මරුවා සමඟ වාසේ… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
බිරින්දෑවරුන්ගේ යුධකාමී හපන්කම් ගැන සැනින් මතකයට නැගෙන ස්වාමිපුරුෂයන් ලොව බොහෝ ඇත… මේ ඔවුන් වෙනුවෙනි…
මාතෘකාව ලියා වරක් දෙවරක් තවත් වරක් බැලුවේ මාප්රිය බිරින්දෑද සමූහයේ සිටින බැවින් වැරදීමකින් හෝ මෙය දැක කතාවක් රචනය කරන්නට සිතී මාගේ මාතෘකාව කනපිට ගසා “බූරුවා සමග වාසේ..” කියා පව්ල් ජීවිත කතාව ලියන්නට ඇත්දෝයි සිතුනු බැවිනි… කමක් නැත… එසේ ගේමට බටුයේ නම් වාසේ මෙන්ම සංවාසේද බූරුවා සමඟබව මතක් කරදී කමෙන්ටුවක් ඇදබාන්නට බිය නොවෙමි මන්ද දැන් මාලග ඉස්සරහ දොරට අමතර යතුරක් ඇත.. සාලේ සැටියේ නින්ද නුපුරුදු මිනිහෙක්ද මා….?
ගියවර “තෝර්” නරඹූ ඔබට මෙවර “ඉන්ටර්ඩීබල් හල්ක්” රැගෙන ආවෙමි… කතාව අවසානයේ වසරේ ස්වාමිපුරුෂයා රයිගම් සම්මාන නිර්දේශ නාම අතරට මා යෝජනා කරන්නේ නම් කරුණාකර DK හිස්තැනක් අංක 1 සදහන් කොට 119 අංකයට සෙන්ඩ් කරන්න..
ගල් ප්රහාරයෙන් අනතුරුව එළැබි පශ්චාත් පව්ල්කෑමේ සමය බෙහෙවින් සාමකාමී විය…ඉදහිට රැවීමක් ගෙරවීමක් ඉවසා සිටියහැකි උවත් වරු තුනක් දිනක් හෝ සතියක් මාසයක් පමණ ඇදී යන මූලාරම්භයක් අගක්මුලක් මෙලෝහසරක් සොයාගත නොහැකි බුම්මාගැනීම නම් නොදෝමකිං… ඉදහිට අවස්ථාවක ඇතිවන මූලග්ගින්න කඩහපොළ මූලරෝග සුවය ගැනීමට තරම් දුරදිග නොගියද ඇතැම් අවස්ථාවලදී මටද ගෘහමූලික පුරුෂාධිපත්ය අරූඨ වේ..
ගිනි අව්වේ උදැල්ලකුත් රැගෙන යම් කාර්යයක් අපහසුවෙන් නියැලී කොන්දත් අතගාමින් හෙවනට ඌයේ මදක් විවේක ගැනීමටය…
“විනාඩි පහෙන් පහට හෙවනට පනින් නැතුව ඕක ඉවරයක් කරනවකො..”
දුකසේ බැරි බැරි ගාතේ යමක් කරන අවස්ථාවේ සුපවයිසර් ටෝක් දීම තරම් මළපනිනා තවත් දෙයක් නැති තරම්ය…..
“ඉතිං ඇවිත් කරනවකො”
“මමද මිනිහ මේ ගෙදර”
“ආ ඒවට තමා මං මිනිහ කියල මතක් වෙන්නෙ..”
“අැයි කෝවටද අමතක වෙන්නෙ..”
හිටිවන කවි මඬුව ආරම්භ විය… එක් පසෙකින් කිවිඳියත් අනෙක් පසින් රාජකීය කවියාත් කරට කර පෑහෙන වදනින් උද්වේගකරව ඉදිරියට ගලාගොස් එක් තැනකින් ඉවසීමේ රතුඉර පනින ලදි…
“නැවැත්තුවෙ නැත්තම් දෙන්නෙ තොට ආ….”
මෙතෙක් වේලාවක් මඩ නාගත් ගොවියා උදැල්ල අමෝරා අඩියක් පෙරට තැබුවේ කැලෑඅලියා පවා ශබ්දයට බිය වන බැවින් ඉන් සාර්ථක ප්රථිපල අත්වේයයි සිතාය….
“දීල බලමු එහෙනම්..” නොසිතූ විරූ ප්රතිචාරය නිසා කෝකටත් ප්රතිවාදියා නිරායුධදැයි බැලුවෙමි…නැත නැත… පොල් බිඳින්නටත් දර කපන්නටත් කොස් පලන්නටත් කෝකටත් හොදම අවිය වූ අඩි දෙකේ චිලින්ටං වානේ මන්නය හුරු අතවූ දකුණු අත රැදී තිබෙනවා දුටිමි….
මාගේ හිතවත් මාමන්ඩියා පෙර රජ දවස විශාකාවට පියා දුන් තුන්වැනි උපදේශය වූ “දෙන්නන්ට දෙන්න” උපදේශය මා බිරිදටද ලබා දී ඇති හැඩකි..(මාමන්ඩී මෙම කතා මාලාවේ මීලග චරිතය වීමේ බොහෝ සුදුසුකම් සපුරා ඇති පුද්ගලයෙකි ) “සාර්ථක පව්ල් ජීවිතයක් සදහා එක් අයෙක් නිහඬවීම වැදගත්…” පෙර අපර දෙදිග උපදෙස් මාලාවක් මා මනසට ක්ෂණික මතකයට නැගනු බැවින් බිරිදගේ දත් උගුල්ලනවාට වඩා තණකොළ උගුල්ලන කාර්යය යහපත්බව මා තීරණය කලෙමි…… වලිය සමාප්තයි මතු සම්බන්ධයි…
බිරින්දෑගේ කටවහ වනාහී අැදහිය යුතු තරමේ උත්කෘෂ්ඨය අනර්ඝය එම කටවහ අතීත කතාව ⁣විවාහයට පෙර අවධිය දක්වාම ඇදීයයි… එවකට පෙම්වතිය වූ මෙවකට පතිනිය මට ලබාදුන් උපදේශයනම් වාර විභාගය අතලග බැවින් කොහේවත් නොයා නිවසටම වී පාඩම් කරන ලෙසය.. කෑල්ල තබා අම්ම අප්පාගේවත් උපදෙස් නාහන ඉලංදාරි වයසේ පසුවූ මා පාඩම් කිරීමට කියා පොත්පත් රැගෙන හිත මිත්රයෙකුද සමග වෙන කාගෙන්දෝ ඉල්ලාගත් ( TSR හෝ NSR… මට දැන් නම මතක නැත..) බයික් රාජයෙකු පිට නැග රාත්රී යාමයේ යන්නට ගොස් යාළුවාටත් අලාභහානි ගෙවා වම් අතත් හුචැස්වී බෙල්ලටත් කොලර් එකක් දා ගැනීමෙන් අවසන් විය.. එ්ගැන වැඩිදුරටත් නොලියන්නේ එය ඉදිරියේදී එන මාගැන තොරණ විස්තරයකදී දැනගැනීමටය…
අනේ පොදු සහතික පත්ර උසස් පෙල පෙනි පෙනී ⁣ඇය මට ගත් දුරකතන ඇමතුමෙන් ඇය පැවසූයේ ගියවර මට්ටුව හේතුවෙන් මෙවර බොරු නොකියා නිවසට වී නොසිටිය හොත් වලපල්ලට යෑම නියත බවයි… පෙර රජදවස අඥ්ඤා කොන්ඩඤ්ඤ බමුණු තේමේ මෙන් නූලටම කියූ එම අනාවැකිය තඹේකට මායිම් නොකල මා ඒවනවිටත් සිටියේ ගසක් උඩය… වෙළෙද දැන්වීමකින් අනතුරුව කොළඹ මූලික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවටත් එයින් පසුව ශල්යකර්ම කාමරයටත් ගොස් තුන්මසක් වෙදගමත් ගොස් ඇගේ අනාවැකිය පුස්සක් බවට පත් කිරීමට මා සමත් විය… සවිස්තරාත්මක පුවත් පසුවට….
ඉදින් මතු දිනයකදී මාහට රැකියාව අහිමිවන්නේ නම් ඇයට රතු ජෝතියක් අන්දවා ඇට මාලය කරේ ලා පයට ගිගිරිත් අතට සළබත් දී බුලත් විටක් කවා තොල් දිව රතු කරවා නාසය විද.. කොහේහෝ නාගහක් යට වරිච්චි බිත්තිත් වහලට පිඳුරුත් සෙවිලිකල දේවාලයක් සාදා ගැනීමෙන් දිවි සරිකර ගැනීමට තරම් ඇගේ ප්රභල කටවහ වස්කවි යොදාගන්නේනම් මැනවියි මගේ සිත හොදින් දනී… තවත් අමතර සුදුසුකමක් වශයෙන් අැය කොයි මොහොතේත් කාලිඅම්මා ආරූඨව සිටින්නීය…
කාලයක් ඇය ඇගේ ඥාතිපාර්ශවයේ අක්කා කෙනෙකුට අයත් ආයතනයක වැඩපරීක්ෂක තනතුරක් හෙබවීය..( කොහොමත් ඇය වැඩ පරීක්ෂක කමට දක්ෂතා දක්වයි..විශේෂයෙන් මා වැඩක් කරනා විට..) එදිනට පෙර දින රාත්රී සේවාමුරය අවසන් කොට මා නිදිදෙව්දූ තුරුලේ සුවෙන් සැතපී සිටිනා අවස්ථාවේ හදිසියේ තුන්ලොව දෙදරවා දුරකථනය නාද වන්නට විය….
“අනූ.. පොඩ්ඩක් එන්න හදිස්සියක්..”
අසනීපයක්වත්දැයි සිතූ මා
“ඇයි සනීප නැද්ද..?” විමසූවිට.
“මොන අසනීපයක්ද ඕයි අසනීපනම් ඉස්පිරිතාලෙ යනවනෙ.. ලොකු අව්ලක් මෙන්න මෙහෙ එනව ඉක්මනට..” ආවේගශීලී වාග් මාලාවට අනුව මොකක්හෝ ලොකු කුන්ඩවාලයක් බැවින් හැකි ඉක්මනින් කලිසමට බැස ටීශර්ටය කරට දාගත්තා පමණි දුරකථනය නැවත නාද විය…
“වලියක්… හතර පස්දෙනෙක් එක්ක මොනාහරි අරන් එනවා…” ඇමතුම විසන්ධිවිය… එම වචනත් සමග මා කලබලයට පත්වී දඩිබිඩියේ පාර දෙසට දුවන්නට ගත්තේ හදිසියට ගන්නට ගෙදර කිතුල් පොල්ලත් පිටේ ගසාගෙනය…
ඕනෑම කලබලයකට ක්ෂණික හදිසියේ රැස්වී දිගුදුර මෙහෙයුම් බලකායක් රැස්කර ගැනීමට අප ප්රදේශයේ අපහසුතාවයක් නැත… ඒ සදහා හොදින් පුහුනුව ඇති නඩු හතඅටක් කා හිරේ විලංගුවේ වැටී පැමිණ සිටින ශූර සෙබල රැලක් සිවිල් ඇදුමෙන් සැරසී බෝක්කු උඩ හෝ ක්රීඩාපිටිය අසල ගඟ අසල කල්මරමින් සිටිනු දැනුදු දක්නට සිටී… හැටේ වේගයෙන් ඒ දෙසට මා එනවිටත් පහක් හයක් බොක්කු බැම්ම මතවිය..
“කොළුවා මොකද අව්ල..?”
“අක්ක වලියක් දාන් බං ඉක්මන්ට එන්න කිව්වා” කියන පමාවෙන් ත්රීරෝද රථයක් පනගැන්වුන අතර හතක් අටක් ඒමේ අත දිවගොස් ඇදුම් ඇගලා දඩිබිඩියේ එයට නැගුනේ කඩු පොලු අතට හසුවූ ⁣නානාවිදි අායුධ සන්නද්ධවයි…
මෙම කොළුරැල මා ප්රිය බිරින්දෑට බොහෝ හිතවත් වන්නේ ප්රදේශයේ බොහෝ කාන්තාවන් මෙන් උන්දිහා නොදෝමකින් තූ බැල්ම නොහෙලා කටපුරා “මල්ලී” යන ආමන්ත්රණයත් වසරකට වරක් අළුත් අව්රුද්දට කලිසමක් ටීෂර්ට් එකක් තෑගි වශයෙනුත් ලැබෙන බැවිනි උන්⁣ගෙ දෙමාපියන් පවා උන්ට අව්රුද්දට රෙදි අරන් දෙනු නොලැබේ… එයට අමතරව උන් අතරින් කව්රුන් හරි එකෙකුට කරුමයට මෙන් කෑල්ලක් සෙට්වී බැහැ දකින්නට යන්නට වූ විට අතේ පිච්චිය නැති බැවින් කීයක් හෝ දඩයක් දමා ගැනීමටත් මා ප්රිය බිරින්දෑ පිහිට විය.
මෙසේ අටක් පමණ සන්නද්ධව…(එයටත් වඩා පිරිසක් සහභාගී වූ ත්රිරෝදරථ ගමනක් ගැන මතු දිනකදී ලියමි..) බීට්ගසා ගං හතකට ශබ්දය එනසේ “බ්රෑ..ඈ………………….න්…..බ්රෘම්ම්ම්ම්ම්…………ම්ම්ම්…..ම්ම්..” ශබ්දයට අමතරව “ඩ්රොකොස්….” ගා ගියර් වැටේ.. දුම් නංවාගෙන ලහි ලහියේ
අදාල ස්ථානයට සැපත් වූයේ විජිතපුර සටනේ දසමහා යෝධයන් පැමිනියා මෙනි. කව්රුවත් පේන්නට නැත… වලිය අවසාන වී පොලිසි ගොස්වත්ද..?
අදාල ආයතනයේ ප්රවාහන කටයුතු සිදුකරන ලොරියේ රියදුරු අයියා ශෝටක් හැද බඩත් එළියේ දාගෙන ලහිලහියේ පඩිපෙල පහලට දිවවිත් මගේ දෑතින්ම අල්ලාගෙන විස්තර විචාරයක් කරන්නට විය…
“බුදු මල්ලියේ උබට කරන්ඩ දෙයක් නෑ රත්තරනේ මං එනකොට එකෙක් බිම දාගෙන දනිස්සෙන් පාගන් අනිකව කිහිල්ලෙ ගහන් අනිත් එකාගෙ බෙල්ල මිරිකගෙන… ගාමන්ට් එකේ ගෑනු හතර පස්දෙනත් එක්ක එකතුවෙලා යන්තම් බේරගත්තෙ උන් තුන්දෙනාට පැන පැන නෙළුවා බාං.. උබ කොහොමද මල්ලියෙ මුන්වගේ යක්ෂ ගෑනු එක්ක පව්ල් කන්නෙ..?” සිදුවීමේ අගක් මුලක් නොදන්නා මා උඩබිම බලන්නට විය…. ඔය අතර අපත් සමග පැමිණි එකෙක් කඩුවක්ද රැගෙන “කෝ කෝ…? කව්ද සීන්නෙක දැම්මෙ..?” විමසන්නට විය…
“නෑ නෑ මල්ලිලා ඒක ඉවරයි දැන් ශේප් ඔයාල යන්ඩකො දැන් අක්ක තනියම ප්රශ්නෙ විසදුවා..” රියදුරා පිංසෙන්ඩු වන්නට විය…
මා ප්රිය බිරින්දෑද පඩිපෙලෙන් පහලට විත් “හරි ඔයාල යන්ඩ ඒක දැන් ඉවරයි….” කී බැවින් අපිද නැවත හැරී නිවස කරා ලගාවිය… රාත්රියේදී රාජකාරි නිමවී පැමිණි ඇය මට සිදුවීම විස්තර කරන ලදි… මස්කෙලිය ප්රදේශයෙන් අළුතින් බඳවාගත් දෙමළ තරුණයන් තිදෙනෙකු වැඩ නොකර පිස්සු කෙලිනවා දුටු බැවින් වැඩ කරන්නට කීවිට උන් දෙමළ භාශාවෙන් කුටුකුටු ගගා අමුකුනුහරපයෙන් බනිමින් වැඩ කරන්නට ගෙන ඇත්තේ මාප්රිය බිරිද දෙමළ භාෂාව හොදින් දන්නා බව නොදැනය…නමුත් ඒවාට මා බිරිදද පිලිතුරු ලබාදී කතාව දුරදිග ගොස් වලියක් ආරම්භ වී ඇත…. අඩ්ඩා….ප්පාවි…. කඩවුලේ….
පලමුවෙන් ප්රහාරයට ආ එකා බිම දමා දණහිසෙන් පාගා ඊලඟට ආ එකා කිහිල්ලේ ගසාගෙන තුන්වැන්නාගේ බොටුවෙන්ම මිරිකා ඇත්තේ මරන්නට යොදාගත් කුකුලෙකුගේ මෙනි… මහා කාලගෝට්ටිය ඇසී පහලතට්ටුවේ පිරිස ගැටුම සමතයකට පත්කර ඇතත් පඩිපෙල බසින ගමන් එකෙක් “සීක්කිර වාංගඩී…අඩි අඩී..” වැනි මා නොදන්නා නමුත් “බෝඩිමට ගිහින් ඇවිත් තොට දෙන්නම් රිදෙන්ඩ” වැනි අදහස් ප්රකාශ කල බැවින් බිරිද මා අමතා සහයට අමතර භට සේනාවක් කැදවා තිබේ… නමුත් ගියවුන් නැවත වැඩපල පැත්ත පලාතේ පැමිණ නැත…. එබැවින් සිදුවීම සමතයකට පත්විය..
ඉදින් ඒ අහිංසක තරුණිය සමඟ පව්ල්කන අසහාය ස්වාමිපුරුෂයා මම වෙමි…
කෙසේ නමුත් මේවායේ ලියන්නට බැරි එක් අවස්ථාවකදී ඇර මාප්රිය බිරිද ගේම ඉල්ලුවාට වලියටම විත් නැත.. එදා ගල්පාරද මට නොවදිනා ලෙස විසිකල බව ඇය පසුව මට පවසන ලදි… බොහෝ ආරවුල් ඇයගේ මේ කරට කර න්යය නිසා සමථයට පත්වූ බව සතුටින් දැනුම් දෙමි…
මේ සිදුවීමෙන් පසු නැවත මොකක්හෝ අංචියක් ඇදිය හැකි බැවින් සවස්වී ගෙදර එන ඇයට ආයතනය අයිති ඥාති සොයුරිය ස්කූටි බයිසිකලයක් රැගෙන දෙන ලදි… ත්රීවිල් පැදවිය හැකි නමුත් බයික් පැදීමට නොහැකි ඇය සවස්භාගයේ පාසල් ක්රීඩා පිටිය පුරා පුහුනුවීම් සිදුකරන ලදි… “ඔහෙලට කලින් අපි ලයිසන් ගත්තෙ..” අදටත් පුරසාරම් කියන තැනට ඇය දියුණුවිය… මා රියදුරු බලපත්රය ලබාගත්තේ ඇයටත් වසර 3කට පමණ පසුවීම එයට හේතුවයි…
එයට ගමේ “චතුර” නම් මගේ දුකට සැපට ඉන්නා මල්ලී කෙනෙක් සහය දැක්වූ අතර ඌ බයිසිකලයේ පිටුපස ඇති හරක් අනක් මෙන් කොටසින් එක අතකින් අල්ලාගෙන වැටෙන්නට නොදී අනිත් අතින් උගේ කලිසමත් වැටෙන්නට නොදී උස්ස උස්සා වටේ…..ට පසුපසින් දුවන අයුරු මා නිවී හැනහිල්ලේ පඩිපෙලක සිට බලාසිටින ලදි… පුහුනුව අවසානයේ පිට්ටනියේ වට 25ක් පමණ දිවීම නිසා දිවත් එලියට දමාගෙන පඩිපෙලේ ඌ හති දම දමා සිටි අයුරු මට අදත් සිහිවේ….
එම බයිසිකලයේ නැගී ගිය දෙවැනි දිනයේදීම දක්ෂතා අතරට පිවිසීමට ඇය සමත්විය. එනම් බියගම බන්ඩාරවත්ත තුන්මන්හන්දියේදී ඉදිරියෙන් ගිය ඩිමෝ බට්ටා ලොරිය හදිසියේ තිරිංග තද කිරීම නිසා ලොරිරථයේ පසුපස සංඥාබල්බය කුඩුවන ලෙස “ඩෝං” වීමෙනි. ස්කූටියේද ඉදිරිපස මුහුන ඉරිතලා ස්ප්රයිඩර්මෑන් විය… කෙසේ හෝ ලොරියේ රියදුරාට රුපියල් 500ක් දී වැඩේ ගොඩදාගත්තද එම ස්ථානයේ රථවාහන හැසිරවූ අලුගෝසු පෙනුමැති රථවාහන පොලිස් කොස්තාපල් ඇයට යන්නට නොදී පැණි පාට් දාන්නට විය..
“සර් මේ මගෙ නම්බර් එක පොලිසි යන්න උනොත් කොල් කරන්න මටවැඩට යන්න පරක්කු වෙනව මං යනවා” කියා ඇය මාරුවී ඇත…
දහසක් පැතුම් දල්වාගෙන නිලදරුවා රාත්රීභාගයේදී දුරකථන ඇමතුමක් ගන්නා ලද්දේ බිරිද ඇගේ මෙන් ලබාදුන් මගේ දුරකථන අංකයටයි… “හලෝ…” ගානා සැනෙන් ඇමතුම විසන්දි වූ අතර ඉන් පසුව ඔහු මා සමඟ මල් කඩන්නට පැමිණියේ නම් නැත….
කාලයාගේ ඇවෑමෙන් ස්කූටිය පැදවීමට ඇය දැක්වූ මනා නිපුනත්වය මට දැනගැනීමට හැකි වූයේ මා රැකියාවට රැගෙන යන වෑන් රථයේ රියදුරාගෙනි…”කොළුවො තොගෙ ගෑනී නයිට්රයිඩර් වගේ සංස්ථාව පාරෙ අසූවට විතර කෙලගන යනව අර ස්කූටර් කටුවෙ… මටත් හෙඩ්ලයිට් ගහගෙන වෙට්ටුවක් දාන් ගියා ඕං.. හිමින් යන්ඩ කියාන් ඕකිට කොහෙහරි තාප්පෙක ඇලිල ඉදී…..”……. …. එය අසා මාකල අවවාද පිලිපැදීම නිසාදෝ ඇය අදටත් තාප්පයක නොඇලවී නිරුපද්රිතව සිටී ……
ඉදින් “ඉංටර්ඩීබල් හල්ක්” චිත්රපටය ගැන ඔබේ අදහස කුමක්ද …? මාමන්ඩී ගැන මීලඟ කතාවත් සමඟ මුනගැසෙමු….
(යටින් සම්පූර්ණ නම ලියන්ඩ තරම් මේවා හෙණ කලා නිර්මාණද බං..?
උපුටා ගැනීම : Daham Kalyana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!