මරුසිරා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
70 දශකයේදී නාහට නාහන දඩබ්බරයකු ලෙස රජරට පතල වූ ඔහු පසුව නීතිය හමුවේ අපරාධකාරයකු ලෙස රට පුරාම පතල විය. ඔහු ‘මරුසිරා’ ලෙස හැඳින්වීමට හේතු වූයේ ඔහුගේ පපුවේ කොටා තිබූ “මරුවා සමඟ වාසේ” යන පච්චයයි.
මරුසිරා ලෙස ප්රකට වුවත් ඔහුගේ සැබෑ නම දෙද්දුව ජයතුංගලාගේ සිරිපාලය. අනුරාධපුරයේ උපන් ඔහු මිනිමැරුම් දෙකක් සිදුකිරීම නිසා අනුරාධපුර මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වීමෙන් පසු මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ අංක 32 දරණ සිරකුටියේ සිරකර තබනු ලැබිණ. 1975 අගෝස්තු 5 වැනිදා උදෑසන 8.05ට බෝගම්බර සිරගෙදරදී එල්ලා මරාදමනු ලැබුවද ඔහු පිළිබඳ මතකය කරුණු කිහිපයක් නිසා අදටත් සුවිශේෂී වේ.
සිංහල සිනමාව පළමු වරට සත්ය පුද්ගල චරිතයක් ඇසුරින් නිපද වූ චිත්රපට දෙකක් එකම වසරකදී තිරගත කරමින් අපූරු වාර්තාවක් තබා ඇත. ඒ චරිතය මරුසිරාය. ඔහුගේ ජීවිත කතාව ඇසුරින් නිපද වූ පළමු වැනි චිත්රපටය වුයේ ‘සිරිපාල සහ රන්මැණිකා’ චිත්රපටයයි. එම චිත්රපටය 1977 සැප්තැම්බර් මස 16 වැනි දින තිරගත විය. එම චිත්රපටයේ මරුසිරා හෙවත් සිරිපාල ලෙස රවීන්ද්ර රන්දෙනියත් රන්මැණිකා ලෙස මාලනී ෆොන්සේකාත් රංගනයෙන් දායක විය.
මරුසිරා චරිතය තිරය මත ජීවමාන කළ අනෙක් අවස්ථාව වන්නේ එම වර්ෂයේම සැප්තැම්බර් 30 වැනි දින තිරගත වූ ‘මරුවා සමඟ වාසේ ‘ චිත්රපටයයි. එහි සිරිපාල ලෙස විජය කුමාරතුංගයන් සහ රන්මැණිකා ලෙස ගීතා කුමාරසිංහ චරිත නිරූපණය කළහ.
මරුසිරා හිරගෙදරදී සිය මවට සහ බිරියට කවි ලියූ බව පැවසුණද පසුව හෙළිවූයේ එම කවි ඔහු විසින් ලියන ලද ඒවා නොවූ බවයි. මරණ දඩුවම නියම වී සිරිපාල සමග එකට සිරකුටියේ සිටි බාන්ස් විමලරත්න සහ හේරත් යන දෙදෙනා කවි ලියා තිබුණේ මරුසිරා විසින් දෙන ලද එක්සයිස් පොතකය. එම නිසා ඒ කවි මරුසිරාගේ බව ඇතමුන් කීහ.
කවිකාරයකු නොවූවද සිරිපාල චිත්ර ඇදීමේ දක්ෂයකු වූ බව පැවසේ. සිරිපාල 1975 දී එල්ලා මැරීමෙන් පසු අවසාන වරට මෙරටදී වරදකරුවකු එල්ලා මරණයට පත්කර ඇත්තේ 1976 ජුලි 23 වැනිදා වැලිකඩදීය. එසේ මරාදමන ලද්දේ ‘හොඳ පපුවා’ නොහොත් ජේ. ඒ චන්ද්රදාස නැමැත්තතෙකි.
මරුසිරාගේ අනුවේදනීය ජීවිත කතාව සැබෑ ලෝකයට විවර වන්නෙේ හිරගෙදරදී ඔහුට හමුවන අපූරු මිත්රයකු නිසාය. ඊ.ජී කරුණාදාස නොහොත් පොඩි මහත්තයා වූ ඔහු බෝගම්බර සිරගත වන්නේ 1971 අප්රේල් කැරැල්ලට සම්බන්ධ වීම නිසාය. ඊ.ජී. ගේ ඇසුර ලැබීමත් සමඟ මරු සිරාට තමා ජීවිතයේ සිදුවූ වැරදි ගැන අවබෝධයක් ලැබුණා විය හැකිය. ඒ නිසා ඇතිවූ පසුතැවීම නිසා මරුසිරා සිය අත්අකුරෙන්ම ජීවිත කථාව ඊ.ජී. කරුණාදාසට ලියාදෙන්නේ ඔහුගෙන් යම් ඉල්ලීමක්ද කරමිනි. එනම් තමා ජීවිත කතාව තරුණ පරපුර සුමගට යොමු කිරීමේ අරමුණින් පුවත්පතක පල කරදෙන ලෙසටය. ඒ ඉල්ලීමට ඊ.ජී. එකඟවූවද ඊට සතියකට පසු ඔහු කොළඹ මැගසින් බන්ධනාගාරයට මාරුකරනු ලැබිණ.
එහෙත් ඔහු මරුසිරාගේ ජීවන කථාව තම සොහොයුරයකු වූ නීතිඥ ඊ.ඩී. ප්රේමදාසට භාර දෙන්නේ මරුසිරාට වූ පොරොන්දුව ඉටුකිරීමටය. 1975 වසර ආරම්භයේදී ඊ.ජී. කරුණාදාසට බෝගම්බර සිර ගෙදරදී මරුසිරා විසින් බාරදුන් ඔහුගේම වචනවලින් ලියා ඇති ජීවන කතාව ඇතුළත් ලිපිය මෙසේය. ඔහුගේ භාෂාව හා රටාව වෙනස් කිරීමකට ලක් කර නැත.
“ගමෙහි 1949දී සහෝදරයින් 7, දෙමව්පියන් 2, ඇතුළු පවුලේ 9 දෙනෙක්ය. පියාගේ රැකියාව අනුරාධපුර මහලු නිවාසයේ සාත්තු සේවකය. ඔහු සුළු මුදලක් එවයි. එයින් සියල්ල බැරි නිසා මා පාසැල් ගියද 8 වැන්නෙන් අවසන් විය. මෙසේ දඩාවතේ සිටි මා පියා සොයා අනුරාධපුරයට පැන ආවෙමි. ටිකදිනක් පියාගේ සැලකිල්ල ලැබුනත් පසුව නැතිවිය. මා මෙතෙක් පටන් රස්තියාදුවට වැටී එක එක අය සමඟ සොරකම් ද ගංජා, අරක්කු ආදියටද පුරුදුවිය. 1968/69 වැනි අවුරුදුවල හොරකම් නඩුවලටද අසුවූයෙමි. මේ ආකාරයට කාලය ගෙවන මාහට පොලිසියෙන්ද සැමවිටම වධ දුන්නේය.
මෙසේ කාලය යන විට 71 අප්රේල් කැරැල්ල ඇරඹිය. මින් පොලිසිය මාද මා වැනි අන් අයද සොයා මරන්න, ගසන්න, බාවනවාය නිසා මා සැඟවුනෙමි. මේසේ සැගවී සිටීම නිසා පොලිසිය මා සෙවීම වැඩිවිය. මා කැලයට වී හේනකින් තුවක්කුවක් සොයාගෙන සිටිනවිට කෑම සඳහා පොඩි පොඩි අතුපැලවල් වලට එන්නෙමි.
මෙසේ දින කිහිපයක් එක තැනකට ගියෙමි. එක් දිනක් මා පැල ඇතුලේ සිටියදී මා ඇල්ලීම සදහා මිනිසුන් හෝ පොලිසිය හෝ ගේ වටා සිටින බව දැක්කා. ගෙදර මිනිසා කිව් හැටියට 13 දෙනෙක් පමණ තුවක්කු කඩු ඇතිව සිටින බව දැනගතිමි. මා පැනයාමට අතක් බලමින් සිටින විට ඔවුන් ගෙට ඇතුල් විය. ඉදිරි දොරකඩ පොඩි පැලලී දොරක්ය. පැන ගෙහිමියාටද ගැසුවෙමි. මා පිටුපසින් පැන්නෙමි. පනිනගමන් කරුවලට වෙඩිල්ලක් තබා පැනගියෙමි. මේ වෙලාව 8 පමණ ඇත. පසුව දැනගත් පරිදි මිනිසෙකු මැරී ඇති බව දැනගත්තමි. තවත් බියට පත්වූ මා කැලයේ දින ගණනක් නිරහරව ඉද සිමන් නැමති මා හිතවතෙකුගේ ගෙදරට පැමිණියේමි. ඔහු මා හට කැමද කසිප්පුද දී නැවත එන ලෙස කීවෙමි. හැකි සෑම උදව්වක් කරන්නමි කීය. මා ඊට පසු දෙවතාවක් පමණ ගියෙමි. මා හට කෑමද පතොරම් දෙක තුනක්ද අරක්කුද මා සෙවීම ගැන තතුද ඔහු දන්වන්නේය.
මෙසේ එක් දිනක් පැමිනිය විට තවත් මිනිසුන් දෙදෙනෙක් මෙහි සිටියහ. මා අදුරන්නේ නැති අය නිසා මා සැක ඇතිවී මා ආපසු යාමට සැදුවෙමි. එහෙත් සිමන් අයියා මා හට බියවීමට කරුනක් නැති බවත් ඒ අය හේනේ වැඩට ගෙන්නා ගත් අය බවත් අද අරක්කු පෙරීමට ඇති නිසා ඒ අයත් දැන්ම කෑම කා යන නිසා මටත් කෑම කා දැන්ම යන්ට හැකි නිසා පොඩියක් ඉන්න මෙන් කියා කසිප්පු බීමට දුන්නෙමි. සියලු දෙනාම බීවෙමි. ඉන් පසු එක් මිනිසෙක් පිටවී ගියේය. මා සැක නිසා ඒ ගැන විමසූවිට ඔහු අරක්කු පෙරීමට උපකරණ ගෙන ඒමට ගියා බව කීවෙමි.
එහෙත් මගේ සැකය වැඩිවිය. මා තුවක්කුව බිම නොතියා ඔවුන් ඉල්ලුමුන් නොදිද අතේම තබගෙන සොදිස්සියෙන් සිටියෙමි. වේලාව 7.30 පමන ඇත. ඔහුගේ බිරිඳ අප 3 දෙනාටම බත් බෙදාගෙන ආවාය. සිමන් අයියා මා ඉදිරිපිට ඇති පුටුවේය. මැද ටීපෝ එකේ තබාගෙත මාත් සීමන් අයියා බත් කන අතර මා පිටුපස ඇදේ නාඳුනන මිනිසාද බත් කැවේය. මෙසේ සුළු වේලාවක් කමින් සිටි අතර මා හට පහර පිට පහර දෙන්න විය. මා සෝදිසියෙන් සිටි නිසා ඔලුව යන්තම් බේරුණි. පිටිපස ඇදේසිටි අය පොල්ලකින් මා හට ගැසුවේය. ඔලුව බේරි උරයට පහර වැදිණි. එ්සමගම තවත් පහරවල් සමඟ මා පුටුවෙන් පහලට වැටිනේ මා අත තිබූ තුවක්කුවද සමඟය මා තුවක්කුව පත්තු කලාද ඉබේ පත්තු වුනාද කියන්න බැරි තරම්ය. එය පත්තුවිය. ඉදිරියෙන් සිටි සිමන්ට එය වැදෙන්නට ඇත. ඔහු එතෙන වැටුනේය. ඔහුත් මා හට ගැසීමට හැදුවත් වෙඩිපහර ඉස්සර විය. වෙඩි හඬ සමඟම මට ගැසු මිනිසා පසුබටවිය.
මා නැගිට ගෙයින් එලියට පැන තවත් වෙඩි පහරක් ගේ පැත්තට තබා පැන ගියෙමි. යන විට මා සිදුවූ සියල්ල සිහිවිය. කෑමත් නැතිව නිසි නින්දක් නැතිව වැස්සට තෙමි තෙමී මදුරුවෝ කමින් කාගේවත් පිහිටක් නැතිව මා හට හතුරුකම් කරන නිසා එයින් පලිගැනීම සඳහා මානසික බලපෑමක් හෝ නිසා මා දිගින් දිගටම එම වෙලාවමි. ගෙවල් දෙකක් සහ කඩයක්ද ගිනි තැබුවෙමි. කැලයට යන විට අරක්කු පෙරමින් සිටි තැනක් කැලේ දුටුවෙමි එතැනට ගොස් අරක්කු බිබී උදේ වෙනතෙක් එතැන සිටියෙමි. උදේ බඩගිනි නිසා මා කෑම සොයා නැවත මහ පාරට ආවෙමි.
දින ගණනාවකින් අහර නැතිවීම අරක්කු බීව, නිදි මැරීම ආදී නොයෙකුත් කරදර වලින් මා පිස්සෙක් බවට පත්ව සිටියෙමි. මෙසේ කෑමට යමක් ගැනීමට මහළු නිවාසය ඉදිරිපිට කඩයකට ගිය විට ඔහුන්ව පොලිසියට අල්ලාදීමට ටැලිපොන් කිරීමට මඩමට ගියෙමි. මා හට කිසිත් නොදී මෙසේ කරන්න සැදු නිසා මා එම කඩයට ගිනි තැබුවෙමි. ගිනිතබා ගෙන විට ටැෆික් පොලිස් කාරයින් දෙදෙනෙක් පැමින මා හට ඩෙිතැබුවෙමි. මා දුවගියත් පසු පසින් පන්නා පන්නා වෙඩි තැබුවෙමි මා ද ආපු හැරී වෙඩි දෙකක් තබා පැන ගියෙමි. පැය භාගයක් යන්න ප්රථම පොලිස් 20/30 පමන මා පසුපස වෙඩිතැබුවෙමි.
මා කැලයට පැන ගොස් පසුව අනුරාධපුරින් පිටත්වී හලාවතට ගියෙමි. මා උසාවියට ඉදිරිපත්වීම ගැන උත්සාහ කලත් හදිසි නිතිය නිසා පොලිසියෙන් ගන්නා බව දැනගන්න ලැබුනෙමි. පසුව ඉදිරිපත්වීමට පුලුවන් නිසා වහලාපිටියේ ගෙදරක සිටියෙමි. 1971 ඔක්තෝබර් 22 එහිදී මා පොලිසියෙන් ඇල්ලුවෙමි. නොයෙකුත් හිරිහැර විදපු මා අල්ලන්න ප්රථම මාගේ මව ඇතුලු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබිණි. මාගේ මව සමඟ සංවාසයේ යෙදෙන්න කියා මා ඇතුලු අනෙකුත් අයටද මටද නොයෙකුත් වද දුන්නෙමි. මව පෙලිසියෙන් මුදාහැර අන් අය සමඟ මා 71 ඔක්තෝබර් 26 අනුරාධපුර බන්ධනාගාරයට ගෙන ගියහ.
ඉතිරි හරිය ඔබලග ඇති නේද අඩුපාඩු අසා එවන්න. තෝරාගැනීමට ටිකක් අමාරුයි වෙයි. පුළුවන් හැටියටයි ලියා තිබෙන්නේ. අමනාප නොවන්න. ඉතා රසවත් වන හැටියට ලියන්න. නොමග යන්නෙකුට හැදෙන්නට ලියන්න. කොල ලැබූහැටියේ ඉතිරිටික එවන්නම්. මාගේ ජීවිතය මුල්කාලය මෙන්ම දැනුත් ඉතා දුක්ඛිතයි. ඉතා දුක් තත්ත්වයෙන් සිටිමි. ලිපිය ගලපා ගන්න. මාගේ ජීවිතය පූජාවක් වේවා!’’
මරු සිරාගේ ඒ ජීවිත පූජාව ඔහුගේ හදවත දිනූ ප්රිය බිරිය වූ රන්මැණිකාට ද දුක්බර මතකයකි. සිය කටුක ජීවිතයට සෙනෙහසත් රැකවරණයත් දුන් සිරිපාල රටටම ‘මරු සිරා’ වුවද රන්මැණිකා මියනතුරුම ඔහු අමතා ඇත්තේ ‘මහත්තයා’ යන ආදර නාමයෙනි. සිරිපාල එල්ලා මරන බවට බෝගම්බර සිරගෙදරින් ලැබුණු ලියමනට අනුව රන්මැණිකා සලාකයට ලැබුුණු සීනි රාත්තල් දෙක විකුණා එහි ගොස් දෙදිනක් ඵහි ගේට්ටුව අද්දර රැඳී සිටිමින් දවසට දෙවරක් බැගින් ඔහු දැකබලා ගත්තාය. එහෙත් පසුද එල්ලා මරන ලද ඔහුගේ මෘතදේහය ගමට ගෙන ගොස් අවසන් කටයුතු සිදුකිරීමට ආර් ථික හයියක් නැති තරමටම එදා ඇය අසරණව සිටියාය. ජීවිත කාලය පුරා වැඩිපුරම දුක ම විඳි රන්මැණිකා අවුරුදු කිහිපයකට කලින් මිය ගියාය.
එදා පෝරකයට ගෙනයන විට සිරිපාල නොහොත් මරුසිරා කාය ශක්තිය හීනවී නිදිබර ස්වභාවයක් පළ කිරීම නිසා ඔහු මරා එල්ලූ බවට ආන්දෝලාන්තමක කතාවක්ද පැතිර ගියේය. ඒ පිළිබඳව සොයා බැලීමට පසුව කොමිසමක්ද පත්කරන ලද අතර ඔහුගේ මෘත ශරීරය යළි ගොඩගනු ලැබුවේ මෙරට සිරකරුවකුගේ මෘත ශරිරයක් නැවත ගොඩගත් ප්රථම අවස්ථාව ද සනිටුහන් කරමිනි.
පේරාදෙණිය සරසවියේ අධිකරණ වෛද්ය අංශයේ ප්රධානි චන්ද්රා අමරසේකර විසින් සිදුකළ එම පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළිව තිබුණේ එල්ලා මරන අවස්ථාවේ සිරිපාල මියගොස් නොසිටි බවත් අධික ලෙස නිදිපෙති ගිලදැමීම නිසා නිද්රා ස්වභාවයෙන් පසුවූ බවත්ය.
එම මරණ පරීක්ෂණයට සහභාගි වූූ මහාචාර් ය චන්ද්රසිරි නිරිඇල්ල විසින් පේරාදෙණිය සරසවියේ තිබූ සිරිපාලගේ හිස්කබල පසුකලෙක කරාපිටිය රෝහලේ වෛද්ය පීඨයේ තැන්පත් කිරීමට කටයුතු කෙරිණ
✍️ දිවයින පුවත් පතේ පලවූ ලිපියක් කෙටි කොට ලිවීමකි
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!