒ විදියට මම ඒ උත්තමයන්ගේ පොත් හතක් මේ වෙනකොට සම්පූර්ණයෙන් කියවලා තියෙනවා. ඔක්කොම පොත් 15 ක් මා සතුව තියෙනවා. සම්පූර්ණයෙන් කියවලා ඉවර නැති පොත් අට කියවලා ඉවරනැත්තෙ ඒ පොත් වල අඩුපාඩුවක් නිසා නෙවෙයි, මගේ අඩුපාඩු නිසා. මොකද “අභිධර්ම මාර්ගය” වගේ ගැඹුරු කරුණු තියෙන පොත්, ෂර්ලොක් හෝම්ස් සිංහල පරිවර්තන පොත් කියවනවා වගේ කියවගෙන යන්න බෑ.
එක දවසක් මම රුවන්වැලිසෑය ට ගියා, රු. සීයක මලුත් අරගෙන. මල් අටක් ක් තිබ්බා. මාස්ක් එක ගෙනියන්න අමතක වුන නිසා රුවන්වැලිසෑයට යන්න දුන් නෑ. ඒ නිසා මම එතනින් කෙලින්ම ගියා ජය ශ්රී මහා බෝධියට යන්නම් කියලා හිතාගෙන, ඒත් එතනින් ඇතුලට යන්න දුන්නෙත් නෑ. හැබැයි එතනම තියෙන මල් කඩේ මාස්ක් තිබුණා. මාස්ක් එකකුත් අරන් ජය ශ්රී මහා බෝධිය ඇතුළට ගියා. ගිහින් ගෙනාපු මල් අටෙන් එක එක පුජා කලා. “මේ මල බුදුරජාණන් වහන්සේට පූජා වේවා” කියලා එක බැගින් මල් පහක් පූජා කලා. ඊට පස්සෙ එක මලක්, “මේ මල ධර්ම රත්නයට පුජා වේවා” කිය්ලා පූජා කලා. ඊට පස්සෙ තව මලක් “මේ මල සංඝ රත්නයට පුජාවේවා” කියලා පූජා කලා. ඉතිරි මල කාටද මම පූජා කලේ, “මේ මල රේරුකානේ චන්දවිමල මහානාහිමියන්ට පූජාවේවා” කියලා පූජා කලා.
(මල් පූජා කිරීම ගැන ප්රකාශ කිරීමේදී පුද්ගල සරණයෑමක් නොදැක් වූ බව ද , උන්වහන්සේට මගේ ඇති ගෞරවය ප්රකාශ කල බව ද විශේෂයෙන් සැලකිය යුතුයි)
තවත් දෙයක් කියන්න ඕනි, මේ වගේ අත්දැකීම් ප්රසිද්ධියේ කියන්න මට කිසිම ලැජ්ජාවක් නෑ. මොකද, මේ වගේ දෙයක් කිරීමේ දී ලැජ්ජා විය යුතු ය, මේ වගේ දෙයක් කිරීම ලැජ්ජාවක් ය, මේ වගේ දෙයක් කලොත් අනිත් මිනිස්සු මම ගැන මොනවා හිතයිද දන් නෑ වගේ ලාමක, තුච්ච, වහල් මානසිකත්වයන්ගෙන් මම පෙලෙන් නෑ. මේ පෝස්ට් එක දැකලා එක මනුස්සයෙක් හරි සද්ධර්මයට යොමුවෙනවනම් ඒක තමයි මගේ අරමුණ. තෙරුවන් සරණයි.
උපුටා ගැනීම: Asanka Lakmal